ස්ටෑන්ඩින්ග් රොක් විරෝධතාවයේ දේශපාලන ප‍්‍රශ්න

The political issues in the Standing Rock protests

2016 දෙසැම්බර් 08

පසුගිය මාස කිහිපය පුරා ඩකෝටා ප‍්‍රවේශ තෙල් නල මාර්ගය (ඩීඒපීඑල්) ඉදිකිරීමට එරෙහිව ස්ටෑන්ඩින්ග් රොක් රක්ෂිතයේ පැවති විරෝධතාව, එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර පරිමානව කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ පලල් කොටස් වල සහය දිනාගෙන ඇත. විරෝධතාකරුවන් වෙතට බල්ලන් සහ ජල කාලතුවක්කු යොදා පහරදීම සහ රබර් උන්ඩ සහ කම්පන බෝම්බ පොලිසිය විසින් ප‍්‍රචන්ඩකාරීව එල්ල කිරීම මිලියන ගනන් මිනිසුන් කැලඹීමට පත් කොට තිබේ.

ඉරිදා ඔබාමා පරිපාලනය, ස්වාභාවික ඇමරිකානු රක්ෂිතය තුල ඇති එකම ජල සැපයුමට තර්ජනයක් වනු ඇති තෙල් නල පද්ධතියේ අවසාන කොටසේ ඉදිකිරීම සඳහා අනුමැතිය නොදෙනු ඇති බව නිවේදනය කලේය. කෙසේ වුව ද මේ තීරනය කිසිවක් විසඳනුයේ නැත. එය ඩීඒපීඑල් වල අවසාන තීරනය ට‍්‍රම්ප් පරිපාලනයට ඉතිරි කරමින්, මිලිටරි නිපුනයන් ද ඇතුලු වර්ධනය වන මහජන සහයෝගයක් දිනා ගනිමින් ඇති විරෝධතාව හුදෙකලා කොට විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීම සඳහා වූ මෙහෙයුමකි.

ඉදිරියේදී එන පරිපාලනය ජල නල පද්ධතිය ඉදිකිරීම සඳහා අවසර දෙනු ඇති බවට සැකයක් නැති තරම්ය. ව්‍යාපෘතිය ගෙන යන සමාගමේ සිය පුද්ගලික ආයෝජන ඇති ට‍්‍රම්ප්, දැනටමත් එය සම්පූර්න වනු දැකීමට ඇති ඔහුගේ අභිලාෂය පැහැදිලි කොට තිබේ.

ඔහු ඔක්ලහෝමාහි නීතිපති ස්කොට් පෘයිට්, පරිසර සංරක්ෂන කාර්යාංශයේ පරිපාලක ලෙස පත් කරනු ඇත යනුවෙන් බදාදා පලවූ වාර්තා මගින් ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිපත්තීන්හි දිශානතිය තවදුරටත් පැහැදිලි කරනු ලැබ ඇත. පෘයිට් පරිසර සංරක්ෂනයේ දැඩි විරුද්ධවාදියෙකු වන අතර බලශක්ති කර්මාන්තය සමග සමීප සම්බන්ධකම් පවත්වයි.

සිය ආන්ඩුවේ නිල වෙබ් අඩවිය තුල ඔහු “තමා ඊපීඒ හි ක්‍රියාත්මක න්‍යාය පෙත්සමට එරෙහි ප‍්‍රමුඛ අධිවාචකයෙකු” බවට කයිවාරු ගසයි. ඩිමොක‍්‍රටික් හෝ රිපබ්ලිකන් වුව ද ඔහු, පරිසර සංරක්ෂක කාර්යාංශයේ දේශගුන විපර්යාස ප‍්‍රතික්ෂේප කරන පලමු පරිපාලකයා වනු ඇත.

ට‍්‍රම්ප් විසින් විශ‍්‍රාම ලත් නාවික ජෙනරාල් ජෝන් කෙලී අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නායකත්වයට පත්කරනු ලැබීම, එක්සත් ජනපදය තුල විරෝධතාවන්ට එරෙහිව මිලිටරි බලය භාවිතා කිරීමට ඔහුගේ පරිපාලනය සූදානම් වනු ඇති බවට සංඥාවකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය ඩකෝටා ප‍්‍රවේශ තෙල් නල පද්ධතියට එරෙහිව පැනනැගී ඇති අරගලයට සහාය දක්වයි. 2008 දී උපුටා ගත් සසප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය කම්කරු පන්තියේ වඩාත්ම පීඩිත පාර්ශ්වයන්ගෙන් එකක් වන ස්වදේශික ඇමරිකානුවන්ගේ අයිතීන් ආරක්ෂා කරයි. “අන්ත දරිද්‍රතාවය, ජාතික චල අනුපාතයට වඩා ආයු අපේක්ෂාව වසර 20 කින් අඩුවීම, ප‍්‍රමානවත් නිවාස පහසුකම් නොමැති වීම, රජයේ ආයතන විසින් ස්වදේශික ඇමරිකානු ප‍්‍රදේශ සහ ප‍්‍රජාවන්ගේ සමාජ අවශ්‍යතා පොදුවේ නොතකා හැරීම යනාදිය ඇතුලුව ස්වදේශික ඇමරිකානුවන්ට එරෙහිව ඇමරිකානු ධනවාදය විසින් සිදු කරන අපරාධයන්ගේ ප‍්‍රතිපල අද දිනයේ ද පවතින බව” එය පැහැදිලි කරයි.

කෙසේ වුව ද ස්වදේශික ඇමරිකානුවන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ ආරක්ෂාව රඳාපවතිනුයේ ධනේශ්වර පද්ධතියට එරෙහිව විරෝධතාව තුල සමස්ථ කම්කරු පන්තියම දේශපාලනිකව බලමුලු ගැන්වීම මතය ඩීඒපීඑල් හි ඉදිකිරීම මත් ලෝකය පුරාම කම්කරුවන් සූරාකනු ලබන දැවැන්ත බලශක්ති සංගත සහ බැංකු වල අභිලාෂයන් සමග ගැටගැසී ඇත. ගෝලීය බලශක්ති වෙලඳපොලට සම්බන්ධ කරන තෙල් නල පද්ධතිය අවසන් කිරීමෙන් පසුව, උතුරු ඩකෝටා වල බැකන් ශේල් ඔයිල් ක්ෂේත‍්‍රය අනපේක්ෂිත තරම් ලාභ ලබා ගැනීමට බලා පොරොත්තු වේ.

ස්වදේශික ඇමරිකානු ජනතාව තුල ද පන්ති බෙදීම් පවතී. ස්වදේශික ඇමරිකානු කම්කරුවන් සහ තරුනයන් (රක්ෂිත තුල සහ ඉන් පිටත) මුහුනපාන සමාජ ප‍්‍රශ්න සියලු ජන වර්ගයන්ගේ සහ ජාතීන්ගේ කම්කරුවන් ද මුහුන පාන අතර ස්වදේශික ඇමරිකානුවන්ගේ කුඩා කොටසක්, සංගත සහ මූල්‍ය ප‍්‍රභූව සමග විවිධ ආර්ථික වැඩ පිලිවෙලවල් හරහා වාසි ලබා ගෙන ඇත. සමාන්‍යයෙන් ඔවුහු දැක්ම අතින් ගතානුගතික වන අතර ඩිමොක‍්‍රටික් පක්ෂය සමග දේශපාලනිකව පෙලගැසී සිටිති.

ජනාධිපති ඔබාමාට ස්වදේශික ඇමරිකානු නායකත්වය සමග සෘජු සම්බන්ධකමක් පවතී. ස්වදේශික ඇමරිකානු සම්බන්ධතා පිලිබඳ ඔහුගේ හිටපු විශේෂ සහායක ජෝර්දි ආර්කැම්බෝල්ට් ජිලෙට්, ස්ටෑන්ඩින්ග් රොක් ගෝත‍්‍රයේ සමාජිකයෙකි. ඔහුගේ සොයුරු ඬේවිඩ් ආර්කැම්බෝල්ට් ගෝත‍්‍රයේ නායකයාය. එකී ධවල මන්දිර අනුගාමී ඬේවිඩ් ආර්කැම්බෝල්ට් “දැවන්ත ජයග‍්‍රනයක්” ප‍්‍රකාශයට පත් කල අතර මිසූරි ගං ඉවුර දිගේ තාවකාලික කඳවුරු තුල රැස්ව සිටි දහස් ගනන් විරෝධතාකරුවන්ට “නිවෙස්වලට යන්නැයි” ඉල්ලා සිටියේය.

එමෙන්ම, එකී ඩීඒපීඑල් විරෝධතා තුල මතු කරන අනෙක් මූලික ප‍්‍රශ්නය වනුයේ තෙල් සහ ගෑස් සමාගම් වල අධිකාරය සහ ගෝලීය උනුසුම් වීමේ යථාර්තය, ලාභගරන පද්ධතියේ රාමුව තුල විසඳිය නොහැකි බවයි. ලාභ අභිප‍්‍රායන්ට හෝ විනාශකාරී ජාතික අභිලාෂයන්ට පෘථිවි තලය තවදුරටත් ප‍්‍රාන ඇපකරුවකු ලෙස රඳවා ගත නොහැකි අයුරින් ලෝක ආර්ථිකය සමාජමය වශයෙන් ප‍්‍රතිසංවිධානය නොකර, විනාශය වලක්වා ගැනීමට අත්‍යවශ්‍ය හරිතාගාර වායු අඩුකිරීම ඉටුකරගත නොහැකිය.

ධනේශ්වර දේශපාලනයේ පදනම මත හෝ ස්ටෑන්ඩින් රොක් අරගලය ඩිමොක‍්‍රටික් පක්ෂයට ගැටගසා එම අරගලය දියකර හැරීම මත, සුරක්ෂිත පරිසරයක් සඳහා වන ලකෝටා සූක්ස්හි ජනතාවගේ ක්ෂනික අවශ්‍යතා හෝ වැඩකරන ජනතාවගේ ගෝලීය අභිලාෂයන් යන දෙකෙන් එකක් වත් ආරක්ෂා කර ගැනීම කල නොහැක්කකි.

මූලික කාර්යය වනුයේ ධනේශ්වර ද්වී පක්ෂ ක‍්‍රමයෙන් කැඞී වෙන්වී කම්කරු පන්තියේ ස්වාධීන මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි. සමාජවාදී සමානතා පක්ෂය ස්වදේශික ඇමරිකානුවන්ගේ සහ සියලු වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරයි.

එය ආරම්භ වනුයේ බලශක්ති කර්මාන්තය පාලනය කරන සමාගම් ඇතුලු ප‍්‍රධාන සමාගම් ජනසතු කොට, වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ ඒවා මහජන උපයෝගීතාවයන්ට පරිවර්තනය කිරීමෙනි. පුද්ගලික ලාභයට සමාජ අවශ්‍යතාවයන් දියකර හැරීම ද ඇතුලු ආර්ථිකයේ මෙම තීරනාත්මක ලීවරයේ පුද්ගලික හිමිකාරිත්වය අවසන් කල යුතුය.

පරිසරය ආරක්ෂා කර ගැනීම ද ඇමරිකාවේ සහ ලෝකයේ සෙසු ප‍්‍රදේශයන්හි සෑම අයෙකුටම සුරක්ෂිත ජීවන තත්ත්වයක් සැපයීම යන දෙකටම සමාජයේ දැවැන්ත නිශ්පාදන ධාරිතාවය බලමුලු ගැන්වීමට සහ වර්ධනය කිරීමට හැකිවනුයේ මේ පදනම මත පමනි.

පැට්‍රික් මාටින්

Share this article: