“වර්ජනවලට මුහුන දීමේදී ආන්ඩුවට පොලිස්පති බලතල සීමා කල නොහැකි” බවට අගමැති තර්ජනය කරයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 දෙසැම්බර් 10

පසුගිය සතියේ රත්නපුර පැවති පොලිස් දෙපාර්තමේන්තු උත්සවයකට සහභාගි වෙමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දරට ලැබුනු දුරකතන ඇමතුමකට ඔහු දුන් පිලිතුරු ද එම සංවාදය සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ කල ප‍්‍රකාශය ද යහපාලන ආන්ඩුවේ දුෂ්ට සූදානම හෙලි කරයි. කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එරෙහිව මෙම ආන්ඩුව විසින් ගොඩ නගනු ලැබෙමින් පවතින රාජ්‍ය මර්දන යන්ත‍්‍රයේ ස්වභාවය ගැන ඇඟවුමක් ඉන් ලබා දෙයි.

රැස්වීමේ සිටි පොලිස්පති දුරකතනයේ රැඳී සිටි “සර්” නැමැත්තෙකුට “නිලමේ” යනුවෙන් සඳහන් කෙරුනු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවට සහතික වන අයුරු මාධ්‍යයේ වාර්තා විය.

මහජනතාව අතර කුජීතව පවතින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට විරුද්ධත්වය පෑමක ස්වාභාවයෙන් මහජනයා මුලා කිරීමට තතනන ධනපති මාධ්‍ය මෙම සිද්ධිය යොදා ගනිමින් ආන්ඩුට ගතුකීමේ පිලිවෙතකට පැන ගත්තේ ය. පාර්ලිමේන්තුව තුලට ද ගලා ගිය මෙම වැලපිල්ල අයවැය විවාදයට සහභාගි වෙමින් සිටි ජනාධිපතිවරයාට මග හැරිය නොහැකි විය. පාර්ලිමේන්තුව තුල ප‍්‍රකාශයක් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ, “පොලිස්පතිවරයා ඒ මොහොතේ ක‍්‍රියාකල ආකාරය ඉතා වැරදි සහගත” බවත් “ඒ පිලිබඳව ඔහුගෙන් කරුනු විමසීමට බලාපොරොත්තු වන” බවත් ය.

ජනාධිපතිවරයා කල කරුනු විමසීමක් ගැන හෝ එයින් ලබා ගත් තොරතුරක් ගැන හෝ මේ වන තෙක් අහන්ට ලැබී නැත.

මාධ්‍ය මගින් වාර්තා කෙරෙන විවිධ පාර්ශවයන් හි අදහස් දැක්වීම් වලදී හෙලිදරව් වන කරුනු අනුව පොලිස්පති හා “සර්” අතර සාකච්ඡාව සිදුවී ඇත්තේ, දෙවුන්දර දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා වන ඩිෂාන් ගුනසේකර නැමැත්තෙකු සම්බන්ධව ය. ගුනසේකර, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ‍්‍රී ලංකා ඛනිජවැලි සංස්ථාවේ සභාපතිවරයාව සිටියදී සිදුකලා යැයි කියන අක‍්‍රමිකතාවක් පිලිබඳ බරපතල දුෂන වංචා විමර්ශන ඒකකය (එෆ්සීඅයිඩී) වෙත කැඳවනු ලැබ ඇත. දුරකතන ඇමතුම ලබා දුන් “සර්” යනු නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක බවත් ඔහුගේ ඇමතුම ගුනසේකර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බවත් පසුව මාධ්‍ය මගින් හෙලි කෙරිනි. අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුලු රජයේ පාර්ශ්වයන් විසින් මෙතෙක් මේ නම් ගම් හෙලිදරව් කිරීම් ප‍්‍රතික්ෂේප කර නැත.

ආන්ඩු පක්ෂයේ මැති ඇමතීන් සිද්ධියේ සැර බාල කිරීමට විවිධාකාර වංචනික කතා කියන අතරේ පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප‍්‍රශ්න කිරීම් හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහට සිද්ධිය පිලිබඳ වැඩිදුර කරුනු දැක්වීමට සිදුවිය. අගමැතිවරයා ප‍්‍රකාශ කලේ “පොලිස්පති වරයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට තරම් පදනමක් නොමැති බවත් ඔහු කර ඇත්තේ ඇසූ ප‍්‍රශ්න වලට පිලිතුරු දීම පමනක්” බවත් ය. “මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ නිසා ම මෙම සිද්ධියේ ප‍්‍රශ්නයක් තිබෙන බව සිතීමේ උවමනාවක් නැත” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පොලිස්පතිවරයා කොක්කෙන් ගලවා යැවූ අගමැතිවරයා වඩා බැරෑරුම් කතාවකට මග පාදා ගත්තේ ය. “මේ දවස්වල මහා පරිමානයෙන් සිදුවන වර්ජන කිහිපයකට මුහුනදීමටයි අපට සිදුවෙලා තිබෙන්නේ. ඒ වගේ වාතාවරනයක අපට පොලිස්පතිවරයාගේ බලතල සීමාකරන්න හැටියක් නැහැ. නීතිය හා සාමය කඩාකප්පල් නොවන බව අප සහතික කලයුතුව තිබෙනවා,” වික‍්‍රමසිංහ ගුගුලේ ය.

මේ කතාවට ඇහුන්කන් දුන් පාර්ලිමේන්තුවෙන් කිසිදු විරුද්ධත්වයක් නොනැගුනේ ඊට මුලුහිතින් එකඟතාව පලකෙරෙන ස්වභාවයෙනි. එහෙත්, ධනපති ආන්ඩුවේ සමාජ විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන්ට මුහුන දී සිටින කම්කරු පන්තියට හා තරුනයින් ද ඇතුලු පීඩිත ජනතාවට එයින් නිකුත් කෙරෙන තර්ජනකාරී පනිවිඩය නොතකා සිටිය නොහැකි ය.

ආරම්භයේ සිටම දේශපාලන අස්ථාවරත්වය හා බැඳී පැවති සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ලෝක ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය මැද වඩ වඩාත් අගාධගාමී ආර්ථික පරිහානියක ගිලෙමින් පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය මුදල් ආධාරයෙන් ඉන් ගොඩ ඒම අරමුනු කරගනිමින් එමගින් අන කෙරෙන කප්පාදු එක පෙලට කම්කරු, පීඩිත මහා ජනතාව ගොදුරුකිරීම ආන්ඩුව විසින් උග‍්‍ර කෙරී ඇත. එම පීඩනයට ප‍්‍රතිචාර වසයෙන් පෙරලිකාරී වන කම්කරුවන් සහ පීඩිතයෝ දෛනිකවම පාහේ දිවයිනේ යම් හෝ තැනක කවර හෝ අරගලයක නිරත වෙති. වෘත්තීය සමිති හා එක්එක් සංවිධානවල නායකත්වයේ බංකොලොත් හා ප‍්‍රතිගාමීත්වය විසින් පාවාදෙනු ලැබුව ද විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක අරගලය, වතුකරය පුරා පැතිරීගිය වතු කම්කරු අරගලය හා වරාය කම්කරු අරගලය ආදිය තුල කම්කරුවන්ගේ සටන්කාමීත්වය ඉහලින්ම පෙන්නුම් කෙරී ඇත.

වික‍්‍රමසිංහගේ තර්ජනය ගලා එන්නේ එවන් සන්දර්භයක් තුලදී වීම අතිශය අර්ථභාරීය. කම්කරු පන්තියේ සටන්කාමීත්වය තුලින් එල්ල විය හැකි “අනතුර” පැහැදිලිවම හඳුනාගෙන සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව නොපැකිලවම ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට පොලීසිය සහ මිලිටරිය සූදානම් කරමින් සිටින බව වික‍්‍රමසිංහ විසින් පැහැදිලිවම සංඥා කෙරී ඇත. විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගල මතට නොනවත්වා එල්ල කෙරෙන මෘග ප‍්‍රහාරය කම්කරු පන්තිය මතට ඉදිරියේදී එල්ල කිරීම සඳහා සූදානම් කෙරෙන ප‍්‍රහාරයේ පෙර ඇඟවුමකි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ධනපති රාජ්‍ය මර්දන යන්ත‍්‍රය ශක්තිමත් කිරීම සඳහා නොකඩවා පියවර ගනිමින් සිටී. හමුදාවට හා පොලිසියට අලුතින් අය බඳවා ගැනීම මගින් දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට පාවිච්චි කලාටත් වඩා පුලුල් ලෙස ජනතා මර්දනයකට එය ලකලැහැස්ති කිරීම කෙරී ගෙන යයි. රුපියල් මිලියන ගනන් වැයකරමින් හමුදාවට හා පොලිසියට අවශ්‍ය මිනීමරු තාක්ෂනික උපකරන සහ ප‍්‍රවාහනය සඳහා පහසුකම් සැපයේ. උතුරු නැගෙනහිර ද ඇතුලුව රටපුරා අලුතින් පොලිස් ස්ථාන විවෘත කෙරේ. පොලිසිය විසින් කෙනෙකු අත්අඩංගුවට ගැනුනු විට ප‍්‍රකාශයක් ලබා ගැනීමට පෙරාතුවම නීතිඥ සහාය ලබා ගැනීමට සැකකරුවෙකුට මෙතෙත් පැවති අයිතිය අහෝසි කෙරෙන නීති ඉදිරිපත්ව පවතී. අගමැතිවරයා පොලිස්පතිගේ බලතල දුර්වල කල නොයුතුයැයි තර්ජනය කරන්නේ මේ තතු යටතේ ය.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව පෙරපැවැති රාජපක්ෂ පාලනයට විපරීත ලෙස යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංහිඳියාව තහවුරු කරනු ඇතැයි හඬ නැගූ සියල්ලන් මෙම ප‍්‍රතිගාමී පියවරයන්ට විරුද්ධව කවර හෝ පන්ති ක‍්‍රියාවක් මගින් කම්කරු පන්තිය, තරුනයින් හා පීඩිතයින් ස්ථිරසාර අරගලයකට එලැඹීම වැලක්වීම සඳහා මුලු ශක්තිය යොදා වැඩ කරති.

ආන්ඩුවේ නොයෙක් “අඩුපාඩුකම් අතපසුවීම්” ලෙස ඔවුන්ම නම්කරන ක‍්‍රියාවන් පිලිබඳව කන්නලව් කිරීම් හා කිඹුල් කඳුලු හෙලීම් වලට අමතර කිසිවක් ව්‍යාජ වාම සංවිධානවල ක‍්‍රියාකාරිකයන්ගෙන් යෝජනා වන්නේ නැත. මෙවැනි බෙලහීන වඳයන් අතර නව සමසමාජ පක්ෂයේ වික‍්‍රමබාහු කරුනාරත්න, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ, පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප‍්‍රිය හා ගාමිනී වියන්ගොඩ වැනි බොහෝ දෙනා නිර්ලජ්ජිත ලෙස මහජනතාවට සතුරු මේ ව්‍යායාමයට තවමත් සහය දී ගෙන සිටිති.

මොවුන්ගේ ප‍්‍රකාශවලට යොදාගන්නා ප‍්‍රධාන පත්තර කඩමාල්ලක් වන රාවය මේ “සර්” හා පොලිස්පති අතර කෙරුනු තුච්ඡ සංවාදය ගැන මෙන්ම අගමැතිවරයාගේ තර්ජනය ගැන ද සඳහන් කර ඇත්තේ, හැකිතාක් මහජන අවධානය නොමග යැවීමට ඉවහල්වන ආකාරයෙනි. දෙසැම්බර් 11දා රාවය පුවත්පතේ කතුවැකිය ලියන කේ.ඩබ්ලිව්. ජනරංජන මෙම සිද්ධිය අලලා සඳහන් කරන්නේ නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක හා දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ තනතුර දරන චුදිතයා අතර ඥාති සම්බන්ධයක් පැවති නිසා, දුරකථන ඇමතුම පොලිස්පතිවරයාට දී ඇති බවත් එහිදී පොලිස්පතිවරයාගේ හැසිරීම “ලැජ්ජාසහගත කාරනයක්” බවත් ය.

රාවය කතුවැකියේ එන ජනරංජනගේ ප‍්‍රකාශ කීපයක් මෙසේ ය:

1. පොලිස්පතිට ලැබුනු ඇමතුමෙන්, ආන්ඩුව ශ‍්‍රීලනිප පාර්ශවයට, එජාප පාර්ශවයට දමා ගසන්නට තියුනු ආයුධයක් ලැබුනේ ය.

2. සාගල ඇමතිවරයා, අගමැතිවරයාගේ සමීපතමයෙකු වන විට එය ප‍්‍රහාර අවසානයේ ගොස් නවතින්නේ අගමැතිවරයාගේ දේශපාලන සිරුරේ ය.

3. ඇමතිවරයාගෙන් ලැබෙන ඇමතුමකට මේ තරම් හීනදීන ආකාරයට ප‍්‍රතිචාර ලබා දෙන බව පෙනෙන විට රටේ උසස් නිලධාරීන්ගේ පෞරුෂය ගැන ඇති ලැජ්ජාව කොතරම්ද?

මේ නිර්ලජ්ජිත ප‍්‍රකාශවලට පසුව, රාවය කතුවරයා සිදුවී ඇති සිද්ධීන්හි මුලු වරද මහජනයා මත පටවයි. ඒ සඳහා ඔහු මෙසේ කියයි:

4. රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන හා අවකාශ හැදුවාට ප‍්‍රමානවත් නැත. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන හා අවකාශ භාවිතයට ගන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මිනිසුන් ද සිටිය යුතු ය.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන හා අවකාශ හැදීමේ” නමින් මෙම ප‍්‍රතිගාමිත්වයේ ඒජන්තයන් ඉටු කල කාර්යයට තවදුරටත් කර ගැසීමට නුසූදානම් මහජනතාවට රාවය කතුවරයා අගමැති වික‍්‍රමසිංහ සමග එකතුවී එල්ලකරන තර්ජනයකට අඩු දෙයක් මෙහි අඩංගු නැත.

ධනපති පාලනයේ ඒකාධිපති වියරුව නොඅඩුව පෙන්නුම් කල මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රයට එරෙහිව කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන දේශපාලන පිලිවෙතක් මත පිහිටා පිලිතුරු දීමට සූදානම් වෙද්දී ඊට මග හරස් කලෝ ජනරංජන ද ඇතුලු ඉහත නම් සඳහන් පුද්ගලයෝ ය. රාජපක්ෂගෙන් එල්ලවූ තර්ජනය නිසා පහසු විසඳුමක් ලෙස සිරිසේන-වික‍්‍රමසිංහ යහපාලනය වැඩම්මවීමට කරක් ගැසුවෝ මොවුහු ය.

මේ සියලු ව්‍යාජ වාම උගුල් පරාජය කරමින් කම්කරු පන්තියේ රාජ්‍ය බලය ස්ථාපිත කිරීම සඳහා පීඩිත ජනකොටස් රැලි කරගත් දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තියට ස්වාධීනව නැගී සිටිය හැක්කේ, මාක්ස්වාදී ඉදිරි දර්ශනයෙන් සන්නද්ධ වීම මගින් පමනි. සමාජවාදී වැඩපිලිවෙල මත ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා එවන් ඉදිරිදර්ශනයක් මත න්‍යායිකව හා ප‍්‍රායෝගිකව නායකත්ව සම්පාදනය කරනු හැකි විප්ලවාදී පක්ෂය ගොඩ නැගීමට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය යි.

Share this article: