රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස කෘතිය හඳුන්වාදීමේ දේශන සඳහා සසප සසජාතශි උද්ඝෝෂනය කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 අපේ‍්‍රල් 25

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති සහ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් රචිත රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස කෘතියේ සිංහල පරිවර්තනය හඳුන්වාදීමේ දේශන දෙකක් පසුගිය දා මාතර දී සහ පේරාදෙනියේදී පැවැත්වුනි.

අපේ‍්‍රල් 4 දා මාතර නූපේ සනස ශාලවේ පැවැත් වූ දේශනය සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් සංවිධානය කෙරුනු අතර අපේ‍්‍රල් 7 දා පේරාදෙනිය සරසවියේ පැවති අනෙක් දේශනය සංවිධානය කෙරුනේ එහි දර්ශන විද්‍යා සංගමයෙනි.

දේශනවලට පෙරාතුව, නෝර්ත් ගේ කෘතියේ අන්තර්ගතය සහ එම දේශනවලට සහභාගිවීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් සතියක පමන කාලයක් පුරා රුහුනු විශ්ව විද්‍යාලය තුල සහ මාතර නගරයේ ද, පේරාදෙනිය විශ්ව විද්‍යාලය තුල සහ ඒ අවට ද, සසප සහ සසජාතශි සාමාජිකයෝ, කම්කරුවන්, තරුනයන් සහ සිසුන් අතර තියුනු උද්ඝෝෂනයක යෙදී ගත්හ. පහත පලවන්නේ එම උද්ඝෝෂන පිලිබඳ වාර්තාවකි.

රුහුනු විශ්ව විද්‍යාලය තුල උද්ඝෝෂනය

විශ්ව විද්‍යාලය තුල පැවති ජල අර්බුදය හේතුවෙන් සිසුන්ට නේවාසිකාගාර වලින් පිටව යන ලෙස පරිපාලනයෙන් දැනුම් දී තිබුනු අතර අධ්‍යයන කටයුතු ක‍්‍රියාත්මක නොවුනි. එසේ වුවද ශිෂ්‍ය කන්ඩායම් කිහිපයක් සමග සහ ආචාර්යවරු කිහිපදෙනෙකු සමග ග‍්‍රන්ථය පිලිබඳව සාකච්ඡා කිරීමට උද්ඝෝෂකයන්ට හැකියාව ලැබුනි.

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස යන ග‍්‍රන්ථ නාමයම බොහෝ සිසුනට කුතුහලය දනවන්නක් විය. 1914 පලමු ලෝක යුද්ධයෙන් ඇරැඹි යුගය ලෝක යුද්ධයන්ගේ සහ විප්ලවයන්ගේ කාල පරිච්ඡේදයක් බවත් එය මෙතෙක් නිමා නොවී ඇති බවත් ඉන් අර්ථ ගැන්වෙන බව සසප සහ සසජාතශි සාමාජිකයෝ පැහැදිලි කලහ. ඒ සමගම යුද්ධයට සහ සමාජ කාලකන්නිභාවයට එරෙහිව මානව වර්ගයාට ඇති එකම විසඳුම ලෝක සමාජවාදී විප්ලවය බවත් 1917 රුසියානු විප්ලවය යනු මානව වර්ගයා ඒ සඳහා තැබූ පලමු පියවර බවත් ඔවුහු පැහැදිලි කලහ.

දැනටමත් තුන්වන ලෝක යුද්ධය ඇරැඹී ඇති බවත් චීනයට සහ රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් කරගෙන යන ප‍්‍රකෝපකරනයන් හේතුවෙන් කවර හෝ මොහොතක ප‍්‍රධාන න්‍යෂ්ටික බලයන් එකිනෙකාට අභිමුඛ වීමෙන් න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලයාමේ තර්ජනය මානව වර්ගයා ඉදිරියේ ලඹ දෙන බව පැහැදිලි කල එක් සාකච්ඡාවකදී ජීව විද්‍යා අංශයේ රනසිංහ නම් වූ ශිෂ්‍යයා මෙසේ පැවසීය.

“සැබැවින්ම ලෝක යුද්ධයක් පිලිබඳ මේ සා පරිමාන තර්ජනයක් තිබෙන බව මා දැනගෙන සිටියෙ නෑ. මේ පිලිබඳව විශ්ව විද්‍යාලය තුලත් ඉන් පිටතත් කිසිම සාකච්ඡාවක් කෙරෙන්නෙ නෑ. ශී‍්‍ර ලංකාවේ හා අන්තර්ජාල මාධ්‍යයන්හි ඒ පිලිබඳව කිසිවක් පල වෙන්නේ නෑ. මා මෙතෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිස නෑ. අද සිට එයට පිවිසිය යුතුයැයි මා සිතා ගත්තා. ඒත් ලංකාව වැනි කුඩා රටක් තුල ගොඩනැගෙන සංවිධානයක් ලෝක යුද්ධයක් නතර කරන්නෙ කොහොමද සහ ලෝක පරිමාන විප්ලවයක් කරන්නේ කොහොමද කියන ප‍්‍රශ්නය මට තියෙනවා.”

තමන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නමැති ලෝක කම්කරු පන්තික පක්ෂය නියෝජනය කරන බවත් එම ලෝක පක්ෂය තනි ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයකින් මෙහෙයවෙන බවත් උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ.

එක් උද්ඝෝෂකයෙක් මෙසේ පැවසීය: “නිමානොවූ විසිවන සියවස” ග‍්‍රන්ථයමත් ව්‍යාපාරයේ ජාත්‍යන්තර ස්වාභාවයට හොඳ නිදසුනක්. මෙහි අන්තර්ගත වන්නේ යුද්ධයට සහ එහි මූලය වන ධනේශ්වර පද්ධතියට මෙන්ම කම්කරු පන්තිය තුල කි‍්‍රයාත්මක වූ ඔවුනගේ නියෝජිතයන්ටත් එරෙහිව, ලෝක මාක්ස්වාදී ව්‍යාපාරය ප‍්‍රමුඛ ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් විසිවන සියවස පුරා ගෙනයන ලද අරගලයේ මූලෝපායික අත් දැකීම්. එවන් ලෝක ව්‍යාපාරයක් ගොඩ නැගීමට මේ පාඩම් අත්‍යවශ්‍යයි.”

ඉන්පසු විද්‍යාපීඨ පරිශ‍්‍රය තුලදී හමුවූ ශිෂ්‍ය කන්ඩායම් දෙකක් සමඟ සසප සහ සසජාතශි සාමාජිකයෝ දීර්ඝ ලෙස සාකච්ඡාවේ යෙදී ගත්හ. එක් ශිෂ්‍යයෙකු පවසා සිටියේ ඔහුට හමුව ඇති ව්‍යාපාර අතරින් “ලෝක යුද තර්ජනයක් පිලිබඳව මෙවැනි අධ්‍යාපනයක් ලබාදෙන එකම ව්‍යාපාරය ඔබ පමනක්” බවයි. අනෙකුත් ශිෂ්‍යයෝ එය අනුමත කලහ.

සසප සහ සසජාතශි සාමාජිකයෝ විද්‍යාපීඨ ශිෂ්‍ය කන්ඩායමක් සමඟ සාකච්ඡා කරමින්

තවත් ශිෂ්‍යයෙකු කියා සිටියේ “විශ්වවිද්‍යාල වැනි බුද්ධි ජීවින් වැඩිපුර සිටින ස්ථානවල මෙවන් සාකච්ඡා වැඩි වැඩියෙන් ගොඩනැගිය යුතු” බචයි.

එම පීඨයේ ආපනශාලාවක් තුලදී 20 දෙනෙකුගෙන් පමන සමන්විත වූ සිසු පිරිසක් සමග කරන ලද සාකච්ඡාවකදී ශිෂ්‍යයෙකු මෙසේ පැවසීය: “ලෝක යුද්ධය අපට දුරස්ථ කාරනාවක්. ඒක විසඳීමත් දුරදිග යන වැඩක්. ශිෂ්‍යයන්ගේ කාර්යය වන්නේ ශිෂ්‍යයන්ට වඩා සමීප අධ්‍යයන සුභසාධන ආදී ගැටලුවලට මැදිහත් වීමයි.”

2015 ජනවාරි 8 දා ශී‍්‍ර ලංකාවේ සිදුවූ තන්ත‍්‍ර මාරුව වොෂින්ටනය අත යොදා සිදු කරන ලද්දක් බවත් ඉන්පසු ගතවී ඇති කාලය තුල ශී‍්‍ර ලංකාව එක්සත් ජනපදයේ යුද මූලෝපායට වඩවඩාත් ඒකාග‍්‍ර කර ගනිමින් සිටින අයුරු පැහැදිලි කරමින් ලෝක යුද්ධය පිලිබඳ කාරනාව දුරස්ථ නොවන බවත් එය ගෙමිදුලටම පැමින ඇති බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

දෙවන වසරේ සිසුන් දෙදෙනෙකු සමඟ සාකච්ඡා කරන සසප සාමාජිකයෙක්

නෝර්ත් ගේ කෘතියෙන්ම උපුටා දක්වමින් අධිරාජ්‍යවාදී යුද්ධයන් පැන නැගීමට හේතුව ‘භූගෝලීයකෘත නිශ්පාදනය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද නිශ්පාදනයේ සාමාජයීයකරනය සහ පුද්ගලික දේපොල මත පදනම් වූ ලාභය සඳහා කෙරෙන නිශ්පාදනය අතර ද පවත්නා ඓතිහාසික පරස්පර විරෝධතාවන්’ බව උද්ඝෝෂකයන් විස්තරාත්මකව පැහැදිලි කලවිට එක් ශිෂ්‍යයෙකු පැවසුවේ ‘යුද්ධය සම්බන්ධයෙන් මෙවන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක්’ මින් පෙර අසා නොතිබූ බවයි.

කෙසේ වෙතත්, ‘ලෝක යුද්ධය පැන නැගීමට හේතුවන කාරනා සම්බන්ධයෙන් ඔබ පැහැදිලි කල හේතු වලට එකඟ වුවත් අපට වඩාත් දැනෙන්නේ සිසුන් හැටියට අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාරය හේතුවෙන් අපි එදිනෙදා මුහුන දෙන ගැටලු වලටයි. ඒවා සම්බන්ධයෙන් ඔබේ විසඳුම කුමක්ද?’ යනුවෙන් ‘යුද්ධය දුරස්ථ දෙයක්’ බව පැවසූ සිසුවා යලි ප‍්‍රශ්න කලේය.

අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධනයන්ට මෙන්ම කම්කරු-පීඩිත මහජනයාගේ ජීවන කොන්දේසි වලට ද ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට ද එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ගේ මූලය ද ඉහත දැක් වූ ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික පරස්පර විරෝධයන් බව සසප සහ සසජාතශි සාමාජිකයෝ පෙන්වා දුන්හ.

සසජාතශි සාමාජිකයෙක් මෙසේ පැවසීය: ‘ලාභ රේට්ටු කඩා වැටීමේ ප‍්‍රවනතාව ධනේශ්වර නිශ්පාදනයේ හදවතේම නිදන් ගතව පවත්නා දෙයක්. යුද්ධය සහ කම්කරු-පීඩිත මහජනතාවට එරෙහි ඉහත දැක්වූ ප‍්‍රහාර ලාභ රේට්ටු කඩා වැටීමට ධනේශ්වරය දක්වන ප‍්‍රතිචාරයයි. ඒනිසා ඔබ කියන එදිනෙදා ප‍්‍රශ්න වලට විසඳුම වන්නේ ද ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීමට සටන් කිරීමමයි.’

එම වැඩපිලිවෙලින් ශිෂ්‍යයන් ඈත් කොට අවමංගත කිරීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ගෙනයන බලපෑම් දැමීමේ දේශපාලනයේ බංකොලොත්බව සහ ප‍්‍රතිගාමීත්වය පැහැදිලි කරමින් ඉහත සිසුවාගේ ප‍්‍රශ්නයමත් එම දේශපාලනයේ ප‍්‍රතිඵලයක් බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

සසප සහ සසජාතශි සාමාජිකයෝ තම ලෝක ව්‍යාපාරයේ මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය කේන්ද්‍ර කර ගනිමින් මැයි 1 දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දිනය පිලිබඳව සිසුන් දැනුවත් කරමින් එයට සහභාගිවීමේ වැදගත්කම ද පැහැදිලි කලහ. සමහර සිසුහු තමා අත තිබූ පරිගනක යන්ත‍්‍ර වලින් එම වෙබ් අඩවියට පිවිස ‘ධනවාදය හා අධිරාජ්‍යවාදය අවසන් කරනු! යුද්ධයට, ආඥාදායකත්වයට සහ දුප්පත්කමට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තරව එක්සත් කරනු! සාමය, සමානාත්මතාවය සහ සමාජවාදය සඳහා!’ යන සටන් පාඨ යටතේ පැවැත්වෙන රැලිය පිලිබඳ සටහන කියවන්නට පටන් ගත්හ. ඉන් සමහරු රැලිය ශ‍්‍රවනය කිරීම සඳහා ලියාපදිංචි වන බවද පැවසූහ.

මේ අතරතුර විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් කීප දෙනෙකු පැමින ‘මෙවන් උද්ඝෝෂනයක් විශ්වවිද්‍යාල භූමිය තුල පැවැත්වීමට අවසර ලබාගත්තේද?’ යනුවෙන් සසප සාමාජිකයින්ගෙන් විමසා සිටියහ. දේශපාලන ව්‍යාපාර අවසර ලබාගෙන විශ්වවිද්‍යාල තුලට ඇතුලුවිය යුතුය යන්න විශ්ව විද්‍යාල පරිපාලනය සහ රාජ්‍යය විසින් එම ව්‍යාපාරයන්හි දේශපාලන වැඩකටයුතු වැලැක්වීම සඳහා පනවා ගෙන ඇති තහංචියක් බවත් තම ආධිපත්‍යය පවත්වා ගෙන යාම සඳහා අවිශිබමය එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තහංචිය යහමින් යොදා ගන්නා බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

‘එම තහංචිය මගින් අනෙකුත් දේශපාලන පක්ෂවල අයිතියට ප‍්‍රහාරයක් එල්ලවනවා පමනක් නොව මෙම ඓතිහාසික සත්‍ය දැනගැනීමට ශිෂ්‍යයන්ට ඇති අයිතියද ඉන් උල්ලංඝනය වෙනවා’ යි උද්ඝෝෂකයන් පැවසූ විට එයට අනෙකුත් සිසුන්ගෙන් ලැබුනේ සාධනීය ප‍්‍රතිචාරයකි.

කථිකාචාර්යවරුන් සමග කල සාකච්ඡාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස කෘතියේ පිටපත් හතරක් අලෙවි වූ අතර පිටපත් 10 ක් පුස්තකාලයට සපයන ලෙස ශාස්ත‍්‍ර පීඨයේ අධිපති මහාචාර්ය එස්. වාව්වගේ ඉල්ලා සිටියේය.

පේරාදෙනිය සරසවිය තුල උද්ඝෝෂනය

ගලහ මංසන්ධිය, කෘෂි විද්‍යා පීඨය හා පශු වෛද්‍ය පීඨය ආශ‍්‍රිතව හා අඟුනාවල, රජවත්ත හා මීවතුර යන ප‍්‍රදේශවලදී සිසුන් සමග බෙහෙවින් සක‍්‍රීය අදහස් හුවමාරුවකට මඟ පෑදුනි.

මීවතුර ප‍්‍රදේශයේ දී සසප කන්ඩායම හා දිගු කතාබහකට එක් වූ ඉංජිනේරු පීඨයේ සිසුහු තිදෙනෙක් ලෝක ආර්ථිකයේ ගැඹුරු වන අර්බුදය හමුවේ ආර්ථික වර්ධනය සඳහා බොහෝ ධනේශ්වර චින්තකයින් හා ජනමාධ්‍ය විසින් පුනරුච්චාරනය කරනු ලබන “ජාතික වැඩපිලිවෙල” පිලිබඳ දෘෂ්ටිවාද හා ජාතික ආර්ථික ව්‍යාපෘතිවල අසාර්ථකත්වය පිලිබඳ සාකච්ඡා කලහ.

යුද විරෝධී ව්‍යාපාරය සමාජවාදී ඉදිරිදර්ශනයකින් යුතු ව කම්කරු පන්තිය මත පදනම් විය යුතු බව සඳහන් කෙරුනු කල්හි, ශිෂ්‍ය ව්‍යාපාරය කුමන මගක් ගත යුතු ද යන ප‍්‍රශ්නය ඔවුහු මතු කලහ. යුද්ධය නතර කිරීමටත්, අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු කප්පාදුවට ලක් ව ඇති සියලු අංශ ආරක්ෂා කරගැනීමටත්, ශිෂ්‍යයන්ට වෙන්වූ විකල්පයක් නොමැති බවත් ඔවුන් කම්කරු පන්තික නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදයට සටන් වැදිය යුතු බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

පරන ගලහ පාරේ පිහිටි කෘෂි විද්‍යා පීඨයේ සිසුහු සිය දෛනික කාලසටහනේ දේශනවලට යන එන අතර කන්ඩායම් වසයෙන් සසප සාමාජිකයින් වටා රැස් ව කෘතිය තුල ඉදිරිපත් කෙරෙන ඓතිහාසික ප‍්‍රශ්න පිලිබඳ සාවධාන සාකච්ඡාවල යෙදුනෝ ය.

ශාස්ත‍්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරය තුල දී සසප සාමාජිකයින් සමග සාකච්ඡා කරමින් ‘නොනිමි විසිවෙනි සියවස‘ පිටපතක් මිල දී ගත් ආචාර්යවරයකු සඳහන් කලේ “අනිත් හැම දේශපාලන පක්ෂය ම බොරුවට සමාජවාදී කියාගෙන වෙනවෙන සන්ධානවලට රිංගද්දී නොකඩවා ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගෙන මාක්ස්වාදය මත පදනම් වෙලා වැඩ කරන්නේ ඔයගොල්ලෝ විතරයි” යනුවෙනි. අඩු තරමින් පොතෙහි පිටපත් හතඅටක් හෝ ඉක්මනින් විශ්ව විද්‍යාල පුස්තකාලයට යොමු කරන මෙන් ඉල්ලා සිටි ඔහු තවත් ආචාර්යවරුන් හා සිසුන් අතර බෙදා දීම සඳහා දේශනය පිලිබඳ පත‍්‍රිකා ද ලබාගත්තේ ය. මීට අමතරව ආචාර්ය මන්ඩලය අතර කෘතියේ පිටපත් හයක් අලෙවි විය.

(පේරාදෙනිය සරසවියේ පැවති දේශනය පිලිබඳ වාර්තාවක් පසුව පලවේ.)

Share this article: