සමාජ අර්බුදය හා එක්සත් ජනපද මැතිවරනය - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

සමාජ අර්බුදය හා එක්සත් ජනපද මැතිවරනය

The social crisis and the US elections

2016 අපේ‍්‍රල් 2

එක්සත් ජනපද මැතිවරනය තුල ප්‍රකාශනයක් අත් කරගෙන ඇත්තා වූ, සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි වැඩ කරන ජනතාව හා තරුනයන් අතර පවතින ගැඹුරු වෛරය ගැන මාධ්‍ය තුල සැලකිය යුතු සාකච්ඡාවක් පවතී. දක්ෂිනාංශයේ අර්ධ-ෆැසිස්ට් කෝටිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා තෙමේම වාමාංශිකයෙක් ලෙස පෙනී සිටින “සමාජවාදී" බර්නි සෑන්ඩර්ස් යන, නාමික ව සංස්ථාපිතයට විරුද්ධ අපේක්ෂකයන් දෙදෙනා කෙරෙහි පලවන පුලුල් හා අනපේක්ෂිත සහයෝගය, සමස්ත පාලක සංස්ථාපිතය හා සාමාන්‍ය ජනයා අතර පවතින අගාධයට යටින් ඇති අවිශ්වාසය හා කෝපය ප්‍රකාශයට පත් කරයි.

පෙබරවාරි මාසය තුල අපේක්ෂා කලාට වැඩි රැකියා ප්‍රමානයක් නිර්මානය වී ඇති බව පෙන්නුම් කල මාසික රැකියා වාර්තාව නිකුත් වීමෙන් පසුව ජනාධිපති ඔබාමා, මේ මස මුල දැක්වූ අදහස්, පාලක පැලැන්තියේ ඉහල ස්ථරය තුල පවතින නොතැකීමේ හා අවඥාවේ සංයෝජනයක් කැටිකොට දැක්වීය. වාර්තාව, එක්සත් ජනපද ආර්ථිකය “ලෝකයේ ම ඊර්ෂ්‍යාවට ලක්වන" මට්ටමට ගෙනා තම ආර්ථික පිලිවෙත සනාථ කිරීමක් යයි කියූ ඔබාමා, “ඇමරිකාව කසල ගොඩකට වැටී ඇතැයි කියන සමහර දේශපාලඥයින්ගේ කතා" සමච්චලයට ලක් කලේ ය. ඊට විකල්ප ව “ඇමරිකාව සුන්දර සෙනෙහෙවන්තියක්" යයි ඔහු පැවසීය.

පෙබරවාරි මාසය තුල නිර්මිත රැකියාවලින් පූර්න කාලීන රැකියා යන්තම් සියයට 11.7ක් ය යන උද්ධෘතය ගැන සඳහන් කිරීමට ඔහු අසමත් විය. තව ද නව රැකියාවලින් බහුතරය තාවකාලික, අඩු-වැටුප් ගෙවන සේවා අංශයේ ඒවා ය. නිෂ්පාදන හා ආකර කර්මාන්තයේ රැකියා නො කඩවා අඩු විය.

නිෂ්පාදන හා ආකර රැකියාවල තවදුර පහත වැටීම් හා බොහෝ නව රැකියා අර්ධ-කාලීන හා තාවකාලික ලාභ ශ්‍රම අංශවලට අයත් යයි පෙන්නුම් කල, සිකුරාදා නිකුත් වූ මාර්තු මාසයේ ඇල්මැරුනු රැකියා වාර්තාවට පරිපාලනයේ ප්‍රතිචාරය ද ඒ හා සමාන විය.

“එක්සත් ජනපද ප්‍රකෘතිය සැලකිය යුතු පරිදි දිගට ම සිදු වෙනවා... යලි සුලං හමන්නේ අපේ දෙසට යි" කම්කරු ලේකම් තෝමස් ඊ. පෙරෙස් උදම් ඇනී ය. “රැකියා ප්‍රවර්ධනය සිදු වුනු මාස 73ක් පුරා එක දිගට පුද්ගලික අංශය අලුත් රැකියා මිලියන 14.4ක් එක් කර ඇත. ඇත්තට ම වාර්තා වන දිගම රැකියා උත්පාදනය එය යි" යනුවෙන් ඔබාමාගේ ආර්ථික උපදේශක කවුන්සිලයේ සභාපති ජේසන් ෆර්මන් ප්‍රකාශ කලේ ය.

එහෙත් එවා කවර වර්ගයේ රැකියා ද? මුලින් බුෂ්ගේ හා පසුව ඔබාමාගේ පරිපාලනයන් යටතේ කිසිදු රැකියා සුරක්ෂිතතාවක්, සෞඛ්‍යාරක්ෂනයක් හෝ විශ්‍රාම ප්‍රතිලාභ හෝ නොමැති අනියම් හා අවිනිශ්චිත ශ්‍රම බලකායක තත්ත්වයට ඇමරිකාවේ සමස්ත රැකියා ව්‍යුහය වෙනස් කරනු ලැබූ බව මේ සතියේ නිකුත් වූ නව වාර්තාවක් පෙන්නුම් කරයි.

2005 හා 2015 අතර සිදු වූ සමස්ත ශුද්ධ පූර්න කාලීන රැකියාවල වර්ධනය “විකල්ප වැඩ සැලසුමක්" සහිත ව, එනම්, මිනිසුන් කොන්ත්‍රාත් හෝ අමතන වේලාවට වැඩකරන ස්වාධීන කොන්ත්‍රාත් කම්කරුවන් හෝ අනියම් පදනමක රැකියා වූ බව, ප්‍රින්ස්ටන් සරසවිය හා රෑන්ඩ් සංස්ථාව විසින් නිකුත් කරන ලද මේ වාර්තාව සටහන් කරයි. 2015 එවන් රැකියා 400,000ක් පැවතුන ද එය දශකයකට පෙර පැවතියාට වඩා අඩු පූර්න කාලීන රැකියාය.

කම්කරුවන්ගෙන් වඩා වැඩි පිරිසක් මුහුන දෙන කෲර කොන්දේසි පිලිබඳ හෙලිදරවුකාරී එක් සුවිශේෂී දර්ශකයක් වන්නේ, පසුගිය වසර 10 පුරා රැකියා කිහිපයක් කරන ආවස්ථික කම්කරුවන්ගේ ප්‍රතිශතය, 2005 දී සියයට 7.3 සිට 2015 දී සියයට 32 දක්වා හතර ගුනයකටත් වඩා ඉහල ගිය බව යි. යන්තම් දෙකොන ගැටගසා ගැනීමට, ප්‍රතිලාභ රහිත ව වැඩ කරන ජනයාගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් අනියම්, අර්ධ හෝ පූර්න කාලීන රැකියා කරමින් සිටිති.

පිව් පුන්‍ය භාරය (පිව් චැරිටබල් ට්‍රස්ට්ස්) විසින් මේ සතියේ නිකුත් කරන ලද තවත් වාර්තාවක්, සංස්ථාපිත විරෝධී හා ධනේශ්වර විරෝධී මනෝගතිය වැඩි දියුනු කරන්නා වූ, අඩු ආදායම් ලබන කම්කරුවන්ගේ කොන්දේසි පිලිබඳ ව තවදුර අවබෝධයක් සම්පාදනය කරයි. “කුටුම්භ වියදම් හා ආදායම්" යන හිසින් යුතු මෙම අධ්‍යයනය, 2013 හා 2014 අතරතුර එක්සත් ජනපද ආදායම් ඛන්ඩවලින් අඩු ම තුනෙන් පංගුවේ නිවාස සඳහා කරන වියදම සියයට 33කින් නැගුනු බව වාර්තා කරයි. පිව් ආයතනය එම ගැටලුව පිලිබඳ ව අවධානය යොමු කල වසර 19න් වැඩි ම වාර්ෂික ඉහල නැග්ම එමඟින් පෙන්නුම් කෙරුනි.

ප්‍රවාහනය හා ආහාර වියදම් ද ඉහල ගොස් තිබෙන අතර, පිව් ආයතනය අධ්‍යයනයට භාජනය කල වසරවලින් පලමු වතාවට මූලික අවශ්‍යතාවලට කරන මධ්‍ය ආදායම් ලාභීන්ගේ වියදම් ආදායම ඉක්මවූ පලමු වසර බවට 2014 පත් විය. 2104 වනවිට 2004ට සාපේක්ෂ ව මධ්‍ය ආදායම ලාභීන්ගේ සංඛ්‍යාව සියයට 13කින් වැටුනු අතර වියදම් සියයට 14කින් ඉහල නැගුනි.

සමාජ අර්බුදය පිලිබඳ මෙම හෙලිදරවු කිරීම් වලට පෙරාතුව, පොහොසතුන් හා දුප්පතුන් අතර ආයු කාලයේ වෙනස තියුනු ලෙස ඉහල යාමත්, දිලිඳු මැදිවියේ ඇමරිකානුවන්ගේ ආයු අපේක්ෂාව නාටකාකාර ව පහත වැටීමත්, තරුන හා මැදිවයස් සුදු ජාතික කම්කරුවන්ගේ මරන අනුපාතය මෙන් ම දශක ගනනක් පුරා අඩු වෙමින් තිබූ ලදරු මරන අනුපාතිකය යලි වැඩි වීමත් පෙන්නුම් කලේය.

විශේෂයෙන් ම ඔබාමා පරිපාලනය හා ඩිමොක්‍රටික් පක්ෂය වටා ගාල් වී සිටින නිල “වාමාංශික" දේශපාලනය ඇතුලු ව දේශපාලන සංස්ථාපිතයේ උදාසීනකම හා නොතැකීම මඟින් එවැනි කොන්දේසි හමුවේ නැඟී එන කෝපය හා ඉච්ඡාභංගත්වය තීව්‍ර කරයි.

ආර්ථික විද්‍යාඥ හා නිව් යෝක් ටයිම්ස් තීරු ලිපි රචක පෝල් ක්රුග්මන් සිකුරාදා පලකල ලිපියක් තුල මෙය ඉතා හොඳින් ප්‍රදර්ශනය කෙරුනි. “ඔබාමාගෙන් ඉගෙන ගැනීම" යන හිසින් යුතු හා “වැඩෙන සාර්ථකත්වය කෙසේ පෙනේ ද" යන විකාර කියා පෑමක් අන්තර්ගත කරගන්නා ලිපිය, ඩිමොක්‍රටික් පක්ෂයේ පදනම වන වරප්‍රසාදිත හා උද්ධච්ච ඉහල මධ්‍යම පන්තික ස්ථරවල දෘෂ්ටියට උදාහරනයක් සපයයි.

රැකියා මිලියන 10ක් නිර්මානය කිරීමට හා ප්‍රගතිශීලී සෞඛ්‍ය හා මූල්‍ය “ප්‍රතිසංස්කරන" ඇති කිරීමට හේතු වූ ඔබාමාගේ ආර්ථික හා සමාජ පිලිවෙත් ගැන ගයන මුලුමනින් ම වංක ප්‍රශස්තියේ දී ක්රූග්මන්, ඔබාමා යටතේ සමාජ අසමානතාව වාර්තාගත ව වර්ධනය වී තිබීම නො තකා හරියි. 1960 ගනන් හා 1970 ගනන්වල සියයට 8ක් වූ ජනගහනයේ පොහොසත්ම සියයට එක වෙත ගිය ජාතික ආදායමේ පංගුව අද වනවිට සියයට 20කටත් වැඩි වන අතර එම ක්‍රියාවලිය ඔබාමාගේ පිලිවෙත් විසින් වේගවත් කරනු ලැබින.

වාහන කර්මාන්තයට ඇප දීම හා ඩිට්‍රොයිට් නගර පාලනය බංකොලොත්බව ප්‍රකාශයට පත් කිරීම ආදිය ද වේතන හා විශ්‍රාම වැටුප් කප්පාදුව, ඔබාමාකෙයා මඟින් සෞඛ්‍ය ප්‍රතිලාභ අඩු කිරීම සහ මිලියන ගනනකගේ වැටුපට, අමතර වියදම් බර පැටවීම ද ලෙස වෝල් වීදය වෙත ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කර ඇති පරිපාලනයකට, “පොහොසතුන්ට බදු පනවා අවාසනාවන්තයන්ට උදවු කොට වෙලඳපොල අතිරික්තය පාලනය කිරීමට" ක්‍රියා කිරීම ගැන ක්රූග්මන් ප්‍රශස්ති ගයයි.

ක්රූග්මන් හා ඔහු වැනි අනෙක් අයගේ බොරු පිටුපසින් පවත්නේ, කම්කරු පන්තිය කෙරෙහි වන සතුරුකම හා අත්‍යන්ත වෛරය යි. වාර්ගික හා අනන්‍යතා දේශපාලනයේ ප්‍රතිගාමී ග්‍රස්තිය සමඟ එකපෙලට හිටිමින් “සුදු කම්කරු පන්තිය" හෙලා දැකීමේ රූපයෙන් “ලිබරල්" සංස්ථාපිතය හා එහි ව්‍යාජ-වාම සහකරුවන් විසින් මෙය පොදුවේ පෙන්නුම් කරනු ලැබේ. සෑන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරය වැරදි ලෙස සමාජවාදී උද්ඝෝෂනයක් යයි විශ්වාස කරමින් හෝ බලාපොරොත්තු වෙමින්, සුදු කම්කරුවන් එයට දක්වන පුලුල් සහයෝගය නො තකන ඔවුහු, වඩා පසුගාමී කොටස් ට්‍රම්ප් වටා රැලිවීම “සුදු වරප්‍රසාදිත්වයේ" ප්‍රකාශනයකට සමාන කරති.

දක්ෂිනාංශික නැෂනල් රිවීව් සඟරාවට ලියන කෙවින් විලියම්සන් මෙම සමාජ ස්ථරවල කම්කරු පන්ති විරෝධී දෘෂ්ටිය සුපිරිසුදු රූපයෙන් ඉදිරිපත් කරයි: “මෙම අක්‍රීය, පහල මට්ටමේ ප්‍රජාවන් සම්බන්ධ සත්‍යය නම් ඔවුන් සුදුසු වන්නේ මිය යාමට බව යි. ආර්ථික වශයෙන් ඍනාත්මක වත්කම් වන ඔවුන් සදාචාරාත්මක ව ආරක්ෂා කරනු ලැබීම දුෂ්කරය.... ධවල ඇමරිකානු පහත් පන්තිය දුෂ්ට, ආත්මාර්ථකාමී සංස්කෘතියකට වහල් වී සිටින අතර එහි ප්‍රධාන නිෂ්පාදනයන් වන්නේ මසුරු බව හා පාවිච්චි කරන ලද හෙරොයින් ඉඳිකටු ය."

2016 මැතිවරනය තුල හෙලිදරවු වන ඇමරිකානු ද්වි-පක්ෂ ක්‍රමයේ අර්බුදය පිටුපසින් පවත්නේ, යෝධ පන්ති ධ්‍රැවාන්තගත වීමක් හා කම්කරු පන්තියේ දේශපාලනික රැඩිකලීකරනයකි. ට්‍රම්ප් පිලිබිඹු කරන්නේ ඔහු ද කොටස්කරුවෙක් වන මූල්‍ය මාෆියාව ෆැසිස්ට්වාදී දේශපාලනය වෙත හැරීම යි. කම්කරු පන්තියේ සමහර කොටස්වලින් සහයෝගයක් දිනා ගැනීමට ඔහු සමත් වීමට මූලික හේතුව, ඔබාමාගේ හා ඩිමොක්‍රටික් පක්ෂයේ දුෂ්ට කම්කරු පන්ති විරෝධී පිලිවෙත් ය.

සෑන්ඩර්ස්ට සහයෝගය දීමට යොමු වන බොහෝ කම්කරුවෝ, ධනවාදයට එරෙහි අව්‍යාජ රැඩිකල් සමාජවාදී විකල්පයක් සොයමින් සිටිති. එහෙත් කම්කරු පන්තියේ සටන්කාමීත්වය හා රැඩිකලීකරනය වෙනුවට එම වර්ධනය විසින් ඉදිරිපත් කර තිබෙන අනතුරට පාලක පන්තියේ කොටසක් දක්වන ප්‍රතිචාරය පිලිබිඹු කරන වර්මොන්ට් සෙනට් සභිකයාගෙන් ඔවුන් එය සොයා නො ගනු ඇත. ඔහුගේ දැනුවත් ඉලක්කය, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ඉස්මතු වීම පූර්ව භංග කොට සමාජ විරෝධය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස ගාල් කිරීම මඟින් එහි ගෙල සිර කිරීම යි.

ලෝක යුද්ධයේ වැඩෙන තර්ජනය, උග්‍ර වන සමාජ අසමානතාව හා ආඥාදායකත්වය කරා තල්ලුවීම යන ඇමරිකානු වැඩ කරන ජනතාව මෙන් ම ලෝකයේ ම කම්කරුවන් ඉදිරියේ පවත්නා සැබෑ ප්‍රශ්න, එකදු අපේක්ෂකයෙක් හෝ බැරෑරුම් ආකාරයකින් සාකච්ඡාවට ගන්නේ නැත. යුද්ධයට හා අසමානතාවට විරුද්ධ කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලයේ කොටසක් ලෙස මෙම ප්‍රශ්න මැතිවරන උද්ඝෝෂනය තුලට ගෙන ආ යුතුය.

බැරී ග්‍රේ

Share this article: