සමපේක්ෂනය පැතිරෙද්දී ජාත්‍යන්තර බැඳුම්කර වෙලඳපොල “විකාරයක්” බවට පත්වේ

International bond markets turn "surreal" as speculation grows

නික් බීම්ස් විසිනි, 2016 අගෝස්තු 15

ප‍්‍රමුඛ මධ්‍යම බැංකු “ප‍්‍රමානාත්මක ලිහිල්කිරීමේ” විවිධාකාර ක‍්‍රම තුලින්, ගෝලීය මූල්‍ය වෙලඳපොල තුලට බිලියන ගනන් මුදල් පොම්ප කරමින් තවත් මූල්‍ය ව්‍යසනයක් නිර්මානය කරනු ඇති බවට වැඩෙන කනස්සල්ල හමුවේ, රින ප‍්‍රතිලාභ සහිත බැඳුම්කරවල අගය පසුගිය සතියේ ඩොලර් ට්‍රිලියන 13.4 ඉක්මවා ගියේය.

ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය වෙනුවෙන් දත්ත ගොනු කල ට්‍රේඩ් වෙබ් අනුව, රින අගයකින් යුත් ප‍්‍රතිලාභ සහිත ආන්ඩුවල හා සංගතවල බැඳුම්කර තොගය, සතියක් තුල බිලියන 300න් ඉහල ගියේය. අඩුම තරමින් පාර්ශවීය වශයෙන් හෝ මෙම ප‍්‍රසාරනය සිදුවූ බව පෙනී ගියේ, යුරෝපය හැර ගිය බ්‍රික්සිට් ඡන්දයෙන් පසුව, වෙලඳපොල උත්තේජනය කිරීමේ අරමුනෙන්, ඊලඟ සය මාසය සඳහා යුරෝ බිලියන 60ක් වටිනා බැඳුම්කර මිලට ගැනීමට එංගලන්ත මහ බැංකුව ගත් තීන්දුව නිසා බවය.

එම තීන්දුව මගින් බැඳුම්කර ප‍්‍රතිලාභ පහත වට්ටා බැඳුම්කර මිල ඉහල නැංවීය. එතිකෙට ආවෘත සම්බන්ධයක් ඇති චලනයන් දෙක හමුවේ 30 අවුරුදු බ්‍රිතාන්‍ය බැඳුම්කර ප‍්‍රතිලාභ දැන් සියයට 1.3ක වාර්තාගත පහත අගයකට ඇද වැටුනි. යන්තම් මාස තුනකට කලින් එය පැවතුනේ සියයට 2.3ක් ලෙසය.

පසුගිය 9දා බ්‍රිතාන්‍ය මධ්‍යම බැංකුවට තමන් මිලට ගැනීමට බලාපොරොත්තු වූ මුලු බැඳුම්කර ප‍්‍රමානයම අලෙවි කරන්නන් සොයා ගැනීමට නොහැකි වීම පෙන්නුම් කරන්නේ, බැඳුම්කර වෙලඳපොලේ ආයෝජකයින් හා සමපේක්ෂකයින්, මධ්‍යම බැංකුව තව තවත් බැඳුම්කර මිලට ගනු ඇතැයි ද ඒවායේ මිල තවත් ඉහල නගිනු ඇතැයි ද බලාපොරොත්තු වන බවයි.

ජාත්‍යන්තර බැඳුම්කර වෙලඳපොල වඩ වඩාත් ගනිමින් සිටින්නේ සමපේක්ෂන බුබුලක ස්වරූපයයි. රින ප‍්‍රතිලාභ අගයෙහි අර්ථය, බැඳුම්කර සඳහා ප‍්‍රබල ඉල්ලුමක් ඇති බවය. ඒවායේ මිල කොතෙක් ඉහල ගොස් ඇත්දැයි කිවහොත්, බැඳුම්කරයක් කල් පිරෙන තෙක් තමා සන්තකයේ තබාගන්නා ඕනෑම ගැනුම් කරුවෙක්, අලාභයක් ලබනු ඇත. ආයෝජකයා බැඳුම්කර මිලට ගනු ලබන්නේ, අනාගතයේ ඒවායෙහි මිල තවත් ඉහල යද්දී බැඳුම්කර විකිනීමෙන් ලාභයක් ලැබිය හැකි යයි සිතාගෙනය.

ජර්මානු ආන්ඩුව යුරෝ බිලියන 160ක සලාක බැඳුම්කර නිකුත් කිරීමට සූදානම් වන අවස්ථාවේදී එහි නය සඳහා ඉල්ලුම ඉතා ඉහල මටටමක පවතියි. ඒ සඳහා කිසිදු පොලියක් ගෙවනු නොලබන අතර ගැනුම්කරුවාගේ එකම අරමුන ඒවායේ මිල අනාගතයේදී තවත් ඉහල යනු ඇතැයි යන්නය.

දැනටමත් සැලකිය යුතු ලාභ උපයා ඇති, වරෙක ගෝලීය මූල්‍ය පද්ධතියට ස්ථාවරත්වය ලඟාකරදෙන්නා ලෙස සලකන ලද ජාත්‍යන්තර බැඳුම්කර වෙලඳපොල, දැන් වඩ වඩාත් සමානකම් දක්වන්නේ, ඩොලර් බහු ට්‍රිලියන කැසිනෝ සූදු පිටියකටය.

ඉහල නගින බ්‍රිතාන්‍ය ආන්ඩුවේ දිගු කාලීන නයෙහි අර්ථය, පසුගිය 12 මාසය සඳහා 30 අවුරුදු බැඳුම්කර ප‍්‍රතිලාභ සියයට 31 වී ඇති බවයි. ඊනියා “ගිල්ට්ස්”වල මිල නැගීම කෙතරම් වේගවත් වී ඇත්දැයි කිවහොත්, 2068 කල් පිරීමට නියමිත වැඩිම කාලයක් නියම කල බැඳුම්කර ප‍්‍රතිලාභ, බ්‍රික්සිට් ඡන්දයෙන් පසුව හරි අඩකින් වැටී තිබේ. එය සියයට 2 සිට 1.06 තෙක් වැටුනි. 30 වසරක බැඳුම්කර මිල වසරේ මේ දක්වා සියයට 53න් වැඩිවී තිබේ. මිලෙහි එවන් නැගීමක් සාමාන්‍යයෙන් දැකිය හැක්කේ, බෙහෙවින් සමපේක්ෂනාත්මක වත්කම් තොගයක් සඳහා මිස, බ්‍රිතාන්‍ය ආන්ඩුවේ දිගු කාලීන නය නිකුතුවට නම් නොවේ

.

ලෝකයේ විශාලතම බැඳුම්කර වෙලඳ සමාගමක් වන පිම්කෝහි ස්ටර්ලින් පවුම් ගොනුවේ කලමනාකරු වන මයික් ඇමි එම ක‍්‍රියාවලිය විස්තර කලේ, “ඇස් උඩයවන” දෙයක් ලෙසය.

පෲඩෙන්ෂල් ආදායම් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ස්ථාවර ආයෝජන නිලධාරියා වන ග‍්‍රිගෝරි පීටර්ස් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසුවේ, තත්වය “විකාර සහගත” බවය. “මධ්‍යම බැංකු වෙලඳපොලවල් මත අධිකාරය දරන බව පැහැදිලිය. පතුල තෙක් දිවෙන තරගයක් ඇත.”

ප‍්‍රතිවිපාක කවරක් වේ ද යන්න නොතකා සෑම කෙනෙක්ම ක්ෂනික ලාභ උපරිම කර ගැනීමට උත්සාහ කරද්දී බැඳුම්කර වෙලඳපොලේ ගනුදෙනු පිස්සන් කොටුවක ස්වභාවය ගෙන ඇත. “මෙහි අනවශ්‍ය තරම් පිලිගැනීමක් පවතියි. අපි ඒ පිලිබඳව උඩඟු ලෙසින් කථා කරන්නෙමු. එය යෝග්‍ය නොවේ. එය අතිශයින්ම විකෘති සහගතය. අප මූල්‍ය අංශයෙන් නැගීමක් හෝ පිම්බීමක් දකින්නේ නම්, මෙම රිනාත්මක විශ්වය තුල රැඳී සිටීම සුව පහසු නොවනු ඇත.” යනුවෙන් ඔහු අනතුරු අඟවයි.

වැඩි කරන වියදම් හෝ උද්ධමනයේ යම් අනපේක්ෂිත නැගීමක් තුලින් තම ආර්ථිකයන් පන ගැන්වීමට ආන්ඩු මගින් ගනු ලබන්නාවූ කුමන හෝ ක‍්‍රියාවක් ගැන පල වන කනස්සල්ල, බැඳුම්කර ප‍්‍රතිලාභ ඉහල නංවා මිල පහතට ඇද දමනු ඇතැයි යන්නය. මේ මගින් වෙලඳපොලේ ඉහල මිල ගනන් වලට බැඳුම්කර මිලට ගෙන පසුව වැඩි මිලකට විකුනා ලාභ ඉපැයීමට බලාපොරොත්තු වන සමපේක්ෂකයින්ට පාඩු සිදුවනු ඇත.

ගනුදෙනු දැවැන්තය. මේ මස මුලදී ෆිච් වර්ගීකරන ආයතනය, 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව දියත් කල ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන්වල ප‍්‍රතිපල වශයෙන් ප‍්‍රතිලාභ (හෙවත් බැඳුම්කර පොලී) 2011 වන විට වාර්තාවී තිබුනු ඓතිහාසික පහත් මට්ටම් කරා ගමන් කලහොත් පවා, සිදුවිය හැකි පාඩුව ඩොලර් ට්‍රිලියන 3.8ක් පමන වනු ඇති බවට ගනන් බලා තිබේ.

ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ පිලිවෙත යුක්තිසහගත කල නිල තර්කය, ගෝලීය ආර්ථිකය පූර්න පරිමානයේ අවපාතයකට ඇද වැටීම වැලැක්විය හැක්කේ, නය ගැනීමේ පිරිවැය පහත හෙලා, ආයෝජන හා පාරිභෝගික වියදම් වැඩි කිරීම පිනිස පහත් පොලී අනුපාතික පවත්වා ගැනීම බවයි. එහෙත් මූල්‍ය උත්තේජක සැපයීමේ අට වසර පුරා සැබෑ ආර්ථිකය එසවීමට අසමත්ව ඇත. කාලය තුල ආයෝජන වේගය පැවතී ඇත්තේ මූල්‍ය අර්බුදයට පූර්වයෙන් එය පැවතියාට වඩා බෙහෙවින් පහත් මට්ටමකය. නිදසුනක් ලෙස ඇමරිකාවේ දල දේශීය නිෂ්පාදිතය පිලිබඳ අලුත්ම දත්ත වලට අනුව, දෙවැනි කාර්තුව තුල ආයෝජන සියයට 9.7න් වැටී ඇත.

ෆිනෑන්ෂල් ටයිම්ස්හි 12දා පලවූ ප‍්‍රකාශයක් තුල එරික් ලෝනගන්ට අනුව, එස්ඇන්ඞ්ජී සාර්ව අරමුදල් කලමනාකරු මෙසේ ලියා ඇත, මධ්‍යම බැංකුවල ප‍්‍රතිපත්ති පාදක වී ඇත්තේ වැරදි න්‍යායක් මතය. ඔහුට අනුව, පහත් පොලී අනුපාතික පවතින විට පාරිභෝගිකයින් සිය වියදම් වැඩි කරන බවට අනුභූතික සාක්ෂි ඇත්තේ නැත. පොලී අනුපාතික ඉතා පහත් මට්ටමක පවතින විට කුටුම්භයෝ, ආර්ථිකයේ අනාගත ගමන් මග පිලිබඳ උත්සුකයන් මත වඩ වඩාත් ඉතිරි කිරීමට පෙලඹෙති. එලෙසම සංගත ආයෝජන ද සරලවම පහත් පොලී අනුපාතික කෙරෙහි ප‍්‍රතිචාර නොදක්වයි.

“බොහෝ කාලයක් තිස්සේ ආයෝජන තීන්දු කෙරෙහි මූල්‍ය ප‍්‍රතිවිපාක දැනවී තිබේ. මහ බැංකු ඒ වෙලාවට නියම කරන පොලී අනුපාතිකයන්ට වඩා අනාගත වර්ධනය හා අනාගත අවදානම් දැරීම පිලිබඳ විශ්වාසයෙන් ඒවා වඩාත් දිරිමත් වේ” යයි ඔහු ලිවීය.

“පසුගිය වසර කිහිපය තුල සමාගම් ඉතා අඩු වියදමකින් නය ගැනීම කෙරෙහි සැලකිලිමත් විය. ඒවා නිෂ්පාදනයේදී ඇතිවන අවදානම් ගැනීමට වඩා ඇදී ගියේ, කොටස් යලි මිලට ගැනීම වැනි සාපේක්ෂව අඩු අවදානම් සහිත මූල්‍ය කටයුතු වලටය.”

ලාභ අනුපාතිකය පහත වැටීමේ අඛන්ඩ ප‍්‍රවනතාවය වන වියදම් පහත වැටීම හමුවේ ද ආයෝජන හැකිලී යාමට හේතු සිය ප‍්‍රකාශයේදී ලොනර්ගන් එතරම් පැහැදිලිව හා විවෘතව කියා නැතත් එය ඇඟවුම් කරන්නේ එයයි. 2008 අර්බුදයට පෙර පවා දකින්නට ලැබුනු මෙම පරිහානිය එතැන් පටන් ඉහල ගොස් ඇත.

පහත් පොලී අනුපාතික නිසා කොටස් වෙලඳපොල වාර්තාගත ඉහලකට නැග යද්දී පවා ලාභ ඉපැයීම් පහත වැටී තිබේ. එස්ඇන්ඞ්පී 500 එක දිගට කාර්තු හතරකදීම සමස්ත ලාභය පිරිහී ඇති බව වාර්තා කලේය.

පහත වැටෙන පොලී අනුපාතිකය, සැබෑ ආර්ථිකය කෙරෙහි වැදගත් බලපෑමක් ඇතිකර තිබෙන එකම ප‍්‍රධාන ක්ෂේත‍්‍රය නම්, නිවාස ඉදිකිරීම් අංශයයි. එය, වසර අටකට පෙර අවමුඛ උකස්කර බුබුල පුපුරා යාමත් සමග නිවාස උකස්කර වෙලඳපොලෙහි ඇතිවූ ආකාරයේ කඩාවැටීමක අවදානම මතු කරන, නිවාස බුබුලු ප‍්‍රමුඛ ආර්ථිකයන් ගනනාවකම නිර්මානය කර තිබේ.

එහෙත් ලෝකයේ ප‍්‍රමුඛ මධ්‍යම බැංකු දැන්, ඒවායේම ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිපල වශයෙන් ද ගෝලීය ධනේශ්වර ක‍්‍රමය තුල පවත්නා අති මූලික ප‍්‍රවනතා මගින් ද නිර්මිත උගුලකට හසුව තිබේ. ඇමරිකාවේ ෆෙඩරල් මහ බැංකුව වඩාත් සාමාන්‍ය පොලී අනුපාත යාන්ත‍්‍රනයක් ඇති කිරීමට මනාප වනු ඇති අතර බ්‍රිතාන්‍යයේදී එංගලන්ත මහ බැංකු ප‍්‍රධානී මාක් කානි, එරට පොලී අනුපාත පහත දමන ප‍්‍රතිපත්ති හඳුන්වා දෙනු ලැබූ නමුත් පවසා ඇත්තේ, ඔහු “රිනාත්මක පොලී අනුපාත ලෝලියෙක් නොවන” බවයි.

ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන්වල ප‍්‍රතිපල වශයෙන් ඇතිව තිබෙන සමපේක්ෂනයේ තරම, සාමාන්‍ය තත්වයට යම් සමානකමක් හෝ ඇති ක‍්‍රමයකට යලි ගමන් කිරීම, 2008 පරයා යන මූල්‍ය අර්බුදයක් ලිහා හරින තර්ජනය මතු කර තිබීමෙන් පෙන්නුම් කෙරේ.

ස්විට්සර්ලන්ත මූල්‍ය සමාගමක් වන යූබීඑස් පසුගිය සතියේ පරියේෂන වාර්තාවක් නිකුත් කලේය. ඇමරිකානු භාන්ඩාගාර වෙලඳපොලෙහි දැවැන්ත විකුනා දැමීමේ රැල්ලක් නිර්මානය කල හැකි සාධක ගනනාවක් එමගින් පෙන්වාදී තිබුනි. ඒ අතර ඉහල වර්ධනයක් හා උද්ධමනකාරී හැකියාවන් පිලිබඳ සාධක ද විය. එහෙත් මෙම කොන්දේසි කරා යලි ගමන් කිරීම නිල ප‍්‍රතිපත්තියේ එල්ලය බව පවසා තිබේ.

පසුගිය මාසයේ ෆිනෑන්ෂල් ටයිම්ස් පෙන්වා දුන් පරිදි, ලෝකය පුරා කම්කරුවන්ගේ ජීවන තත්වයන් කාබාසීනියා කල කප්පාදු න්‍යායපත‍්‍රය ලිහිල් කිරීමට යොමු වුනු කුමන හෝ ප‍්‍රතිපත්තියක්, ගෝලීය වෙලඳපොලවල හොඳින්ම ක‍්‍රියාත්මකවී ඇති ක්ෂේත‍්‍රයන්හි “කුලප්පුවක පෙර ගමන්කරු” වනු ඇති අතර, ආයෝජකයින් සිය වපසරිය විකුනා දැමීමට තැත් කරන විට පිටවීමේ දොරටු කරා දිවයාම ආරම්භ කරනු ඇත.

Share this article: