ට‍්‍රම්ප් ගොඩනගන්නේ මිලිටිරි ජුන්ටාවක් ද?

A Trump junta?

2016 දෙසැම්බර් 9

එක්සත් ජනපද දකුනු බල ඇනියේ හිටපු නාවික ජනරාල් ජෝන් කෙලී ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස බදාදා තෝරා ගැනීමත් සමග නව ජනාධිපති විසින් ඔහුගේ අනාගත කැබිනට් මන්ඩලය සඳහා මෑත දී සොයා ගත් විශ‍්‍රාම ලත් ජනරාල්වරුන්ගේ සංඛ්‍යාව තුන් දෙනෙකු දක්වා ඉහල ගියේ ය.

කෙලී නම් කිරීමට පෙර සිය ජාතික ආරක්ෂක උපදේශක ලෙස ට‍්‍රම්ප් නම් කලේ, ආරක්ෂක ඔත්තුසේවාවේ හිටපු ප‍්‍රධානියා හා උමතු මුස්ලිම් විරෝධියෙකු ද වන ලුතිනන් ජනරාල් මයික් ෆ්ලින් ය.

ඔහු සිය ආරක්ෂක දෙපාර්තමේන්තු ප‍්‍රධානියා ලෙස නිවේදනය කර තුබුනේ ද විශ‍්‍රාම ලත් මැරීන් ජනරාල්වරයෙකු වන ජේම්ස් මැටිස් ය. ජන ඝාතන සඳහා ඇල්මක් දක්වන ඔහුගේ පූර්ව ප‍්‍රකාශ නිසා “මෑඩ් ඩෝග් (පිස්සු බල්ලා)” යැයි නමක් ඔහුට පට බැඳී ඇත. ආරක්ෂක ලේකම් ලෙස මැටිස් නම් කිරීම තහවුරු කිරීම පිනිස, තනතුර බාර ගැනීමට පෙර වසර හතක කාලය තුල හමුදාවේ සේවය කර ඇති අධිකාරී ලත් මිලිටරි නිලධාරීන් (රජයේ ඉහල තනතුරු දැරීම) වලක්වන නීතියකින් ඔහු මුදා හරින ලියවිල්ලට, කොන්ග‍්‍රස් අනුමැතියක් අවශ්‍ය කෙරේ. 2013දී විශ‍්‍රාම ලත් මැටිස් ප‍්‍රමුඛ මිලිටිරි කොන්ත‍්‍රාත්කරුවෙකු වන ජනරාල් ඩයිනමික්ස්හි අධ්‍යක්ෂ මන්ඩලයට ද පත්ව සිටියේය.

තවත් ඊනියා තරු පහේ නිලධාරීහු පොරොත්තුව සිටිති. එක්සත් ජනපද මධ්‍යයම බලඇනියේ හිටපු ප‍්‍රධානියෙකු වූ ද මධ්‍යම ඔත්තුසේවාවේ අධ්‍යක්ෂ ලෙස කෙටි කලක් සේවය කලා වූ ද විශ‍්‍රාමලත් ජනරාල් ඩේවිඩ් පෙට්‍රෝස්, රාජ්‍ය ලේකම් තනතුර සඳහා සලකා බැලෙන බව වාර්තාවේ. පසු ගිය වසර හත තුල ඔහු හමුදා තනතුරු දරා ඇති බැවින් ඔහුට ද මුදා හැරීමේ අනුමැතිය අවශ්‍ය ය. වොෂින්ටනයේ සිට වැඩ කිරීමට හෝ පිටත සිට එක්සත් ජනපදයට පැමිනීමට ඔහුගේ පරිවාස නිලධාරියාගේ අවසරය ද ලබා ගත යුතු ය. ඔහුගේ අනියම් බිරිඳට ඉහල රහස්‍ය ඔත්තුසේවා ලියවිලි ලබා දීම සම්බන්ධයෙන් වරද පිලිගැනීමෙන් අනතුරු ව, පසු ගිය වසරේ දී ඔහු වසර දෙකක පරිවාස කාලයකට යටත් කෙරී ඇත.

හිටපු නේටෝ මිත‍්‍රපාක්ෂික හමුදා ආඥාපති විශ‍්‍රාමලත් අද්මිරාල් ජේම්ස් ස්ටාර්විඩිස් ද වර්තාවන පරිදි රාජ්‍ය ලේකම් තනතුර සඳහා පරීක්ෂාවට බඳුන්ව සිටී. ඔහු බ‍්‍රහස්පතින්දා නිව් යෝක් හි දී ට‍්‍රම්ප් මුන ගැසුනේ ය. කලින් ඔහු සලකන ලද්දේ, ඩිමොක‍්‍රැටික් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ක්‍රියාකාරී සගයා වනු ඇති බවටය. එමෙන් ම දැනට ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රධානියා වන අද්මිරාල් මයිකල් රොජර්ස් ජාතික ඔත්තුසේවයේ අධ්‍යක්ෂ වනු ඇතැ යි කියනු ලැබේ.

ට‍්‍රම්ප්ගේ කැබිනට් මන්ඩලයට එක්ව සිටින ජ්‍යෙෂ්ට මිලිටරි නිලධාරීන්ගේ සංඛ්‍යාව එලඹෙන පාලනාධිකාරය වඩ වඩා ලතින් ඇමරිකානු මිලිටරි ජුන්ටාවකට සමාන තත්වයට පත් කර යි. එක්සත් ජනපදයේ දැවන්ත යුද යාන්ත‍්‍රනය පරීක්ෂා කරන ආරක්ෂක අමාත්‍යංශය හා පිම්බෙන පොලිස් රාජ්‍ය සංවිධාන සමායෝජනය කරන අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්මේන්තුව යන දෙක ම, මෑත දී විශ‍්‍රාම ලත් නාවික හමුදා ජනරාල්වරුන් දෙදෙනෙකුට බාර දීම විශේෂයෙන් ම බියකරු ය. එය අඟවන්නේ මිලිටරි ගජමිතුරන් කන්ඩායමකගේ දැඩි පාලනය යටතේ විදේශයන් හි යුද්ධය ද රට තුල මර්දනය ද සුමට ලෙස සමායෝජනය කිරීම අරමුනු කර ගැනුනු ආන්ඩුවකි.

වියට්නාම් යුද්ධය අතරතුර දී අනිවාර්ය යුද සේවයට බැඳීම පස් වතාවක් මග හැර සිටි ප‍්‍රකෝටිපති රැවටිලිකාරයෙකු වන ට‍්‍රම්ප්, “‘මෑඩ් ඩෝග්’ මැතිස්” යයි රැස්වීම්වල දී මුග්ධ ලෙස කෑ ගසමින් පෙන්නුම් කලේ, මිලිටරි ප‍්‍රධානීන් වට කරගෙන සිටීමට ආශා කරන බවය. ෆලූජා සංහාරයේ නිර්මාපකයා සමග සන්ධානය යම් ආකාරයකින් ඔහුගේ ප‍්‍රතිරූපය ශක්තිමත් කරනු ඇතැයි ඔහු සිතනවා විය හැක. එහෙත් ආන්ඩුවේ ඉහල තනතුරුවලට මිලිටරිය නැගී ඒමේ වෛෂයික මූලයක් පවතී.

“සෑම නගරයකම, සෑම ආන්ඩුකාර කාර්යාලයකම, මධ්‍යම ආන්ඩුවේ සෑම කාර්යාලකම පැතිර ඇති ―ආර්ථික, දේශපාලන, අධ්‍යාත්මික පවා ― වැඩෙන යෝධ මිලිටරි සංස්ථාපිතයක හා විශාල අවි කර්මාන්තයකම” බලපෑම ගැන, දෙවැනි ලෝක යුද්ධයේ හිටපු ජ්‍යෙෂ්ට මිත‍්‍රපාක්ෂික අනදෙන්නා වූ ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර් ප‍්‍රවේසම් සහගත ව ඔහුගේ ඉවත්ව යාමේ කතාව පැවත් වූ දින සිට මේ වන විට වසර පනහකට වඩා ගෙවී ගොස් ඇත.

අයිසන්හවර් මෙසේ අනතුරු ඇඟවී ය, “මිලිටරි කර්මාන්ත ජාලය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව, සාධාරන නො වූ අනුහසක් පැතිරවීම ගැන අප ආරක්ෂා විය යුතු ය. බලයේ අස්ථානගත විනාසකාරී නැගීමේ විභවය පවතින අතර එය ලෙස පවතිනු ඇත.”

එලඹෙන ට‍්‍රම්ප් පාලනාධිකාරය තුල “බලයේ අස්ථාන ගත විනාසකාරී නැගීමේ” පරිමාව හෝ එක්සත් ජනපද මිලිටරි සංවිධානයන්ගේ විශාල වැඩීම හෝ ඔහුගේ බියකරු ම සිහින තුල පවා, අයිසන් හවර් සිතන්නට ඇතැ යි යන්න බොහෝ සේ නොවිය හැක්කකි.

ඩොලර් බිලියන 580ක් වන පෙන්ටගනයේ වියදම, සෑම වසරක ම මධ්‍යම ආන්ඩුවේ වියදම්වලින් අඩකට වඩා වැඩි ය. අවසානයක් නැති විදේශ යුද්ධ සඳහා වන දූෂිත අරමුදල්, න්‍යෂ්ටික යුද්ධ හා අනෙකුත් මිලිටරි වියදම් සඳහා දරන වියදම් එකතු කල විට සෑම වසරක ම වොෂින්ටන් යුද යාන්ත‍්‍රනයේ වියදම ඩොලර් ට්‍රිලියන එකක් තරම් ය.

පෙන්ටගනයේ වියදම සමග මිලිටරි නායකයයින්ගේ බලය අවිච්චින්න ලෙස වැඩී ඇත්තේ, විශේෂයෙන් ම අවසානයක් නොමැති යුද්ධ සමගින් ගෙවී ගිය විසිපස්වසර තුල දී ය. “සම්පූර්න-ස්වේච්ඡා” වෘත්තීය සන්නද්ධ හමුදාවක් ඇති කිරීම, මිලිටරිය වඩ වඩා සිවිල් ප‍්‍රජාව වෙතින් හුදකලා කර ඇති අතර, රාජ්‍ය කටයුතුවල දී කවර දාවත් නො වූ ලෙස එහි ස්වාධීන දේශපාලන උත්සුකතා තහවුරු කර ගෙන ඇති පැහැදිලි සමාජ පැලන්තියක් නිර්මානය කර තිබේ. මැටිස්, කෙලී, පෙට්‍රෝස් හා ස්ට‍්‍රැවිඩාස් වැනි ඊනියා “ඒකාබද්ධ සටන් ආඥාපතිවරු,” එක්සත් ජනපද ආන්ඩුවේ ඕනෑ ම තානාපතිවරයෙකු හෝ වෙනත් සිවිල් නියෝජිතයෙකු පරයා යමින් පෘතුවි ගෝලයේ කලාප පුරා අතිවිශාල බලයක් අත්කරගෙන සිටිති.

එක්සත් ජනපද මිලිටරියේ සාමාන්‍ය භටයින් විශාල වසයෙන් ට‍්‍රම්ප්ට පක්ෂපාතී වූ බව පෙනෙන අතර― ඔහු ඇෆ්ගනිස්තානයේ හා මැද පෙරදිග අවසානයක් නැති යුද්ධ නතර කරනු ඇතැ යි යන අවමංගත කෙරුනු යම් විශ්වාසයක් නිසා― ඩෙමොක‍්‍රටික් පක්ෂයේ ක්ලින්ටන්, ඉහල මිලිටරි නිලධාරීන්ගේ ප‍්‍රියතමයා වූවා ය. ඇය මිලිටරිවාදයේ ප‍්‍රවීන ආධාරකරුවෙකු ලෙස මෙන් ම රුසියාවට එරෙහි යුද්ධය සඳහා ඔවුන්ගේ මූලෝපායික සූදානමේ වඩා විශ්වාසදායි සහායකයා ලෙස ද ඔවුන්ගේ සැලකීමට ලක් විය.

ෆ්ලින්ට අමතරව ඉහල තනතුරු සඳහා නම් කෙරී සිටින හිටපු මිලිටරි අනදෙන්නන් කිසිවෙකු ට‍්‍රම්ප්ට අනුමැති පල කර තිබුනේ නැත. ඔවුන්ගෙන් ඇතමෙකු ඔබාමා පාලනාධිකාරය සමග ගැටී තිබුනි, උදාහරන වසයෙන් ඉරානය සම්බන්ධයෙන් මැටිස් හා ගුවන්තනාමෝ සම්බන්ධයෙක් කෙලී එවැන්නන්ය.

ට‍්‍රම්ප් හිටපු ජනරාල්වරුන් තේරීමේ තරමට ම, ජනරාල්වරුන් ඔහුගේ පාලනාධිකාරිය තෝරා ගනිමින් සිටින අතර ඔවුහු, අවසානයේ දී තමන්ට ප‍්‍රතිපත්ති පැනවීමට හැකි වේ යයි විශ්වාස කරති.

ඔබාමා පාලනාධිකාරය හා කොංග‍්‍රස් මන්ඩල ඩෙමොක‍්‍රටිකයන් බ‍්‍රහස්පතින්දා ඇඟවුම් කලේ, ආරක්ෂක ලේකම් ලෙස මැටිස් පත් කිරීම පිලිබඳව ඔවුන් බාධා ඇති නොකරන බව යි. මෙම සති අන්තයේ දී කොංග‍්‍රසය කල් දැමීමට පෙර, අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ අතිරේක වැය ශීර්ෂයක් සම්මත කිරීමට පියවර ගෙන ඇත. එය මෑත දී සේවයේ යෙදී සිටි නිලධාරීන් මත පැනවී තිබෙන නීතිමය තහනම් ඉවත් කිරීම ඉක්මන් කරනු ඇත. වසර 60ට වැඩි කාලයකට පසුව, මුක්ත කිරීම ප‍්‍රදානය කෙරෙන පලමු වතාව මෙය වනු ඇති නමුත්, සෙනේට් සභාව තුල ඒ පිලිබඳ විවාදය පැය 10කට සීමා කෙරෙනු ඇත.

ධවල මන්දිර ප‍්‍රකාශක ජොෂ් අර්නස්ට් ප‍්‍රකාශ කලේ, ට‍්‍රම්ප්ට “ඔහුගේ කන්ඩායම රැස් කර ගැනීමට පලල් ඉඩකඩක් දිය යුතු” බව මෙන් ම “මෙය වැදගත් මූලධර්මයක් බව” ඔබාමා විශ්වාස කරන බවත් ය.

පැහැදිලිව පෙනෙන පරිදි එය, මිලිටරිය සිවිල් පාලනයකට වඩා වැදගත් ය. දේශපාලන සංස්ථාපිතයේ සැලකිය යුතු කන්ඩායමකගේ සහාය ඇතිව, මෙම අති මූලික ව්‍යවස්ථාදායක මූලධර්මය හිස් කඩදාසියක් බවට පත් කර ඇත. එය වනාහි, ට‍්‍රම්ප් ජනාධිපති වීම තුල පූර්න දේශපාලනය ප‍්‍රකාශනය සොයා ගත්, එක්සත් ජනපදයේ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍ර‍්‍රවාදී ආයතනයන්ගේ පරිහානිය හා බිඳවැටීම පිලිබඳ ප‍්‍රබල ම ප‍්‍රකාශනයකි.

නිව් යෝක් නගරය තුල ට‍්‍රම්ප් සතු ගොඩනැගිලි සංකීර්නවල පැවැත්වෙන සැසිවාර වල දී තෝරාගනු ලබන්නේ, ප‍්‍රකෝටිපතියන් හා ජනරාල්වරුන්ගෙන් සමන්විත පන්ති යුද්ධයේ ආන්ඩුවකි. එය රට තුල සමාජ ප‍්‍රතිගාමිත්වයේ ද විදේශයන් හි යුද්ධයේ ද ප‍්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙන් ම, එම ප‍්‍රතිපත්ති මගින් කම්කරු පන්තිය හා තරුනයන් අතර අවුලුවනු ඇති දැවන්ත මහජන විරුද්ධත්වයට මුහුන දීමට සූදානම් වෙමින් එම පාලනය හැරෙන්නේ මිලිටරිය දෙසට ය.

බිල් වෑන් ඕකන්

Share this article: