ශ‍්‍රී ලංකාවේ වරාය ඇමති වර්ජිත කම්කරුවන් නෙරපන බවට තර්ජනය කරයි

Sri Lankan port minister threatens to sack striking workers

අපගේ වාර්තාකරුවන් විසිනි , 2016 දෙසැම්බර් 14

හම්බන්තොට මාගම්පුර වරායේ වර්ජිත කම්කරුවන් වහාම ආපසු වැඩට නාවොත් ඔවුන් රැකියාවෙන් නෙරපන බවට ශ‍්‍රී ලංකා වරාය ඇමති අර්ජුන රනතුංග තර්ජනය ප‍්‍රකාශ කර ඇත.

ආන්ඩුවේ පුද්ගලීකරන සැලසුම්වලට විරුද්ධව හා වරාය අධිකාරියේ සේවකයන් ලෙස තමන් ව ස්ථීර කරන්නැයි ඉල්ලමින් 500 ආසන්න කම්කරුවෝ දෙසැම්බර් 7 වෙනිදා වර්ජනයකට එලඹුනහ. ඔවුහු 2013 සිට කොන්ත‍්‍රාත් අනියම් සේවකයෝ ලෙස වැඩ කරති.

වර්ජනයේ යෙදී සිටින හම්බන්තොට වරායේ කම්කරුවෝ

වරාය සමාගමේ කොටස්වලින් සියයට 80 චීන රජයට අයත් මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් කොම්පැනියට විකිනීමේ ගිවිසුමක් අත්සන් කරමින් වරාය පුද්ගලීකරනය කිරීමේ එහි අධිෂ්ඨානය ආන්ඩුව පසුගිය සිකුරාදා අවධාරනයෙන් පෙන්නුම් කලේ ය.

සඳුදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී “විරෝධාතාව අතහැර ගෙදර ගොස් පසු දින අලුතෙන් වැඩට එන්න. වැඩට ඒමට අපේක්ෂා කරන දහස් ගානක් ඉල්ලුම්කරුවෝ අපට සිටිති” යි රනතුංග කම්කරුවන්ට කීවේය.

වර්ජකයන් “ආන්ඩුවේ දේපල වලට අලාබ කල” බව ට ද රනතුංග චෝදනා කලේ ය. චෝදනාව ඔවුන්ගේ අරගලය මර්දනය කිරීමේ දුෂ්ට ප‍්‍රචාරයක් ලෙස කම්කරුවෝ චෝදනාව හෙලා දකිති.

ආන්ඩුව වෙනුවෙන් කතාකරමින් වර්ජකයන් පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ හෙන්චයියන් බවත් වරාය අධිකාරියේ “සේවාතත්වයන් අස්ථාවර කිරීමට” ඔවුන් උත්සාහ කරන්නේයැයි ඇමති චෝදනා ය.

“මම හෙට සමාගමක් ආරම්භ කලොත්, ඔවුන් තවමත් දේශපාලන බලවේග විසින් මෙහයවනු ලබන නිසාත් ඔවුන් කෙරෙහි කිසිදු විස්වාසයක් තැබිය නොහැකි නිසාත් මෙම සේවකයන්ගෙන් කිසිවෙකුත් වැඩට නොගන්නෙමි” රනතුංග වැඩිදුරටත් ප‍්‍රකාශ කලේ ය.

මාධ්‍ය වල පිටුබලය සහිතව ආන්ඩුව විසින් ගෙන යන මෙම උද්ඝෝෂනයේ අරමුන වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා කරන ආන්ඩුවේ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන් සාධාරනීකරනය කිරීමය. මිලිටරිය, පොලීසිය හා ආරක්ෂක හමුදාවන් යෙදවීම, හොරිකඩයන් බඳවා ගැනීම හා වර්ජකයන් ට එරෙහිව නීතිමය පියවර ගන්න බවට තර්ජනය කිරීම මේවාට ඇතුලත් වේ.

වරාය තුල වාඩිලාගෙන සිටි කම්කරුවන් විසුරුවා හැරීමට හා නැව් දෙකක් මුදා ගැනීම සඳහා නාවික සොල්දාදුවන් සිය ගනනක් යොදවමින් ආන්ඩුව සෙනසුරාදා මෘග මිලිටරි මෙහෙයුමක් සංවිධානය කලේ ය. සොල්දාදුවෝ වර්ජකයන් ට පොලුවලින්, රයිපල් වලින් සහ සහ පයින් ගැසූහ. පහරදීමේ ප‍්‍රතිපලයක් ලෙස කම්කරුවන් හතර දෙනෙකු රෝහල් ගත කරනු ලැබීය. වරායට වාහන ඇතුලුවීම වැලැක්වීමට කම්කරුවන් විසින් සකස් කර තිබු මාර්ග බාධක පොලීසිය සඳුදා බලහත්කාරයෙන් ඉවත් කලේ ය. නාවික භටයෝ දැන් වරාය වාඩිලාගෙන සිටිති.

නැවකට වාහන පැටවීම සඳහා කුලියට කම්කරුවන් සපයන වෙනත් සමාගමකින් වරාය පාලනාධිකාරය ඊයේ (13) කම්කරුවන් ගෙනාවේ ය. එහෙත්, වැඩ කිරීම ප‍්‍රතික්ෂේප කල මෙම කම්කරුවෝ වර්ජිත කම්කරුවන්ට සහය පල කරමින් පිටවී ගියහ. වරායේ වැඩ කටයුතු නාවික සොල්දාදුවන් විසින් කරන බව පසුව දකින්නට ලැබුනි.

ලාබ ශ‍්‍රමිකයන් ලෙස ඔවුන්ව කුලියට සපයමින් හා ඔවුන්ගේ වැටුපෙන් කොටසක් ගාස්තු ලෙස අය කර ගනිමින් රැකියා විරහිත කම්කරුවන් සූරාකන එවන් සාමාගම් හතු පිපෙන්නාක් මෙන් මෑත කාලයේ මතු වී ඇත.

වර්ජිත කම්කරුවන් රාජපක්ෂ ආන්ඩුව යටතේ පුහුනු වන්නන් ලෙස බඳවා ගත් අය ය. එහෙත්, පුහුනු කාලයෙන් පසුව ඔවුන් ස්ථීර කර නැත. ඒ වෙනුවට ඔවුන් මාගම්පුර වරාය කලමනාකරන සමාගම නමින් අලුතෙන් පිහිට වූ සමාගමකට 2013 දී අනුයුක්ත කරනු ලැබීය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතාකල වර්ජකයෝ ඔවුන්ගේ ජීවන කොන්දේසි පිලිබඳව විස්තර කල අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ වර්තමාන ආන්ඩුව කෙරෙහි මෙන් ම ඊට පෙර පැවති රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි ද ඔවුන්ගේ කෝපය ප‍්‍රකාශ කලහ.

ඔහු මුලින් බැංකුවක රැකියාවකට යාමට අදහස් කරගෙන සිටි නමුත් ඊට වඩා හොඳ වැටුපක් වරායේ දී ගත හැකි යැයි සිතූ බව මූල්‍ය අංශයේ කම්කරුවකු වන අසන්ත කීවේ ය. “නමුත් මගේ බලාපොරොත්තු බිඳ වැටුනා. මා වගේ තවත් බොහෝ අය මෙතන ඉන්නවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ගනකාධිකරන පාඨමාලා සමත් වූ අය. සියල්ල එකතුවුනාම අපේ මාසික වැටුප රුපියල් 30,000 පමනයි. නමුත් වරාය අධිකාරිය ආන්ඩුවේ දේශපාලන ආධාර කරුවන් කිහිප දෙනෙකු රුපියල් 65,000 මාසික වැටුපකට දැන් බඳවා ගෙන ඉන්නව.”

රාජපක්ෂ ආන්ඩුවත් කම්කරුවන් මර්දනය කල ආකාරය ඔහු විස්තර කලේ ය. 2013 දී පුද්ගලික සමාගමකට අනුයුක්ත කිරීමට විරුද්ධ වූ කම්කරුවන් විරෝධතා උද්ඝෝෂනයක් කිරීමට උත්සාහ කල බව ඔහු කීවේ ය. එනමුත් ඔවුන් ව සංවිධානය කිරීමට මූලිකත්වය ගත් කම්කරුවන් කිහිප දෙනෙකු දොට්ට දමා රාජපක්ෂ ආන්ඩුව විසින් ඔවුන්ගේ විරුද්ධත්වය මර්දනය කරනු ලැබීය.

රුවන්

වරාය අධිකාරියට සම්බන්ධවීමේ දී ඔහුට ඉහල බලාපොරොත්තුවක් තිබු බව තවත් කම්කරුවෙක් වන රුවන් පැවසුවේ ය. “පසුගිය ආන්ඩුව අපට ස්ථීර රැකියා දෙන බවට පොරොන්දු වුනත් කිසි දෙයක් සිද්ධ වුනේ නැහැ” යි ඔහු කීවේ ය.

“රාජපක්ෂගේ මෙන් ම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවත් දෙක ම කම්කරුවන්ට සලකන්නේ එක ම අකාරයට අපට දැන් පැහැදිලියි. අද කම්කරුවන් පිටින් ගන්න පාලනාධිකාරය උත්සාහ කරනවා. වරායට නැවක් ඇවිල්ල තියෙනව. සැලසුම් කරන්නේ අපේ වර්ජනය කඩාකප්පල් කරන්න.” ඔහු පැවසුවේය.

වරාය හදන කාලයේ ඔහු 2006 සිට රුපියල් 375 දෛනික වැටුපකට වැඩ කල බව දෙදරු පියෙකු වන රියදුරෙකු ප‍්‍රකාශ කලේ ය. “සියලුම දීමනා එක්ක මාසෙකට රුපියල් 50,000 විතර උපයනවා. නමුත් ඒකෙන් රුපියල් 35,000 මාසෙකට බැංකු නයකට ගෙවනවා. අපිට වයස අවුරුදු 55 වෙනකම් රැකියාව දෙන බවට සමාගම කියපු නිසා සේවකයන් හැම කෙනෙක්මවාගේ බැංකු නය ගත්ත. දැන් කම්කරුවෝ විශාල වශයෙන් නය වෙලා ඉන්නේ. රක්ෂාව නැතිවීමේ තර්ජනය නිසා ලොකු ප‍්‍රශ්නයකට ඔවුන් මුහුන දෙන” බව ඔහු කීවේ ය.

සමහර කම්කරුවෝ ගම්පහ, කලුතර සහ පොලොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවලින් පැමිනි අය වෙති. පහසුකම් වලින් තොර බෝඩින් කාමර සඳහා අවම වශයෙන් මාසයකට රුපියල් 3000 පමන ඔවුන්ට ගෙවීමට සිදුවන අතර අහාර සහ ගමන් වියදම් සඳහා තවත් අමතර මුදලක් වැයවේ.

මාගම්පුර වරාය කම්කරු සමිතියේ (මාවකස) නායකයන්ට වර්ජනය කැඳවුම් කිරීමට බල කෙරුනේ පුද්ගලීකරනය සහ රැකියා අනාරක්ෂිත භාවය කෙරෙහි කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය නිසාවෙනි. එහෙත් සමිතිය තැත් කරන්නේ පුද්ගලීකරනය ආපස්සට ගැනීමට හෝ ඉල්ලීම් දීමට කිසිදු අදහසක් නැති ආන්ඩුවට පීඩනය යෙදීමට උත්සාහ කරන විරෝධතා ඉදිරිදර්ශනයකට වර්ජකයන් කොටු කර තැබීමට ය.

“වාරයේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා පිටතින් කම්කරුවන් ගන්නවාට විරුද්ධ නැති” බව මාවකස නායකයෙකු වන බුද්ධික ප‍්‍රසාද් කීවේ ය. “අපි එහෙම කලොත් අපට නැවතත් පහර දෙයි. අපේ ඉල්ලීම් ලැබෙනකම් අපි දිගටම සත්‍යග‍්‍රහය කරගෙන යනවා” ඔහු පැවසුවේය.

එවන් සාකච්ඡාවන්ගෙන් “තත්වය ව්‍යාකුල” වන බව පවසමින් වර්ජිත කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කතා කිරීම වැලක් වීමට ප‍්‍රසාද් උත්සාහ කලේ ය. වෘත්තීය සමිති නායකයන් උත්සුක වූයේ ඔවුන් මුහුන දෙන දේශපාලන ප‍්‍රශ්න ගැන කම්කරුවන් සාකච්ඡා කිරීම කෙරෙහිය.

කම්කරුවන් අවමන්ගත කිරීමේ ප‍්‍රයත්නයේ කොටසක් ලෙස ප‍්‍රදේශයේ බෞද්ධ භික්ෂුන් විසින් සංවිධානය කරන ලද සිල් සමාදන් වීමකට මාවකස නායකයන් විසින් ඔවුන්ව පොලඹවනු ලැබීය.

නැවත බලයට ඔට්ටු ඇල්ලීමේ කොටසක් ලෙස හිටපු ජනාධිපති රාජපක්ෂ කම්කරුවන්ගේ අරගලය ගසාකෑමට තැත් කරයි. “අපි නැවත බලයට අවොත් අපි ඔවුන් ව ස්ථීර කරනවා” යැයි ඊයේ ඔහු මාධ්‍යවලට පැවසුවේ ය. කම්කරුවන් අමතකවීමේ රෝගයෙන් පෙලෙන්නේ යැයි ඔහු සිතන බවක් පෙනෙන්නට තිබේ.

එමෙන් ම රාජපක්ෂ පාලන කාලය තුල ආරම්භ කල පුද්ගලීකරනයේ කොටසක් ලෙස කොලඹ වරායේ දකුනු පර්යන්තය ඉහත සඳහන් චීන සමාගමට ම බදු දුන්නේ ය. ඒ අයුරින් ම වර්තමාන ආන්ඩුව කොලඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය ඉන්දියානු සමාගමකට බදු දීමට සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීම නිසා වේගයෙන් අපකීර්තියට පත්වී ඇති සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි වර්ධනය වන ජනතා විරෝධයෙන් වාසි ගැනීමට රාජපක්ෂ උත්සාහ කරයි.

මහව්‍යාපාරිකයේ සහ ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාකම් වෙනුවෙන් පමනක් සේවය කරන ධනපති පන්තියේ සෑම කන්ඩායමකගේ ම බොරු පොරොන්දු මාගම්පුර වර්ජකයන් ප‍්‍රතික්ෂේප කල යුතු ය. තම අයිතීන් ආරක්ෂා කිරීම පිනිස ඔවුන් සෙසු වරාය වල තම සහෝදර කම්කරුවන් සහ සමස්තයක් ලෙස කම්කරු පන්තිය වෙත හැරිය යුතු ය.

මාගම්පුර කම්කරුවන්ට එරෙහිව මුදාහැර ඇති මර්දනය සමස්ත කම්කරු පන්තියට කල අනතුරු ඇඟවීමකි. ඔවුන්ගේ රැකියා, ජීවන කොන්දේසි සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කම්කරුවෝ ස්වාධීන දේශපාලන බලයක් ලෙස සංවිධානය වෙමින් වරාය සහ සෙසු මූලික කර්මාන්ත සමාජ අයිතියට සහ කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට යටත් කරන සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කල යුත්තාහ.

Share this article: