සම්මේලන වලින් පසුව, ඩිමොක‍්‍රටිකයන් ට‍්‍රම්ප් ට දකුනෙන් පහර දෙයි

After the conventions, Democrats attack Trump from the right

2016 අගෝස්තු 3

රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් පක්ෂ සම්මේලන අවසන්වීමත් සමග සමස්ත දේශපාලන ක‍්‍රමයේ ම ප‍්‍රධාන අර්බුදයකට මග පාදමින් එක්සත් ජනපද ජනාධිපතිවරන උද්ඝෝෂනය සුවිශේෂ හැරීමක් ගෙන ඇත.

ඩිමොක‍්‍රටික් පක්ෂය, ක්ලින්ටන්ගේ උද්ඝෝෂන ව්‍යාපාරය, ඔබාමාගේ ධවල මන්දිරය සහ මාධ්‍යයන්ගෙන් බොහොමයක් ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් ට විරුද්ධව රුදුරු ප‍්‍රහාරයක් මුදා හැර තිබේ. කෙසේ නමුත්, ට‍්‍රම්ප්ට විරුද්ධ උද්ඝෝෂනයේ ස්වභාවය ම ත් දක්ෂිනාංශික හා මිලිටරිවාදීය.

ක්ලේව්ලන්ඩ් හි පැවති රිපබ්ලිකන් සම්මේලනය ඇමරිකානු සහ ලෝක ධනවාදයේ බිඳ වැටීම හා සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ප‍්‍රතිගාමී පිලිවෙත් මගින් විනාශයට පත්කරනු ලබා ඇති සමාජ ස්තරවල දුක්ගැනවිලි ගසා කෑමට තැත් කරන ඇමරිකානු ධනේශ්වර දේශපාලනයේ උමතු සහගත ලෙස සංක‍්‍රමන විරෝධී, ස්වෝත්තමවාදී සහ ආඥාදායක ප‍්‍රවනතාවයක කූටප‍්‍රාප්ත වීමක් සලකනු කරනු ලබයි.

ප‍්‍රතිගාමී දේශපාලන සංස්කෘතියක් වගා දිගා කිරීම සම්බන්ධයෙන් මහ ව්‍යාපාරිකයන්ගේ පක්ෂ දෙක ම වග කිව යුතු ය. විශේෂයෙන් ම, රිපබ්ලිකානුවෝ ටෝක් ටු රේඩියෝ, ෆොක්ස් නිව්ස්, සහ මාධ්‍ය වල සෙසු කොටස් යොදා ගනිමින් හා දේශපාලන දර්ශනපතය තවත් දකුනට මැරු කිරීම සඳහා ටී පක්ෂය වැනි සංවිධානයන් ගොඩනැගීමෙන්, දිගු කාලයක් පුරා නව ෆැසිස්ට්වාදී ප‍්‍රවනතාවයක් වගා කර ඇත්තාහ.

කෙසේ නමුත් දැන්, ට‍්‍රම්ප්ගේ ජනාධිපතිකම ගැන පාලක ප‍්‍රභූව තුල බැරෑරුම් අවධානයක් යොමු වී ඇත. ට‍්‍රම්ප් ආන්ඩුවක් නො ඉවසිලිවන්ත වනු ඇතයි ද සමස්ත දේශපාලන පද්ධතියේ ම ස්ථාවරත්වය ප‍්‍රශ්නයට බඳුන් කරන පලල් මහ ජන විරුද්ධත්වයක් ඉන් අවුලවනු ඇතැයි ද බිය පල වී තිබේ.

එමෙන් ම විදේශ පිලිවෙත සම්බන්ධව ට‍්‍රම්ප් ගේ ආස්ථානය, විශේෂයෙන් ම මැදපෙරදිග තුල වොෂින්ටනයේ නව යටත්විජිත යුද්ධ ගැන ඔහුගේ නො එකඟතා, එක්සත් ජනපදයේ ප‍්‍රමුඛත්වය සහිත නේටෝ සන්ධානය පිලිබඳව ඔහුගේ ප‍්‍රශ්න කිරීම් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කෙරෙහි මිත‍්‍රශීලී මවා පෑම් ද්විපාර්ශවික විදේශ පිලිවෙත පිලිබඳ එකඟතාවයන් ගෙන් බොහෝ සෙයින් පිට පැනීමක් ලෙස සලකන හෙයින් හුදෙක් ම පිලි ගත නොහැකි බවක් පෙන්නුම් කරයි.

මෙම කොන්දේසි යටතේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රමුඛ පක්ෂය ලෙස එහි ඓතිහාසික භූමිකාව යලි අත්පත් කර ගැනීමේ හා අතිශයින් ම මිලිටරිවාදී සහ ගැඹුරින් ම අප‍්‍රසාදයට පත් වී තිබෙන විදේශ පිලිවෙත දේශපාලනිකව සාධාරනීකරනය කිරීමේ අවස්ථාවක් ලෙස ඩිමොක‍්‍රටික් පක්ෂය දකියි.

පසුගිය සතියේ පිලඩෙල්පියාවේ පැවති ඩිමොක‍්‍රටික් පක්ෂයේ සම්මේලනය තුල ආධිපත්‍යය දරුවේ මිලිටරිවාදී සහ යුදවාදී වැඩපිලිවෙලක් පිටුපස පක්ෂයේ ඉහල මධ්‍යම පන්තිය රැලි කිරීමේ දේශපාලන මාධ්‍යයක් හැටියට වාර්ගික සහ ලිංග දේශපාලනය ප‍්‍රවර්ධනය කිරීම ය.

රුසියානු ආන්ඩුව ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජාතික කමිටුවේ අන්තර්ජාල සේවාවට අනවසරයෙන් ඇතුලුවීම හා සොරකම් කල විද්‍යුත් ලිපි ඇගේ විරුද්ධවාදියා වන බර්නි සෑන්ඩර්ස් ගේ උද්ඝෝෂනයට වල කැපීම පිනිස ක්ලින්ටන් හිතවාදී නිලධාරීන් විසින් එලිදරව් කිරීමේ උත්සාහයන් හා නොවැම්බර් චන්දය මොස්කෝවට පක්ෂපාතී යැයි හිතන ට‍්‍රම්ප් ට වාසිදායක තත්වයක් ඇතිකිරීම සඳහා ඒවා විකීලීක්ස් තුලට ඇතුල් කල බවට කිසිසේත් ම ප‍්‍රමානවත් තරම් හේතු නොමැති චෝදනා පාදක කරගෙන කලු ජාතික කාන්තා හා පිරිමි කථිකයන් බහුලව පෙනීසිටි සම්මේලනයක් තුල ක්ලින්ටන් ගේ මැතිවරන ව්‍යාපාරය සහ නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය විසින් මෙහෙයවනු ලැබු මාධ්‍ය කොටස් නව මැකාතිවාදී උද්ඝෝෂනයක් දියත් කලහ.

සම්මේලනයේ අවසන් රාත‍්‍රියේ මුස්ලිමුන්ට විරුද්ධව ප‍්‍රහාර එල්ල කිරීම ගැන ට‍්‍රම්ප්ව හෙලා දුටු, ඉරාක යුද්ධයේ දී 2004 මරනයට පත් වූ ඇමරිකානු මුස්ලිම් හමුදා නිලධාරියෙකුගේ දෙමව්පියන් වන කිස්ර් සහ ඝශාලා ඛාන් පෙනීසිටින විශේෂාංගයක් ඉදිරිපත් කලේය. මුස්ලිම් විරෝධී අපහාස කරමින් ට‍්‍රම්ප් ඔවුන් යුගලට ප‍්‍රතිචාර දැක්වූ විට ඔහු දේශද්‍රෝහී, එක්සත් ජනපද හමුදාවට සතුරු සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන අනදෙන නිලධාරියා වීමට නොගැලපෙන්නෙකු ලෙස හංවඩු ගසමින් රිපබ්ලිකන් අපේක්ෂකයාට එරෙහිව රුදුරු ප‍්‍රහාරයක් ඩිමොක‍්‍රටිකයන් සහ මාධ්‍ය විසින් මුදා හලේ ය.

හිටපු සිවිල් අයිතිවාසිකම් ක‍්‍රියාකාරිකයෙක් හා කොංග‍්‍රස් සභිකයෙකු වූ හාවේ මිලක් හි දී 1978 මරනයට පත් වූන අධීක්ෂකයන්ගේ සැන්ෆ‍්‍රැන්සිස්කෝ මන්ඩලයේ සාමාජික ජෝන් ලූවිස් ගේ නමින් නාවික හමුදාවේ අලුත් යුද නැව නම්කරන බවට කල පශ්චාත් සම්මේලන නිවේදනය අපේක්ෂිත ලාබ ප‍්‍රයෝජන ලබා ගැනීමේ පදනම මත අනන්‍යතා දේශපාලනය ප‍්‍රවර්ධනය කරන්නන් ඩිමොක‍්‍රටිකයන්ගේ යුද පිලිවෙත පිටු පසින් පෙල ගැසෙන බව කැටි කොට දැක්වීය.

ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය මෙහයවන්නෝ සම්මේලනයෙන් පිටවෙද්දී එයට මයිකල් බ්ලූම්බර්ග්, මාර්ක් කියුබන් සහ වොරන් බෆර් වැනි බිලියන පතියන්, අසතුටට පත් රිපබ්ලික් නිලධාරීන් සහ මිලිටරි බුද්ධි සංස්ථාපිතයෙන් සහයෝගය ලැබෙන බවට කරව් කලහ. ක්ලින්ටන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා භාරගත් රාත‍්‍රියේ ඩිමොක‍්‍රටික් සම්මේලනයේ වේදිකාව මත විශ‍්‍රාමික හමුදා ජෙනරාල්වරු සහ අද්මිරාල්වරු 25 ක් සිටියහ.

වඩාත් ම මෑත ප‍්‍රකාශය කලේ ට‍්‍රම්ප් හෙලාදුටු සහ සමහරවිට ක්ලින්ටන් ට චන්දය දෙන බව කියූ ජෝජ් බුෂ් යටතේ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ව සිටි සහ ඉරාක යුද්ධයේ ප‍්‍රධාන කුමන්ත‍්‍රන කරුවන්ගෙන් කෙනෙකු වූ පෝල් වොල්ෆොවිස්ට් ය.

අඟහරුවාදා නොගැලපෙන සහ “සුදුසුකම් නැත්තෙකු” ලෙස රිපබ්ලිකන් අපේක්ෂයකයා ට පෙර නොවු විරූ ප‍්‍රහාරයක් එල්ල කරමින් ඔබාමා මිලිටරිය සම්බන්ධයෙන් මතභේද නැතිකම පිලිබඳ ට‍්‍රම්ප් ගේ තේමාව විස්තර කලේ ය. එය සිදුකල අවස්ථාව සැලකිල්ලට ගත් විට ඔහුගේ ප‍්‍රකාශයන් විශේෂයෙන් කැපීපෙනෙන සුලු ය: ඔහු එම ප‍්‍රකාශයන් කලේ සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ දේශීය දේශපාලනය ගැන කතා කිරීමට අවසර නැති නිල රාජ්‍යතාන්ත‍්‍රික හමුවක් වූ සිංගප්පුරුවේ අගමැති සමග ධවල මන්දිරයේ පෙනීසිටි අවස්ථාවේ ය.

ට‍්‍රම්ප් ගේ ප‍්‍රකාශයන්, විශේෂයෙන් ම ඛාන් පවුල ගැන ඔහු කල ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් රිපබ්ලික් පක්ෂයේ ප‍්‍රධාන නායකයන් විසින් “යලි යලිත් කරන ලද හෙලා දැකීම්” ගැන අවධාන යොමු කරවමින් ඔබාමා මෙසේ පැවසුවේ ය: “මා හිතන විදිහට ඔවුන් ඔවුන්ගෙන් ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ ඔහු කී දෙය පිලිගත නොහැකි යැයි ඔවුන් නැවත නැවතත් දැඩිව කියන්නේ නම් ඇයි ඔබ තවමත් ඔහුව නිර්දේහ කරන්නේ? මේ ඔබගේ පතාක යෝධයා නම් ඔබගේ පක්ෂය ගැන කීමට ඇත්තේ කුමක් ද?

“කොන්ද පන නැති රිපබ්ලිකානුවන්” ඛාන් පවුලට අවලාද නැගීමෙන් සහ “ඔහු රුසියානු ආඥාදායක බටහිර විරෝධී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කෙරෙහි හිතපක්ෂපාතිත්වය දැක්වීම ගැන සැකයන් ශක්තිමත් කරන” ප‍්‍රකාශයන් යුක්රේනය හා ක‍්‍රිමියාව ගැන කිරීමෙන් පසු ට‍්‍රම්ප් සම්බන්ධ ඔවුන්ගේ නිර්දේශයන් ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින් නිසැක ව ම ධවල මන්දිරයේ සහයෝගය ඇති නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය අඟහරුවාදා කතුවැකියක් පල කලේ ය.

මැදපෙරදිග මිලිටරි ක‍්‍රියාවන් තීව‍්‍ර කිරීමට සහ රුසියාව සමග ගැටුම උත්සන්න කිරීමට නොවැම්බර් මාසයේ මැතිවරනය අවසන් වන තුරු ඔබාමා ආන්ඩුව සහ ඩිමොක‍්‍රටිකයන් ලතවන්නේ නැත. නාමිකව අයිඑස්අයිඑස් සටන් කරුවන්ට විරුද්ධව ය යි ඉරාකය තුල කෙරෙන යුද්ධයේ නව පෙරමුනක් ඔබාමා සම්මේලනය අමතන විටත් විවෘත කර තිබුනත් ඔහු ඒ ගැන කිසිවක් ඇමරිකානු ජනතාවට කිව්වේ නැත. එසේ වූයේ නමුදු විස්තෘත සහ පූර්ව නිශ්චිත සීමා මායිම් නැති ව්‍යාපාරයක් ලෙස නම්කල ගුවන් ප‍්‍රහාරයක් ලිබියාවේ සර්ටේ නගරයට සඳුදා එල්ල කලේ ය.

සිරියානු ආන්ඩුවේ හමුදා ඇලෙප්පෝ වලදී රසායනික අවි යොදාගෙන එක්සත් ජනපද ආදේශක හමුදාවලට ප‍්‍රහාර එල්ල කල බවට ඉදිරිපත් කෙරී ඇති චෝදනා ගැන විමර්ශනය කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව අඟහරුවාදා ප‍්‍රකාශ කලේ ය. එය රුසියාවේ පිටුබලය ලබන ඩමස්කස් ආන්ඩුවට විරුද්ධව පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා කෙරෙන වොෂින්ටනයේ යුද්ධය තීව‍්‍ර කිරීමට ඉඩසලසන ව්‍යාජයකි.

2016 මැතිවරනය තුල දී යුද්ධය පිලිබඳ විෂය උවමනාවෙන් ම වසන් කර තිබේ. ඉරාකයේ, ඇෆ්ඝනිස්තානයේ, යේමනයේ සහ ලිබියාවේ ගෙන යන යුද්ධවලට සහ රුසියාවට සහ චීනයට විරුද්ධ යුද්ධය සඳහා එහි සුදානම් වීමට සහයෝගය දෙන ගමන් අවුරුදු 14 ට පෙර ඉරාක යුද්ධයට චන්දය දීම ගැන ක්ලින්ටන් ව ඉඳහිට විවේචනය කිරීමට සීමා වූ ස්වයං-ප‍්‍රකාශිත සමාජවාදියා වූ හා ක්ලින්ටන්ගේ ප‍්‍රධාන තරඟකරුවා වූ බර්නි සෑන්ඩර්ස්ගේ සුවිශේෂ වගකීම වූයේය.

අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ලෝක යුද්ධයේ වැඩෙන අන්තරායට එරෙහිව එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. ජෙරී වයිට් ජනාධිපති සහ නයිල් නීමුත් උප ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරමින් 2016 මැතිවරනය සඳහා අප ගෙන යන උද්ඝෝෂනය පදනම් වන්නේ යුද්ධයට එරෙහි අරගලයේ දී ප‍්‍රධාන භූමිකාව ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ඉටුකරනු ලබන ඉදිරිදර්ශනය මතය: එනම් යුද්ධයේ මූල හේතුව වන ධනවාදය අහෝසි කිරීමේ සටන මත පදනම් වියයුතු අරගලයක්. මෙම ව්‍යාපාරයට බැඳී එය ගොඩ නගන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලුම පාඨකයන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

පැටි‍්‍රක් මාර්ටින්

Share this article: