සසප කොලඹදී පැවත් වූ රැස්වීම ට්‍රම්ප් බලයට පත්වීම පිලිබඳව සාකච්ඡා කරයි

SEP meeting in Colombo discusses Trump’s election

අපගේ වාර්තාකරුවන් විසිනි, 2016 දෙසැම්බර් 6

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමේ ජාත්‍යන්තර ඇඟවුම් පැහැදිලි කිරීමට නොවැම්බර් 30 කොලඹ නව නගර ශාලාවේදී සාර්ථක රැස්වීමක් පැවැත්වූහ. කම්කරුවන් තරුනයන් සහ ගෘහනියන් රැස්වීමට සහභාගී වූහ.

රැස්වීම ගොඩනැඟීම පිනිස සසප සහ සසජාතශි සාමාජිකයෝ සහ ආධාරකරුවෝ කොලඹත් අවට නගර වලත් විශ්වවිද්‍යාල තුලත් උද්ඝෝෂනයක නිරතවූහ. ශිෂ්‍යයින් සහ කම්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වුනු අතර ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සිංහල, දෙමල සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ඇමරිකානු ජනාධිපතිවරනය පිලිබඳ පලවූ ලිපි පිටපත් සියගනනක් බෙදා හැරින.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඇතුලු ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව වහ වහාම ට්‍රම්ප්ගේ ජයග්‍රහනයට සුබපැතූ අතර ඔහුගේ සහයෝගය ඉල්ලා තිබුනි.

රැස්වීම ට සහභාගී වූවන්ගෙන් කොටසක්

රැස්වීමේ මුලසුන දරමින් ලෝසවෙඅ හි ජාතික සංස්කාරක කේ.රත්නායක පැහැදිලි කලේ ට්‍රම්ප්ගේ තේරීපත්වීම අහම්බයක් නොවන අතර 25 වසරක යුද්ධයේත්, ඇමරිකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය ඛාදනය වීමේ සහ සමාජ අසමානතාව ගැඹුරු වීමේත් නිෂ්පාදිතයක් බවයි. කම්කරු පන්තිය ඉදිරිපිට ඇති අන්තරාය ගැන අනතුරු අඟවමින් ඩිමොක්‍රටික් පක්ෂයද ඇතුලත්ව ධනේශ්වරයේ සියලු කොටස්වලින් ස්වායත්තව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පදනම්ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සටන්කලේ ඇමරිකාවේ සසප සහෝදර පක්ෂය පමනක් බව ඔහු පැවසීය.

රැස්වීමේ මුලසුන දැරූ රත්නායක, අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ආන්ඩුව චීනය සහ පකිස්තානයට එරෙහිව ඔබාමා පරිපාලනය සමග වර්ධනය කරගත් මූලෝපායික හවුල්කාරිත්වය, ට්‍රම්ප් යටතේ නව මට්ටමක් කරා ඉහල නංවන බවට ඉන්දියාව සංඥා කර ඇතැයි දකුනු ආසියානු කලාපයේ තත්වය විමසීමට ලක් කරමින් පැවසීය. පසුගිය රාජපක්ෂ ආන්ඩුවට චීනය සමග පැවති සමීප සම්බන්ධකම් හැකිලවීමේ ප්‍රතිලාභ හැටියට ඔබාමා පරිපාලනය විසින් දැනටමත් සැර බාල කරනු ලැබ ඇති යුද අපරාධ චෝදනාවන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කරන මෙන් ආයාචනය කර ට්‍රම්ප්ට ලියන බව ජනාධිපති සිරිසේන ප්‍රකාශ කර තිබුනි.

සසජාතශි වෙනුවෙන් කතාකල ප්‍රගීත් අරවින්ද පැවසුවේ, බොහෝ සිසුන් පොදුවේ ගත්කල ට්‍රම්ප්ගේ දක්ෂිනාංශික හා ඔහුගේ දේශපාලනයේ ප්‍රතිගාමී ස්වභාවය සහ වැඩෙන යුද අන්තරාය අවබෝධ කරගෙන සිටින බවයි. කෙසේ වෙතත් ව්‍යාජවාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) නායකයින් පෙලගැසී සිටියේ ට්‍රම්ප් පසුපසය. අවිශිබම නායකත්වයේ බෞද්ධ භික්ෂුවක් ශ්‍රී ලංකාව ඉස්ලාම්වාදීන්ගේ තර්ජනයට මුහුන දී ඇතැයි කියමින් ට්‍රම්ප්ගේ ජාතිකවාදී ප්‍රතිපත්තිවලට සහය පලකලේය. "මෙය කම්කරු පන්තිය බෙදීම සඳහා වන ස්වෝත්තමවාදී ප්‍රචාරයයි." අරවින්ද පැවසුවේය.

විජේ ඩයස්

ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් ට්‍රම්ප්ගේ ජයග්‍රහනයට මග පෑදූ දිග්ගැස්සුනු දේශපාලන ක්‍රියාවලිය පිලිබඳව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ට්‍රොට්ස්කිවාදීන් කල විශ්ලේෂන හා එහි විධික්‍රමය අවධාරනය කලේය.

"දේශපාලනික හෝ වෙනත් ප්‍රපංචයක් පිලිබඳ නිවැරදි තක්සේරුවකට පැමිනීම සඳහා එය අදාල සන්දර්භයක පිහිටුවීම අවශ්‍ය කෙරෙන බව" ඔහු පැවසීය. "අප ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස තේරී පත්වීම තේරුම්ගැනීම සඳහා මෙම නීතිය අනුගමනය නොකරන්නේ නම් හුදෙක් ට්‍රම්ප්ගේ පුද්ගල ලක්ෂනයන් තුලින් දිස්වන නපුරු ස්වභාවය මත බර තැබීමේ වැරදි නිගමන වලට එලඹිය හැකියි."

"වත්මන් දේශපාලන ක්‍රියාවලියේ මූලික සාධක දෙක වසර 25කට ඉහතදී ජාත්‍යන්තර කමිටුව විසින් වටහා ගනු ලැබුවේය. නැගෙනහිර යුරෝපයේ අත්තනෝමතික ස්ටැලින්වාදී තන්ත්‍ර එක පිට එක කඩාවැටීම මඟින් පශ්චාත් ලෝක යුද සමතය ඉරිතලා යාමේ පලමු සංඥාව මතුවුන අතර, අවසන් වූයේ සෝවියට් සංගමය ම බිඳවැටීමෙනි. ප්‍රතිවිප්ලවවාදී මොස්කව් නිලධරය සහ අධිරාජ්‍යවාදී නායකයන් විසින් ඇතිකරගෙන තිබූ පශ්චාත් යුද කාලීන දේශපාලන සමථය දෙදරා යාම ආරම්භ වීම ලෙස, අපගේ ලෝක ව්‍යාපාරය මෙම සිද්ධි හඳුනා ගත්තා."

"එ්ත් සමගම දැවැන්ත ඇමරිකානු මිලිටරි ශක්තිය සහ ආර්ථික සහ දේශපාලන අංශයන් හි එහි ලෝක ආධිපත්‍යය ගිලිහී යාම අතර පවත්නා පුපුරන සුලු ප්‍රතිඝතිතාවයට අපේ අවධානය යොමු කලා."

ඇමරිකානු පාලක පන්තිය වෙනුවෙන් ලෝක ආධිපත්‍ය සොයා යාමේ මිලිටරි මූලෝපාය සහිත ට්‍රම්ප්ගේ මතුවීම ගැන වලංගු තක්සේරුවක් ඇතිකරගැනීම ඓතිහාසික සන්දර්භයට පිටතින් කල නොහැක්කකි.

ඒ වටා භ්‍රමනය වන ඩිමොක්‍රටික් පක්ෂය සහ සියලු ව්‍යාජ වාම ප්‍රවනතා අශෝබන අන්දමින් කම්කරුවන් සහ ශිෂ්‍යයන් රවටා ලූ බව ඩයස් ප්‍රකාශ කලේය. මෙම සියලු බලවේග පැවති බුෂ් පරිපාලනයේ අධිරාජ්‍යවාදී යුද න්‍යායපත්‍රයට එරෙහි මහජන විරෝධය ගසා කෑමට, 2008දී "වෙනසක්" සඳහා අපේක්ෂකයා ලෙස බරක් ඔබාමා ඉදිරියට ගෙන ආහ. ඔබාමා ඒ වෙනුවට කලේ බුෂ් පාලනය යටතේ ආරම්භ කල යුද්ධය තීව්‍ර කිරීමයි. ඊට සමගාමීව ඔබාමා ඇමරිකාවේ කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ප්‍රහාර එල්ල කලේය.

විකල්ප "ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියෙකු" ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති නාම යෝජනා අපේක්ෂක බර්නි සෑන්ඩර්ස් ගේ ඉදිරිපත් වීම මෙම දැවැන්ත දේශපාලන වංචාවට එකතු කරනු ලැබූ තවත් දෙයකි. නාමයෝජනා තරඟයේදී මිලියන 13කට වඩා ඡන්ද ලැබීමෙන් පසු ඔහු නිර්ලජ්ජිත ලෙස ක්ලින්ටන් ලඟ වැඳවැටුනි.

"මෙම සිද්ධීන් විසින් නිර්මිත දේශපාලන කලකිරීම සහ ව්‍යාකුල භාවය ට්‍රම්ප්ගේ තුරුම්පු බවට පත්වුනා. ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයන්ගේ ප්‍රගතිශීලි මවාපෑම් වෙහෙස නොබලා හෙලිදරව් කිරීමටත් ක්ලින්ටන් "අඩු නපුර" ලෙස සලකා සහයෝගය පලකිරීම සඳහා කෙරුනු ඉල්ලීම් වලට විරුද්ධවීමටත් සමත් වුනේ ඇමරිකාවේ සසප සහ එහි ලොවපුරා සහෝදර පක්ෂ පමනයි." ඩයස් පැවසීය.

කුප්‍රකට දක්ෂිනාංශිකයන් සහ යුද වාදීන් බඳවා ගනිමින් දැන් ට්‍රම්ප් සිය කැබිනට් මන්ඩලය සකස් කරමින් සිටියි. ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් සහ යුද්ධය සහ සමාජ ප්‍රතිවිප්ලවය සඳහා වන ඔහුගේ න්‍යායපත්‍රය සමග වැඩකිරීමේ සූදානම පෙන්වා ඇත.

ශ්‍රී ලංකාවේ පාලක පන්තිය තුලින් ට්‍රම්ප් බලයට පත්වීම කෙරෙහි පලවූ ප්‍රතිචාරය විභාග කරමින්, "ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ට්‍රම්ප්ට සුබ පතන නායකයන් සමඟ වහාම එක් වුනා. ඔවුන්ගේ අපකීර්තිමත් පාලනය රඳවා ගැනීම සඳහා අවසාන තල්ලුව දෙන, බලපුලුවන්කාර අධිරාජ්‍යවාදී හාම්පුතුන් ඉදිරියේ ජාතික ධනපති නායකයන්ගේ බෙලහීන වහල්කම ඔවුන් පෙන්වා තිබෙනවා" යැයි ඩයස් පැවසීය.

ධනපති පාලකයන් ට්‍රම්ප් වෙත කරන මෙම ආයාචනයන්ට යුක්තියුක්ත භාවයක් දීමට ව්‍යාජ වාම කන්ඩායම් ස්වේච්ඡාවෙන්ම පෙරට පැනගෙන තිබේ. එවන් නිර්ලජ්ජිත අවස්ථාවාදියෙකුවන කුමාර් ඩේවිඩ් ට්‍රම්ප් හැකිතාක් අඩු දරුනුකමකින් ඉදිරිපත් කරමින් සමහර විට තේරී පත් වූ ජනාධිපති වැඩදායක "නව ගෝලීය මුදල් පටිපාටියක්" නිර්මානය කරනු ඇති බව සඳහන් කරමින් සන්ඩේ අයිලන්ඩ් හි පලකල ලිපියක් ඩයස් ගෙනහැර දැක්වූයේය. එවන් අවස්ථාවාදීන්ගේ එල්ලය "ලෝක යුද්ධය සඳහා ඇමරිකානු පාලක ප්‍රභූවේ මූලෝපායික හැරීම මඟින් මානව වර්ගයා හමුවට පමුනුවා ඇති පෙර නොවූ විරූ අන්තරාය" ඉදිරියේ කම්කරු පන්තිය නිදිගැන්වීමට නැලවිලි ගී ගැයීමයි.

අවසානයේදී ඩයස් ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටියේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජක ගොඩනැංවීම සඳහා සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය පෙරට ගෙනයාමට සසපයේ දේශපාලන අරගලය හා එක්වන ලෙසයි.

රැස්වීමට සහභාගී වූ ඉංජිනේරුවරියක් පැවසුවේ "දෙවන ලෝක යුද්ධයට පසු ලෝකයට විශාලතම අන්තරාය" ට්‍රම්ප් බලයට පත්වීමෙන් එල්ලවී ඇති බවයි. සසප තවත් තැන්වල රැස්වීම පැවැත්විය යුතු බව ඇය පැවසුවාය. "නව පරපුර ලෝක යුද්ධයක් අත්දැක නැහැ. අප යුද්ධ දැක තිබෙන නමුත් මේ සා විශාල යුද්ධයක විනාශය අපට සිතාගත හැකියි. ලෝක යුද්ධයන්ගේ ඉතිහාසය එක්කෝ පාසල්වල උගන්වන්නේ නැහැ නැත්නම් නොවැදගත් දෙයක් ලෙස ඉවතලනවා."

යුද්ධයේ ආර්ථික පසුබිම කථිකයන් පැහැදිලි කල බව ඇය පැවසුවාය. "පෞද්ගලික අංශයේ සේවය කරන අය ලෙස 2013-14 වසරවල ශ්‍රී ලංකාවේ ආර්ථික පල්ලම් බැසීම අප දැක තිබෙනවා. නමුත් බොහෝ අය එය දේශීය ප්‍රශ්නයක් ලෙස දකිනවා විනා ලෝක ආර්ථික අර්බුදයේ ප්‍රතිපලයක් ලෙස දකින්නේ නැහැ."

මාතර ප්‍රදේශයේ රජයේ සේවකයෙකු වූ රත්නවීර මෙසේ පැවසීය: "මම ට්‍රම්ප්ගේ පත්වීම පිලිබඳ වෛෂයික විශ්ලේෂනයක් සහ එහි ජාත්‍යන්තර ඇඟවුම් පිලිබඳ විපරමින් සිටියේ. මම මෙම දේශනවලින් බොහෝ දේ ඉගෙනගත් නිසා මාතර සිට මා පැමිනි දීර්ඝ ගමන අපතේ නොගිය බව සිතනවා."

"ව්‍යාජ වාම සංවිධාන හිලරි ක්ලින්ටන් 'අඩුනපුර' ලෙස පෙන්වා දෙන අතරේ ඇය යුද්ධයක් අවුලුවා ලිය හැකි අන්දමට චීනය සහ රුසියාවට එරෙහිව මිලිටරි මැදිහත්වීම් තීව්‍ර කරමින් සිටියා."

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ඔබාමා පරිපාලනය සමග සම්පූර්නයෙන් පෙලගැසී සිටි බවත් ට්‍රම්ප්ට සේවය කිරීමට සූදානම් බවත් රත්නවීර පැවසීය.

Share this article: