එක්සත් ජනපද ගල් අඟුරු පතල් කම්කරුවෝ සෞඛ්‍ය හා විශ‍්‍රාම ප‍්‍රතිලාභ කප්පාදුවට මුහුන දෙති

US coal miners face cutoff of health, pension benefits

2016 දෙසැම්බර් 13

ඉදිරි මාස කිහිපය තුල එක්සත් පතල් කම්කරු සෞඛ්‍ය හා විශ‍්‍රාම අරමුදලෙහි ප‍්‍රතිපාදන අවසන් ව යාමත් සමග, 120,000 කට වඩා විශ‍්‍රාමික ගල් අඟුරු පතල් කම්කරුවන් සෞඛ්‍ය හා විශ‍්‍රාම ප‍්‍රතිලාභ කප්පාදුවට ලක් වීමේ තර්ජනයට මුහුන දෙනු ඇත.

වෛද්‍ය ආවරන අහිමි වීමේ තර්ජනයට ලක් ව සිටින බටහිර වර්ජිනියා, ඔහායෝ, ඉන්ඩියානා, කෙන්ටකි සහ ඉලිනොයි යන ප‍්‍රාන්තවල විශ‍්‍රාම ලත් පේට්‍රියට් ගල්අඟුරු පතල් කම්කරුවෝ 16,000ක් ද මේ වසර අවසානයේ සෞඛ්‍ය ප‍්‍රතිලාභ අහෝසි වී යාමට ඉඩ තිබෙන තවත් 6,500ක් දෙනා ද මෙයට ඇතුලත් වෙති.

මීට අමතරව, යූනියන් විශ‍්‍රාම අරමුදල බංකොලොත් භාවයට පත් වුවහොත් හෝ බුන්වත් වීමට ආසන්න ආන්ඩුවේ විශ‍්‍රාම සහන සහතික ආයතනයට එම අරමුදල ඒකාබද්ධ කල හොත්, 89,000ක් පතල් කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද විශ‍්‍රාම හිමිකම් ලබා ඇති එහෙත් ගෙවීම් ලබා නැති තවත් පතල් කම්කරුවන් 22,000ක් ද එක්කෝ සිය විශ‍්‍රාම දීමනා අහිමි වීමට හෝ දරුනු කප්පාදුවලට මුහුන පානු ඇත.

දිගහැරෙමින් පවතින ඛේදවාචකය වූ කලි, ඇමරිකාවේ එක්සත් පතල් කම්කරු සංගමය (යූඑම්ඩබ්ලිව්ඒ) විසින් දසක ගනනක් තිස්සේ කරනු ලැබූ පාවාදීම්වල ප‍්‍රතිඵලයකි. එය -ඇමෙරිකානු කම්කරු පන්තියේ ඓතිහාසිකව වඩාත් සටන්කාමී හා පන්ති විඤ්ඤානයෙන් යුක්ත කොටස වන- පතල් කම්කරුවන් දරිද්‍රතාවේ මුව විටට ඇද දමා තිබේ.

මේ අර්බුදයට ආසන්න හේතුව, ගල් අඟුරු ඉල්ලුම පහල වැටීම හා ලොව විශාලතම ගල් අඟුරු නිෂ්පාදකයා වන පීබොඩි කෝල් ඇතුලු සමාගම් ගනනාවක් බැඳීම්වලින් නිදහස් වීම සඳහා බංකොලොත්භාවය ප‍්‍රකාශයට පත් කොට ව්‍යාජ සමාගම් ඇටවීමට පියවර ගෙන තිබීම යි. ඔවුන්ගේ දායකත්වයට හිලව් වසයෙන් යූඑම්ඩබ්ලිව්ඒ සංවිධානය අතට වොලන්ටරි එම්ප්ලෝයී බෙනිෆිෂරි ඇසෝෂියේෂන් නොහොත් වීඊබීඒ ලෙසින් හැඳින්වෙන විශ‍්‍රාමිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂන ව්‍යාපෘතිවල පාලනය පත් කොට තිබේ. මේවා වෘත්තීය සංගම් විධායකයින්ට වල ඉහගෙන කෑම සඳහා අරමුදල් සපයයි.

පතල් කම්කරුවන් අබියස පවතින ව්‍යසනයට දේශපාලන මූලයන් තිබේ. එය පතල් කම්කරුවන්ගේත් සමස්තයක් වසයෙන් කම්කරු පන්තියේත් අවශ්‍යතා සමාගම්වල ලාභ අවශ්‍යතාවන්ට යට කිරීමේ ප‍්‍රතිඵලයකි. මෙය ධනේශ්වර ඩිමොක‍්‍රටික් පක්ෂය සමග වෘත්තීය සංගම් පවත්වාගෙන යන සන්ධානය ඔස්සේ දේශපාලනික ව ක්‍රියාත්මක කරනු ලැබී ය.

විශ‍්‍රාමික සෞඛ්‍ය ආරක්ෂනය හා විශ‍්‍රාම ප‍්‍රතිලාභ සඳහා වූ අයිතිය පාලක පන්තිය විසින් කම්කරුවන්ට ප‍්‍රදානය කෙරුනා නො වේ. එය වූ කලි දෙවැනි ලෝක යුද්ධයෙන් ක්ෂනික ඉක්බිත්තේ, පතල් කම්කරුවන් හා වෙනත් අංශවල කම්කරුවන් දියත් කල වර්ජන මාලාව ද ඇතුලු බොහෝ අරගල වල ප‍්‍රතිඵලයකි.

කෙසේ වතුදු, යූඑම්ඩබ්ලිව්ඒ සභාපති ජෝන් එල්. ලුවිස්, යූඒඩබ්ලිව් සභාපති වෝල්ටර් රොයිටර් සහ අනෙකුත් සංගම් නායකයෝ සමාජවාදයට එරෙහි වූ අතර ආන්ඩුව මගින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය හා විශ‍්‍රාම ක‍්‍රමයක් වැනි, සමාගම් ප‍්‍රභූවෙහි ආර්ථික ආඥාදායකත්වයට පැනවෙන මොන ම බැරෑරුම් සීමා කිරීමක් උදෙසා හෝ සටන් කිරීම ප‍්‍රතික්ෂේප කලෝ ය.

ලුවිස් 1950 දී, සංගම් “කර්මාන්තයේ ආයෝජකයින්ට ඔවුන්ගේ ප‍්‍රාග්ධනය සඳහා ප‍්‍රතිලාභ ලැබීම වෙනුවෙන් පෙනී සිටින බව” ප‍්‍රකාශ කරමින්, සෑම ගල් අඟුරු ටොන් එකක් සඳහා ම සේව්‍යයා විසින් ගෙවනු ලබන නිෂ්පාදන භාගයෙන් මුදල් සැපයෙන, සංගම් මගින් පාලනය කෙරෙන, සෞඛ්‍ය ආරක්ෂන හා විශ‍්‍රාම වැටුප් අරමුදලකට එකඟතාව පල කර සිටියේ ය. ඊට හිලවු වසයෙන් 1950 දී 415,562ක් වූ පතල් සේවක සංඛ්‍යාව 1969 වන විට 124,532 දක්වා අඩු කිරීමට මග පෑදූ කර්මාන්ත යාන්ත්‍රීකරනය හා ප‍්‍රතිව්‍යූහකරනයට ඔහු සහාය පල කලේ ය.

ඉන් පසු එලඹි දශකවල දී පතල් කම්කරුවෝ, ක්ෂය වෙමින් පැවති අරමුදල් තර කිරීම සඳහා විශ‍්‍රාමිකයින්ටත් ඔවුන්ගේ පවුල් වලට ලැබෙන ප‍්‍රතිලාභ කප්පාදු කරන අතරවාරයේ රාජ්‍යයට භාගය පහල දමන සෙනෙහෙවන්ත ගනුදෙනුවලට අත්සන් කල යූඑම්ඩබ්ලිව්ඒ සමග වැඩි වැඩියෙන් ගැටෙන්නට වූහ. 1960 ගනන්වල අග උද්ඝෝෂනයේ යෙදුනු විශ‍්‍රාමික හා ආබාධිත පතල් කම්කරුවෝ, ප‍්‍රතිලාභ සඳහා සම්පූර්න අරමුදල් සම්පාදනය, ප‍්‍රජා සායන හා දුර්වර්න පෙනහලු රෝගය සඳහා වන්දි ඉල්ලා හිටි ගමන් පැන නගින වර්ජන අවුලුවා ලූහ.

“තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා” සෞඛ්‍ය ආරක්ෂන හා විශ‍්‍රාම ප‍්‍රතිලාභ රැකගැනීම සඳහා 1977-78 සමයේ දින 111ක් තිස්සේ ඇදී ගිය පතල් කම්කරුවන්ගේ වර්ජනයෙන් මෙය කූටප‍්‍රාප්තියට පැමිනියේ ය. පතල් කම්කරුවෝ, ද්‍රෝහී කොන්ත‍්‍රාත් අනුමත කරගැනීමට දෙවතාවක් ම අසමත් වූ සංගම් සභාපති ආනල්ඩ් මිලර්ට පමනක් නො ව ටැෆ්ට්-හාර්ට්ලි පනත යොදාගනිමින් බලහත්කාරයෙන් ඔවුන් ආපසු වැඩට යැවීමට තැත් කල ඩිමොක‍්‍රටික් ජනාධිපති ජිමී කාටර්ට ද එරෙහි වූහ.

1980 ගනන්වල ඇමරිකානු පාලක පන්තිය 1920 ගනන් හා 1930 ගනන්වල “කම්කරු යුද්ධ” වලින් මෙපිට යොදාගනු ලැබ නැති -වර්ජන කඩාකප්පල් කිරීම, වෘත්තීය සමිති විනාශ කිරීම, අවි ගත් මැර ප‍්‍රචන්ඩත්වය හා හොර නඩු ඇටවීම වැනි- පන්ති යුද්ධයේ විධික‍්‍රම වෙත මාරු විය. කෙසේ වුව ද මේ විධික‍්‍රම පතල් කම්කරුවන්ගේ පරාජයට මූලික හේතුව නො වී ය. පතල් කම්කරුවෝ අප‍්‍රතිහත ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුතු ව පෙරලා සටන් වැදුනහ. ඔවුන් පරාජය වූයේ යූඑම්ඩබ්ලිව්ඒ හිතාමතා සිදුකල කඩාකප්පල් කිරීම් හේතුවෙනි.

පතල් කම්කරුවන්ගේ “කොන්ත‍්‍රාත්තුව නැත්නම් වැඩ නැත” යන සටන්කාමී සම්ප‍්‍රදාය හා සංගමයට සම්බන්ධ හා සම්බන්ධ නැති සියලු පතල්වල වැඩ නවතන ජාතික වැඩ වර්ජන පිටුදකිමින්, අලුතින් පත් වුනු යූඑම්ඩබ්ලිව්ඒ සභාපති, මිලර්ගේ නීති කාර්ය මන්ඩලයේ හිටපු සාමාජිකයකු වූ රිචර්ඩ් ටෘම්කා “වරනාත්මක වර්ජන” ( “selective strikes”- තෝරාගත් ප‍්‍රදේශවල හෝ කම්හල්වල පමනක් වැඩ වර්ජනයේ යෙදීම) හඳුන්වා දුන්නේ ඒටී මැසී හා පිට්ස්ටන් යන සමාගම්වලට එරෙහි අරගලය හුදෙකලා කොට පරාජය කරනු පිනිස ය. 1989 හිටි වන පැන නැගී වර්ජනයට මුහුන දෙමින් ටෘම්කා, පිට්ස්ටන්හි නොදැමුනු ස්වභාවය, යූඑම්ඩබ්ලිව්ඒ ගල් අඟුරු කර්මාන්තය තුලට ගෙනවුත් තිබෙන ස්ථාවරත්වය හා තරගකාරීත්වය විනාශ කිරීමට තර්ජනය කරන්නේ යැයි චාල්ස්ටන් ගැසට් පුවත්පතට ප‍්‍රකාශ කරමින් ගල් අඟුරු කම්හල් ප‍්‍රධානීන්ට හා ආන්ඩුවට අපේක්ෂා භංග ආයාචනයක් නිකුත් කලේ ය.

සමාගම යූඑම්ඩබ්ලිව්ඒ කුඩුපට්ටම් කිරීමට සමත් වන්නේ නම් “එය නැවත පැමිනෙන විට සංගමය සමහර විට වෙනස් ස්වරූපයක් ගනු ඇතැයි මම සිතමි. අයුක්තිය ඉවසා සිටීමට එයට ඇති හැකියාව මීට වඩා බෙහෙවින් අඩු වනු ඇති අතර හරි හැටි වැඩ නොකරන බව අප දන්නා ක‍්‍රමයක් වෙනුවෙන් නිදහසට කරුනු දැක්වීමට සූදානමක් නොමැති වනු ඇත” යි ටෘම්කා අනතුරු ඇඟවී ය.

කෙසේ වුව ද, යූඑම්ඩබ්ලිව්ඒ සහ සෙසු සංගම් දිගට ම ධනවාදය හා ඩිමොක‍්‍රටික් පක්ෂය වෙනුවෙන් ක්ෂමාලාප ඉදිරිපත් කලෝ ය. ටෘම්කා ඒඑෆ්එල්-සීඅයි ඕ හි ඉහල තනතුරකින් පුද ලද අතර ගල් අඟුරු සමාගම් හා ඩිමොක‍්‍රටිකයින් සමග සංගමයේ වංචනික සන්ධානයෙහි ප‍්‍රතිඵලය පතල් කම්කරුවන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් වින කැටීම මිස අනෙකක් නො වී ය.

බටහිර වර්ජිනියාවේ ගල් අඟුරු ආශ‍්‍රිත රැකියා ප‍්‍රමානය 1977 පැවති 65,000 ක සිට අද වන විට 15,000 දක්වා පහල වැටී තිබේ. යූඑම්ඩබ්ලිව් බල කඳවුරක් ව පැවති මැක්ඩොවෙල් කොට්ඨාශයේ (McDowell County) පුරුෂයින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 63.1 ක් පමනි. එය ජාතික සාමාන්‍යයට වඩා අවුරුදු 13 අඩු වන අතර ආසන්න වසයෙන් නැමීබියාවේ පුරුෂයින්ගේ ආයු අපේක්ෂාවට සමාන වෙයි.

ඔබාමා පරිපාලනය යටතේ ඩිමොක‍්‍රටික් පක්ෂය සෞඛ්‍ය ආරක්ෂනය හා විශ‍්‍රාම දීමනාවලට එරෙහි ප‍්‍රහාරය පුලුල් කර තිබේ. දැරිය හැකි සෞඛ්‍ය ආරක්ෂන පනත (Affordable Care Act) යොදාගනු ලැබුවේ වියදම හාම්පුතුන්ගෙන් කම්කරුවන්ට මාරු කිරීම සඳහා ය. ඉතා අධික ගාස්තු ගෙවා අවප‍්‍රමාන කෙරුනු ආවරනයක් භාරගැනීමට ඔවුනට බල කෙරී ඇත. ට‍්‍රක් රියැදුරන් හා ගබඩා කම්කරුවන් ඇතුලු බහු-සේව්‍ය විශ‍්‍රාම අරමුදල්වලින් ආවරනය වන කම්කරුවන් 270,000කගේ විශ‍්‍රාම ප‍්‍රතිලාභ කපා දැමීමට ඔබාමා සහාය පල කොට ඇත. තව ද ඔහු, රජයේ සේවකයින්ගේ විශ‍්‍රාම දීමනා සුන් කොට දැමූ ඩිට්රොයිට් බංකොලොත්භාවය ප‍්‍රකාශයට පත් කිරීමට සහාය දුන්නේ ය.

2016 ඩිමොක‍්‍රටික් පක්ෂ ප‍්‍රාථමික තරගයේ දී බටහිර වර්ජිනියාවේ කම්කරුවෝ, සමාජවාදියකු ලෙස ද “බිලියනපති පන්තියේ” සතුරා ලෙස ද පෙනී සිටි බර්නි සෑන්ඩර්ස්ට පුලුල් වැඩි ඡන්ද ප‍්‍රමානයකින් සහාය පල කලෝ ය. සෑන්ඩර්ස් ආපසු හැරී ක්ලින්ටන්ට සහාය පල කලේය. කාර්මික අතින් නැතිභංග වී ඇති බටහිර වර්ජිනියාව වැනි ප‍්‍රාන්තවල සුදු කම්කරුවන් ට‍්‍රම්ප් වෙත හැරීම මගින් සිය “වරප‍්‍රසාදිත” තත්වය රැකගැනීමට තැත් කරතියි සිය මැතිවරන උද්ඝෝෂනයේ දී කියා පෑම තුලින් කම්කරු පන්තිය කෙරෙහි ක්ලින්ටන් තුල පවතින පිලිකුල ප‍්‍රකාශයට පත් විය. මෙය මහජන අසංතෘප්තිය ගසාකෑමට ද පතල් කම්කරුවන්ගේ වීරයකු ලෙස පෙනී සිටීමට ද ට‍්‍රම්ප්ට කොල එලිය ලබා දුන්නේ ය.

ට‍්‍රම්ප් සිය පන්ති සතුරා බව කම්කරුවන් ඉතා ඉක්මනින් ම වටහා ගනු ඇත. ඔහු වානිජ ලේකම් ලෙස තෝරාගෙන සිටින බිලියනපති ධනවත් ජාවාරම් කරුවෙකු වන විල්බර් රොස්, 2006 දී ඔහු සහ ඔහුගේ සහායකයින් නැවත නැවතත් ආරක්ෂිත පියවර නොතකා හැරීම හේතුවෙන් බටහිර වර්ජිනියා කම්කරුවන් 12ක් මරුමුවට පත් වූ සාගෝ පතලෙහි හිමිකරු විය. කාර්මික වහල් භාවයෙහි අඳුරුතම කාලපරිච්ඡේදය තුලට කම්කරුවන් ආපසු යැවීමට දරනු ලබන ප‍්‍රයත්න, පතල් කම්කරුවන් ඇතුලු කම්කරු පන්තිය තුල දැවැන්තතම අරගල අවුලුවනු ඇත.

පතල් කම්කරුවන්ගේත් සමස්තයක් ලෙස කම්කරු පන්තියේත් දීර්ඝ, ඛේදජනක හා වික‍්‍රමාන්විත ඉතිහාසයෙහි පාඩම් උකහා ගත යුතු ම ය. අරගලය සඳහා, දූෂිත, නිලධාරීවාදී හා ධනේශ්වර ගැති සංගම්වලින් මුලුමනින් ම නිදහස් වූ නව සංවිධාන ගොඩනැගිය යුතු ය. අන් සියල්ලටත් වඩා, පාලක පන්තියේ පක්ෂ හා දේශපාලකයින්ගෙන් සපුරා ස්වාධීන වෙමින් ද කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම හා සමාජවාදය සඳහා සටන මත පදනම් වෙමින් ද මෙම අරගලය දේශපාලන ස්වරූපයක් ගත යුතු ය.

ජෙරී වයිට්

Share this article: