වතු කම්කරු වැටුප් තාවකාලිකව වැඩි කිරීම පිටුපසින් හාම්පුතුන්ගේ සැලැස්ම ක‍්‍රියාවට දැමීමේ තැතක්

එම්. දේවරාජා විසිනි, 2016 අගෝස්තු 15

ආන්ඩුවේ මැදිහත්වීම යටතේ වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට රුපියල් සියයක තාවකාලික දෛනික වැටුප් වැඩිවීමක් කර ඇත. ඒ අනුව ඔවුන්ගේ දෛනික දල වැටුප රුපියල් 620 සිට 720 දක්වා වැඩි වේ. ආන්ඩුව ඒ සඳහා රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 1000 ක නයක් වතු සමාගම් වලට ලබා දී තිබේ.

කෙසේ නමුත් එම වැඩිවීම, වතු සමාගම් යටතේ සේවය කරන තාවකාලික කම්කරුවන්ට සහ රජයට අයත් ජනතා වතු සංවර්ධන මංඩලයේ හා රාජ්‍ය වැවිලි සංස්ථාවේ කම්කරුවන්ට මෙතෙක් ලබා දී නැත. වැඩිකල දීමනාව නොගෙවීමට විරුද්ධව තලවකැලේ රජයේ තේ පර්යේෂන ආයතනය යටතේ පාලනය වන සෙන්කුම්බ්ස් වත්තේ කම්කරුවෝ 9 වෙනිදා පිකට් උද්ඝෝෂනයක් කලහ.

මෙම වැටුප් වැඩිවීම කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගසන තාවකාලික දීමනාවකි. එය මාස දෙකකට පමනක් සීමාවන බව ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී) සමග 10 වෙනිදා පැවති සාකච්ඡාවක දී කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න පවසා ඇත. ඒ කාලය තුල වතු සමාගම් සහ වෘත්තීය සමිති අතර නව සාමූහික ගිවිසුමක් අත්සන් කල යුතු බවත් ඊට ආන්ඩුව විසින් අය වැයෙන් පුද්ගලික අංශයේ කම්කරුවන් සඳහා යෝජනා කල රුපියල් 2,500 දීමනාව ද ඇතුලත් වියයුතු බවත් ඔහු කියා ඇත. දැනට පවතින දෛනික වැටුප් ක‍්‍රමය මෙන් ම ආන්ඩුවේ මෙම යෝජනාව ද වතු සමාගම්, විසින් ප‍්‍රතික්ෂේප කරයි.

වතු හාම්පුතුන් දිගින් දිගට ම අවධාරනය කරන්නේ, දැනට පවතින දරිද්‍රතා මට්ටමේ දෛනික වැටුප් ක‍්‍රමය පවා අහෝසි කර ඔවුන් විසින් යෝජිත කම්කරුවන් ඍජුව ම නිෂ්පාදන ඵලදායිතාවයට ගැට ගසන වැටුප් ක‍්‍රමය ක‍්‍රියාවට දැමිය යුතු බවකි. නව ගිවිසුම අත්සන් කිරීමට පෙර වතු සමාගම් විසින් යෝජිත මෙම වැටුප් ක‍්‍රමය සම්බන්ධයෙන් සමිති හා වතු හාම්පුතුන් අතර එකඟතාවයක් ඇතිකර ගත යුතු යැයි සෙනෙවිරත්න අවධාරනය කර ඇත.

නව ගිවිසුමට අදාල ව සමිති හා වතු හාම්පුතුන් අතර ඉදිරි දිනවල දී පැවැත්වීමට නියමිත සාකච්ඡා සිදු කෙරෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ගේ ඍජු අධීක්ෂනය යටතේ බව ද වාර්තා වී ඇත.

ආන්ඩුවේ සහ අගමැතිගේ උත්සුකතාවය කිසිසේත් ම වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩිවීමක් ලබා දීම නොවේ. එම මැදිහත්වීම සිදුවන්නේ මූලික එල්ලයන් දෙකක් ඇතිව ය. එනම්; වැටුප් වැඩි වීමක් දීම වතු සමාගම් විසින් දිගට ම ප‍්‍රතික්ෂේප කිරීම නිසා වතු කම්කරුවන් අතර පැසවන විරුද්ධත්වය සමනය කර ඔවුන් අතරින් කම්පනකාරී සමාජ අරගලයක් පුපුරා ඒම වලක්වා ගැනීම හා වතු සමාගම් විසින් යෝජිත නව වැටුප් සැලස්ම ක‍්‍රමික ව ක‍්‍රියාවට දැමීම පිනිස සමාගම් වලට කොන්දේසි සකසා දීම සඳහා ය.

නිසැකව ම වතු සමාගම් විසින් යෝජිත වැටුප් සැලැස්ම නව සාමුහික ගිවිසුමට ඇතුලත් කෙරෙනු ඇත. වෘත්තීය සමිති සහ වතු සමාගම්, කම්කරුවන්ට හොරෙන් , කලින් පැවති 2013 සාමුහික ගිවිසුමට නිෂ්පාදන ඵලදායිතාව ඉහල දැමීමේ කොන්දේසි ඇතුලත් කර තිබුනි. දිනකට නෙලිය යුතු තේ දලු ප‍්‍රමානය කිලෝ 16 සිට 18-20 දක්වා ඉහල දැමුනේ ඒ අනුව ය.

යෝජිත සැලැස්ම වසර තුනක් තුල ක‍්‍රියාවට දැමීමේ මුල් අදියර ලෙස දෙමුහුන් වැටුප් ක‍්‍රමයක් වතු සමාගම් විසින් යෝජනා කර තිබේ. ඒ අනුව මාසයේ වැඩකරන දින 25 න් 12 ට දෛනික වැටුප ගෙවන අතර, ඉතිරි දින 13 සඳහා වැටුප් ගෙවනු ලබන්නේ නිෂ්පාදන ඵලදායිතාව හෙවත් ආදායම් බෙදීමේ ක‍්‍රමය මතයි.

ආදායම් බෙදීමේ ක‍්‍රමය නමින් හැඳින්වෙන නව වැටුප් ක‍්‍රමය සමාන වන්නේ පැරනි අඳ ගොවි ක‍්‍රමයට ය. එමගින් කම්කරුවා ඉඩම් හිමියාගේ වහලෙකු බවට පත් කරනවා පමනක් නොව ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය තුල ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය මුහුන දී සිටින විනාශයේ බරට ද කම්කරුවා කර ගැසිය යුතු ය.

වතු හාම්පුතුන් සහ ආන්ඩුව එකාබද්ධව කරන කුමන්ත‍්‍රනයට කෙලින් ම හවුල් වී ඇති වෘත්තීය සමිති, රුපියල් සියයක ප්‍රෝඩාකාරී දීමනාව සහ සාමූහික ගිවිසුම අත්සන් කිරීමට ආන්ඩුවේ මැදිහත්වීම ජයග‍්‍රහනයක් ලෙස හුවා දක්වයි.

“වෘත්තීය සමිති සහ වතු සමාගම් අතර 1992 සිට සාමූහික ගිවිසුම් අත්සන් කලත් ආන්ඩුව ඊට මැදිහත් වුනේ නැහැ. නමුත් අපේ බලකිරීම යටතේ දැන් පලමුවෙනි වතාවට ආන්ඩුව ඊට සම්බන්ධ වෙලා තියෙනවා. සාමූහික ගිවිසුම අත්සන් කරන තුරු රුපියල් සියයක වැටුප් වැඩිවීම දෙන්න භාන්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,000 ක් දුන්න. ඒක අපේ ප‍්‍රථම ජයග‍්‍රහන ය ” බව මෑත දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී දෙමල ප‍්‍රගතිශීලී පෙරමුනේ සභාපති මනෝ

ගනේෂන් උජාරුවෙන් ප‍්‍රකාශ කලේ ය. සාමූහික ගිවිසුම අත්සන් කිරීමෙන් පසු වතු සමාගම් වල විකල්ප යෝජනා ගැන සාකච්ඡා වලට කිසිදු “බාධාවක්” නැති බව මනෝ ගනේෂන් අවධාරනය කලේ ය.

දෙමල ප‍්‍රගතිශීලි පෙරමුන, පී. දිගම්බරම්ගේ කම්කරු ජාතික සංගමය (එන්යූඩබ්ලිව්), වී රාධක‍්‍රිෂ්නන්ගේ කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ මනෝ ගනේෂන් ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුනේ (ඩීපීඑෆ්) එකතුවකි. මෙම නායකයන් තුන්දෙනාම ආයෝජකයන්ගේ සහ වතු සමාගම් ඇතුලු මෙරට මහ ධනපතියන්ගේ උත්සුකතාවයන් ආරක්ෂා කරන ආර්ථික පිලිවෙත් ක‍්‍රියාවට දමන මෛත‍්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවේ ඇමතිවරු ය.

රුපියල් සියයේ දීමනාව ලබා දීම ගැන සීිඩබ්ලිව්සීි නායක තොන්ඩමන් වික‍්‍රමසිංහ ට ස්තුති කල අතර නව සාමූහික ගිවිසුමක් අත්සන් කරන තුරු එය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේ ය. තොන්ඩමන් කලින් පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඇමතියෙකු වූ අතර සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට සම්බන්ධ වීමට කෙලහලාගෙන සිටින්නෙකි. වතු හිමියන් හෝ ධනපති ව්‍යාපාරිකයන් මෙන් ම ධනපති දේශපාලනඥයන් වන මොවුන්ගේත් වතු සමාගම් හා ධනපති ආන්ඩුවේත් උත්සුකතාවයන් අතර වෙනසක් නැත.

සීඩබ්ලිව්සී ඇතුලු වතු කම්කරු සමිති සමාගම් විසින් යෝජිත දෙමුහුන් ක‍්‍රමය ගැන වැවිලි සහ කර්මාන්ත ඇමති නවීන් දිසානායක සමග සාකච්ඡා කරමින් සිටින බව යූපීඑෆ් ප‍්‍රධාන ලේකම් ඒ. ලෝරන්ස් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ ය. සමහර “නො එකඟතා” සහිතව සියලුම වෘත්තීය සමිති. දෙමුහුන් ක‍්‍රමයට එකඟ බව ඔහු කීවේය. දෛනික වැටුප් ක‍්‍රමයට අනුව දින 15 ක් සඳහා සහ නිෂ්පාදන ඵලදායිතාවය පාදක වැටුප් ක‍්‍රමය ට දින 10 ක් සඳහා සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් ගෙවන ලෙස වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින බව ඔහු කීවේය. ශ‍්‍රම සූරාකෑම තීව‍්‍ර කිරීමේ සැලසුම් වලට කම්කරුවන් යටත් කිරීමට සමිති, වතු හාම්පුතුන් සහ ආන්ඩුව සමග කුමන්ත‍්‍රනයක යෙදී සිටින බව ට ලෝරන්ස් ගේ ප‍්‍රකාශය පැහැදිලි සාක්ෂියකි.

යෝජිත දෙමුහුන් වැටුප් ක‍්‍රමය සහ වෘත්තීය සමිතිවල ප‍්‍රතිගාමී ක‍්‍රියා කලාපය කෙරෙහි වතු කම්කරුවන් තුල බරපතල විරෝධයක් ඇවිලෙමින් තිබේ. ඉතා ඉක්මනින් දෙමුහුන් ක‍්‍රමය ක‍්‍රියාවට දමන බව වත්තේ කලමනාකරු පැවසුවේ යැයි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට කතා කල දික්ඔය ෆෝඩයිස් වත්තේ කම්කරු කාන්තාවක් කීවාය. “එතකොට අපිට වැඩ කරන්න වෙන්නේ සතියේ දවස් තුනක් පරන ක‍්‍රමයට. ඉතිරි දවස් අනියම් පදනමේ. එහෙම වුනොත් දැනට තියෙන වැටුප් ක‍්‍රමයටත් වඩා නරක ක‍්‍රමයක් යටතේ අපට වැඩ කරන්න වෙන්නේ” යැයි ඇය තවදුරටත් පැවසුවාය.

නව ක‍්‍රමය යටතේ කම්කරුවන් මුහුන දෙන අනතුර ගැන සමිතිවලින් කම්කරුවන්ට කිසිවක් කියා නැති බව පැවසූ ඇය, “ඒ අය චන්දෙ දවස් වල පොරොන්දු වුනා දවස් පඩිය රුපියල් 1,000 ක් කරල දෙනවා කියල. දැන් ඒ ගැන කතාවක්වත් නැහැ. සියලුම වෘත්තීය සමිති අපිව රවට්ටනවා” යැයි කෝපයෙන් කීවාය.

Share this article: