බෝල්ටික් රාජ්‍යවලට බයිඩන්ගේ පූර්න නිදහස: එක්සත් ජනපදය ඔබේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාවට විරුද්ධව යුද්ධ කරනු ඇත

Biden’s blank check to the Baltic states- US will wage war on Russia in your defense

2016 අගෝස්තු 24

මොස්කෝව සහ බෝල්ටික් රාජ්‍යයන් අතර ගැටුමක දී රුසියාවට විරුද්ධව යුද්ධයකට යාමට එක්සත් ජනපදය කැප වන බව යලි තහවුරු කිරීම පිනිස එක්සත් ජනපද උප ජෝශප් බයිඩන් අඟහරුවාදා ලැට්වියාවට ගියේ ය.

“මට බෝල්ටික් රාජ්‍යයන්ගේ සියලුම ජනයාට නිසැකව ම එය පැහැදිලි කිරීමට අවශ්‍යයි: අපි අපේ, ඇමරිකා එක්සත් ජනපදයේ ශුද්ධවූ ගෞරවය ලබා දීමට පොරොන්දු වී ඇත්තෙමු. ....නැටෝ ගිවිසුමට සහ එහි 5 වන වගන්තියට” ලිතුවේනියානු ජනාධිපති ඩාලියා ග‍්‍රීබෝස්කයිටේ සහ සෙසු බෝල්ටික් රාජ්‍ය නායකයන් හමුවීමෙන් පසු බයිඩන් ප‍්‍රකාශ කලේ ය.

බයිඩන්ගේ වචනවල සරල තේරුම මෙසේ ය: රුසියානු විරෝධී උමතුවන් විසින් පාලනය කරනු ලබන මෙම කුඩා රාජ්‍යයන්ගෙන් කවරක් හෝ දේශසීමා ගැටුමකට තුඩු දෙන ආකාරයේ ප‍්‍රකෝපකරනයක් රුසියාවට විරුද්ධව සිදුකලොත්; ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික බලයට එරෙහිව ඇමරිකානු ජනතාව යුද්ධයක් තුලට ඇද දැමීම එක්සත් ජනපදයේ “ශුද්ධ වූ ගෞරවය” විසින් ඉල්ලා සිටිනු ලබයි.

බයිඩන් ආයාචනා කරන මෙම “ශුද්ධ වූ ගෞරවය” කුමක් ද? එය ඉරාකය සහ ඇෆ්ගනිස්තානය නීති විරෝධී ලෙස ආක‍්‍රමනය කර ඒවා මරනයේ හා විනාශයේ නරකාදීන් බවට පත් කිරීමට එක්සත් ජනපදය මෙහෙය වූ “ගෞරවය” හා සමාන එකක් ද? ලිබියාව සහ සිරියාව විනාශ කල කැලඹීම් අවුස්සන කුලී යුද්ධ මගින් ප‍්‍රකාශයට පත් වූ උඩඟුකම ද? එහෙම නැත්නම් උප ජනාධිපතිගේ හිතේ තිබුනේ දේශසීමා රහිත වෛද්‍යවරුන් විසින් කුර්දිස්තානයේ පවත්වාගෙන ගිය රෝහලට ඩ්‍රෝන් ප‍්‍රහාර එල්ල කර කාන්තාවන් සහ ලමුන් දවා අලුකිරීම, සීඅයිඒ කලු කඳවුරුවල, සහ අබු ග‍්‍රායිබ් හා ගුවන්තනාමෝ බොක්කේ වදක කඳවුරු වල සිදු කල වදදීම වැනි එකක් ද?

සියලුම යුද අපරාධයන්ගෙන් දැවැන්තම යුද අපරාධය වන මානව ශිෂ්ටාචාරය දිගු කලකට අතුගා දැමිය හැකි න්‍යෂ්ටික අවි සහිත රටවල් අතර යුද්ධයකට ලෝක ජනතාව ඇද දැමීම සුදානම් කිරීම “ගෞරවය” පිලිබඳ කාරනාවක් යයි යුද අපරාධ කරුවෙක් වන බයිඩන් කියයි.

රුසියාව සමග මිලිටරි ගැටුමකට තුඩු දෙන ප්‍රෝඩාකාරී ආකාරයකින් ඉදිරිපත් කරන “මානව හිමිකම්” හෝ එක්සත් ජනපද මිත‍්‍රයන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම ගැන මේ දක්වා මාධ්‍ය හෝ දේශපාලන සංස්ථාපිතය තුල කිසිදු සාකච්චාවක් නැත. යුද්ධයේ යතා හේතුන් හෝ එහි ප‍්‍රතිවිපාක ගැන විමසා බැලීමකට ද අවසර නැත.

එක්සත් ජනපදය හා රුසියාව අතර යුද්ධයක් කෙබඳු වේ ද ? න්‍යෂ්ටික අවි යොදා ගැනීමේ දී එක්සත් ජනපදය “පලමු ප‍්‍රහාරය” එල්ල කිරීමේ අයිතිය තබාගෙන ඇති හා එහි දේශ සීමාවන් ආක‍්‍රමනය කලොත් න්‍යෂ්ටික අවි ඇතුලු තමන් අතේ පවතින සියලුම මාධ්‍යයන් යොදා ගනිමින් ප‍්‍රතිචාර දක්වන බව රුසියාව ප‍්‍රකාශ කර ඇති හෙයින් න්‍යෂ්ටික අවි යොදා ගන්නා එවැනි යුද්ධයක හැටි ස්වභාවය කුමක් වනු ඇත් ද ? එබඳු ගැටුමකින් රුසියාවේ, එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ඉන් පිටත කොපමන මිලියන ගනනක් ජනයා මිය යනු ඇති ද?

මේ කිසිවක් 2016 මැතිවරන උද්ඝෝෂනය තුල සඳහන් කරන්නේවත් නැත. ඇමරිකානු මිලිටරිය හා මූල්‍ය කතිපයාධිපතිත්වය විසින් මාධ්‍ය හා එක්සත් ජනපදයේ ජන ජීවිතය මත පවත්වාගෙනයන පාලනයේ මට්ටම හා මැතිවරන ක‍්‍රියාවලිය තුල අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අන්තර්ගතයක් නැතිකම එබඳු ය.

නැටෝවේ ව්‍යාප්තිය

නැටෝ ප‍්‍රඥප්තිය (5 වෙනි වගන්තිය) ට අනුව බෝල්ටික් රාජ්‍යයන් මිලිටරි සංධානයේ කොටසක් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු රුසියාව වටලෑමේ සුවිශේෂ අරමුන ඇතිව නැටෝ දේශසීමාවන් අතොරක් නැතිව නැගෙනහිර දෙසට කල ව්‍යාප්ත කිරීම නිසාවෙනි. ප‍්‍රශ්නයට තුඩු දී ඇති රාජ්‍ය තුනේ -ලැට්වියාව, ලිතුවේනියාව හා එස්තෝනියාවේ- දල වශයෙන් එක්සත් ජනපදයේ මිසෝරි ප‍්‍රාන්තයට සමාන වන මිලියන හයක ජනගහනයක් සිටිති. ඔවුන් 1917 රුසියානු විප්ලවයට පෙරාතුව රුසියානු අධිරාජ්‍යයේ කොටසක් වූ අතර 1990 සෝවියට් සංගමයෙන් ස්වාධීනත්වය ප‍්‍රකාශ කිරීමට පෙර 1939 දී ස්ටාලින්-හිට්ලර් ගිවිසුම යටතේ සෝවියට් සමාජවාදී සමුහාන්ඩු සංගමයට අනුබද්ධ කෙරුනි.

චෙක් සමූහාන්ඩුව, හංගේරියාව හා පෝලන්තය 1999 දීත්, බෝල්ටික් රාජ්‍යයන්, බල්ගේරියාව, රොමේනියාව, ස්ලෝවේනියාව හා ස්ලෝවැකියාව 2004 දීත් ඇල්බේනියාව හා ක්‍රෝසියාව 2009 දීත් ඇතුලත් කර ගනිමින් නැටෝව ප‍්‍රසාරනය කලේ ය. මෙම රටවල් වලින් බොහොමයක් සෝවියට් සංගමයේ මූලිකත්වයෙන් පැවති වෝර්සෝ ගිවිසුමේ සාමාජිකයෝ වූහ.

මෙම ප‍්‍රසාරනය මගින් විනාඩි පහකට වඩා අඩු කාලයකින් සුපර්සොනික් ජෙට් යානයකින් යාහැකි ලෙස සෙන්ට් පීටර්ස්බර්ග් හි සිට සැතපුම් 100 ඇතුලතට එහි මිලිටරි බලකායන් ගෙනයාහැකි පරිදි සැතපුම් 800 ට වැඩි ප‍්‍රමානයකින් නැටෝවේ දේශසීමාවාන් ඉදිරියට ගොස් ඇත.

එක්සත් ජනපදය විසින් පිටුබලය සපයන බෝල්ටික් රාජ්‍යයන් බෙලිකැඩෙන තදියමකින් සන්නද්ධ වෙමින් සිටිති. 2014 සහ 2015 අතර එස්තෝනියාව සියයට 6.6, ලැට්වියාව සියයට 13.7, සහ ලිතුවේනියාව සියයට 32.7 න් ආරක්ෂක වියදම් ඉහල දැමූහ. බයිඩන් ගේ සංචාරයට පෙර දින ලිතුවේනියාව සන්නද්ධ ප‍්‍රහාරක යුද රථ 88 මිලදී ගැනීම සඳහා එහි ඉතිහාසයේ විශාලතම ආරක්ෂක වියදම වූ ඩොලර් බිලියන භාගයක් වැය කලේ ය.

එක්සත් ජනපදයට ගැති හා සමාජ හා වාර්ගික ආතතීන්ගෙන් ඉරිතලා ගිය අතිශයින් ම අස්ථාවර මෙම රටවල් ගුනාංගීකරනය කෙරෙන්නේ ඔවුන්ගේ රුසියානු විරෝධී යුදවාදය හා මිලිටරිවාදය වැලඳ ගැනීම විසිනි.

ලිතුවේනියානු “යකඩ ගැහැනිය” යනුවෙන් සඳහන් කරන ලිතුවේනියානු ජනාපධිපති ඩාලියා ග‍්‍රයිබෝස්කයිටේ රුසියාව ”ත‍්‍රස්තවාදී රටක්” බවත් ව්ලැඩිමීර් පුටින් ඇඩොල්ෆ් හිට්ලර්ට සමාන බවත් කියා ඇත.

“යමක් සිදුවුනොත්, වැඩිපුර සන්නද්ධ වීම වෙනුවෙන් අපට දින සති ගනන් කල් මැරිය නොහැක. අප වහාම ප‍්‍රතික‍්‍රියා කිරීම අවශ්‍ය යැයි” පසුගිය වසරේ ප‍්‍රකාශ කල කලින් ආරක්ෂක ඇමති වූ ලැට්වියානු ජනාධිපති රේමන්ඩ් වෙජෝනිස් රුසියානු දේශසීමා අසල මිලිටරි බලමුල ගැන්වීම සඳහා විසකුරු ලෙස හඬ තලන්නෙකි.

බෝල්ටික් රාජ්‍යයන් සම්බන්ධ එක්සත් ජනපද පිලිවෙතට 2016 ජනාධිපතිවරනයේ ප‍්‍රතිපල බල නොපාන බවට බයිඩන් කල ප‍්‍රකාශය සමහර විට අඟහරුවාදා ඔහුගේ සඳහන් කිරීම් වල වඩාත් අර්ථභාරී කොටස විය හැකිය.

බෝල්ටික් රාජ්‍යයන් ආරක්ෂා කිරීමේ යුද්ධයකට වොෂින්ටනයේ කැපවීම ගැන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රශ්න කිරීම් ගැන බයිඩන් සඳහන් කරමින් සිටියේ ය. බයිඩන් ට සහ ඔහු කතාකරන මිලිටරි බුද්ධි අංශ වලට මෙය පිලිගත නොහැකිය. ට‍්‍රම්ප් ගේ සැඳහුම් වල “බැරෑරුම් ව ගත යුතු කිසිවක් නැති” බව උප ජනාධිපති අඟහරුවාදා කීවේ ය. රිපබ්ලිකන් අපේක්ෂකයා “කතාකරන්නේ කුමක්දැයි ඔහු නොදන්නා” බව බයිඩන් පැවසුවේ ය. “ඔහු පස්වෙනි වගන්තිය තේරුම් ගෙනවත් ඇතැයි මා සිතන්නේ නැහැ” යි බයිඩන් කීවේ ය.

බයිඩන්ගේ ප‍්‍රකාශයන් නාමිකව ට‍්‍රම්ප් ට එරෙහිව එල්ල කෙරුන නමුදු ඒවායේ යථා අන්තර්ගතය වන්නේ මැතිවරනයේ ප‍්‍රතිපල නො තකා බුද්ධි අංශ විසින් පිලිවෙත් ක‍්‍රියාවට දමනු ලබන බවය.

ට‍්‍රම්ප් රුසියානු ජනාධිපති වලැඩිමීර් පුටින්ගේ “සයිබීරියානු අපේක්ෂකයා” ලෙස හුවා දැක්වීමට මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය දරන උත්සාහය මෙම ප‍්‍රකාශයන් මගින් තව දුරටත් එලිදරව් කෙරෙයි. එහි අරමුන වන්නේ යුද්ධය සඳහා ජනවරමක් ලෙස ෆැසිස්ට්වාදී ට‍්‍රම්ප් දෙසට මහජන වෛරය යොමු කිරීමය. මෙය මොස්කෝව සමග වොෂින්ටනයේ ගැටුම බරපතල ලෙස තීව‍්‍ර වීමට වේදිකාව සකසනු ඇත.

ඇන්ඩ්‍රේ ඩේමොන්

Share this article: