සිරියාවට එරෙහි ඇමරිකානු යුද්ධය උග‍්‍ර කිරීමේ තර්ජනය මතු කරන, රසායනික අවි පිලිබද අලුත් කථාන්තර

New chemical weapons claims pose threat of US escalation of Syrian war

ටොම් ඉලි විසිනි, 2016 අගෝස්තු 03

ඇමරිකානු හා බි‍්‍රතාන්‍ය මාධ්‍ය, ඉඩ්ලිබ් ප‍්‍රාන්තයේ සරාකෙබ් යන කැරලිකරුවන්ගේ පාලනය යටතේ ඇති උතුරු නගරයට සිරියානු ආන්ඩුව රසායනික අවි ප‍්‍රහාර එල්ල කර ඇතැයි යන අලුත් කථාවක් 02දා ප‍්‍රසිද්ධ කර ඇත. ආන්ඩු විරෝධී ඉඩ්ලිබ් සිවිල් ආරක්ෂාව හෙවත් “සුදු හෙල්මට්” කැරලි කන්ඩායම ගෙනහැර දක්වන මෙම කථාන්තරයට අනුව, නගරයේ ජනාකීර්න ප‍්‍රදේශයකට හෙලිකොප්ටරයකින් ක්ලෝරීන් ගෑස් බඳුන් හෙලීමෙන් පසුව සිවිල් වැසියන් 30කට පමන හුස්ම ගැනීමේ අපහසුතා ඇතිව තිබේ. ජීවිත හානි වාර්තාවී නැත.

එම කථාව පලමුවෙන් වාර්තා වුනේ ඉඩ්ලිබ් සිවිල් ආරක්ෂක මුහුනු පොතෙහිය. ඔක්සිජන් මුහුනු ආවරන පැලඳ සිටින වැසියන් දැක්වෙන ගොතන ලද යූ ටියුබ් වීඩියෝ පටයක් ඔවුන් පල කර තිබුනි.

සරාකෙබ් පිහිටා ඇත්තේ රුසියානු හෙලිකොප්ටරයක් බිම දමන ලද එම ප‍්‍රදේශයෙහිමය. එහි ගමන්ගත් සේවකයින් පස්දෙනාම මිය ගියේය. මොනම රසායනික අවි ප‍්‍රහාරයක්වත් එල්ලවී නැති බව මොස්කෝව තරයේ කියා සිටියේය. ක්‍රෙම්ලිනයේ ඩිමිත‍්‍රි පෙස්කෝව් යන තැනැත්තා පැවසුවේ, ඉඩ්ලිබ් ප‍්‍රකාශය ගොතන ලද්දක් බවය.

මේ අතර සිරියානු ආන්ඩුව කියන්නේ, ඇලේප්පෝහි ආන්ඩුවේ පාලනය යටතේ පවතින ප‍්‍රදේශයකදී කැරලිකරුවන් කන්ඩායමක් එල්ල කල රසායනික අවි ප‍්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙක් මිය ගිය ප‍්‍රවෘත්තිය බටහිර මාධ්‍ය විසින් මුලුමනින්ම නොතකාහල බවයි. මෙම මාරක ප‍්‍රහාරය ඇලෙප්පෝහි සෞඛ්‍ය අධ්‍යක්ෂ මොහමඩ් හසූරි විසින් ද සනාථ කරනු ලැබ ඇත. “ත‍්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද, විස සහිත ගෑස් අඩංගු ෂෙල් වෙඩි නිසා හුස්ම හිරවීමෙන් රෝගී වූ සිවිල් වැසියන් අට දෙනෙක් සිටින අතර මිය ගිය ගනන පස් දෙනෙකි.” ඔහු මේ බව පවසා තිබුනේ රජයේ සනා යන ප‍්‍රවෘති සේවයටය.

මානව හිමිකම් පිලිබඳ සිරියානු නිරීක්ෂන ආයතනය වාර්තා කලේ, සතිය තුල ඇලෙප්පෝහි ආන්ඩුවේ පාලන ප‍්‍රදේශයට කැරලිකරුවන් එල්ල කල ෂෙල් ප‍්‍රහාර නිසා කාන්තාවන්, ලමුන් ඇතුලු සිවිල් වැසියන් 30 දෙනෙක් මියගොස් ඇති බවය.

චෝදනා එල්ලවී ඇති, සරාකෙබ්හි ආන්ඩුවේ ප‍්‍රහාරය ගැන දිගු ලිපියක් පල කල ගාඩියන් පත‍්‍රය ඒ ගැන වාර්තා කර නොතිබුනි. ඇමරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ අනෙකුත් ප‍්‍රමුඛ මාධ්‍ය ජාලයන් අතර බීබීසී, රොයිටර්, ෆොක්ස් හා සීබීඑස් ද මූලික අවධානය යොමුකර ඇත්තේ කියනු ලබන ආන්ඩුවේ ප‍්‍රහාරය ගැනය.

ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක ජෝන් කර්බි, සිරියානු තන්ත‍්‍රය විසින් රසායනික අවි ප‍්‍රහාරයක් එල්ල කල බව “සනාථ කල හැකි තත්වයක” වොෂින්ටනය නොසිටින බව පිලිගත්තේය. ඒ අතරම ඔහු, එම චෝදනා සත්‍ය බව සනාථ වුවහොත් එය “අතිශයින්ම බරපතල” කාරනාවක් යයි තර්ජනාත්මකව පැවසීය.

සිරියානු තන්ත‍්‍රය රසායනික අවි යොදාගත් යුද්ධයක් ගෙනයන්නේය යන චෝදනා හා ඇඟවීම්, බැරෑරුම් ව සැලකිල්ලට ගත යුතුය. 2013 අගෝස්තු හා සැප්තැම්බරයේදී ඔබාමා පාලනය, පසුකාලීනව සීමර් හර්ෂ් හා තවත් මාධ්‍යවේදීන් විසින් ගොතන ලද කථාවක් ලෙස තහවුරු කල, සිරියානු ආන්ඩුව සරින් ගෑස් ප‍්‍රහාර එල්ල කලේය යන චෝදනාව ඩැහැගෙන, මැද පෙරදිග තවත් පුලුල් යුද්ධයක අද්දරට ඇමරිකාව ගෙනාවේය. අවසානයේදී ඔබාමා, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව එරට යුද්ධයට එලඹීමේ වෑයම කඩාකප්පල් කිරීමෙන් ද යුද්ධයට එරෙහි මහජන මතය ද මිලිටරි-ඔත්තු සේවාවන් තුල තියුනු බෙදීම් ද මතුවූ තත්වය තුල ඇමරිකාවේ සෘජු මැදිහත්වීමට එරෙහිව තීන්දුවක් ගත්තේය.

ඔබාමා අවසන් මොහොතේ ගත් එම තීන්දුව ඇමරිකානු පාලක කවයන් තුල තියුනු මතභේද ඇවිලවීය. වත්මන් ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන් ද ඇතුලු, සෘජු මිලිටරි මැදිහත්වීමටකට පක්ෂව පෙනී සිටි අය, රුසියාවේ එකම විදේශ නාවික කඳවුර සිරියාව තුල පවත්වාගෙන යාමට ඉඩ සලසන එම තීන්දුවෙන් එරට ශක්තිමත් කර තම රටට නිර්ලජ්ජිත පසුබෑමක් අත් කර දුන් බව කියා සිටියහ.

සිරියානු ආන්ඩුවට එරෙහි රසායනික අවි චෝදනා දැන් අලුත්කර තිබෙන්නේ, එරට තුල ඇමරිකාවේ පිටුබලය ලබන ඉස්ලාමීය කැරලිකරුවන්ගේ තත්වය වේගයෙන් පිරිහෙමින් තිබියදීය. රුසියානු ගුවන් ප‍්‍රහාර මගින් පිටුබලය ලබන ආන්ඩුවේ හමුදා, කැරලිකරුවන් අත පැවති ඇලෙප්පෝ නගරය වැටලීමෙන් කුලුගැන්වී ඇති මිලිටරි ජයග‍්‍රහන මාලාවක් පසුගිය වසර පුරා අත්කරගෙන තිබේ. නගරයේ බටහිර කොටස දැනටමත් ආන්ඩුව අතට පත්ව ඇත.

වැටලීම බිඳීමට ගන්නා උත්සාහයේදී, සිරියාව දිග්විජය කිරීමේ පෙරමුන ලෙස අලුතින් නම්කරගෙන ඇති අල් නුස්රා පෙරමුන විසින් නායකත්වය සපයනු ලබන කැරලි හමුදා, ඊසාන දිග පෙරමුනෙන් ඇලෙප්පෝවට පහර දෙමින් අවසන් ප‍්‍රහාරයක් දියත් කර තිබේ.

ප‍්‍රතිපලය තවමත් පැහැදිලි නැති නමුත් රුසියානු මිලිටරි ප‍්‍රකාශකයෙකු වන සර්ගිරුඩ්ස්කොයි 1දා පැවසුවේ, ඉස්ලාමීය හමුදාවන්ට දැඩි සේ ප‍්‍රහාර එල්ලවී ඇති බවයි. ඊට පසු දින කැරලිකරුවන් පැවසුවේ, තමන්ගේ ප‍්‍රහාර පුලුල් කර තිබෙන බවත් ඇලෙප්පෝහි නිශ්චිත නිවහන් ප‍්‍රදේශ තම අතට පත්වී තිබෙන බවත්ය. සිරියාවේ ඇති බි‍්‍රතාන්‍ය මානව හිමිකම් සංවිධානයේ රමි රහමාන් මෙම ප‍්‍රකාශ නිශ්ප‍්‍රභා කරමින් පැවසුවේ, ඒ වන විට කැරලිකරුවන් අතට පත් ස්ථාන අටෙන් පහක්ම ආන්ඩුවේ හමුදා විසින් යලි අත්පත් කර ගනු ලැබ ඇති බවයි.

ඉරාන හමුදා හා ලෙබනනයේ ෂියා ව්‍යාපාරය වන හෙස්බොල්ලා වරු ද අල් නුස්රාවට එරෙහි සටනේ නියැලී සිටිති.

“මෙය සැබවින්ම ඔවුන්ගේ අවසාන අවස්ථාවයි,” යනුවෙන් අල් ජසීරාවට පවසා ඇත්තේ මැද පෙරදිග විශ්ලේෂක ෆයිරාස් මක්සඩ්ය. “සිව් වසරක් පුරා තමන් යටතේ පවත්වාගෙන යන ඇලෙප්පෝව ඔවුන්ට අහිමි වුවහොත් එය, ඔවුන් සිරියාවේ සමස්ත සටනෙන්ම පරාජය වූවාට සමාන වනු ඇත.”

ඉස්ලාම්වාදීන්ගේ තත්වය තවදුරටත් නරක අතට හරවා ඇත්තේ, ජනාධිපති එර්ඩොගන්ගේ තුර්කි ආන්ඩුව, රුසියාව හා සිරියාව යන දෙරට සමගම ඇතිකරගෙන තිබෙන මිත‍්‍රත්වය මගින්ය. ඩැමස්කස් හා මොස්කෝව සමග හොඳ හිත වර්ධනය කර ගැනීමේ කැමැත්ත පල කිරීමෙන් පසුව ජූලි 15දා දියත්වූ ඇමරිකාවේ අනුග‍්‍රහය ලත් කුමන්ත‍්‍රනයෙන්, එර්ඩොගන් ගැලවුනේ අනූ නවයෙනි.

රුසියානු ඔත්තු සේවා විසින් කුමන්ත‍්‍රනය පිලිබඳ තොරතුරු එර්ඩොගන් වෙත දන්වීමේ තැන් සිට, ඇමරිකාවේ සැලසුම් වලට ඔහු ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, රුසියාව සමග සබඳතා තවත් දැඩිකරමිනි. අගෝස්තු 9දා ශාන්ත පීටර්ස්බර්ග්හිදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට නියමිත අතර එහිදී, ඇමරිකානු ගැති රටක් වන යුකේ‍්‍රනය මග හැර, ටර්ක්ස්ටී‍්‍රම් හරහා යෝජිත ස්වාභාවික ගෑස් නල මාර්ගය ද ඇතුලු, ආර්ථික සම්බන්ධතා පිලිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.

සිරියාව තුල සටන් ඇවිල යාමට මග පාදමින් ඇමරිකාව, සව්දි අරාබිය හා කටාර් රාජ්‍යය විසින් සපයන අවි ආයුධ මෙන්ම ඉස්ලාමීය කැරලිකරුවන්ට ද ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත්තේ තුර්කියයි.

සිරියාවේ තන්ත‍්‍ර මාරුවක් සඳහා වසර පහක් තිස්සේ තමන් ගෙන යන ව්‍යාපාරය අසාර්ථක වෙමින් පවතින තතු තුල ඔබාමා පාලනය, දැනටමත් ලක්ෂ හතරකට වැඩි දෙනෙකුගේ ජීවිත විනාශ කර තවත් මිලියන ගනනක් සරනාගතයින් බවට පත් කර, 2011 වසරට පෙරාතුව ඉතාමත්ම දියුනු අරාබි සමාජය ලෙස සැලකූ සිරියාව විනාශ කල යුද්ධයෙන් පරාජය වීම වලක්වා ගැනීම සදහා, ඕනෑම දෙයක් කිරීමට සූදානම්ය.

ඇමරිකාව හා එරට කුලී කැරලිකරුවෝ, තවමත් දෙලක්ෂ පනස්දහසක් පමන මිනිසුන් රැඳී සිටින්නේ යයි විශ්වාස කරන හා සිරියාව පුරා ඉස්ලාම්වාදීන්ට අවි ආයුධ බෙදාහරින ප‍්‍රධාන මාර්ගය ලෙස පවතින ඇලෙප්පෝ නගරයේ කොටස් අල්ලාගෙන සිටිති. මානව කොරිඩෝවක් තුලින් ප‍්‍රදේශවාසීන් ඉවත් කිරීමට රුසියාව කර තිබෙන යෝජනාව කඩාකප්පල් කිරීමට ඇමරිකාව උත්සාහ කරයි. එක්සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපති එම යෝජනා හැඳින්නුවේ, “ඇඟ කිලිපොලන” ඒවා ලෙසය. රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසුවේ එය “කූට” උපායක් බවය. ඒ අතර රුසියාව පැවසුවේ, ඉස්ලාම් කැරලිකරුවන් ප‍්‍රදේශවාසීන් ඉවත්ව යෑම වලක්වන බවයි.

යුද්ධය පිලිබ|ඳ සාකච්ඡාමය විසඳුමක් සඳහා දැරූ සෑම බැරෑරුම් උත්සාහයකටම ඇමරිකාව විරුද්ධ වී ඇත. ඒ බෂර් අල් අසද් ඉවත් කරන තුරු කිසිදු සාම සාකච්ඡාවක් කල නොහැකි බව පවසමිනි. ඒ අනුව ඇමරිකාව අවධාරනය කරන්නේ, සිරියාව තුල තන්ත‍්‍ර මාරුව සිදු කෙරෙන තෙක් හා එරට ඇමරිකාවේ අර්ධ යටත් විජිතයක් බවට පත්වන තෙක්, ලේ හැලීම අඛන්ඩව සිදුවිය යුතු බවයි.

Share this article: