ශ‍්‍රී ලංකාවේ කම්කරුවෝ හා ශිෂ්‍යයෝ ට‍්‍රම්ප්ගේ මැතිවරනය පිලිබඳව සාකච්ඡා කරති

Sri Lankan workers and students discuss Trump’s election

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 නොවැම්බර් 29

“ට‍්‍රම්ප්ගේ පත්වීමෙහි ජාත්‍යන්තර ඇඟවුම්” මැයෙන් නොවැම්බර් 30 දා කොලඹදී පැවැත්වීමට නියමිත මහජන රැස්වීම ගැන ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කම්කරුවන් හා ශිෂ්‍යයන් අතර ප‍්‍රබල ව්‍යාපාරයක් ගෙන යමින් සිටිති.

ගිය මස අවසන කොලඹ දී අන්තර්ජාලය හරහා එජ සසප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් විසින් අමතන ලද ඉහල සහභාගිත්වයක් පැවති මහජන රැස්වීමට පසුව, ට‍්‍රම්ප්ගේ මැතිවරන ජයග‍්‍රහනයේ ගෝලීය බලපෑම හා සුවිශේෂීභාවය සාකච්ඡා කරන්නට මෙම මහජන රැස්වීම කැඳවා තිබේ.

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ තේරී පත්වීමට මග පෑදූ අත්‍යාවශ්‍ය දේශපාලන සාධක, විශේෂයෙන්ම ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ ව්‍යාපාර-ගැති ලක්ෂන හා බොහෝ ව්‍යාජ-වාම සංවිධාන විසින් රඟ පෑ භූමිකාවන්, රැස්වීමේදී පැහැදිලි කරනු ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයේ තර්ජනයට හා, ජීවන තත්වයන් මත එල්ල කරන ප‍්‍රහාර උත්සන්න කිරීමට විරුද්ධවීමට කම්කරු පන්තියට අවශ්‍ය සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩ සටහනත් ජාත්‍යන්තරව කම්කරු පන්තිය මුහුන පාන දැවැන්ත අන්තරායනුත් රැස්වීමේ කතිකයන් විස්තර කරනු ඇත.

ආන්ඩුව සහ නිල විරුද්ධ පක්ෂ ඇතුලත්, ශ‍්‍රී ලාංකික පාලක ප‍්‍රභූවේ සෑම කොටසක්ම ට‍්‍රම්ප්ගේ සහයෝගය ඉල්ලා ආයාචනා කරමින් සිටී. ට‍්‍රම්ප් පරිපාලනය සමග සමීපව වැඩ කිරීමට තමන්ගේ සූදානම ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ යන දෙදෙනාම ප‍්‍රකාශ කර ඇත. ට‍්‍රම්ප්ගේ තේරී පත්වීමෙන් සිංහල අන්තවාදී කන්ඩායම් පන ගැන්වී ඇති අතර තම සිංහල ස්වෝත්තමවාදී වැඩ සටහන උනන්දු කරවීමට ඔහුගේ ජයග‍්‍රහනය පාවිච්චි කිරීමට උත්සාහ ගනිමින් සිටිති.

දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය විසින් ව්‍යාකූලතාවයන් නිර්මානය කොට තිබුනද, කම්කරුවෝ හා ශිෂ්‍යයෝ සසප හා සසජාතශි සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමට උනන්දුවක් දැක්වූහ. ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයෙන් පිලිබිඹුවන ලෝක දේශපාලනයේ හැරීම ගැන බොහෝ දෙනාට කතා කිරීමට අවශ්‍ය වුන අතර එජ මැතිවරන ප‍්‍රතිපලයේ විවිධ පැතිකඩ ගැන ප‍්‍රශ්න කලහ.

සසප සාමාජිකයන් කොලඹ කම්කරු පන්තික ප‍්‍රදේශයක් වන ඔබේසේකර පුර තම ප‍්‍රචාරක ව්‍යාපාරය කර ගෙන ගියේය.

“ට‍්‍රම්ප් ඉතා දූෂිත ව්‍යාපාරිකයෙක්. ඔහුගේ පාලනය යටතේ ඇමෙරිකාවේ අසමානතාව දරා ගත නොහෙන මට්ටමකට යන බවට තේරුම් ගැනීමට එයම ප‍්‍රමානවත්. ලෝකය පුරාම කම්කරුවන් දැන් මුහුන දෙන යථාර්තය මෙයයි.” ලිපිකාරිනියක් වන රම්‍යා ප‍්‍රකාශ කලාය.

ශ‍්‍රී ලංකාවේදී “ඇමෙරිකානු මැතිවරනය ගැන අපට අහන්නට ලැබුනේ දේශීය ප‍්‍රවෘත්තිවල කෙටි සඳහනක් විතරයි. වෙන මොකුත් නෑ. මම තරුනියක් විදිහට ඇසුනු හා කියවපු මේ වාගේ වැදගත් විදේශ සිදුවීම් ගැන බුද්ධිමය සංවාද තවදුරටත් දකින්න ඇත්තේ නෑ.” ඇය තවදුරටත් විස්තර කලාය.

දරුනු සේවා ස්ථාන තත්වයන් හා දිග්ගැස්සූ වැඩ කරන පැය ගනන් හේතුවෙන් මිනිසුනට බුද්ධිමය හා කලාත්මක දේ වලට යොදවන්න කාලයක් ඉතිරි වී නැති බව ද රම්‍යා පැවසුවාය. “ඒක ඉතා දරුනු තත්වයක්. මිනිසුන්ව අඳුරට හා අවිද්‍යාවට ඇද දමලා,” ඇය පැවසුවාය.

ඩී.පී. කුමාර

“මාධ්‍ය ක්ලින්ටන්ගේ නොවැලැක්විය හැකි ජයග‍්‍රහනය ගැන පින්තූරයක් මැව්වා. ට‍්‍රම්ප් දිනුව බව අහලා මම හරිම පුදුමයට පත්වුනා. කොහොමවුනත්, හිලරි හෝ ට‍්‍රම්ප් - මේ දෙන්නම ඇමෙරිකාවේ හෝ වෙනත් තැන්වල පොදු මිනිහට එක වගේම නරකයි. ඒක ශ‍්‍රී ලංකාවටත් සමානයි. අලුත් (සිරිසේන-වික‍්‍රමසිංහ) ආන්ඩුව ගෙනල්ලා ලැබුනු ප‍්‍රතිපල මොනවද? මිනිස්සු ඒ වගේම හෝ ඊට වඩා විඳෝනවා.” රජයේ මුද්‍රනාලයේ සේවකයෙක් වන ඞී.පී. කුමාර පැවසීය.

කුමාර සියලුම මහා පක්ෂ ගැන විවේචනශීලී විය. ලෝසවෙඅ වාර්තාකරුවන් තවත් ලෝක යුද්ධයක අවදානම ගැන විස්තර කල විට, “ඔබත් එක්ක කතා කලාට පස්සේ ඒකෙ නියම සත්‍ය තත්වය දැන් මට තේරෙනවා. තවත් ලෝක යුද්ධයක අවදානමක් තියෙනවා. ට‍්‍රම්ප්ගේ පාලනය යටතේ ඒ තර්ජනය උත්සන්න වෙයි කියලා මට හිතෙනවා.” ඔහු ප‍්‍රකාශ කලේය.

ශිෂ්‍යයන් අතර කල උද්ඝෝෂනයේදී බොහෝ ප‍්‍රශ්න මතු විය.

“එජ අධිරාජ්‍යවාදය බොහෝ රටවල මිනිස්සුන්ට දැවැන්ත විනාශයක් අත් කර දීමට හේතු උන බවට මං සම්පූර්නයෙන්ම එකඟයි. ඔබාමා ඒවා පැතිරුව අතර ට‍්‍රම්ප් ඒවා උත්සන්න කරාවි.” කොලඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා හදාරන සිසුවියක් වන ආශා පැවසුවාය.

“නොසැලෙන තීරන ගන්නා ශක්තිමත් මිනිසෙකු වන ට‍්‍රම්ප් ලෝකය පුරා පැතිරුන ත‍්‍රස්තවාදය අවසන් කරන්නට දරදඬු ප‍්‍රතිපත්තියක කටයුතු කරාවි යැයි අපට හිතන්නට බැරි ඇයි?” දැයි එම කන්ඩායමේම තවත් සිසුවියක් වන ඉරේෂා ප‍්‍රශ්නයක් සමග මැදිහත් වූවාය. වඩා බිහිසුනු හා අනුකම්පා විරහිත ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල කර ඇත්තේ එජ බවට උද්ඝෝෂකයින් පෙන්වා දුන් අතර තම භූ-මූලෝපායික අවශ්‍යතා සඳහා අයිඑස්අයිඑස් වැනි ත‍්‍රස්තවාදී කන්ඩායම් පාවිච්චි කලේද ඔවුන් බව පැවසීය.

ඉරේෂා සමග තවත් සිසුහු සසප උද්ඝෝෂකයින් සමග කතා කරමින්

“නමුත් ට‍්‍රම්ප් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරනයකින් බලයට පත්වුන කෙනෙක්, දැන් අපට කරන්න පුලුවන් මොනවද?” ඉරේෂා තවත් ප‍්‍රශ්නයක් මතු කලාය. ට‍්‍රම්ප් වෙනුවට හෝ, ඇමෙරිකානු ජනතාවට හා ලෝකයට ට‍්‍රම්ප් පරිපාලනය ගෙන එන ව්‍යසනයට හෝ වෙනත් ධනවාදී ආදේශකයක් නැති බව උද්ඝෝෂකයෝ විස්තර කලහ. ලෝකය පුරාම යුද්ධයේ අන්තරාය හා ෆැසිස්ට්වාදය පරාජය කල හැකි එකම බලවේගය වන්නේ සමාජවාදී ඉදිරි දර්ශනයකින් සන්නද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

අවසාන වසරේ වෛද්‍ය සිසුවෙක් වන චතුරංග ට‍්‍රම්ප්ගේ වැඩ සටහනේ ෆැසිස්ට්වාදී ස්වරූපය, විශේෂයෙන්ම ඔහුගේ සංක‍්‍රමනික-විරෝධී ප‍්‍රතිපත්ති ගැන සැලකිලිමත් විය. “තමන්ගේ මැතිවරන ව්‍යාපාරයේදී පොරොන්දු වූ දේ ඉටු කරනවා නම්, නව ට‍්‍රම්ප් පාලනය යටතේ, ඇමෙරිකාවේ සංක‍්‍රමනික මිනිසුන් අඩංතේට්ටම්වලට හසුවේවි.”

චතුරංග

අයිඑස්අයිඑස් සංවිධානය මුලින්ම පිටුබලය ලද්දේ වොෂින්ටන් වලින් යැයි තමා කියවා තිබෙන බව චතුරංග උද්ඝෝෂකයින්ට පැවසීය. “එජ අධිරාජ්‍යවාදයේ මෙවැනි උපායමාර්ග තවත් ලෝක යුද්ධයකට ඉඩ සලසන බවත් ට‍්‍රම්ප් යටතේ කිසිවක් වෙනස් නොවනු ඇති බවත් දැන් මට පැහැදිලියි” යැයි ඔහු පැවසීය. “නමුත් ලෝක බලවතුන් විසින් මෙහෙයවෙන යුද්ධයක් අප නවත්වන්නේ කෙසේද?” කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රයත්නය ගැන සාකච්ඡාවක් එතුලින් පැන නැගිනි.

“මේ දක්වා ලෝක දේශපාලනයේ මාධ්‍ය වේදිකාව වුනේ අනෙකුත් රටවලට විරුද්ධව ඇමෙරිකාවේ වැඩ කටයුතුයි. නමුත් අර්බුදය තිබෙන්නේ ඇමෙරිකානු සමාජයේ බව මෙම මැතිවරනය මුලු ලෝකයටම පෙන්නා දුන්නා. ඇමෙරිකානු ජනතාවට අවශ්‍ය කරන්නේ තමන්ගේ ජනාධිපති, අනෙකුත් රටවලට විරුද්ධව යුද්ධ දියත් කරන්නේ නැතිව, තමන්ගේ ප‍්‍රශ්න විසඳිය යුතු බව යැයි මා හිතනවා.” මුස්ලිම් ශිෂ්‍යාවක් ප‍්‍රකාශ කලාය.

ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ආයාචනා හා “ඉස්ලාම් බිය” ගැන තවත් ශිෂ්‍යාවක් තම උත්සුකතා විස්තර කලාය. “ඔහු ලෝකය පුරාම ප‍්‍රශ්න ඇති කරාවි. ට‍්‍රම්ප් මැද පෙරදිග යුද්ධ නතර කරාවි යයි මා කියන්නේ නෑ. ඔහු ඒවා වඩා කෲර ලෙස කරගෙන යෑමට බොහෝ ඉඩ කඩ තියෙනවා. නමුත් රට තුල තමන්ගේ දැවෙන ප‍්‍රශ්න සඳහා විසඳුම් ඉල්ලන තමන්ගේම ජනතාවගෙන් ඔහුට පීඩනය එල්ලවන බව මම කියනවා.” ඇය පැවසුවාය.

ප‍්‍රදීප් සසප උද්ඝෝෂකයකු සමග කතා කරමින්

කලමනාකරන සිසුවෙක් වන ප‍්‍රදීප් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය පාවිච්චි කරන ජාතිකවාදී ව්‍යාපාරයට මුලදී සහාය පල කලේය. සාකච්ඡාවට පසුව, මට මීට කලින් කවදාවත් වටහා ගන්නට බැරිවුන දේ ඔබගේ විස්තර කිරීමෙන් පසු දැන් මට ඉතා පැහැදිලියි. ජාතිය, ආගම, ලිංග බේදය, හෝ වෙනත් වර්ගකිරීමක් නොව සමාජයේ බෙදීමට මූලිකවම බලපාන්නේ පන්තිය. ඕනෑම දේශපාලන පක්ෂයක ප‍්‍රතිපත්ති පදනම් වන්නේ තමන් සේවය කරන පන්තියේ ස්වභාවය අනුවයැ”යි ඔහු පැවසීය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය නොකඩවා පරිශීලනය කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් එජ ජනාධිපතිවරනය සම්බන්ධව ලෝසවෙඅ යේ විමර්ෂන අගය කලේය. “මැතිවරනය ගැන ලෝසවෙඅ පලවූ බොහෝ ලිපි මම කියෙව්වා. ලෝසවෙඅ ඇරුනාම වෙන කොහේවත් ජනාධිපතිවරනය ගැන එතරම් පුලුල් හා විද්‍යාත්මක විමර්ෂනයක් මට හම්බ වුනේ නැහැ” යැයි ඔහු පැවසුවේය.

Share this article: