පුද්ගලීකරනයට එරෙහිව ඉන්දීය කම්කරුවෝ මිලියනයක් වැඩ වරති

One million Indian bank workers strike against privatisation

අරුන් කුමාර් විසිනි, 2016 අගෝස්තු 6

ඉන්දියාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ බැංකුවල ආසන්න වශයෙන් 80,000ක් ශාඛාවල මිලියනයක් සේවකයින් ජූලි 29වැනි දින දිනක වැඩ වර්ජනයකට එක්වූයේ, මූලික වශයෙන් ම භාරතීය ජනතා පක්ෂය (බීජේපී) නායකත්වය දෙන ආන්ඩුව විසින් රාජ්‍ය බැංකු පුද්ගලීකරනය කිරීමට එරෙහිව ය.

දෛනික සාමාන්‍ය නිෂ්කාෂන ගනුදෙනු වලින් සියයට 75කට පමන බලපාන පරිදි ඉන්දියාවේ මූල්‍ය අංශය සැබවින් ම අඩපන විය. වැඩ වර්ජනය කැඳවන ලද්දේ, වෘත්තීය සමිති නවයක සමායෝජන මඩුල්ලක් වන බැංකු වෘත්තීය සමිතිවල එක්සත් සංසදය (යූඑෆ්බීයූ) විසිනි.

පසු ගිය දශක දෙක තිස්සේ අලතින් සේවකයින් බඳවා නොගැනීම නිසා රාජ්‍ය අංශයේ 300,000ට වඩා පුරප්පාඩු ඇත. ඒ අනුව සෙසු කම්කරුවන්ගේ වැඩ ප‍්‍රමානය වැඩි කර ඇත. බැංකු විසින් පිටතින් සේවා ලබා ගැනීමට ද බැංකු සේවකයින් විරුද්ධත්වය දක්වන අතර බැංකු සේවා බඳවාගැනීමේ මන්ඩලය හරහා නව බඳවා ගැනීම් කල යුතු යයි ඔව්හු ඉල්ලා සිටිති.

රාජ්‍ය බැංකු පුද්ගලීකරනය හා ඒකාබද්ධ කිරීම, විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා වන රාජ්‍ය ව්‍යාපාර පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ වඩා පුලුල් සැලැස්මක කොටසකි. සිවිල් ගුවන් සේවා, ඇපල් හා අයිකේඊඒ (ගෘහභාන්ඩ) වැනි තනි සන්නාම සිල්ලර වෙලඳාම, ඖෂධ හා මිලිටරි නිෂ්පාදන ඇතුලුව මුලින් සීමා කෙරුනු ආර්ථික අංශ නවයක්, සියයට 100ක ඍජු විදේශ ආයෝජනයන්ට හා අයිතියට විවෘත කරන බව ජූනි මාසයේදී ආන්ඩුව නිවේදනය කලේ ය. ඉන්දියාව “ඍජු විදේශ ආයෝජන සඳහා ලෝකයේ ඉතාමත් විවෘත ආර්ථිකය” වනු ඇති බවට අගමැති නරේන්ද්‍ර මෝඩි කයිවාරු ගැසුවේ ය.

වැඩවර්ජනය අනෙකුත් අංශවලට ද පැතිරෙතැ යි බියෙන්, මධ්‍යම කම්කරු කොමසාරිස් ඒ. එස්. නායක් ජූලි 26දා “සමගි කිරීමේ” රැස්වීමක් කැඳවී ය. වෘත්තීය සමිති, ඉන්දියානු බැංකු සංවිධානය (අයිබීඒ) හා මුදල් අමාත්‍යංශය මෙයට සහභාගී වූහ. “ඒ මගින් වැඩවර්ජනය මගහැරීම පිනිස සංවාදයක්” සඳහා නායක් ආයාචනය කලේ ය.

කෙසේ නමුත් වැඩවර්ජනය සමග ඉදිරියට යාමට යූඑෆ්බීයූවට බල කෙරුනේ, රැකියා දසදහස් ගනනක් ද, අමාරුවෙන් දිනා ගැනුනු සේවා කොන්දේසි ද විනාස කිරීමට හේතු වන ආන්ඩුවේ බැංකු පුද්ගලීකරනයට එරෙහිව බැංකු සේවකයින් අතර වැඩෙන විරුද්ධත්වය නිසා ය.

බැංකු සංගමය වැඩ කරමින් සිටින්නේ ගැටුම මුලින්ම බිඳ දැමීමට ය. සති දෙකකට පෙර, ජූලි 12 හා 13ට සැලැසුම් කෙරුනු වැඩවර්ජනය වෘත්තීය සමිතිය විසින් අත්හිටවන ලද්දේ, ඉන්දීය රාජ්‍ය බැංකුවේ නියමය මත, දිල්ලි මහාධිකරනය වැඩවර්ජනය අත්හිටවීමට නිකුත් කල නියෝගය පිලිගනිමිනි.

ජූලි 29වැනිදා වර්ජනය එක් දිනකට සීමා කෙරුනු අතර ඒ සමාන ප‍්‍රහාරයන්ට මුහුන දෙන අනෙකුත් කාර්මික කම්කරුවන්ගෙන් එය හුදකලා කෙරුනි. සමස්ත ඉන්දීය බැංකු නිලධාරීන්ගේ සංවිධානයේ (ඒඅයිබී ඕඒ) ප‍්‍රධාන ලේකම් එස්. නාගරාජන් මාධ්‍යයට පැවසුවේ වැඩවර්ජනය “වඩා විශාල” වර්ජනයක් සඳහා “සූදානම්වීමක්” පමනක් බව යි. යතාර්ථය නම්, ඉක්මනින් අරගලය නවතා දැමීමට වෘත්තීය සමිති නිලධරය ආන්ඩුව සමග වැඩ කරමින් සිටින්නේය යන්නය.

පසු ගිය වසර මුල දී, බැංකු වෘත්තීය සමිතිය සියයට 25ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටි අවස්ථාවේ දී, ඉන්දියානු බැංකු සංවිධානය එය ප‍්‍රතික්ෂේප කල අතර වෘත්තීය සමිති පසුව සියයට 15ක වැඩිවීමක් පිලිගත්තේ ය. “අපගේ සමාජිකයින් වැඩිවීම සම්බන්ධයෙන් සෑහීමට පත් වෙතැ යි” සමස්ත ඉන්දීය බැංකු සේවකයින්ගේ සංවිධානයේ (ඒඅයිබීඊඒ) ප‍්‍රධාන ලේකම් සී.වී .වෙන්කටචලම් ප‍්‍රකාශ කලේ ය. වෘත්තීය සමිතියේ නීච පිලිවෙත ඉස්මතු කරමින් ඔහු මෙසේ ද පැවසී ය: “නව අරුමුනු ජය ගැනීමටත් පාරිභෝගික සංතෘප්තිය දෙසට නව ප‍්‍රමිතීන් ඇති කිරීමටත් බැංකු කර්මාන්තය වෙනුවෙන් ගිවිසුම දැන් තදින් වැඩ කිරීමට මිනිසුන් පොලඹවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙනවා.”

යූඑෆ්බීයූ වෘත්තීය සමිති නවය ම මෑත සාකච්ඡාවට සහභාගී වූහ. සැකයකින් තොර ව, එවැනි සාකච්ඡාවල අරමුන වනු ඇත්තේ කම්කරුවන්ගේ විරුද්ධත්වය ගිල්වා දැමීම ය. යූඑෆ්බීයූ වෘත්තීය සමිති කීපයක් දීර්ග කාලයක් තිස්සේ ඉන්දියානු ආන්ඩුවට සහාය දුන් හෝ ආධාර කල ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ය.

ඒඅයිබීඊඒ හා ඒඅයිබී ඕඒ යන සංවිධාන දෙකම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) වෘත්තීය සමිති අංශයට සම්බන්ධ ය. තවත් වෘත්තීය සමිතියක් වන ඉන්දීය බැංකු සේවකයින්ගේ සම්මේලනයට (බීඊඊඅයි) ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය සමග සහෝදර සම්බන්ධකම් ඇත.

බැංකු කම්කරුවන්ගේ වැඩවර්ජනය ගැඹුරුවන ගෝලීය ධනේශ්වර අවපාතය විසින් ඉන්දියාව තුල හා ගෝලීයව මුදා හැරෙන පන්ති අරගලයන්ගේ මතුවීමේ කොටසකි. කෙසේ නමුත්, වෘත්තීය සමිති වෙර දරන්නේ ගැටුම සමහන් කිරීමට ය.

බැංකු අංශයේ ගැටලුවල ප‍්‍රධාන හේතුව බොල් නය බව වෘත්තීය සමිති පවසති. නය ආපසු අයකර ගැනීමට දැඩි පියවර ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් මෝඩිගේ ආන්ඩුව හා ඉන්දීය මහ බැංකුවට ඔවුහු චෝදනා කරති. නය පැහරහරින්නන්ගේ නම් ප‍්‍රසිද්ධ කර දඬුවම් දීමට වෘත්තීය සමතිවලට අවශ්‍ය ය.

ආන්ඩුව බොල් නය අයකර ගත්ත ද, එය මූල්‍ය අර්බුදය නො විසඳනු ඇත. ඊට වෙනස්ව, තීව‍්‍රවන ලෝක ආර්ථික පිරිහීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ආයතන තල්ලුු කරනවා ඇත්තේ බැංකු පුද්ගලීකරනය කිරීමේ ඔවුන්ගේ ඉල්ලීම් වේගවත් කිරීමට පමනි.

බීජේපී ආන්ඩුව අපේක්ෂා කරන්නේ, එලඹෙන මාසයේ දී ඒකාබද්ධ බැංකු පහක් සහ රජයට අයත් නය දෙන බැංකුවක් වන එස්බීඅයි සමග භාරතීය මහිලා බැංකුව එකතු කිරීමට ය. වැඩවර්ජන දිනයේ දී, එස්බීඅයි ප‍්‍රධානී අරුන්ධති බට්ටාචාර්ය මෙසේ පැවසුවා ය: “වෙනස අනිවාර්යෙන්ම සිදුවන බව මිනිසුන් තේරුම් ගත යුතු යි. බොහෝ අවස්ථාවලදී වැඩවර්ජන ඇතිවී තිබෙන නමුත් අපි ඔවුන් දැනුවත් කල යුතුව තියෙනවා මෙන්ම ඔවුන් ඒකාබද්ධ කරගත යුතු ය.”

ආන්ඩුව කම්කරු නීති ද සංශෝධනය කිරීමට සැලැසුම් සකස් කරමින් සිටියි. ඒ ආයෝජකයින්ගේ වාසිය පිනිස මෙන් ම ආන්ඩුවේ පියවරයන්ට එරෙහි කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඩීමට පොලිස් සංවිධාන ශක්තිමත් කරන අතරතුර ය.

එහි අර්ථය වන්නේ පුද්ගලීකරනයට එරෙහි බැංකු කම්කරුවන්ගේ සටන බීජේපී ආන්ඩුවේ සමස්ත වෙලඳපොල ගැති ප‍්‍රතිපත්තිය සමග ඍජු ගැටුමක් සමග පැටලෙන බව යි. සීපීඅයි හා සීපීඑම් යන ස්ටැලින්වාදී පක්ෂ දෙක විසින්ම උදව් කර ඇති ව්‍යාපාර ගැති ප‍්‍රහාරයට එරෙහිව කම්කරු පන්තියේ ඕනෑ ම බලමුලු ගැන්වීමක් දශක ගනනාවක් තිස්සේ වෘත්තීය සමිති විසින් වලක්වා ඇත.

රැකියා හා සේවා කොන්දේසිවලට එරෙහි ප‍්‍රහාරයන් පරාජය කරනු පිනිස, බැංකු කම්කරුවන් මෙම පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් බිඳී ඊට විරුද්ධ ඉදිරිදර්ශනයක්, එනම් ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය වෙතට හැරිය යුතු ය.

Share this article: