ඇමරිකාවේ පලදායිතාවය කඩා වැටීම‍: ධනේශ්වර අර්බුදය පිලිබඳ තවත් නිමිත්තක්

The slump in US productivity: another symptom of capitalist crisis

2016 අගෝස්තු 11

ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුව 9දා වාර්තා කලේ, මේ වසරේ දෙවන කාර්තුවෙහි ශ්‍රම පලදායිතාව සියයට0.5න් පහත වැටී ඇති බවයි. එය එක දිගට පහත ගිය තුන්වන කාර්තුවයි. 1970 ගනන් අවසන් වසර වලින් පසුව ඇමරිකාවේ පලදායිතා වර්ධනයේ සලකුනු කෙරුනු නරකම තත්වය පෙන්වා දෙමින්, “පලදායිතාවයේ කඩාවැටීම ආර්ථිකයේ දිගු කාලීන වර්ධනයට තර්ජනයකි” යන හිසින් කනස්සල්ල දනවන ප්‍රධාන ලිපියක් පල කිරීමට වෝල් ස්ට්‍රීට් ජර්නලයට මෙ මගින් බලකෙරී තිබුනි.

පලදායිතාවයේ කඩා වැටීම සමග එක්ව ගත් අනෙකුත් දත්ත ඇඟවුම් කරන්නේ, ඇමරිකානු ආර්ථිකය තුල සිදුවෙමින් ඇති පසුබෑම ගෝලීය ප්‍රවනතාවක කොටසක් බවයි. දෙවන කාර්තුවේ ඇමරිකානු ආර්ථික වර්ධනය සියයට 1.2ක් පමනකි. එය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් පහත් මට්ටමකි. යුරෝපයේ දෙවන කාර්තුවෙහි වර්ධනය ඊටත් වඩා අසතුටුදායක වන අතර එය සියයට 0.3කි. චීනයේ වර්ධනය ද තියුනු ලෙස මන්දගාමී වන අතර ලතින් ඇමරිකාවේ වැඩි හරියක ඇත්තේ අවපාත තත්වයකි.

අර්ථශාස්ත්‍රඥයින් විශේෂිතව සටහන් කරන්නේ, මෑත වසරවල දියනු ධනපති රටවලට පොදු ලක්ෂනයක් වන පලදායිතාවයේ කඩාවැටීම, ව්‍යාපාරික ආයෝජනයේ තියුනු පිරිහීම මගින් දිරිමත් කර තිබීම ගැනය. දෙවන කාර්තුව තුල ඇමරිකාවේ ව්‍යාපාරික ආයෝජන සියයට 9.7න් පහත වැටුනි.

2015දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්ෂික වාර්තවෙහි සටහන් කලේ, මූල්‍ය වෙලඳපොලවල ලාභ නය දෝරේ ගලා ගිය ද ගෝලීය ආර්ථිකයට 2008 අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකිවී ඇත්තේ, ප්‍රධානකොටම ව්‍යාපාරික ආයෝජන පිරිහී යාම නිසා බවය.

ප්‍රමුඛ සංගත ඩොලර් ට්‍රිලියන ගනනින් මුදල් තොග ගසාගෙන සිටියි. ඔවුන් ඒවා නිෂ්පාදනය, පරියේෂනය හා සංවර්ධනය සඳහා නොයොදවන අතර ඒවා කොටස් යලි මිලට ගැනීම, ප්‍රතිලාභ ඉහල නැංවීම හා ඒකාබද්ධයන් ද අත්පත්කර ගැනීම් ද සඳහා යොදවනු ලබන අතර ඒ සියල්ලෙන් සිදුව ඇත්තේ වෝල් වීදියේ විධායකයින්ගේ දීමනා හා කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ වැඩිකිරීම පමනි.

එහි ප්‍රතිපල වශයෙන් ලෝකය පුරා කොටස් වෙලඳපොලවල් වාර්තාගත හෝ ඊට ආසන්න ඉහලකට නැගී ඇති අතර කම්කරු පන්තියේ වියදමින්, ව්‍යාපාර ලාභ ඉහල නැගීම, ඇමරිකාවේ හා ජාත්‍යන්තරවම ජනගහනයේ ඉහලම සියයට 0.1 ධනය දැවැන්ත ලෙස ප්‍රසාරනය කර ඇත.

මෙම වර්ධනයන් වනාහි, ඇමරිකාවේ ද ජාත්‍යන්තරව ද ආර්ථික ජීවිතය මත මූල්‍ය පරපුටුකමේ අධිකාරයෙහි ප්‍රකාශනයයි. දැවැන්ත ප්‍රමානයකින් සම්පත් සමපේක්ෂන කටයුතුවලට හරවා යැවේ. ඒවා නිෂ්පාදන බලවේග වර්ධනය නොකරනවා පමනක් නොව ඒවායේ විනාශයට ද මග සලසයි.

ඇමරිකානු ධනවාදයෙහි පරිහානිය හා එහි කාර්මික පදනම මුලුමනින්ම පාහේ වනසා දමනු ලැබීම තුල මාධ්‍යගත වන, ලෝක ධනවාදයේ නැගී එන අර්බුදය, එහි වඩාත්ම පැහැදිලි ප්‍රකාශනය අත්කර ගන්නේ, දශක ගනනක් තිස්සේ මූල්‍ය පරපුටු කමේ වැඩීම ලෙසයි.

වත්මන් අර්බුදයට ගැඹුරු ඓතිහාසික මූලයන් ඇත. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඇමරිකාව ප්‍රමුඛ ධනේශ්වර බලවතා ලෙස නැගී ආවේ, අන් සියල්ලටත් වඩා ගෝලීය වානේ හා මෝටර් රථ කර්මාන්තයේ ප්‍රධාන මූලාශ්‍රය වන අතිශයින් දියුනු හා වර්ධිත කර්මාන්ත තුලිනි. ඇමරිකානු ආර්ථික ප්‍රමුඛත්වය ආපස්සට කැරකීමේ ප්‍රධාන සැතපුම් කනුවක් වූයේ, 1971 ජනාධිපති නික්සන් විසින් ඩොලර්-රන් පරිවර්තන ක්‍රියාවලිය අවසන් කිරීමත් සමග අවසානයකට පැමිනි බ්‍රෙට්න්වුඩ්ස් පද්ධතියයි.

ඇමරිකානු කම්කරු පන්තියේ සටන්කාමී වැටුප් අරගලයන්ගෙන් සලකුනු කෙරුනු 1970 ගනන්වල ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය අඛන්ඩව පිරිහී යාමේ ප්‍රතිපලය ලෙස ආර්ථික පල්වීමේ හා අතිඋද්ධමනය එකට බැඳුනු ස්ටැග්ෆ්ලේෂන් යන තත්වය ඇති විය. එම දශකය අවසානයේ ඇමරිකානු ධනේශ්වරය, මූල්‍යකරනයේ හා කාර්මීක ඛන්ඩනයේ පිලිවෙත් කරා තියුනු හැරීමක් ගනිමින් 1979 ආරම්භ වූ නිෂ්පාදන පසුබෑමේ තත්වයක් නිර්මානය කල අතර 1981දී පැට්කෝ වැඩවර්ජනය තලා දමමින් එය ඉදිරියට ගෙන ගියේය. එය, කම්කරු පන්තියේ සමාජ තත්වයට පහර දීමේ දශක ගනනක ආරම්භය සලකුනු කලේය.

පසුගිය දශක තුන තුල පාලක පන්තියේ ප්‍රතිපත්තිය මාධ්‍යගත වුනේ, කොටස් වටිනාකම් අනවරතයෙන් ඉහල නැගීම සහතික කිරීම, කම්කරු පන්තිය සූරාකෑම උත්සන්න කිරීම හා ධනය යලි බෙදාහැරීම සමග බද්ධ වීම සමගය. මූල්‍ය පරපුටුකමේ වර්ධනය එක් මූල්‍ය බුබුලක් පිම්බී පුපුරා යාමෙන් පසුව තවෙකක් නිර්මානය වීමටය. එනම්, 1987 කොටස් වෙලඳපොලේ බිඳ වැටීම, 1989 ඉතිරුම් හා නය අර්බුදය, 1994 ව්‍යුත්පන්න අර්බුදය හා මෙක්සිකෝවේ පෙසෝ මුදලෙහි කඩා වැටීම, 1997 ආසියානු මූල්‍ය අර්බුදය, දිගු කාලීන ප්‍රාග්ධන කලමනාකරනය හා 1998 රුසියානු නය පැහැර හැරීම, ඩොට් කොම් බුබුල පිම්බීම හා 2000-1 එන්රොන් සෝලියයි. සමපේක්ෂන උන්මාදය කුලුගැන්වුනේ, 2008 දී අවමුඛ උකස්කර හා නිවාස බුබුල පුපුරායාමෙනි. එය මහා අවපාතයෙන් මෙපිට ධනේශ්වර ක්‍රමයේ හටගෙන ඇති ගැඹුරුතම අර්බුදයට තුඩු දුන් අතර ඉන් ගොඩ ඒමක් සිදුව නැත.

පාලක පන්තිය සෑම අර්බුදයකටම ප්‍රතිචාර දැක්වූයේ, දැන් “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” ලෙස හඳුන්වන, පහත් පොලී අනුපාතික තුලින් වෙලඳපොලවල් මුදලින් පුරවාලීමෙනි. එහෙත් මෙම පිලිවෙත නව ආර්ථික සමතුලිතයක් නිර්මානය කිරීමට අසමත්ව ඇත. වඩ වඩාත් “නව සාමාන්‍යය” ලෙස නැතිනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ලැගාඩ්ගේ වචන වලින් “නව මාධ්‍යය” ලෙස හඳුන්වනු ලබන මෙම අර්බුදයෙන් ගැලවීමේ මාවතක් නොමැති බව පාලක පන්තියටම පැහැදිලි වීමට පටන්ගෙන ඇත.

එහෙත් වඩ වඩාත් පැතිර යන මේ වැටහීම සමග එක්ව ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉදිරිපත් වන්නේ, අතිශයින්ම පහත් පොලී අනුපාතික යාන්ත්‍රනය ස්ථාවර තත්වයට පත් කරන ලෙසට කෙරෙන ඉල්ලීම්ය. හිටපු ෆෙඩරල් මහ බැංකුවේ සභාපති බෙන් බර්නන්කි මෑතකදී සටහන් කර තිබුනේ, මහ බැංකු මන්ඩලයේ සාමාජිකයින් ආර්ථික වර්ධනය පිලිබඳ සිය ඇස්තමේන්තු සැලකිය යුතු තරමින් සංශෝධනය කර තිබියදීම, ඔවුන් දිගු කාලීන ෆෙඩරල් පොලී අනුපාත පිලිබඳ තම තක්සේරුව ද කපා හැර ඇති බවයි. එහි අර්ථය, ඔවුන් ලිහිල් මූල්‍ය පිලිවෙත අනියමිත කාලයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

ඔහු මෙසේ පවසයි, “පසුගිය වසර කිහිපයක් තිස්සේ, බැංකු මන්ඩලයේ සාමාජිකයින් නිතරම ඇඟවුම් කලේ, ආර්ථික ප්‍රකෘතිය නොකඩවා පවතින්නේ නම් තමන් ෆෙඩරල් අරමුදල් අනුපාතය වට ගනනාවකින් වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි. සැබවින්ම පොලී අනුපාතය ඉහල නැංවූයේ එක් වරක් පමනි. ඒ 2015 දෙසැම්බරයේය. වෙලඳපොල විශ්ලේෂකයින් දැන් බලාපොරොත්තු වන්නේ, ඉදිරියේදී අනුපාතයන්හි කුමන හෝ වැඩිවීමක් සිදුවුවහොත් ඒ ඉතා කලාතුරකින් පමනක් බවය.”

කෙසේ වෙතත් එවන් පියවර මූල්‍ය පරපුටුකම තවත් දිරිමත් කරනු ඇත. මූල්‍ය වත්කම්වල ඉහල නගින අගය පියවාගැනීමට ධනය උකහාගත යුත්තේ ලෝක කම්කරු පන්තියෙනි. ඒ සමග සෑම රටකම පාලක පන්ති, එහි පෙරමුනේ සිටින්නේ ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරීන්ය, සිය තරගකරුවන් ලවා ඊට ගෙවීම් කිරීමේ උත්සාහයක නිරතව සිටිති. එය ජාතික සතුරුකම් ඉහල නංවයි. ඒවා සිය ප්‍රකාශනය අත්කර ගන්නේ ආරක්ෂනවාදය හා යුද්ධය ලෙසය. එම තත්වය ප්‍රධාන බලවතුන් අතර මිලිටරි ගැටුම් ඇවිලවීමට තර්ජනය කරයි.

අන්ද්‍රෙ ඩැමොන්

Share this article: