තායිවානයට දුන් ට‍්‍රම්ප්ගේ දුරකථන ඇමතුම: චීනයට එරෙහි ප‍්‍රකෝපකරනයක්

Trump’s phone call with Taiwan: A provocation against China

2016 දෙසැම්බර් 6

ආසියා-පැසිෆික් කලාපය තුල “ශක්තිය තුලින් සාමය” නමැති ට‍්‍රම්ප්ගේ පිලිවෙත, සාමය සඳහා නො ව යුද්ධය සඳහා මූලෝපායකි.

තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන් වෙතින් ලැබුනු දුරකථන ඇමතුමක් පිලිගැනීම මගින් නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, දසක ගනනාවක් පැරනි රාජ්‍යතාන්ත්‍රික චාරිත‍්‍රය උඩුයටිකුරු කිරීම සඳහා නිල වසයෙන් වැඩ භාරගන්නා තුරු සිටියේ නැත. මුලුමහත් චීනයේ එක ම නීත්‍යානුකූල ආන්ඩුව ලෙස බෙයිජිනය පිලිගත්, “එක චීනයක්” පිලිවෙතෙහි කොටසක් වසයෙන්, එක්සත් ජනපදය තායිවානය සමග රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා අවසන් කල 1979න් පසු රාජ්‍ය නායකයන් අතර සිදු වූ පලමුවැන්න මේ සංවාදයයි.

ඉරිදා වොෂින්ටන් පෝස්ට්හි පල වූ ලිපියක්, දුරකථන ඇමතුම සඳහා ට‍්‍රම්ප් ගත් තීරනය අත්වැරැද්දක් හෝ ප‍්‍රමාද දෝෂයක් හැටියට කෙරෙන මාධ්‍ය ඇඟවුම් ප‍්‍රතික්ෂේප කලේ ය. ඒ වෙනුවට [එම තීරනය] “තායිවානය සමග සබඳතාවන් සඳහා නව මූලෝපායක් පිලිබඳ ව මාස ගනනාවක් තිස්සේ ට‍්‍රම්ප්ගේ උපදේශකයින් අතර සිදු කෙරුනු නිහඬ සූදානම් කිරීම් හා විමර්ෂනයන්හි නිෂ්පාදිතය” වන අතර “චීනය පිලිබඳව දැඩි ආරම්භක පියවරක් ගන්නා මෙන් බල කරන දැඩි මතධාරී උපදේශකයින්ගේ දැක්ම” පිලිබිඹු කලේ ය.

නාමික ව ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයට සුබ පැතීම පිනිස වූ ට්සායිගේ දුරකථන ඇමතුම පිලිගැනීමට ගැනුනු තීරනය, රාජතාන්ති‍්‍රක, ආර්ථික හා මිලිටරිමය වසයෙන් චීනය සමග ආක‍්‍රමනශීලී ප‍්‍රතිමුඛ වීමක් සඳහා වේදිකාව සූදානම් කිරීම සඳහා හිතාමතා හා ගනන් බලා සිදු කල ප‍්‍රකෝපකරනයකි.

හුදු දුරකථන ඇමතුමකට වඩා බොහෝ දෑ පරදුවට තබා ඇති බව ට‍්‍රම්ප් ඉරිදා ට්විටර් පනිවිඩයකින් පැහැදිලි කලේ ය: “(අපේ සමාගම්වලට තරඟ කිරීම දුෂ්කර කරමින්) ඔවුන්ගේ විනිමය අගය පහල දැමීම, ඔවුන්ගේ රටට යන අපේ නිෂ්පාදනවලින් විශාල බදු අය කිරීම (එක්සත් ජනපදය ඔවුන්ගේ නිෂ්පාදන වලින් බදු අය කරන්නෙ නෑ), එහෙමත් නැත්නම් දකුනු චීන මුහුදේ දැවැන්ත මිලිටරි සංකීර්න ඉදිකිරීම - කලාට කමක් නැද්ද කියල චීනෙ අපෙන් ඇහුවද? මං හිතන්නෙ නෑ! ”

මැතිවරන උද්ඝෝෂනය තුල දී ට‍්‍රම්ප් චීනයට පහර දුන්නේ එය විනිමය වංචනිකයෙකු ලෙස හංවඩු ගසන බවට හා චීන ආනයන මත සියයට 45ක තීරු බද්දක් පනවන බවට තර්ජනය කරමිනි. කෙසේ වතුදු, චීනය මත පීඩනය යෙදීමේ අරමුනෙන් ඔබාමා පරිපාලනය, චීනය විසින් පාලනය කෙරෙන කුඩා දූපත්වල දේශසීමාවන්ගෙන් නාවුක සැතපුම් දොලහක් ආසන්නයට තුන් වතාවක් යුද නෞකා යවමින් උත්සන්න කල ආතතීන් සහිත දකුනු චීන මුහුද පිලිබඳව ඔහු කීප වතාවක් සඳහන් කලේ ය.

සිය පරිපාලනය තායිවානය සමග වඩා සමීප සම්බන්ධතා තහවුරු කරගනිමින් “එක චීනයක්” පිලිවෙත පෙරලා දමන බව ඇඟවුම් කිරීම මගින් ට‍්‍රම්ප් ලොව වඩාත් අන්තරායකර ගිනිපුපුරක් ඉව බව නැති ව අවුලුවාලමින් ද චීනය සමග ගැටුමක අවදානම මතු කරමින් ද සිටී. තායිවානය ද්‍රෝහී ප‍්‍රාන්තයක් ලෙස සලකන බෙයිජිනය, තායිවාන ආන්ඩුවක් නිල වශයෙන් නිදහස ප‍්‍රකාශ කිරීම වැලකීම සඳහා තමන් යුද්ධයට යන බව ප‍්‍රකාශ කොට තිබේ.

ට‍්‍රම්ප්ගේ කාර්ය මන්ඩල ප‍්‍රධානියා වීමට නියමිත රීන්ස් ප්‍රීබස් ඇතුලු ට‍්‍රම්ප්ගේ අන්තර්වාර කැබිනට්ටුව සහ අනාගත පරිපාලනය තුල සිටින ප‍්‍රධාන චරිතවලට තායිවානය සමග ශක්තිමත් සම්බන්ධතා පවතින බව වොෂින්ටන් පෝස්ට් පෙන්වා දුනි. වාර්තා වන පරිදි මේ වසරේ ට්සායි ජනාධිපති බවට පත් වීමට ප‍්‍රථම ට‍්‍රම්ප්, 2011 සහ නැවතත් 2015 ඔක්තෝබරයේ රිපබ්ලිකානු දූත පිරිසක් සමග තායිවානයට ගොස් තිබේ. තායිවාන විදේශ ඇමති ඬේවිඞ් ලී, ප්‍රීබස් මිතුරකු ලෙස හඳුන්වා ඇති අතර ඔහුගේ පත්වීම දිවයිනට “සුබ පුවතක්” හැටියට වර්නනා කොට තිබේ.

තව ද ට‍්‍රම්ප් පාක්ෂිකයන්, “අප සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, නිදහස් වෙලඳපොල ආර්ථිකයක් හා නීතියේ පාලනය පොදුවේ බෙදාහදාගන්නා” තායිවානයට සහාය පල කරන වගන්තියක් රිපබ්ලිකන් පක්ෂ මැතිවරන ප‍්‍රකාශනයට ඇතුලත් කොට තිබූ බව පෝස්ට් පුවත්පත සඳහන් කලේ ය. “චීනයේ හැසිරීම, චීනය සමග අපේ අනාගත සම්බන්ධතා සම්බන්ධයෙන් අවසන් මැතිවරන ප‍්‍රකාශනයෙහි පල වූ සුභවාදී භාෂාව නිෂේධනය කොට ඇතැ” යි ප‍්‍රකාශයට පත් කල එම ප‍්‍රකාශනය, බෙයිජිනයට විවෘත ව ම සතුරු ය.

තායිවානය වැලඳගැනීම මගින් ට‍්‍රම්ප්, ජනාධිපති රිචර්ඩ් නික්සන් හා රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ජර් විසින් ස්ථාපනය කරනු ලැබූ ”එක චීනයක්” පිලිවෙතට තර්ජනය කරමින් සිටී. 1972 නික්සන් බෙයිජිනයට කල සංචාරය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරිහානියෙහි තීරනාත්මක සංඥාවක් - එනම් පශ්චාත් දෙවැනි ලෝක යුද ආර්ථික පර්යායෙහි කඩඇනය වූ ඩොලර්-රත්රන් පරිවර්ත්‍යතාව 1971 දී අවසන් වීම - සමග සම්පාත විය.

බෙයිජිනය පිලිගැනීම හා තායිපේ වෙතින් සිය සහාය ඉවත් කර ගැනීම මගින් නික්සන් පරිපාලනය, සෝවියට් සංගමය විනාශ කිරීම සඳහා වූ වොෂිංටනයේ ප‍්‍රයත්නයෙහිලා චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත‍්‍රයෙහි සහයෝගී ක්‍රියාකාරීත්වය නිශ්චය කර ගත්තේය. වොෂින්ටනය සමග චීනය පවත්වාගෙන ගිය සන්ධානය වූ කලි, 1991 දී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, දැවැන්ත අධිරාජ්‍යවාදී ආයෝජනවලට හා ඉතා ලාභ ශ‍්‍රම පදනමක් මත ලොව විශාලතම නිෂ්පාදන මධ්‍යස්ථානය බවට චීනය පරිවර්තනය කිරීමට මග පාදමින්, උත්සන්න කෙරුනු ධනේශ්වර පුනස්ථාපන ක්‍රියාවලියෙහි පූර්වරංගය විය.

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත් වෙමින් චීනය අත්කරගත් ප‍්‍රසාරනය සහ එක්සත් ජනපදයේ සාපේක්ෂ පරිහානිය, ඔවුන්ගේ හවුල්කාරීත්වය දැදුරු කොට තිබේ. ආර්ථික උපාය ඔස්සේ සිය අධිකාරය පවත්වාගෙන යාමට තව දුරටත් අසමත් එක්සත් ජනපදය, සෝවියට් සංගමයේ අවසානයෙන් පසු වැඩි වැඩියෙන් මිලිටරි උපක‍්‍රම වෙත යොමු ව තිබේ. සියවස් කාලක් තිස්සේ එක්සත් ජනපදයේ නායකත්වයෙන් සිදු කෙරුනු යුද්ධ දැන් න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන්ට - චීනය හා රුසියාව - එරෙහි එදිරිවාදිකම් බවට පත් වෙමින් පවතී. මේවා ට‍්‍රම්ප් යටතේ තවත් තීව‍්‍ර වනු ඇත.

“ආසියා පැසිෆික් කලාපය සඳහා ශක්තිය තුලින් සාමය පිලිබඳ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ දැක්ම” යන හිසින් යුතු ව නොවැම්බර් 7 වැනි දා ෆොරින් පොලිසි වෙබ් අඩවියෙහි පල කෙරුනු අර්ථභාරී විචාරයක්, තායිවානය සම්බන්ධයෙන් පමනක් නො ව කලාපය පුරාම චීනයට එරෙහි ආක‍්‍රමනකාරී පිලිවෙතක් සටහන් කරයි. හුදෙකලාවාදී ආස්ථානයක් (isolationist stance - කිසියම් ජාතියක් අන්‍ය ජාතීන්ගේ ගැටුම් හා මතභේදවලට අත නො දමා, ඉවත් ව සිටිය යුතු ය යන ප‍්‍රතිපත්ති ආස්ථානය) ගැනීමෙන් බෙහෙවින් දුරස් ව, ඔබාමා පරිපාලනයේ ආක‍්‍රමනශීලී “ආසියාවට හැරීමේ” පිලිවෙත ශක්තිමත් කිරීමට ට‍්‍රම්ප් අදහස් කරයි.

ඇලෙක්සැන්ඩර් ග්‍රේ සහ “ආර්ථිකය හා ආසියාව පිලිබඳ ට‍්‍රම්ප්ගේ ඉහල ම උපදේශකයන්ගෙන් කෙනෙකු” ලෙස වොෂින්ටන් පෝස්ට් පුවත්පත හඳුන්වන පීටර් නවාරෝ විසින් රචිත මේ විචාරය, බොහෝ දෑ පොරොන්දු වුවත් ඉටු කිරීමට අසමත් වීම ගැන ඔබාමාගේ “හැරීම” රුදුරු ලෙස විවේචනයට ලක් කරයි. හැරීම “උස් හඬින් කතා කරන නමුත් කුඩා කෝටුවක් අතැති ව ගිය අවිචක්ෂන අවස්ථාවක් බවට පත් වී ය” යි එය කියා සිටී. එය “කලාපය තුල ආක‍්‍රමනශීලීත්වය හා අස්ථාවරත්වය අඩු වීමට නො ව වැඩි වීමට මග පාදා ඇත.”

ඇමෙරිකානු මිලිටරිය, විශේෂයෙන් නාවික හමුදාව කප්පාදු කිරීම මගින් “නැගෙනහිර හා දකුනු චීන මුහුදේ චීන ආක‍්‍රමනශීලීත්වයට ආරාධනා කිරීම” සම්බන්ධයෙන් නවාරෝ සහ ග්‍රේ ඔබාමා පරිපාලනයට පහර ගසති. “උතුරු කොරියාව සමග අසාර්ථක ‘මූලෝපායික ඉවසීමේ’ පිලිවෙතක” නිරත වීම සම්බන්ධයෙන් ද ඔවුන් ඔබාමාට පහර දෙන්නේ එයින් “ඉහල නැගුනු අස්ථාවරත්වයත් වැඩි අවදානමත් හැර අන් කිසිවක් ලැබී නැති” බව කියමිනි. ඔවුන්ගේ විචාරය “ආසියාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පහන් ටැඹක්, ලෙස තායිවානය අභිවාදනය කරන අතර ඔබාමා එයට සැලකූ අන්දම “ඒ හා සමාන ව විෂඝෝර” බැව් කියා සිටී.

යථාර්ථයෙහි දී ඔබාමාගේ “හැරීම” වූ කලි, ආසියා පැසිෆික් කලාපය මුලුමනින් ම වාගේ බැහැර කරමින් මැද පෙරදිග වෙත අවධානය යොමු කල බුෂ් පරිපාලනයේ විදේශ හා මූලෝපායික පිලිවෙතින් ඉවතට කෙරුනු පැහැදිලි තැන් මාරුවක් විය. ඔබාමා පරිපාලනය චීනය හුදෙකලා කිරීම, එය ආර්ථික වසයෙන් දුර්වල කිරීම හා මිලිටරිමය වසයෙන් වටලෑම සඳහා පෘථුල ප‍්‍රයත්නයක නිරත ව තිබේ. දකුනු චීන මුහුදේ මිලිටරි ප‍්‍රකෝපකරන දියත් කිරීම, උතුරු කොරියාව සමග ගනුදෙනු ප‍්‍රතික්ෂේප කිරීම හා ගිය වසරේ තායිවානයට ඩොලර් බිලියන 1.8 ක ආයුධ අලෙවි කිරීම මෙයට ඇතුලත් වෙයි.

සෝවියට් සංගමය කෙරෙහි ජනාධිපති රීගන්ගේ කුපිත කරවන හා ආක‍්‍රමනකාරී පිලිවෙත ප‍්‍රතිරාව නංවන - ට‍්‍රම්ප්ගේ ඊනියා “ශක්තිය තුලින් සාමය” පිලිවෙතේ හදවතෙහි පවතින්නේ, චීනයට එරෙහි ව ආසියාකරය පුරා සන්ධාන හා මූලෝපායික හවුල්කාරීත්වයන් ශක්තිමත් කරගැනීම සේ ම වෙලඳ යුද පියවර සමග අතිනත ගෙන යන දැවැන්ත මිලිටරි ව්‍යාප්තකරනයකි. ආසියා පැසිෆික් කලාපය තුල චීනයට ඉහලින් මිලිටරි ආධිපත්‍යය පවත්වාගැනීම සඳහා එක්සත් ජනපද නාවික හමුදාව, නැව් 274 සිට 350 දක්වා පුලුල් කිරීමට ට‍්‍රම්ප් ප‍්‍රතිඥා දී තිබේ.

මේ හැඩගැසීම ට‍්‍රම්ප් ආරක්ෂක ලේකම් ධුරයට තෝරාගත් තැනැත්තාගෙන් ද අවධාරනය වෙයි: බෙයිජිනයේ ඊනියා “ආක‍්‍රමනශීලීත්වයට” මුහුන දීම සඳහා ආසියාව තුල එක්සත් ජනපද නාවුක බලය වැඩි කිරීමට ද වඩාත් දියුනු මිලිටරි දෘඪාංග යෙදවීමට ද හඬ නංවා ඇත. - ජනරාල් “මෑඩ් ඩෝග්” මැටිස් (ජනරාල් “පිස්සු බලු” මැටිස්). චීනය සමග සාධනීය සම්බන්ධතා පවත්වාගැනීමේ ප‍්‍රයත්නයට “සමාන්තර ව චීනය දකුනු චීන මුහුදේ සහ වෙනත් තැන්වල සිය දාමරික ක්‍රියාකලාපය නොකඩවා ගෙන ගියහොත් ප‍්‍රතිතුලනය සඳහා පිලිවෙතක්” අවශ්‍ය බව මැටිස් මෑතක දී ප‍්‍රකාශ කර සිටියේ ය.

ආසියා-පැසිෆික් කලාපය තුල “ශක්තිය තුලින් සාමය” නමැති ට‍්‍රම්ප්ගේ පිලිවෙත, සාමය සඳහා නො ව යුද්ධය සඳහා මූලෝපායකි. තායිවාන ජනාධිපති සමග සිය දුරකථන ඇමතුම මගින් ට‍්‍රම්ප්, සිය පත් වීම මගින් මතු ව ඇති අන්තරාය අඩුතක්සේරු කිරීම සඳහා මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය දරන වෑයම එලිදරවු කොට තිබේ.

ඔහුගේ පරිපාලනය සිය ප‍්‍රතිවාදීන්ගේ, විශේෂයෙන් චීනයේ වියදමින් “ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම” සඳහා සකලවිධ ක‍්‍රම සහ විධි යොදාගන්නා, මුලුමනින් ම ජාතිකවාදී හා මිලිටරිවාදී පාලනයක් වනු ඇත. ට‍්‍රම්ප්ගේ “ඇමෙරිකානු බලකොටුව” වූ කලි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වැඩිදුර විදාරනයක් සඳහා පූර්වරංගය යි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී මැදිහත් වීම මගින් වලකනු නොලැබේ නම් එය ස්ථිර ලෙස ම ලෝක යුද්ධය කරා ගමන් කරන්නේ ය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: