ශ්‍රී ලංකාව: හම්බන්තොට වරාය සේවක වර්ජනයේ දේශපාලන පාඩම්

Sri Lanka: Political lessons of the Hambantota port strike

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2016 දෙසැම්බර් 21

වර්ජනයේ නියුතුව සිටි හම්බන්තොට වරාය කම්කරුවන්ට එරෙහිව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව මුදාහල රාජ්‍ය මර්දනයේ පෙර නොවූ විරූ මට්ටම තුලින් මතුකෙරෙන බරපතල ඇඟවුම් පිලිබඳව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට අනතුරු අඟවයි.

සිය රැකියා රැකගැනීම සඳහා 480 කට වැඩි කම්කරුවන්ගේ දින අටක වැඩවර්ජනයට ආන්ඩුව ප‍්‍රතිචාර දැක්වූයේ, තමන් සතු සියලු අවි අමෝරා ගනිමිනි. උසාවි නියෝග, අමාත්‍යංශ අවසන් නිවේදන, පොලිසිය සහ සන්නද්ධ නාවුක බලඇනි, හොරිකඩයන්, රාජ්‍ය අනුග‍්‍රහය ලත් ප‍්‍රකෝපකරන සහ කුහක මාධ්‍ය ප‍්‍රහාර ඊට ඇතුලත් විය.

මෙම මෘග ප‍්‍රහාරය, පාලක පන්තිය මුහුන දෙන බරපතල ආර්ථික සහ දේශපාලන අර්බුදය පිලිබිඹු කරයි. ගැඹුරුවන ලෝක ආර්ථික පසුබෑමෙන්ද වැඩෙන මහජන අප‍්‍රසාදය ද හමුවේ ආන්ඩුව, වෘත්තීය සමිති සහ ඊනියා වමේ පක්ෂවල ක්‍රි‍යාකාරී සහාය ඇතිව කම්කරු පීඩිත ජනතාව සටන් වැදී දිනාගත් සමාජ සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් වැනසීමට අධිෂ්ඨාන කරගෙන සිටියි.

මෙම සාධක පෙන්නුම් කරන්නේ, ධනපති ලාභ පද්ධතියට අවසන් තිත තැබීමට, සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී පදනම මත, ගම්බද පීඩිත ජනතාව ද තරුනයන් ද බලමුලු ගැන්වීමට සහ මෙහෙයවීමට කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවයයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථිර රැකියා ඉල්ලමින් දෙසැම්බර් 7දා වරාය සේවකයෝ රාජකාරිවලින් ඉවත් වූහ. 2013දී පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ අනියම් සේවකයින් ලෙස ඔවුන් සේවයට බඳවා ගැනුනු අතර සේවයේ ස්ථිර කරන බවට පොරොන්දුවක් තිබුනි. ස්ථිර රැකියා සඳහා කම්කරුවන්ගේ ඉල්ලීම අලුත් වුනේ, වත්මන් ආන්ඩුව හම්බන්තොට වරාය පෞද්ගලික අංශය සමග බද්ධ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම පිනිස චීනයට අයිති මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම සමග හදිසියේ ම ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුවය. නව සමාගමේ හිමිකාරිත්වයෙන් සියයට 80ක් මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට ලැබෙන අතර වරාය අධිකාරියට හිමිවනු ඇත්තේ සියයට 20කි.

වරාය සේවකයින් පැවති රාජපක්ෂ පාලනයේ අධාරකරුවන් ලෙස හංවඩු ගැසීම ආන්ඩුවේ පලමු උත්සාහය විය. අනියම් කම්කරුවන්ට ලැබෙන්ට පටන්ගත් මහජන සහාය නිසා ඔවුන් හුදෙකලා කිරීමට ආන්ඩුව දැරූ තුච්ඡ වෑයම අසාර්ථක විය. අරගලයේ යෙදී සිටියේ සුලු පිරිසක් වුවත්, නැව් ඉවත්ව යාම ද වරාය කටයුතු ද ඉක්මනින්ම ඇනහිටියේ ය.

දෙසැම්බර් 10 දා ආන්ඩුව, නාවුක හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍රන විජේගුනරත්නගේ පෞද්ගලික මෙහෙයවීම යටතේ නාවුක සෙබලුන් සිය ගනනක් වරායට යැවූ අතර ඔවුහු පොලු වලින් සහ රයිෆල් මිටිවලින් වර්ජකයින්ට මෘග ලෙස පහර දෙමින් වර්ජනය නවතා දැමීමට උත්සාහ කලහ.

නාවුක හමුදා ප‍්‍රහාරයෙන් කම්කරුවන් හතරදෙනෙක් රෝහල් ගත කෙරුනු අතර ප‍්‍රහාරය සිදුවෙද්දී වයිස් අද්මිරාල් විජේගුනරත්න මාධ්‍යවේදියෙකුට අඩන්තේට්ටම් කිරීමේ වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ වේගයෙන් පැතිරී ගියේය. වර්ජනයට හොරිකඩකම් කිරීම සඳහා කොන්ත‍්‍රාත් ක‍්‍රමයට කම්කරුවන් සපයන වෙනත් ආයතනයකින් යෙදවූ කම්කරුවන් කන්ඩායමක් වැඩකිරීම ප‍්‍රතික්ෂේප කර ඉවත්වීමෙන් පසුව, වරාය කටයුතු පාලනය සඳහා ආන්ඩුව නාවුක සෙබලුන් යෙදවීමට පටන්ගත්තේය.

වරාය සේවකයන්ගේ වැඩ වර්ජන අයිතිය අහෝසි කිරීමට ආන්ඩුව දෙසැම්බර් 14දා කරුනු හතකින් සමන්විත උසාවි නියෝගයක් ලබා ගත්තේය. ඒ සමගම වරාය සහ නාවික ඇමති අර්ජුන රනතුංග අවසන් නියෝගයක් නිකුත් කලේය. ඒ, දෙසැම්බර් 15දා ප.ව. 2 වන විට සේවයට වාර්තා නොකරන ඕනෑම අයෙක් සේවය අත්හැර ගියා ලෙස සැලකෙන්නේය යනුවෙනි.

දේශපාලන නායකත්වයක් හා මෙම උග‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයට එරෙහිව සටන් වැදීම සඳහා වැඩපිලිවෙලක් නොමැති වීමේ තතු තුල, දෙසැම්බර් 15දා සිය අරගලය අතහැර නැවත වැඩට යාමට සේවකයන්ට බලකෙරිනි.

වර්ජනයේ නියුතු වරාය කම්කරුවන් අවශේෂ කම්කරුවන් ගෙන් හුදෙකලා කල හා ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා මුක්කුව ගැසූ ඊනියා “වමේ” සංවිධාන සහ මාගම්පුර වරාය සේවක එකමුතුව ද ඇතුලු වෘත්තීය සමිති මෙම දේශපාලන පසුබෑමෙහි දේශපාලන වගකීම ගත යුතුය.

“ව්‍යාජ වමේ” හොරනෑව ලෙස නව සමසමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න ප‍්‍රකාශ කලේ, කම්කරුවන්ට වර්ජනය කිරීම සඳහා ඇති අයිතියට එල්ල කෙරුනු ආන්ඩුවේ මෘග ප‍්‍රහාරය නාවුක හමුදාපතිවරයාගේ “අත්වැරැද්දක්” බවයි. කරුනාරත්න මෙම ප‍්‍රකාශය කලේ, නාවුක හමුදාව යෙදවීමට අන කලේ තමන් බව වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධියේ පිලිගැනීමටත්, නියෝජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන “කම්කරුවන් නැවක් අත්පත් කරගත් පසුව ඔවුන් තවදුරටත් සිවිල් වැසියන් ලෙස නොව මුහුදු කොල්ලකරුවන් ලෙස සැලකෙන” බව කියමින් නාවුක හමුදාවේ ප‍්‍රහාරය යුක්ති යුක්ත කිරීමටත් පසුවය.

“ආන්ඩුව විසින් නාවුක හමුදාව යෙදවීම එල්ටීටීඊය පැරදවූ රන විරුවන් අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක්” බව කියමින් හිටපු ජනාධිපති රාජපක්ෂ ද නාවුක හමුදාව යෙදවීමේ ප‍්‍රතිගාමී පියවර වසන් කිරීමට තැත් කලේය.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වෘත්තිය සමිති අංශයේ නායක කේ. ඩී. ලාල්කාන්ත, වරාය කම්කරුවන් මුනගැසී මාගම්පුර වරාය සේවක එකමුතුවේ මිත්‍යාව වගාදිගා කල අතර කම්කරුවන් ආන්ඩුව මත“ප‍්‍රමානවත් පීඩනයක්” යොදන්නේ නම් ඔවුන්ට තම ඉල්ලීම් දිනාගත හැකි බව පැවසුවේය. තමන්ගේ වෘත්තීය සමිතිය වර්ජනයට සහාය දෙන්නේ කෙසේ ද යන්න පිලිබඳව ලාල්කාන්ත වචනයක් හෝ දෙඩුවේ නැත.

ඊට ප‍්‍රතිවිරුද්ධව සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන් මුහුනදී සිටින තර්ජන පිලිබඳව අනතුරු අඟවමින්, විශේෂයෙන් රැකියා සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයේ මූලය වන ලාභ පද්ධතියට එරෙහිව සටන් වැදීමට කම්කරු පන්තියේ ස්වාධීන වැඩපිලිවෙලක අවශ්‍යතාවය සාකච්ඡා කිරීම සඳහා මැදිහත් වූයේය.

මාගම්පුර වරාය සේවක එකමුතුවේ නායකයින්, එවන් සාකච්ඡාවක් ව්‍යාකූලත්වයකට හේතු විය හැකි බව කියමින්, කම්කරුවන් සසප සමග සාකච්ඡා කිරීම වැලැක්වීමට උත්සාහ කල ද සසප අනතුරු ඇඟවීමේ දේශපාලන නිවැරදිකම හා අදාලත්වය, සිද්ධීන් මගින් තහවුරු කෙරී ඇත.

අරගලය අවසාන වූ වහාම වරාය පරිශ‍්‍රය තුල ස්ථාවර සන්නද්ධ නාවුක හමුදා ඛන්ඩයක් පිහිටුවීමට ආන්ඩුව පියවර ගත් අතර අනියම් සේවකයන්ගේ අනාගත රැකියා සම්බන්ධයෙන් කිසිදු සහතිකයක් ලබාදීම ප‍්‍රතික්ෂේප කලේය. ඒ අතරවාරයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට නායකත්වය දුන් අය දඩයම් කිරීමේ විමර්ශන ක්‍රියාත්මක වනු ඇත.

උග‍්‍රවන ආර්ථික අර්බුදයේ බලපෑම යටතේ ආන්ඩුව, වසර දෙකකට පෙර ඇමරිකාවේ පිටුබලය ඇතිව තමන්ට බලයට ඒම සඳහා ව්‍යාජ වම විසින් තොරොම්බල් කල සිය ප්‍රෝඩාකාරී “යහපාලන” මවාපෑම විසි කර දමා, වඩ වඩාත් ප‍්‍රතිගාමී සමාජ ප‍්‍රතිපත්ති ක්‍රියාවට දමමින් සිටියි.

සැලසුම් කර ඇති නව නිදහස් වෙලඳ කලාපයට විදේශ ආයෝජකයන් ආකර්ශනය කරගැනීම සඳහා ආන්ඩුව සහ එහි මෙරට ගජමිතුරන්ගේ සහයෝගිතා පදනම, කම්කරුවන්ගේ පැරනි පරම්පරාවන් විසින් දිනාගත් සියලු සමාජ සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් කුඩුපට්ටම් කිරීම කරා පිය නගමින් සිටිති.

පාලක පන්තිය, ජාත්‍යන්තර ආයෝජන සුරක්ෂිත කරගැනීම සඳහා කලාපයේ ප‍්‍රතිවාදීන් සමග බෙලි කපාගන්නා තරඟයක යෙදී සිටිති. ධනපති පන්තියෙන් හෝ එහි දේශපාලන නියෝජිතයන් වෙතින් කවර හෝ සානුකම්පික ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කිරීම, කම්කරු පන්තියට සහ දුගීන්ට මාරක මිත්‍යාවක් වන්නේ එහෙයිනි. ආන්ඩුවේ ප‍්‍රහාරය සහ හම්බන්තොට වරාය කම්කරුවන් මුහුනදෙන දරුනු කොන්දේසි අහම්බයක් නොවන අතර කම්කරු පන්තියේ පුලුල් ස්ථරයක් මුහුනදෙන පොදු තත්වය එයයි.

දේශපාලන ඉදිරිදර්ශනයකින් සහ විප්ලවවාදී නායකත්වයකින් තොරව කම්කරු පන්තියට ඔවුන්ගේ මූලික අයිතීන් හෝ පැරනි ජයග‍්‍රහනයන් ආරක්ෂා කරගත නොහැක. කම්කරු පන්තියේ සියලු කොටස් වල සමාජ සහ මූලික ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා සටන ඉදිරියට ගෙනයාමට වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වී ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතු යයි සසප කියා සිටින්නේ එහෙයිනි. අවශ්‍ය කෙරෙන්නේ, ධනපති පාලනය මුලිනුපුටා දමා සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නැගීම පිනිස දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමයි.

මෙම කර්තව්‍යය ඉෂ්ටවීම, සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වන කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම මත රැඳී පවතී. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකාවේ ශාඛාව වන සසප, එවන් පක්ෂයක් ගොඩනැගීමේ යෙදී සිටින අතර ඊට එක්වන මෙන් කම්කරු පන්තිය සහ තරුනයන් අතර වඩා හිතන මතන කොටස් වලින් ඉල්ලා සිටියි.

Share this article: