ඇමරිකාව: සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරන උද්ඝෝෂනය නිවේදනය කරයි
වයිට් හා නිමුත්ට සහාය දෙන්න!

Socialist Equality Party announces presidential campaign
Support White and Niemuth in 2016!

2016 අප්‍රේල් 22

මැතිවරන වෙබ් අඩවියට පිවිසෙන්න: sep2016.com.

සමාජවාදී සමානතා පක්ෂය 2016 මැතිවරනයේදී සිය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ජෙරී වයිට් ද උප ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නීල්ස් නිමුත් ද තෝරා ගනියි. ඔවුහු ඇමරිකාවේ ද ලෝකය පුරා ද කම්කරු පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් වන සමාජවාදී, යුද විරෝධී හා ධනේශ්වර විරෝධී ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරති.

56 වන වියේ පසුවන ජෙරී වයිට් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඇමරිකානු කම්කරු පන්තිය පිලිබඳ සංස්කාරකය. ඔහු එක්සත් පාර්සල් සේවයේ වැඩ කරන අතර තුර නිව් යෝර්ක් සිටි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී වර්කර්ස් ලීගයට 1979දී බැඳුනේය. දශක හතරකට ආසන්න කාලයක් ලේඛකයෙක් හා කාර්යධරයෙක් ලෙස ජෙරී, කම්කරු පන්ති අරගලයන් තුල ප‍්‍රධාන ක‍්‍රියාකලාපයක් ඉටු කලේය. එසේම ඔහු 2008 හා 2012 වසරවල සසප ජනාධිපති අපේක්ෂකයා ද විය.

28 හැවිරිදි නීල්ස් නිමුත් විස්කොන්සින්හි කම්කරු පන්ති පවුලකට අයත් වන අතර විස්කොන්සින් ආන්ඩුකාර ස්කොට් වෝකර්ගේ වියදම් කප්පාදුවලට එරෙහි මහජන විරෝධතා අවධියේ සසප සාමාජිකයෙක් විය. නීල්ස් විස්කොන්සින් මිල්වෝකි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රෙව්දී උපාධිය ලැබීමෙන් පසුව ලෝසවෙඅ එක් විය. එහිදී ඔහු හැදෑරුවේ අප‍්‍රිකානු ඇමරිකානු ඉතිහාසයයි. ඔහු ඇමරිකාවේ සමාජ කොන්දේසි, කම්කරු පන්තියේ අරගල හා ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර ගැසීම පිලිබඳව බොහෝවිට ලියා ඇත.

2016 මැතිවරනය පැවැත්වෙන්නේ උග‍්‍ර වන ජාතික හා ජාත්‍යන්තර කොන්දේසි යටතේය. ගෝලීය මිලිටරි ගැටුමක සෙවනැල්ල මැතිවරනය වසාගෙන ඇත. ඇමරිකානු කම්කරුවන්ගෙන් අති මහත් බහුතරය තම ජීවන තත්වයේ අඛන්ඩ පිරිහීමක් අත් විඳිති. ජනගහනයේ පොහොසත්ම සියයට එක ආර්ථිකය පාලනය කරන අතර, බොහෝ ඇමරිකානුවෝ දෙකොන ගැටගසා ගැනීමේ අරගලයක යෙදී සිටිති. මිලියන ගනනක් අන්ත දුප්පත්කමට වැටී සිටිති. ලමුන්ගෙන් සැලකිය යුතු ප‍්‍රතිශතයක් කුසගින්නේ පසුවෙති.

යුද්ධය, දේශපාලන මර්දනය හා පිරිහෙන සමාජ කොන්දේසි හැරෙන්නට, ඩිමොක‍්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂ වලට ඇමරිකානුවන් අති බහුතරයක් වෙනුවෙන් දිය හැකි දෙයක් ඇත්තේ නැත. ඒවා, වෝල් වීදියේ බැංකු, මහා සමාගම්, පෙන්ටගනය හා ඔත්තු සේවාවන්ගේ පක්ෂය. නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරනයෙන් මේ කුමන පක්ෂයක් දිනන්නේ ද යන්න නොසලකා, ඊලඟ ආන්ඩුව, ඇමරිකානු ඉතිහාසයේ අන්ත ප‍්‍රතිගාමී, මර්දනකාරී හා ප‍්‍රචන්ඩ එකක් වනු ඇත.

සසප අපේක්ෂකයින් උද්ඝෝෂනය යොදාගනු ඇත්තේ, ධනවාදයට සමාජවාදී විකල්පය ඉදිරිපත් කිරීමට, කම්කරුවන්ගේ තරුනයින්ගේ දේශපාලන විඥානය නැංවීමට, ජාතික ස්වෝත්තමවාදයේ, වර්ගවාදයේ හා සංක‍්‍රමන විරෝධී උද්ඝෝෂනයේ සියලු රූපාකාරයන්ට එරෙහි වීමට, ඇමරිකාවේ ද ඇමරිකා දෙකේ ද ජාත්‍යන්තරව ද සියලු කම්කරුවන් එක්සත් කිරීමට හා කම්කරු පන්තිය එලඹෙන අරගලයන්ට සූදානම් කිරීමටය.

සසප මැතිවරන ක‍්‍රියාමාර්ගය මූලික ඉල්ලීම් තුනක් මත මාධ්‍යගතවේ:

1) ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි වනු! තුන්වන ලෝක යුද්ධය කාරා තල්ලුව නතර කරනු!

සසප උද්ඝෝෂනය, ඇමරිකාවේ යුද සැලසුම් පිලිබඳව නිල අපේක්ෂකයින් හා මාධ්‍ය තුල පවත්වාගෙන යන නිහඬතාවයේ කුමන්ත‍්‍රනය බිඳ හෙලන්නේය.

දැන් 15 වන වසරට එලඹෙන නිමක් නැති “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ”ප්‍රෝඩාකාරී කඩතුරාව යටතේ ඔබාමා, 2008 සිය මැතිවරන පොරොන්දු ඉවත දමා ඇත. ඔහු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ආධිපත්‍යය සුරැකීමේ බුෂ් පාලනයෙහි යුද පිලිවෙත්ම පුලුල් කර පවත්වාගෙන යයි. ඩ්‍රෝන් යුද උපක‍්‍රම පටන්ගැනීමත් සමග ධවල මන්ඳිරය, නිලධාරිවාදී ලෙස පෙලගස්වන ඝාතන සැලසුම් කරන මධ්‍යස්ථානය බවට පත් කර තිබේ. ලිබියාවේ, සිරියාවේ හා ඇෆ්ගනිස්ථානයේ මිලියන ගනන් මිනිසුන්, 2001 සිට ඇමරිකාව විසින් දියත් කරනු ලැබ ඇති යුද්ධයන්හිදී මරා දමා, තුවාල කර හෝ සරනාගතයින් බවට පත්කොට තිබේ.

ප‍්‍රාදේශීය යුද්ධ ගෝලීය ගැටුම් වලට තුඩු දෙයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය අධිකාරවත් ජාත්‍යන්තර තත්වයට මිලිටරිමය හෝ ආර්ථික වශයෙන් අභියෝග කිරීමක් ඉවසන්නේ නැත. වොෂින්ටනයේ “ආසියාවට හැරීම” ඇමරිකාවේ ගෝලීය අනසක පිලිගන්නා ලෙස චීනයට බල කිරීමේ අරමුනෙන් දැවැන්ත මිලිටරි මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ සමගම, මධ්‍යම ආසියාව තුල අනසක පැතිරවීමේ ඇමරිකානු අධිෂ්ඨානය රුසියාව සමග ගැටුම පුලුල් කරයි.

බෝල්ටික් කලාපයේ සිට දකුනු චීන මුහුද දක්වා පෙන්ටගනය විසින් අවුලුවන ලබන ඉවබව නැති ගැටුම්, පාලනයෙන් ගිලිහී ගොස් තාපන්‍යෂ්ටික යුද්ධයකට තුඩු දීමේ තර්ජනය මතුකර තිබේ. කෝටි සංඛ්‍යාත මිනසුන්ගේ ජීවිත බිලිගන්නා ගෝලීය යුද්ධය සඳහා සිදුවෙමින් තිබෙන සූදානම, බොරුවෙන් හා රහස් වලින් ආවරනය කොට ඇත. සසප උද්ඝෝෂනය කම්කරුවන් හා තරුනයින්, ඔවුන් මුහුනපා සිටින දැවැන්ත අන්තරාය පිලිබඳව දැනුවත් කරමින් බලගතු යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා පදනම දමනු ඇත.

2) දුප්පත්කම හා සමාජ අසමානතාව අවසන් කරනු!

ලෝකය පුරා ප‍්‍රකෝටි සංඛ්‍යාත ශ‍්‍රමිකයින්ගේ ශ‍්‍රමය සූරාකන සුපිරි ධනවතුන්ගේ පද්ධතිය අහෝසි කිරීම සඳහා සසප සටන් කරයි. සාධාරන ගෙවීමක් සහිත රැකියාවකට ඇති අයිතිය, ගුනාත්මක අධ්‍යාපනයක්, දැරිය හැකි නිවාස, සාර්වත‍්‍රික සෞඛ්‍ය සේවාවක්, ගෞරවනීය විශ‍්‍රාම දිවියක් හා සංස්කෘතිය වෙත ප‍්‍රවිෂ්ටය වැනි මූලික සමාජ අයිතීන් සුරක්ෂිත කිරීම පිනිස දැවැන්ත ධන සම්පත් යලි බෙදාහැරිය යුතු යයි අපි කියා සිටිමු.

2008 මූල්‍ය කඩාවැටීමෙන් වසර අටක් ඉක්ම යද්දී, ඇමරිකානු ජීවිතයේ ව්‍යසනකාරී යථාර්තය, “ආර්ථික ප‍්‍රකෘතිය” පිලිබඳ නිල ප‍්‍රකාශයන් සමග විසංවාදී වේ. පසුබෑමේ ගැඹුරුම තැනේ සිට නාමික විරැකියාව පහත වැටී ඇත ද ඒ, ප‍්‍රධානකොටම, මිලියන ගනන් ඇමරිකානුවන් ශ‍්‍රම බලකායෙන් ඉවත වැටීම නිසාය. පසුගිය දශකය තිස්සේ බිහිවී තිබෙන සියලු රැකියා, අනියම්, අර්ධකාලීන හෝ තාවකාලික ඒවාය.

අද සමාජ අසමානතාවය පෙර නොවූ විරූය. ඉහලම බිලියනපතියන් 20 දෙනා සතු ධනයේ පංගුව, පහතින් සිටින මිලියන 150ක් ඇමරිකානුවන්ගේ පංගුවට සමානය. ධනවතුන් කිව නොහැකි තරමේ ධනයක් සතුකරගන්නවා පමනක් නොව, වැඩි ආයු කාලයක් ද භුක්ති විඳිති. පොහොසත්ම හා දුප්පත්ම ඇමරිකානුවන් අතර ජීවිතාපේක්ෂාවේ පරතරය පිරිමින්ගේ වසර 15ක් හා ගැහැනුන්ගේ වසර 10කි.

තරුනයින් ඩොලර් ටි‍්‍රලියනයකට වැඩි ශිෂ්‍ය නය නය බරින් මිරිකී ඇත. මිලියන ගනන් මිනිසුන්ට ආහාර මුද්දර අහිමි කෙරේ. මිලියන ගනන් අත්විඳින්නේ, සිය විශ‍්‍රම සහන හා සෞඛ්‍ය සහන කපා හරිනු හෝ අහෝසි කෙරෙනුය. ආන්ඩුව රටේ මූලික යටිතල ව්‍යුහය හා රජයේ පාසැල් පද්ධතිය බිඳ වැටෙන්නට හැර තිබෙන අතර, ඩොලර් ටි‍්‍රලියන ගනන් දැවැන්ත මිලිටරි යාන්ත‍්‍රනය හා ඊනියා “දේශයේ ආරක්ෂාව” වෙනුවෙන් වැය කරයි. මිචිගන්හි ෆ්ලින්ට් හා තවත් නගරවල වැසියෝ, ඊයම් හා අනෙකුත් විෂ සහිත රසායනික කවලම් පානීය ජල අර්බුදයකට මුහුනදී සිටිති.

ෆෙඩරල් රජයේ අවම වැටුප් වැඩිකිරීම පිලිබඳ ඩිමොක‍්‍රටික් අපේක්ෂකයින්ගේ යෝජනා - හිලරි ක්ලින්ටන් යෝජනා කර ඇති පරිදි පැයක අවමය ඩොලර් 12 හෝ බර්නි සෑන්ඩර්ස්ගේ ඩොලර් 15 - වංක වනවා පමනක් නොව මුලුමනින්ම නොසෑහෙන්නේය. එය තවදුරටත් කම්කරු වැටුප් දරිද්‍රතා මට්ටමේ පවත්වාගෙන යාමකි. 2009 වසරේ පටන් අත්කරගෙන ඇති සියලු ආදායම් වලින් සියයට 95ක්ම ගලා ගියේ ජනගහනයේ ඉහලම සියයට එක අතට වීමේ කාරනය සමග ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම ධන මාරුව සිදුව ඇත්තේ ඔබාමා පාලනය යටතේය යන කාරනය, ඩිමොක‍්‍රටික් පක්ෂය හා වෘත්තීය සමිති නිලධරය තුල එහි සහචරයින් විසින් සිතාමතාම වසං කරනු ලබයි.

සසප ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන්නේ ධනවාදය නගා සිටුවීමට නොව සමාජවාදය ගොඩනැගීමටය. කම්කරු පන්තියේ සමාජ අයිතීන් සුරක්ෂිත කිරීම, ධනපති පන්තියේ උත්සුකයන්ට සෘජුවම පහර නොදී හා ආර්ථික ජීවිතය මත මූල්‍ය වංශාධිපතිත්වයේ අනසක බිඳ නොදමා කල නොහැකිය. මෙහි අර්ථය මහා සංගතයන්ගේ පෞද්ගලික අයිතිය අහෝසි කිරීමය. ඩොලර් බිලියන 10ට වැඩි සියලු පෞද්ගලික ව්‍යවසායන් කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට යටත් පොදු ආයතන බවට පත් කල යුතුය. අවශ්‍ය සියල්ලන්ට ගුනාත්මක රැකියා සම්පාදනය කිරීම පිනිස රට පුරා යටිතල ව්‍යුහය යලි ගොඩනැගීමේ පොදු වැඩසටහන් වලට ටි‍්‍රලියන ගනන් මුදල් සම්පාදනය කල යුතු යයි සසප කියා සිටී.

3) ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරනු! ආන්ඩුවේ ඔත්තු බැලීම් හා පොලිස් ප‍්‍රචන්ඩත්වය එපා!

“ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ආකෘතිය යටතේ අති මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් කෑලි වලට ඉරා දමා ඇත. එඩ්වඩ් ස්නෝඩන් විසින් ජාතික ආරක්ෂක ඒජන්සියේ සාපරාධී හා ව්‍යවස්ථා විරෝධී කටයුතු ලෝකයට හෙලිදරව් කිරීමේ තැන් පටන්, ඔත්තු අංශවල බලය සීමා කිරීම පිනිස කිසිවක් කර නැත. ඒ වෙනුවට ඇමරිකාවේ වේවා විදේශයක වේවා සෑම ත‍්‍රස්ත ප‍්‍රහාරයක්ම යොදාගෙන ඇත්තේ රාජ්‍යයට තව තවත් බලතල පැවරීම යුක්තිසහගත කිරීමටය.

ඇමරිකානු පුරවැසියන් ද ඇතුලු ලෝකය පුරා මිනිසුන්, කිසිදු නීතිමය ක‍්‍රියාවලියකින් තොරව, ඩ්‍රෝන් යානා උපයෝගී කර ගෙන මරා දැමීමේ අයිතිය ඔබාමා පාලනය විසින් ප‍්‍රකාශයට පත්කර තිබේ. දඬුවම් ලැබීමේ අවදානමෙන් තොරව වසරකට මිනිසුන් 1000ක් මරා දමන පොලිස් බල ඇනි සන්නද්ධ කිරීමට එය ආධාරවී ඇත. ස්නෝඩන්, චෙල්සි මැනිං, ජූලියන් අසාන්ජ් වැනි ඇමරිකානු පාලක පන්තියේ අපරාධ හෙලිකල අය, එක්කෝ සිරගතකර නැතිනම් දඩයම් කිරීම තුලින් රටින් පලා යාමට බලකර ඇත.

දැවැන්ත ඔත්තු යාන්ත‍්‍රනය සමග ඇමරිකාවේ දේශසීමා ඇතුලත සෘජු මිලිටරි බලය යොදා ගැනීම නිරීක්ෂනය කරන පෙන්ටගනයේ උත්තර ආඥාපතිත්වය විසුරුවා හල යුතුය. කම්කරු පන්තියේ අයිතීන් හා අවශ්‍යතා මත වඩ වඩාත් ම්ලේච්ඡ ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පෙනී සිටින යෝධ සංගත හා බැංකුවල පාලනයට නතුව සිටින පාලක පන්තිය විසින් අනවනු ලබන හා තීන්දු කරනු ලබන ආර්ථික පද්ධතියක්, අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග පෑහෙන්නේ නැත.

ද්වි පක්ෂ ක‍්‍රමයෙන් කැඩෙනු!

සාමය, සමානතාවය හා ප‍්‍රජාතන්ත‍්‍රය සඳහා සටන, ධනේශ්වර ක‍්‍රමයට එරෙහි සටනකින් වෙන් කල නොහේ. ධනවාදය විසින් ගෝලීය ආර්ථිකය, සාපරාධී මූල්‍ය වංශාධිපතිත්වයකට යටත් කර ඇත. කතිපයාධිකාරය, ප‍්‍රධාන පක්ෂ දෙක ද දේශපාලන ක‍්‍රමය ද පාලනය කරයි. සිය අයිතීන් රැකගැනීමට නම් කම්කරුවන්ට තමන්ගේම පක්ෂයක් අවශ්‍ය කෙරේ.

2016 මැතිවරන ව්‍යාපාරය ඇමරිකාවේ ද්වි පක්ෂ ක‍්‍රමයේ ගැඹුරු අර්බුදය ද ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආන්තික ස්වභාවය ද නිරාවරනය කර තිබේ.

රිපබ්ලිකානුවන්ගේ පැත්තෙන්, ප‍්‍රතිරූපය හා ඉල්ලීම් අතින් සුවිශේෂී ෆැසිස්ට් ලක්ෂන දරන ඩොනල්ඩ් ට‍්‍රම්ප් අපේක්ෂකයෙක් ලෙස මතුවී ඒම, කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවුමකි. මුස්ලිම් වරුන් හා සංක‍්‍රමනික හිස්පැනික් සම්භවයක් සහිත අයට විරුද්ධව ට‍්‍රම්ප්ගේ වර්ගවාදී දඩයම් පිනිස වන හඬ නැගීම්වල අරමුන, කම්කරුවන් එකිනෙකාට විරුද්ධව බෙදා වෙන්කිරීම හා වෝල් වීදියේ අනට විරුද්ධ සියල්ලන්ට විරුද්ධව ප‍්‍රචන්ඩත්වය උසිගැන්වීමේ කොන්දේසි නිර්මානය කිරීමයි.

“ඇමරිකාව යලිත් ශ්‍රේෂ්ඨත්වයට පත්කිරීම” සඳහා කෙරෙන ට‍්‍රම්ප්ගේ කැඳවුම, ප‍්‍රතිගාමී මනෝ විකාරයකි. සැබෑව නම් ඇමරිකානු ධනවාදය ගැඹුරු අර්බුදයක ගිලී සිටින බවයි. පාලක පන්තිය උත්සාහ කරන්නේ, ඇමරිකානු ධනවාදයේ දිගු කාලීන ආර්ථික පරිහානිය ජය ගැනීමේ ආධාරකය ලෙස මිලිටරි බලය යොදාගැනීමටය. මෙහිදී ට‍්‍රම්ප්ගේ අභිමතය වන්නේ, විදේශයේදී වඩාත් පුපුරන සුලු යුද්ධයේ පූර්විකාව වනු ඇති ජාතිකවාදය උසිගැන්වීමේ විසකුරු රූපාකාරය වන “මහා ප‍්‍රාකාරයක්” ඉදිකිරීමට පියවර ගැනීමයි.

ට‍්‍රම්ප්ගේ ප‍්‍රධාන තරඟකරුවා වන ටෙක්සාස් සෙනේට් සභික ටෙඩ් කෘස්, ප‍්‍රතිගාමිත්වයෙන් අඩු අයෙක් නොවේ. ඔහු ෆැසිස්ට්වාදී දේශපාලනයේ තමන්ගේම වර්ගය, ක‍්‍රිස්තියානි මූලධර්මවාදී පදනම් මත ඉදිරියට ගෙන යයි. කව්රු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කල ද රිපබ්ලිකන් පක්ෂය, එහි ඉතිහාසයේ අතිශයින්ම දක්ෂිනාංශික උද්ඝෝෂනය ගෙන යනු ඇත.

දේශපාලන සංස්ථාපිතය කෙරේ පල වන ජනතා විරුද්ධත්වය හා සතුරුකම ගසා කමින් එය දක්ෂිනාංශික දිසාවකට යොමුකිරීමට හැකිවී ඇත්තේ, නිල “වාම” දේශපාලනයේ ස්වභාවය නිසාය. මිලිටරිවාදයට හා කප්පාදුවට කැපවී සිටින ඩිමොක‍්‍රටික් පක්ෂය, රිපබ්ලිකානුවන්ට නොඅඩු ලෙසින් වෝල් වීදියේ, මිලිටරි ඔත්තු සේවාවන්ගේ දේශපාලන මෙවලමක් බවට පත්ව තිබේ.

තරඟයේ පෙරමුන ගෙන සිටින, ඩිමොක‍්‍රටික් අපේක්ෂිකාව විය හැකි හිලරි ක්ලින්ටන්, පවතින තත්වයේ දේශපාලන පුද්ගලාරෝපනය වන්නේය. ඇය හා හිටපු ජනාධිපතියෙක් වන ඇගේ ස්වාමි පුරුෂයා අභ්‍යන්තර දේශපාලන ගනුදෙනු හා දූෂනය තුලින් වාසනාව අත්කරගෙන තිබේ. රටේ පලමු කාන්තාව වශයෙන් ක්ලින්ටන්, කම්කරු පන්තියට දුර දිග යන ප‍්‍රහාර එල්ල කල පාලනයක කොටසක් විය: නිව් යෝර්ක් සෙනේට් සභික වශයෙන් ඇය, ඉරාක යුද්ධයට සහාය දුන් අතර වෝල් වීදියේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටියාය: රාජ්‍ය ලේකම් වශයෙන් ඇය, ලිබියානු මැදිහත්වීම සංවිධානය කරමින්, සිරියාවේ සිවිල් යුද්ධය අවුලුවමින් නිමක් නැති තවත් අපරාධ වලට ද හවුල් විය.

වර්මොන්ට් සෙනේට් සභික බර්නි සෑන්ඩර්ස්ට පලවන පුලුල් මහජන සහායේ පදනම ප‍්‍රධානකොටම, ඔහු “ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදියෙක්” ලෙස පෙනී සිටීමයි. ප‍්‍රාථමික ඡන්ද විමසුම් වලදී ඔහු ලැබූ අනපේක්ෂිත ජයග‍්‍රහන මාලාව පෙන්නුම් කලේ, ධනවාදයට විකල්පයක් සඳහා කම්කරුවන් හා තරුනයින් අතර පවතින දැවැන්ත අභිලාෂයයි. ඔහුට පලවූ සහයෝගයේ පරිමාව, “සමාජවාදියෙක්” බව කියාගන්නා කිසිවෙකුටත් ශ‍්‍රාවකත්වයක් නැත්තේය යන ඇමරිකානු දේශපාලනයේ නිල කතාන්තරය පුපුරවා හැරියේය.

කෙසේ වුවත් සිය දිගු දේශපාලන චාරිකාව තුල සෑන්ඩර්ස්, ඔහු සමාජවාදියෙක් මෙන්ම දේශපාලන සංස්ථාපිතයේ විරුද්ධවාදියෙක් හෝ නොවන බව පෙන්නුම් කර තිබේ. නාමිකව “ස්වාධීන” ලෙස පෙනී සිටියදී පවා ඔහු ඩිමොක‍්‍රටිකයින් සමග සහයෝගී වූ අතර ඔබාමා පාලනයට දැඩි ලෙස සහාය දැක්වීය. ඔහු ධනවාදය හා ඇමරිකානු අධිරාජ්‍යවාදය ආරක්ෂා කල අතර ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වීමට හේතුව මෙක්සිකානු, චීන හා අනෙකුත් රටවල කම්කරුවන් යයි පෙන්වීමට උත්සාහ කරමින් ආර්ථික ජාතිකවාදය ඉස්මතු කලේය.

සෑන්ඩර්ස්ගේ ප‍්‍රධාන භූමිකාව, “සමාජවාදියෙක්” ලෙස තමාගේ ව්‍යාජ අක්ත පත‍්‍රය යොදා ගනිමින්, ද්වි පක්ෂ ක‍්‍රමය කෙරෙහි පලවන කම්කරුවන්ගේ හා තරුනයින්ගේ විරුද්ධත්වය සමහන් කිරීම හා එය ඩිමොක‍්‍රටික් පක්ෂයේ අත යටට හරවා යැවීමය. “බලාපොරොත්තුව” හා “වෙනස” පොරොන්දු වෙමින් බලයට පැමිනි ඔබාමා පාලනයේ අත්දැකීම පෙන්නුම් කර ඇත්තේ, සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ මෙවලමක් ලෙස ඩිමොක‍්‍රටික් පක්ෂයේ ක‍්‍රියාකලාපයයි. වෘත්තීය සමිතිවල ආධාරය ද ව්‍යාජ වාම, ඉහල මධ්‍යම පන්තික කොටස්වල සහාය ද ඇතිව ඩිමොක‍්‍රටිකයෝ, තරයේම දක්ෂිනාංශික හා යුදවාදී පිලිවෙතක්, පුහු කයිවාරු හා වර්ගවාදී ලිංගිකත්වය හා අනන්‍යතා දේශපාලනයේ විවිධ රූපාකාරයන් සමග බද්ධ කිරීමේ භාවිතයක යෙදී ගත්හ.

ඔහුගේ සමහර දේශපාලන ආධාරකරුවන් ඉල්ලා සිටින පරිදි සෑන්ඩර්ස් “ස්වාධීන” උද්ඝෝෂනයක් ගෙන ගිය ද එයින් ඔහුගේ ව්‍යාපාරයෙහි ස්වභාවය වෙනස් නොවනු ඇත. ඔහුගේ ක‍්‍රියාමාර්ගය පදනම්ව ඇත්තේ, ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කිරීමත් කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයකට විරුද්ධ වීමත් මතය.

නාමිකව “ස්වාධීන” උද්ඝෝෂනයක් ගෙන යන හරිත පක්ෂයට ද එය ගැලපේ. එය ධනපති පක්ෂයක් වන අතර ඩිමොක‍්‍රටිකයින්ට බාහිරෙන් බලපෑම් දමන කන්ඩායමක් ලෙස වැඩ කරයි. හරිත පක්ෂ ආන්ඩු වලට සම්බන්ධවූ සෑම අවස්ථාවකම, වඩාත්ම කැපී පෙනෙනුයේ ජර්මනියේදීය, දේශීය වශයෙන් කම්කරුවන්ට පහර එල්ල කිරීම ද විදේශයේදී අධිරාජ්‍යවාදී යුද්ධවලට සහාය දීම ද යන පාලක පන්තියේ පිලිවෙතට අනම්‍ය ලෙස පිටුබලය දුන්හ.

කම්කරු පන්තියට ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්

වයිට් හා නිමුත් සිය උද්ඝෝෂනයේදී ඇමරිකාවේ පමනක් නොව ලෝකය පුරාම කම්කරුවන් ආමන්ත‍්‍රනය කරනු ඇත. ඇමරිකාව තුල සිදුවන දේහි ගෝලීය ඇඟවුම් පවතියි. ඇමරිකානු පාලක පන්තියට එරෙහි අරගලය ගෙනයා හැක්කේ ජාත්‍යන්තර අරගලයක් ලෙස පමනි. රටක් රටක් පාසා ඇත්තේ ද ඇමරිකාව තුල පවතින එම කොන්දේසිමය. 2011 ඊජිප්තුවේ විප්ලවවාදී සිදුවීම්වල පටන් ඉන්දියාවේ හා චීනයේ මහජන වැඩවර්ජන ද ප‍්‍රන්සය තුල මෑතකදී හටගත් හදිසි නීතියට හා ප‍්‍රතිගාමී කම්කරු නීති වලට එරෙහි විරෝධතා දක්වා ද හටගත් පුපුරන සුලු සමාජ කැලඹීම් වලට, ඒවා දැනටමත් ගමන්කර ඇත.

සිය උද්ඝෝෂනයේදී කම්කරු පන්තියේ සියලු කොටස් පොදු අරගලයක් තුල එක්සත් කිරීමට සසප සටන් වදියි. අපගේ ව්‍යාපාරය, කම්කරුවන් එකිනෙකාට විරුද්ධව පිහිටුවන, පාලක පන්තිය විසින් යොදාගන්නා සියලු ආකාරයේ ජාතිකවාදය, ස්වෝත්තමවාදය හා ස්වකීයවාදයට විරුද්ධ වෙයි.

ඇමරිකාව තුල රැඩිකලීකරනයේ වැඩෙන සලකුනු පවතී. එක්සත් මෝටර් රථ කම්කරු සමිතියේ විකුනා දැමීමේ කොන්ත‍්‍රාත් වලට එරෙහිව පසුගිය වසරේ හටගත් මෝටර් කම්කරුවන්ගේ කැරැල්ල ද වර්තමානයේ වෙරිසොන් කම්කරුවන්ගේ වැඩවර්ජනය ද වැනි. ඇමරිකානු කම්කරුවෝ වඩ වඩාත් දේශපාලනය වෙත හැරෙමින් තමන් මුහුනපා සිටින තත්වයට ඉක්මන් හා රැඩිකල් විසඳුම් බලාපොරොත්තු වෙති. ලෝකය පාලනය කිරීමට අදිටන්කොට සිටින පාලක පන්තිය, තමන්ගේ නිවසම පාලනය කරගත නොහැකි බව අත්දකිමින් සිටිති.

සසප මැතිවරන උද්ඝෝෂනයේ මූලික අරමුන සමාජවාදී පිලිවෙත් සඳහා සහයෝගය ගොඩනැගීමයි. ඉදිරි මාවතක් සොයන කම්කරුවන් හා තරුනයන් ඇමතීම හා ඔවුන් උගන්වා ගැනීමයි. බෙහෝ දෙනෙක් සමාජවාදය කුමක් ද යන ප‍්‍රශ්නය නැගීමට පටන්ගෙන ඇත. අපගේ උද්ඝෝෂනය තුල මේ ප‍්‍රශ්නයට පිලිතුර සපයනු ඇත. අව්‍යාජ සමාජවාදී දේශපාලනය හා විවිධාකාර ව්‍යාජ සමාජවාදය අතර බෙදුම්කඩනය අඳිනු ඇත.

මෙම උද්ඝෝෂනයට එක්වන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. සමාජවාදය සඳහා ක‍්‍රියාශීලී සටනකට පිවිසීමට දැන් වේලාවයි! මෙය හුදෙක් ඡන්ද එකතුකිරීමේ උද්ඝෝෂනයක් නොවන්නේය. මෙය වනාහි ඔවුන් දැනටමත් ඇතුල් වෙමින් සිටින අරගලයන් සඳහා කම්කරුවන් හා තරුනයින් සූදානම් කිරීමේ ව්‍යායාමයකි.

ඔබට මේ සඳහා හවුල් වීමේ විවිධ මාර්ග තිබේ. අපගේ විද්‍යුත් තැපැල් පුවත්පත සඳහා ඉල්ලුම් කරන්න. ඔබගේ පලාතේ මැතිවරන කමිටු ගොඩනගමින් උද්ඝෝෂනයට සම්බන්ධ වන්න. ඔබගේ පලාතේ රැස්වීමක් සංවිධානය කරන්න. හැකි තැන්වලදී අප ඡන්ද පත‍්‍රිකාවට ඇතුලු කිරීමට උදව් කරන්න. ඔබගේ මිතුරන් හා සේවා ස්ථානයේ සහකරුවන් අතර උද්ඝෝෂනය දියත් කරන්න. හැකිතාක් ශක්තිමත් ලෙස සසප උද්ඝෝෂනය ගෙන යාමට ප‍්‍රදානයන් කරන්න.

ඉදිරිය වෙනුවෙන් නව මාවතක් ගොඩනැගිය යුතුය! තම රැකියා හා ජීවන තත්වයන් සුරක්ෂිත කර ගැනීමට සටන් කරන සියලු කම්කරුවන්ට ද නය බරෙන් මිරිකෙමින් සිටින, අනාගතයක් නොදකින තරුනයින්ට ද නිමක් නැති යුද්ධයෙන් හෙම්බත්ව සිටින මිලියන සංඛ්‍යාත ජනතාවන්ට ද අප කියන්නේ: මෙය ඔබගේ උද්ඝෝෂනයයි! අදම ඊට හවුල් වන්න!

මෙම උද්ඝෝෂනයට එක්වන්න, අද දින මැතිවරන වෙබ් අඩවියට පිවිසෙන්න: sep2016.com.

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය

Share this article: