“මානව හිමිකම්” පිලිබඳ ප්‍රචාරනය සිරියාව තුල මිලිටරි මැදිහත්වීම් උත්සන්න කිරීම සඳහා මග සලසයි

“Human rights” propaganda campaign paves way for military escalation in Syria

2016 අගෝස්තු 19

සීඅයිඒ සංවිධානයේ පිටුබලය ලබන, සිරියාවේ ඊනියා කැරලිකරුවන්ට හවුල් කන්ඩායමක් විසින් පස් හැවිරිදි ඔමාර් ඩක්නීෂ් නමැති දරුවාගේ වීඩියෝ පටයක් හා ඡායාරූප බෙදාහැරීමෙන් පසුව, ඇමරිකාවේ හා බටහිර යුරෝපයේ මාධ්‍ය තුල එය සාර්වත්‍රික සිද්ධියක් බවට වේගයෙන් පත්ව තිබේ.

මනා උපකරන සහිත නව ගිලන් රථයක අසුනක් මත හිඳ සිටින දරුවා තරමක තැතිගැන්මකින් සිටින බව පෙනේ. ඔහුගේ මුහුන දුහුවිල්ලෙන් වැසී ඇති අතර හිසට සිදුවූ බව කියන තුවාලයකින් වෑස්සුන වියලුනු ලේ දහරාවක් දකින්නට ඇත. ලොව පුරා විසුරුවා හැරීම පිනිස ඡායාරූප ශිල්පීන් හා වීඩියෝ කරුවන් යුහුසුලුව ඔහු පින්තූර ගත කරමින් සිටිය ද ඔහුට ප්‍රතිකාර කිරීමට උනන්දුවක් ඇති බවක් නොපෙනුනි. ඇහි බැමට උඩින් වැටුනු කෙස් රැලි සහිතව කාටූන් ටී ෂර්ට් එකක් ඇඳ සිටින දරුවා හොඳින් අලෙවි කල හැකි දසුනක් බව බලධාරීන් හොඳහැටි වටහාගෙන සිටි බව නොඅනුමානය.

සීඑන්එන් කියා සිටියේ දරුවා “සිරියානු සිවිල් යුද්ධයේ මූනත” බවය. ප්‍රකාශිකාව රඟපෑමක යෙදෙමින් කඳුලු වගුරුවන අතර ඔහුගේ කථාව පැවසුවාය. නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය පැවසුවේ ඔහු, “ඇලෙප්පෝහි දුක් වේදනාවන්හි සංකේතයක්” බවය. මේ අතර යූඑස්ඒ ටුඩේ, සංස්කාරකගේ මෙවන් කෙටි සටහනක් විකාශනය කලේය. “මෙම සිරියානු ලමයා ඔම්රාන්ය. ඔබ දැන්වත් මේ ගැන සාවධාන වන්නේ ද?”

මෙයට වඩාත්ම සෘජු ප්‍රවිෂ්ටය සටහන් වූයේ බ්‍රිතාන්‍යයේ ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රයේ සිරස් තලයකිනි. ඒ, "ආලෙප්පෝහි ලමුන්ගේ නාමයෙන් අප, සිරියාව තුල පියාසර තහනම් කලාපයක් පිහිටුවීමට යලි උත්සාහ දැරිය යුතුය” යන්නයි.

වියහැකි පරිදිම පලව ඇති ඉතා නින්දිත වාර්තා අතර නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ නිකොලස් ක්‍රිස්ටොෆ්ගේ සටහන කැපී පෙනෙයි. ඔහු සිරියවේ ලමුන්ගේ දුක් වේදනා, තම පවුලේ සුනඛයාගේ මරනය සමග බද්ධ කරයි. අයිසිස් වරුන්ට එරෙහිව සටන් වැදී සිටින සිරියානු ආන්ඩුවට කෲස් මිසයිල් ප්‍රහාර එල්ල කිරීම සුජාත කිරීමට, අයිසිස් යෙදීගෙන සිටින ජනසංහාර යොදැගැනීම ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් කල ප්‍රකාශයක් හුවාදැක්වීමට ඔහු ඉදිරිපත්වේ. මානව හිමිකම් පිලිබඳ නාමයෙන් තර්කාන්විත සිතුවිල්ලක් විනාශ කිරීමේ උත්සාහය කැපී පෙනෙයි.

අප අත්දකිමින් සිටින්නේ, අලුත් වටයකින් මැද පෙරදිග පුරා ප්‍රචන්ඩත්වය උත්සන්න කිරීම පිටුපස ජනතාවගේ මතය පෙලගැස්වීමේ අටියෙන්, ඔවුන්ගේ මානවවාදී හැඟීම් ගසාකෑම පිනිස මනාව සකස් කල යුද ප්‍රචාරනයකි. ඔම්රාන් සම්බන්ධ සිද්ධිය කැරලිකරුවන් හා ඔවුන්ගේ උපදේශකයින් වන සීඅයිඒ විසින් හෝ වොෂින්ටනය ද ව්‍යාපාරික මාධ්‍ය ද විසින් සකස්කරන ලද්දක් වුවත්, එයින් අහිංසක දරුවෙකුගේ දුක් පීඩා නරුම ලෙස ගසා කෑම විවෘත ප්‍රශ්නයකි.

අහිංසක ලමුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මෙලොව සම්බන්ධයක් නැති අප්‍රකාශිත දේශපාලන හා භූ මූලෝපායික අරමුනු සහිතවය මෙම එකම දරුවෙක් පිලිබඳව ජනතාව අතර ප්‍රචාරය සිදුවන්නේ. පසුගිය වසර විසිපහ තුල ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදුව තිබෙන ආක්‍රමන, බෝම්බ හෙලීම් හා කුලීකාර යුද්ධ නිසා එවැනි ලමුන් ලක්ෂ ගනනක් මියගොස් ඇත.

ඔම්රාන්ගේ දසුන තෝරාගෙන ඇත්තේ, එය ඇමරිකානු පිටුබලය ලබන ඉස්ලාමීය මිලිෂියාවන් යටතේ සිටින, උතුරු සිරියාවේ ඇලෙප්පෝ නගරයේ ජනගහනයෙන් හයෙන් එකක් පමන ජීවත්වන, නැගෙනහිර කොටසේ සිද්ධියක් වීම නිසාවෙනි. ඉස්ලාමීය කැරලිකරුවන් අතරින් වඩා ප්‍රමුඛ සංවිධානය සිරියාව තුල අල්කයිඩාවට සම්බන්ධ, පසුගිය සතියේ ෆටා අල් ෂැම් යනුවෙන් අලුතින් නම්කරගත් අල් නුස්රා පෙරමුනයි.

බටහිර ඇලෙප්පෝවේ ආන්ඩුවේ පාලනය යටතේ ඇති ප්‍රදේශයේ ජනාවාස වලට ඉවබව නැතිව එල්ල කරන අල් කයිඩාවේ “හෙල් කාලතුවක්කු” ප්‍රහාරයන්ගෙන් මිය යන දරුවන් ගැන මාධ්‍ය ප්‍රධානීන්ට හා පුවත්පත් කතුවැකිකරුවන්ට හෙලීමට කඳුලු ඇත්තේ නැත. එසේම ඇමරිකාවේ බෝම්බ හා ප්‍රතික්ෂේප කල නොහැකි පෙන්ටගනයේ මගපෙන්වීම් සහිතව, සව්දි අරාබිය විසින් සිදුකරනු ලබන ගුවන් ප්‍රහාර වලින් ඝාතනය කෙරෙන ලමුන්ගේ දසුන් කෙරෙහි ද පල වන්නේ එවැනිම නොතැකීමේ ආකල්පයකි. ඇමරිකාව සහයෝගය දක්වන “මධ්‍යස්ත” සිරියානු කැරලිකරුවන් දහ අවුරුදු පලස්තීන ලමයෙකුගේ හිස ඉරා කඳින් වෙන්කිරීමේ දසුන ද එවන් කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් දැනවූයේ නැත.

අලුතින් පනගන්වා ඇති ප්‍රචාරක ව්‍යාපාරය යටින් ඇති ගාමක බලවේග දෙයාකාරය. පලමු හා ක්ෂනික සිද්ධිය, ඇමරිකාව හා කලාපය තුල එහි සහචරයින් විසින් සන්නද්ධ කල හා මුදල් සපයන “කැරලිකරුවන්” නැගෙනහිර ඇලෙප්පෝව තුල ආන්ඩුවේ ග්‍රහනය බිදීම හා නගරයේ බටහිර කොටසේ සිවිල් ජනතාවට එරෙහි යුද්ධය ගෙනයාම ඇනහිට තිබීම මෙන්ම, රුසියාවේ ගුවන් බලය ලැබෙන සිරියානු හමුදාව, යලි වතාවක් ප්‍රදේශය තුල සැලකිය යුතු ජයග්‍රහන හිමිකරගෙන සිටීමත්ය. ක්ෂනික සටන් විරාමයක් වෙනුවෙන් කෙරෙන ඉල්ලීම් එබැවින්ය.

එහි වඩාත් දුරදිග යන ඇඟවුම් නම්, සිරියාවේ පස් වසරක තන්ත්‍ර මාරු යුද්ධය සම්බන්ධයෙන් රුසියාව, ඉරානය, චීනය හා තුර්කිය අතර සමීප සම්බන්ධතා ගොඩනැගෙමින් තිබීමය. පසුගිය සතියේ ඉරානය, සිරියානු ඉලක්ක වෙත පහර දීම පිනිස රුසියාවට තම කඳවුරු යොදාගැනීමට ඉඩ සැලසූ අතර බීජිනය නිවේදනය කලේ, ඩැමස්කස් වෙත සපයන මිලිටරි ආධාර වැඩිකරන බවය. මේ අතර පසුගිය මාසයේ ඇමරිකාව සහාය දුන් අසාර්ථක කුමන්ත්‍රනය හමුවේ තුර්කි අගමැති එර්ඩොගන්, මොස්කෝව හා ටෙහෙරානය සමග මිතුරුකම් වර්ධනය කිරීමට පියවර ගත්තේය.

මෙම විභව සන්ධානය දෙස නොඉවසිලිමත් ලෙස බලා සිටින වොෂින්ටනය එය දැකගන්නේ, මැද පෙරදිග හා එහි දැවැන්ත බලශක්ති සංචිත මත ස්වකීය අධිකාරය ගොඩනගා ගැනීමේ මිලිටරි ව්‍යායාමයට බාධකයක් ලෙසය. ඇමරිකාවට එවන් අභියෝගයක් ඉවසිය නොහැකි අතර නිසැකවම මිලිටරිමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමට සූදානම් වනු ඇත. සිරියාවේ “ලමුන් බේරාගැනීමේ මානවවාදී ව්‍යාපාරයත්”, කේවලයේදී අල් කයිඩාවට බැඳුනු කුලී හමුදාවන් මුදා ගැනීමත් මේ පසුබිම යටතේ දිගහැරෙන්නේය.

මේ උද්ඝෝෂනයේදී යොදාගන්නා ක්‍රමවේදයන් කඩමාලුවී ඇති බව කිව යුතුය. වසර 25ට පෙර ඉරාකයට එරෙහි පලමු ගල්ෆ් යුද්ධය සූදානම් කලේ ඇඟ කිලිපොලායන කතාන්තරයක් ද සමගින්ය. ආක්‍රමනික ඉරාක හමුදාව ලමුන් මියයාමට අතහැර කුවේටයේ රෝහල් වලින් ඉන්කියුබේටර් සොරකම් කරන බව කොන්ග්‍රසය වෙත වාර්තා කරන ලදී. මෙම අපරාධයේ ප්‍රකාශිත සාක්ෂිකරුවා, හෙදියක් ලෙස හඳුනාගනු ලැබූ කාන්තාවකි. පසුව හෙලිදරව් වූයේ ඇය කුවේට් තානාපතිගේ දියනිය හා එමිරෙට්ගේ රාජකීය පවුලේ සාමාජිකාවක් බවය. එම ව්‍යයාමය මුල සිට අගටම ප්‍රෝඩාවක් විය.

පසුව එලඹි වසරවලදී ඇමරිකාව, ඉරාක ලමුන් අඩ මිලියනයක් මරුමුවට පත් කල දන්ඩන සම්බාධක පැනවීය. එවක එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිව සිටි මැඩ්ලින් ඕල්බ්‍රයිට්, “මිල සඳහා එය වටින්නේය” යන පාහර කථාව කලාය. පසුව ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, ලිබියාවේ හා සිරියාවේ සිදුවූ ඇමරිකානු යුද්ධ වලින් තවත් ලක්ෂ ගනනක් මරා දැමුනි.

ප්‍රචන්ඩත්වයේ හා ලේ ස්නානයේ මෙම 25 වසර විමසා බලමින්, (යුද්ධයේ සියවස් කාර්තුවක්: 1990-2016, ගෝලීය ආධිපත්‍යය සඳහා ඇමරිකාවේ ධාවනය)යන, සිය අලුතින් ප්‍රකාශයට පත් කරන ලද කෘතිය තුල ඩේවිඩ් නොර්ත් මෙසේ පැවසීය:

“මිලිටරි මෙහෙයුම්වල පරිමාව එක දිගට පුලුල් වෙයි. පැරනි යුද්ධ ගෙන යන අතර නව යුද්ධ පටන් ගනියි. 2011 වසරේදී මුවම්මර් ගඩාෆි තන්ත්‍රය පෙරලා දැමීම පිනිස ලිබියාවට එරෙහිව ගෙන ගිය යුද්ධය සඳහා මානව හිමිකම් යන නරුම කඩතුරාව යොදාගත්තේය. එම කුහක නිමිත්තම සිරියාවේ කුලීකාර යුද්ධය සංවිධානය කිරීම පිනිස ද යොදාගත්තේය. මිනිස් ජීවිත හා වධ වේදනාවන්ගේ අර්ථයෙන් ගත් කල මෙම අපරාධයන්හි ප්‍රතිවිපාක නොගිනිය හැකිය.”

ඇමරිකාව උසිගන්වන ලද යුද්ධයන්ගේ සියවස් කාර්තුව, අන්තර් සම්බන්ධිත සිදුවීම් පෙලක් ලෙස අධ්‍යයනය කල යුතුය. ගෝලීය ආධිපත්‍යය සඳහා වන ඇමරිකානු ධාවනයේ තර්කනය, මැද පෙරදිග හා අප්‍රිකාවේ නව යටත්විජිතවාදී මෙහෙයුම් වලට වඩා, බොහෝ දුර පැතිර යයි. දැන් සිදුවෙමින් ඇති කලාපීය යුද්ධ, රුසියාව හා චීනය සමග වේගයෙන් උත්සන්න වන ගැටුමක උපාංගයන්ය.”

නොවරදින ආකාරයකට සිරියාව තුල ඇමරිකානු මැදිහත්වීම දැඩි කිරීමට යොමුවූ යුද ප්‍රචාරනයේ මහෝගය, එවන් ගැටුමක් ඉක්මන් කරනු ඇති අතර ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක සැබෑ අන්තරාය මතු කරයි.

බිල් වෑන් ඕකන්

Share this article: