ශ‍්‍රී ලංකා ජනාධිපති යුද අපරාධ පරීක්ෂන අවසන් කරන ලෙස ට‍්‍රම්ප්ගෙන් ඉල්ලයි

Sri Lankan president asks Trump to end war crime investigations

කේ. රත්නායක විසිනි, 2016 දෙසැම්බර් 10

යුද අපරාධ වසන් කිරීමට හා එහි අඛන්ඩ පාලනයට මුක්කුව ලබාගැනීම සඳහා ආන්ඩුව මංමුලා සහගත ලෙස එක්සත් ජනපදයේ සහාය පතයි.

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඉවත් කිරීම පිනිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට (යූඑන්එච්ආර්සී) බලපෑම් කිරීමට මැදිහත් වන ලෙස තමා ට‍්‍රම්ප් වෙත ලියා යැවූ බව පසු ගිය මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙලිදරව් කලේය. දෙසැම්බර් 2දා, ට‍්‍රම්ප්ගේ අනාගත උප ජනාධිපති මයික් පෙන්ස් සිරිසේනට දුර කතනයෙන් ඇමතූ අතර, එහි දී ඔවුහු දෙරට අතර “සම්බන්ධතා ශක්තිමත් කිරීම” ගැන සාකච්ඡා කලහ.

නොවැම්බර් 28දා පක්ෂ රැස්වීමක් අමතමින් සිරිසේන මෙසේ ප‍්‍රකාශ කලේ ය, “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී අපට පූර්න සහාය දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජනපදයේ ජනාධිපති බවට පත්ව සිටින ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට මම විශේෂ පනිවුඩයක් යැව්වා...මගේ රට (යුද අපරාධ චෝදනාවලින්) සම්පූර්නයෙන් ම නිදහස් කරන ලෙසත් අපට නිදහසේ ජීවත්වීමට ඉඩ දෙන ලෙසත් මම ඉල්ලා සිටියා.”

නව ජනාධිපති හමුවීමට හා තම ඉල්ලීම අවධාරනය කිරීමට, ඇමරිකාව වෙත විශේෂ නියෝජිතයෙකු යවන බව සිරිසේන පැවසී ය. ජනවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ තනතුරේ වැඩ බාර ගැනීමට නියමිත ඇන්ටෝනියෝ ගුටේරස්ට වෙත ද “එවැනිම අභියාචනයක්” කලේ යැයි ජනාධිපති පිලිගත්තේ ය.

2009 එල්ටීටීඊයට එරෙහි ම්ලේච්ඡ මිලිටිරි ප‍්‍රහාරයේ අවසන් සති කීපය තුල දෙමල සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනය කරන ලද බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් හා ස්වාධීන සංවිධාන විසින් ගනන් බලනු ලැබ ඇත. බලයට පත් ආන්ඩු විසින් ගෙන යන ලද ආසන්න වසයෙන් වසර තිහක සිවිල් යුද්ධයේ දී දල වසයෙන් සිවිල් වැසියන් 200,000ක් ජීවිතක්ෂයට පත්වූහ. ගැටුම අවසන්වී වසර හතකට පසුව ද උතුරු නැගෙනහිර යුද්ධයෙන් වැනසුන ප‍්‍රදේශයන් හි දස දහස් ගනනක මිලිටරි භට පිරිස් රඳවා සිටින අතර දෙමල ජනතාව මත ආන්ඩුවේ රුදුරු නියෝග ක්‍රියාත්මක කරති.

යුද්ධය පුරාවටම වොෂින්ටනය ආන්ඩුවට සහාය දුන් අතර මිලිටරි මෙහෙයුම් උපදේශන පවා සැපයීය. යුද්ධයේ අවසාන සති කීපයේ දී වොෂින්ටනය ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුව විවේචනය කිරීමට පටන් ගත්තේ, චීනය සමග එය පවත්වාගත් කිට්ටු සම්බන්ධය නිසා ය. චීනය කොලඹට මූල්‍ය ආධාර හා මිලිටරි ආම්පන්න සැපයූ ප‍්‍රධාන සැපයුම්කරු වී සිටියේ ය.

චීනයට එරෙහිව තම ආක‍්‍රමනකාරී “ආසියාවට හැරීම” වර්ධනය කරමින් සිටි ඔබාමා පාලනාධිකාරයට කොලඹ තන්ත‍්‍රය චීනයෙන් ඈත්වීම අවශ්‍ය විය. එම සම්බන්ධකම් බිඳින ලෙස රාජපක්ෂට පීඩනය යෙදීමේ උත්සාහයේ හමුවේ ඇමරිකාව, ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ ව ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවකට සහයෝගය දුන්නේ ය.

ප‍්‍රතිචාර දැක්වීමට රාජපක්ෂ අසමත් වූ විට ඔබාමා පාලනාධිකාරය, 2014 අග භාගයේ දී, රාජපක්ෂ ඉවත් කිරීමටත් සිරිසේන ජනාධිපති ලෙස පත්කිරීමටත් තන්ත‍්‍ර වෙනස් කිරීමේ කුමන්ත‍්‍රනයකට සහාය දැක්වී ය. එක්සත් ජාතික පක්ෂයේ නායක වර්තමාන අගමැති වන රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග හා විවිධ වෘත්තීය සමිති, සිවිල් සමාජ කන්ඩායම් හා ව්‍යාජ වාම සංවිධාන සිරිසේන “යහපාලනයේ වීරයා” ලෙස පින්තාරු කලහ.

සිරිසේන ජනාධිපති වී වොෂින්ටනය දෙසට හැරීම ආරම්භ කල වහා ම එක්සත් ජනපදය, ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂනයක් වෙනුවට මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ දේශීය පරීක්ෂනයකට සහාය දැක්වීමට පටන් ගත්තේය.

ගෙවී ගිය විසිපස් වසර තුල රටක් රටක් පාසා යුද වැදී සිටින වොෂින්ටනයේ නරුම උපාමාරව, තම අධිපතිවාදී උත්සුකයන් ඉදිරියට ගෙන යෑම සඳහා එහි තෝරා ගැනීම් අනුව “මානව හිමිකම්” ප‍්‍රයෝජනයට ගන්නේ කෙසේ ද යන්න පිලිබඳ උදාහරනයකි.

යුද අපරාධ චෝදනා ඉවත දැමීමට එක්සත් ජාතීන්ට බලපෑම් කරනු පිනිස ට‍්‍රම්ප් ඒත්තු ගැන්වීම සඳහා සිරිසේන දරන උත්සාහයේ අරමුන, යුද්ධය අවධියේ සිදු කල අපරාධ පිලිබඳව මොන යම් හෝ පරීක්ෂනයකට විරුද්ධ වන මිලිටරිය හා සිංහල ස්වෝත්තමවාදීන් සැනසීම ය.

සිංහල වර්ගවාදී උද්ඝෝෂනයට පිටුබලය දෙන හිටපු ජනාධිපති රාජපක්ෂ, බිලියනපති නව ජනාධිපතිට සුබ පැතීම සඳහා ද මානව හිමිකම් කොමිසමේ යුද අපරාධ යෝජනාවකට ඔබාමා පාලනාධිකාරය අනුග‍්‍රහ දැක්වීම සම්බන්ධයෙන් චෝදනා කිරීමට ද ට‍්‍රම්ප්ගේ මැතිවරන ජයග‍්‍රහනය අවස්ථාව කර ගත්තේ ය.

ආන්ඩුව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ට‍්‍රම්ප් සමග කථාකල යුතු යැයි රාජපක්ෂ යෝජනා කලේ ය. සිංහල බෞද්ධ වර්ගවාදී කන්ඩායම් ද ට‍්‍රම්ප්ගේ පත්වීම සම්බන්ධයෙන් උද්දාමයට පත්වූයේ ඔහුගේ ජාතිකවාදී කයිවාරුවලට ප‍්‍රශංසා කරමින් හා ආන්ඩුව එක්සත් ජනපද පාලනාධිකාරයෙන් සහාය ලබාගත යුතු බව පවසමිනි.

තමා ශ්‍රී ලංකාවේ සියලු සුලු ජාතීන්ට එරෙහි අසාධාරනයන් ඉවත් කරන බව සිය මැතිවරන උද්ඝෝෂනය අතරතුර පවැසූ සිරිසේන, යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට “සාධාරනය” ද පොරොන්දු විය. ජනාධිපති වීමෙන් පසුව ඔහු දැඩි ලෙස කියා සිටියේ, ශ්‍රී ලංකාව තුල යුද අපරාධ සිදු වී නැති බව යි. ප‍්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂය වන දෙමල ජාතික සන්ධානය, දේශපාලනිකව සිරිසේන පාලනයට සහාය දක්වන අතර ට‍්‍රම්ප් වෙත සිරිසේන කරන ආයාචනය සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටී.

එක්සත් ජනපදයේ නව උප ජනාධිපති මයික් පෙන් විසින් පසු ගිය සතියේ සිරිසේනට ගනු ලැබූ දුර කතන ඇමතුම, සිරිසේනගේ ඉල්ලීමට වක‍්‍ර ප‍්‍රතිචාරයක් දැ යි පැහැදිලි නැත. ශ්‍රී ලංකා ආන්ඩුවේ නිල මාධ්‍ය නිවේදනයකට අනුව, “නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හමුවනු පිනිස සිරිසේනට, වොෂින්ටන් සංචාරයක් සඳහා විධිවිධාන සැලසීමට” පෙන්ස් පොරොන්දු විය.

දුර කතන ඇමතුම අතරතුර සාකච්ඡා කල අනෙකුත් කරුනුවලට, “ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයේ පොදු වටිනාකම් මත පදනම් ව දෙරට අතර සම්බන්ධතාවන්ගේ ප‍්‍රගතිය (සහතික කිරීම) ද ආසියාව මැද ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම ද” ඇතුලත් වුනි. “මුහුදු මාර්ග ආරක්ෂා කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් වලකාලීම හා ආපදා කලමනාකරනයේ දී හවුල්කරුවන් ලෙස එක්ව වැඩ කිරීම” මත ද සාකච්ඡා පැවති බව මාධ්‍ය නිවේදනය සඳහන් කලේ ය.

පෙන්ස් හා සිරිසේන ශ්‍රී ලංකාවේ “මූලෝපායික පිහිටීම” හා “මුහුදු මාර්ගවල ආරක්ෂාව සහතික කිරීම” ගැන සාකච්ඡා කිරීම ඉතා වැදගත් ය. ශ්‍රී ලංකාවේ කම්කරුවන්, තරුනයන් හා දුප්පතුන් මෙම වර්ධනයන්ගේ භයානක ගම්‍යයන් හඳුනා ගත යුතු ය. “නාවික මාර්ග ආරක්ෂාව” පිලිබඳ ධජය යටතේ වොෂින්ටනය අසියාව තුල තම නාවික සහභාගිත්වය ව්‍යාප්ත කර ඇත්තේ චීනයට එරෙහි තම යුද්ධයේ කොටසක් ලෙස ය.

ජනතාවට හොරෙන් ශ්‍රී ලංකා ආන්ඩුව බලාපොරොත්තු වන්නේ, බීජීනයට එරෙහි වොෂින්ටනයේ රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි ආක‍්‍රමනයට තම සහභාගිත්වය වැඩි කිරීමේ කැමත්ත, කොලඹ යුද අපරාධ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ මොන යම් හෝ පරීක්ෂනයක් යටපත් කිරීමට සහාය දීම සඳහා ට‍්‍රම්ප් දිරිමත් කරනු ඇති බව යි.

Share this article: