යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපතිට සසජාතශි කැඳවුම්කරුගෙන් විවෘත ලිපියක්

2016 දෙසැම්බර් 09

පහත පලකරන්නේ සමාජවාදී සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ කැඳවුම්කරු විසින් යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙත යැවූ විවෘත ලිපියයි.

කපිල ප‍්‍රනාන්දු

ජාතික කැඳවුම්කරු

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ

2016.12.08

නවරත්නම් අනූජන්,

සභාපති,

මහා ශිෂ්‍ය සංගමය,

යාපනය විශ්ව විද්‍යාලය.

මහත්මයානෙනි,

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට එරෙහිව ඔබ ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම සම්බන්ධවයි.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන සහ ශිෂ්‍ය අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), පසුගිය 16 දා, යාපනය සරසවිය තුල උද්ඝෝෂනයක නිරතව සිටියදී, ඔබ තවත් සිසුන් කිහිප දෙනෙකු සමග එක්ව සසජාතශි සාමාජිකයන් වෙත එල්ල කල තර්ජනය හා බාධා කිරීම් සම්බන්ධයෙන් දෘඪතර විරුද්ධත්වය පල කරන සසජාතශි, ඔබ සහ ඔබේ සගයන් සිදුකල එම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාව දැඩි ලෙස හෙලා දකී.

යාපනය සරසවිය තුල සසජාතශි සාමාජිකයන් උද්ඝෝෂනයේ යෙදී සිටියේ ‘අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය හා දෙමල ජාතිකවාදය’ යන තේමාව යටතේ එම මස 20 දා යාපනයේ පුස්තකාලයේ පැවැත්වූ ප‍්‍රසිද්ධ රැස්වීම සඳහා ය. න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් කරා ගමන් කරන එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදයට හා ඊට ගැතිකම් කරන ලංකාවේත් කලාපයේත් ජාතික ධනපති කල්ලි කන්ඩායම්වලට සහ ව්‍යාජ වාම සංවිධාන වලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගය මත කම්කරුවන් තරුනයන් බලමුලු ගැන්වීම එම රැස්වීමේ එල්ලය විය.

2. සසජාතශි සාමාජිකයන් වෙත ඇඟිල්ල දිගු කල ඔබ හා ඔබේ සගයන්, “ඔය ගොල්ලෝ සිංහල දැ” යි ප‍්‍රශ්න කොට, “මෙහේ දේශපාලන පක්ෂවලට වැඩ කරන්න දෙන්නේ නෑ. අපි දැන් සාමකාමීව ඉන්නවා. ඒක අවුල් කරන්න එපා” යයි පවසමින් කල තර්ජනය, තමන් කැමති දේශපාලන අදහසක් දැරීමේ හා එය ව්‍යාප්ත කිරීමේ මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියට එරෙහි මැදිහත් වීමකි.

3. සරසවි තුල පක්ෂ දේශපාලනයට ඉඩ නැතැයි කියන ඔබ සහ ඔබේ ශිෂ්‍ය සංගමය, සරසවි තුල සහ ඉන් පිටත නිශ්චිත දේශපාලනයක නිරතව සිටින බව පලමු කොටම කිව යුතුය.

ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් අධ්‍යාපන සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර පරාජය කල හැකිය යන ව්‍යාජ ඉදිරි දර්ශනය තුල සිසුන් කොටුකර එම ප‍්‍රහාරයන්ට ඔවුන් යටත් කරමින් ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කිරීම ඔබේ දේශපාලනයයි.

4. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අන්ඩක් ලෙස වැඩ කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), “ශිෂ්‍ය දේශපාලනය” නම් වූ කඩතුරාව යටතේ “පක්ෂ දේශපාලනය” ට තහංචි පනවමින් සසජාතශි දේශපාලනයට එරෙහිව දකුනේ දී කරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැදිහත්වීම සමග උතුරේ දී ඔබ කරන ලද ඉහත මැදිහත්වීම සමපාත වෙයි. ඔබ මෙන්ම අවිශිබම යෙදී සිටින්නේ ද ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කිරීමේ විරෝධතා දේශපාලනයෙහි ය.

5. එම විරෝධතා දේශපාලනයෙහි ප‍්‍රතිගාමී ස්වභාවය මෑතම සිද්ධියකින් වුව පැහැදිලි කල හැක.

ඔක්තෝබර් මස 20 දා පොලිසිය කල වෙඩි තැබීමකින් යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු මරනයට පත් වු අවස්ථාවේ දී, ඝාතනයට ලක් වූ ශිෂ්‍යයන්ට සාධාරනය ඉෂ්ඨ කරන්නැයි ඉල්ලා, ඔබ ඇතුලු ශිෂ්‍ය සංගම් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග සාකච්ඡාවලට බඩ ගෑ අතර, ආන්ඩුවේ සීමිත පොරොන්දු මත සිසු ඝාතනයන්ට එරෙහිව සිසුන් යෙදී සිටි පන්ති වර්ජනය නවතා දැමී ය.

ඉහත සිසු ඝාතන වලට වගකිවයුතු ආන්ඩුවේ නායකයන්, නැතහොත් සැබෑ ඝාතකයන් වෙත ඔබ එලෙස බඩ ගාද්දී, ඝාතන වලට එරෙහිව වීදි බට මහජනතාව තුල මැදිහත් වෙමින් සසප සහ සසජාතශි පෙන්වා දුන්නේ, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් උතුරු නැගෙනහිර පවත්වා ගෙන යන හමුදා පාලනයේ ප‍්‍රතිඵලයක් ලෙස එම ඝාතන සිදු වී ඇති බවයි.

එම මැදිහත් වීමට ද එරෙහි වූ ඔබ සංගමයේ නායකයෝ, ඉහත පැහැදිලි කිරීම් අඩංගු සසප අත් පති‍්‍රකා බෙදීම නතර කරන්නැයි බල කලහ. ඔවුන් ප‍්‍රකාශ කලේ “මේක ආන්ඩුවේ වැරැද්දක් නොව පොලීසියේ ප‍්‍රශ්නයක්” බවයි.

6. අනෙක් අතට, ඔබ කියන වර්ගයේ ‘සාමයක්’ යාපනය සරසවිය තුල නොමැතිබව අනෙක් සිසුන් මෙන්ම ඔබද හොඳින් දන්නා කරුනකි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ඊනියා “ජාතීන් අතර සංහිඳියාවට” පිටුපසින්, යාපනය සරසවිය තුල ආන්ඩුවේ සහාය ලත් සිංහල වර්ගවාදී නඩ හා මිලිටරියේ කොටස් ප‍්‍රකෝපකාරිත්වය අවුලුවාලීමේ වැඩට බැසගෙන තිබේ. පසුගිය අගෝස්තු මාසයේ සිංහල හා දෙමල ශිෂ්‍යයන් අතර ඇති වූ ගැටුම එවන් ප‍්‍රකෝපකිරීම්වල ප‍්‍රතිඵලයකි.

පොලිස් වෙඩි තැබීම් වලින් ඔබ සරසවියේ ම ශිෂ්‍යයන් දෙදෙනෙකු ඝාතනය කෙරුනි. පොලීසියේ සහ මිලිටරියේ ඔත්තුකරුවන් විශ්ව විදල භූමිය සහ ඉන් පිටත සැරිසරමින් සිසුන්ගේ දේශපාලන කි‍්‍රයාකාරකමි පිලිබඳව නිරන්තරව නිරීක්ෂනය කරමින් සිටින බව ඔබ හොඳින් දන්නා කරුනකි.

ඔබ සරසවියේ පවතින්නේ එවන් ‘සාමයකි.’

7. සසප ට හා සසජාතශි ට එරෙහි කඩා පැනීම් හා තර්ජන වර්ධනය වන්නේ උතුරේත් දකුනේත් නව පන්ති අරගල වර්ධනය වන තත්වයක් තුලයි. ආන්ඩුව මෙන්ම දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුලු දෙමල ධනපති පක්ෂ සලිතව ඇත්තේ මෙම පන්ති අරගල මධ්‍යයේ සිංහල-දෙමල කම්කරුවන් සහ තරුනයන් අතර පන්තිමය එකමුතුවක් නිර්මානය වෙතැයි යන භීතියෙනි.

යුද අපරාධ සම්බන්ධව දෙමල ජනයාට සාධාරනය ඉටු කර ගැනීමටයැයි පවසමින්, ලොව ප‍්‍රධානතම යුද අපරාධකරු වන ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දනින් වැටෙන දෙමල ධනපතියන්ගේ පිලිවෙත් තුලින් දෙමල පීඩිත මහජනතාවගේ කවර හෝ අයිතියක් තහවුරු නොවනු ඇත. ඔබ සහ ඔබේ සංගමය යෙදී සිටින්නේ මෙම ධනපති දේශපාලනය පිටුපස සිසුන් ගාල් කිරීමේ දැනුවත් දේශපාලනික කි‍්‍රයාවලියකයි.

8. සිංහල-දෙමල කම්කරු පන්තිය භේද කිරීම සඳහා කොලඹ ධනපති ආන්ඩු දියත් කල වර්ගවාදී යුද්ධයට එරෙහිව සසප හා සසජාතශි, සප‍්‍රතිපත්තිකව සටන් වැදුනු අතර උතුරෙන් හා නැගෙනහිරින් රාජ්‍ය හමුදා ඉවත් කල යුතු යයි උද්ඝෝෂනයේ නිරතව සිටී. ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සිංහල-දෙමල කම්කරු පන්තිය බලමුලුගැන්වීම සඳහා එය සටන් වදී.

එම සටන අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අප යෙදී සිටින අරගලයේ අත්‍යයන්ත කොටසකි. නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සුරක්ෂිත කල හැක්කේ ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දමන මෙම ඉදිරිදර්ශනය යටතේ පමනි.

සසජාතශිට එරෙහිව ඔබ එල්ල කොට ඇති ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී තර්ජන මුලුමනින්ම නවතා දමන්නැයි තරයේ කියා සිටින අතර, අපසතු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් අභ්‍යාස කරමින්, යාපනය සරසවිය තුල අපේ දේශපාලනය ඉදිරියට ගෙන යමින් සසජාතශි ශාඛාවන් ගොඩනැගීමට නොකඩවා සටන් වදින්නෙමු.

මේ සම්බන්ධ ඔබේ ප‍්‍රතිචාරය බලාපොරොත්තු වෙමි.

මීට,

කපිල ප‍්‍රනාන්දු

සසජාතශි ජාතික කැඳවුම්කරු

Share this article: