නූරි වතු අධිකාරි ඝාතනයේ චුදිතයන්ට මරන දඬුවම පැනවීම හා සමාජ දේශපාලන ප‍්‍රශ්න

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 දෙසැම්බර් 09

දැරිනියගල නූරි වත්තේ වතු අධිකාරි නිහාල් පෙරේරා ඝාතනය කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටි චුදිතයන් 21 දෙනෙකුගෙන් දැරිනියගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ [නොහොත් අතකොටා], අමිල විජේසිංහ, ඩී.කේ. වීරබාහු, ඩී. විජේකුමාර් ඇතුලු 18 දෙනෙකුට පසුගිය 24 වෙනිදා අවිස්සාවේල්ල මහාධිකරන විනිසුරු දේවිකා අබේරත්න මරන දඬුවම පැනවු අතර නිහාල් පෙරේරාගේ ආරක්ෂකයන්ට පහර දී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් බරපතල වැඩ ඇතිව වසර තුන හමාරක සිර දඬුවමක් ද ඔවුන්ට නියම කලේය.

සෙසු චුදීතයන් තිදෙනා වන සරත් විජේසිරි, එස්. මහේන්ද්‍රන් සහ තරිඳු දනන්ජය විජේසිරි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත. වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකාව තුල මෙතරම් සංඛ්‍යාවකට එකවර මරන දඬුවම නියම කල ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

වතු අධිකාරී පෙරේරාට දරුනු ලෙස පහර දී කඩුවලින් කපා ඝාතනය කලේ 2013 ජූලි 5 වෙනිදාය. ඔහු ඝාතනය කිරීමට හේතු වූයේ දැරිනියගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහ මෙහෙයූ මැර කල්ලියක් විසින් බලහත්කාරයෙන් වත්තේ වටිනා ගස් කපා විකිනීම හා වත්තේ ඉඩම් අල්ලා ගැනීමට විරුද්ධව පෙරේරා විසින් පොලීසියට පැමිනිලි කිරීමය. ඝාතනයට සම්බන්ධවූවන් ලෙස චුදිත වැඩිදෙනෙක්, චම්පික විජේසිංහ සහ ඔහුගේ කල්ලිය විසින් ඊට මෙහෙයවා ගනු ලැබ ඇත්තේ බලහත්කාරයෙන් බව ඔවුන්ගේ ඥාතීහු චෝදනාකරති. මෙම චුදිතයන් වතු කම්කරුවෝ වෙති.

නූරි වතු අධිකාරී ඝාතනය අතිශයින් ම මෘග හා සාපරාධී ක්‍රියාවක් බව විවාද රහිතය. එහෙත් එවන් සාපරාධී ක්‍රියාවන්ට තුඩු දෙන දේශපාලන හා සමාජ මූලයන් වගවිභාග කිරීම ධනපති ජනමාධ්‍ය සහ ධනේශ්වර පන්ඩිතයන් විසින් හිතාමතාම මග හරිනු ලබති. අපරාධ මැඩීම සඳහා දැඩි නීති පැනවීම සහ මරන දඬුවම ක්‍රියාත්මක කිරීම ඒ වෙනුවට අවධාරනය කරති.

ව්‍යවස්ථාවට අනුව මරන දඬුවම ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ඒ සඳහා අනුමැතිය දුන් දිනක ය. එසේ නැතහොත් ඔවුන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්වෙයි. නීතියක් ලෙස පැවතියත් 1976 පසුව ශ්‍රී ලංකාව තුල මරන දඬුවම ක්‍රියාත්මක කර නැත. 2015 වසරේ, මරන දඬුවම නියම වුවන් 1,115 බන්ධනාගාරතුල සිටියහ. සමාජීය සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල වන ප‍්‍රහාරයන් කෙරෙහි කම්කරු පන්තියේ සහ පීඩිත ජනයාගේ විරුද්ධත්වය වැඩෙන තතු තුල 2004 ජනාධිපති චන්ද්‍රිකා කුමාරනතුංග ගේ සහ 2012 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආන්ඩු මගින් ස්ත්‍රී දූෂන, මත්ද්‍රව්‍ය ව්‍යාපාර සහ මනුෂ්‍ය ඝාතන මර්දනය කිරීමේ නමින් මරන දඬුවම යලි ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් දරූ නමුත් මහජන විරෝධය නිසා එය වැලකුනි.

කොටදෙනියාවේ පස් හැවිරිදි සේයා සඳෙව්මී දැරිය දූෂනය කර මරා දැමීමෙන් පසුව ඇතිවූ මහජන විරෝධය ගසා කමින් මරන දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව 2015 ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තුව තුල සාකච්චා කලේ ය

දැඩි නීති පැනවීමෙන් හෝ මරන දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ මර්දනය කල නොහැකිය. අපරාධ ඉහල යාම හා මෘග මනුෂ්‍ය ඝාතන ඇතුලු සාපරාධී ක්‍රියාවන් රට තුල දේශපාලන හා සමාජ පරිහානියේ ඍජු ප‍්‍රතිවිපාක ලෙස උත්සන්න වී ඇත. මරන දඬුවම යනු රාජ්‍යය විසින් සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතනයකි.

මෙම අපරාධ නඩුවේ ප‍්‍රධාන විත්තිකරු දැරිනියගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති චම්පික විජේසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) හා හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවේ ප‍්‍රාදේශීය නායකයෙකු විය. ඔහු ප‍්‍රදේශයේ ජනතාව ත‍්‍රස්ත කරමින් බලහත්කාරයෙන් ගස් කැපීම, වතුවල සහ රජයේ ඉඩම් අල්ලා ගැනීම, මත්පැන් පෙරීම හා ස්ත්‍රී දූෂනය ඇතුලු නීති විරෝධී කටයුතු වල නිරත වූයේ දැරිනියගල ප‍්‍රදේශයේ ප‍්‍රමුඛ ශ්‍රීලනිප නායකයෙකුගේ පිටුබලය හා පොලිසියේ රැකවරනය ඇතිව ය.

ඔහු සහ ඔහුගේ මැර කල්ලියේ නීතිවිරෝධී සහ අපරාධ ක්‍රියාවන් සම්බන්ධයෙන් කරන ලද පැමිනිලි ගැන පොලිසිය මුලුමනින් ම මුනිවත රැකි බවට චෝදනා එල්ල වී ඇත. නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් වතු අධිකාරි පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් දැරිනියගල පොලීසිය නිසි ලෙස නීතිමය කටයුතු නොකිරීම ගැන පොලිසිය විවේචනයට ලක් කිරීමට මහාධිකරන විනිසුරුවරියට පවා සිදුවීමෙන් මෙම චෝදනාව වඩාත් සනාථ වේ

රට තුල විශේෂයෙන් දෙමල විරෝධී වර්ගවාදී යුද්ධය ගෙන ගිය කාලයේ තිස් අවුරුද්ද තුල ලංකාවේ අනුප‍්‍රාප්තික ආන්ඩුවල පිටුබලය සහිතව හමුදාවේ, පොලීසියේ හා ඉහල රාජ්‍ය නිලධරයේ අත්තනෝමතික හැසිරීම වඩ වඩා ඉස්මතු විය. මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මර්දනය කිරීමට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි මැර ක්‍රියා සහ ඝාතන සඳහා රජයේ සහ දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහය සහිත සන්නද්ධ මැර කල්ලි මෙන් ම දේශපාලනඥයන් හා රජයේ සමීපතම ආධාරකරුවන් මත්ද්‍රව්‍ය ඇතුලු විවිධ නීතිවිරෝධී ව්‍යාපාර පවත්වාගෙන යාම පිනිස ද පාතාල කන්ඩායම් පවත්වාගෙන යන බව කුප‍්‍රසිද්ධය.

2011 නත්තල් දවසේ තංගල්ලේ හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාන් ෂීක් ඝතනය කල හා ඔහුගේ පෙම්වතිය දූෂනය කල තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා පාතාල නායකයෙක් ලෙස ප‍්‍රසිද්ධ සම්පත් විදාන පතිරන හා 2012 ජුනි 15 ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) හම්බන්තොට කටුවාන රැස්වීමකට වෙඩිතබා දෙදෙනෙකු ඝාතනය කල සහ තවත් අපරාධ හා ස්ත්‍රී දූෂන වලට සම්බන්ධ බව සැලකෙන පාතාල මැරයෙකු වන ගීගන ගමගේ අමරසිංහ නොහොත් ජූලම්පිටියේ අමරේ රාජපක්ෂ පවුලේ සමීප හිතවතුන් වීම අපරාධකරුවන් දේශපාලන සංස්තාපිතය අතර පවතින සමීප සබන්ධකම පිලිබඳ මනා උදාහරන දෙකක් පමනි. මෙම මැර තන්ත‍්‍රය කම්කරුවන්, දුගීන් හා තරුනයන් බියගන්වා තලාපෙලා ධනපති පාලනය ගෙන යාමේ එක් කුරිරු විධි ක‍්‍රමයක් බවට ලංකාවේ ධනපති ආන්ඩු විසින් පත් කර ගෙන ඇත.

ධනේශ්වර පන්ති පාලනය විසින් නිර්මිත දරිද්‍රතාවය, විරැකියාව සහ සමාජ අසමානතාවය හේතුවෙන් සමාජය තුල අපරාධ වර්ධනය කෙරී ඇත. නූරි වත්තේ ඝාතන නඩුවේ චුදිතයන් ගෙන් බහුතරය නිසි අධ්‍යාපනයක් නොලද හා අදායම් මාර්ගයක් නොමැති වතුකම්කරුවෝ වෙති. සමාජයේ එවන් තත්වයක් පැවතීම පිලිබඳව අදාල රාජ්‍ය ආයතන වල අවධානය යොමුවිය යුතු බවට මහාධිකරන විනිසුරුවරිය ප‍්‍රකාශ කර තිබේ. කෙසේ වුවද මෙම කොන්දේසි අහසින් කඩා පාත්වූ තත්වයක් නොවේ. ඒවා වනාහි, කම්කරුවන්ගේ හා දුගීන්ගේ මොනම සමාජ ප‍්‍රශ්නයක් වත් විසඳිය නොහැකි ධනේශ්වර ක‍්‍රමයේ නිශ්පාදිතයන් ය.

බලයේ සිටි ආන්ඩු විසින් ක්‍රියාවට දමන ලද ආර්ථික පිලිවෙත් වල ප‍්‍රතිවිපාකයක් ලෙස ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාවය බෙහෙවින් පලල් වී ඇත. 2015 වසරේ ඉහලම ආදායම ලබන පවුල් සියයට 20 ආදායම සමස්ත ජාතික ආදායමෙන් හරි අඩකටත් වැඩි සියයට 53.5 විය. පහල ම සියයට 20 ලැබුනුු කුටුම්බ ආදායම සියයට 4.4 කි. තරුනයන් අතර විරක්ෂාව සියයට 21.7 ක් වන අතර 25-29 වයස් කාන්ඩයේ විරැකියාව සියයට 8.7 කි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත රාජ්‍ය වියදම් කැපීම අතුලු ආර්ථික ප‍්‍රතිසංස්කරනයන් මගින් විරැකියාව, දරිද්‍රතාව හා සමාජ අසමානතාවය තව තවත් ගැඹුරු වනු ඇති අතර වඩා පුලුල් පන්ති අරගල සහ සමාජ පිපිරීම් වලට කොන්දේසි සකසනු ඇත. අපරාධ “මර්දනය කිරීමේ” නාමයෙන් ධනපති පාලක පන්තිය මරන දඬුවම ඇතුලු මර්දන නීති ශක්තිමත් කරමින් සිටිනුයේ කම්කරු පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තලා දැමීමට ය.

Share this article: