75 වසරකට පෙර: ඇමරිකාවේ මහ ව්‍යාපාරිකය උසස් විද්‍යාලවල පෙල පොත් හෙලා දකිති

75 years ago: US big business condemns high school textbooks

2016 පෙබරවාරි 15-21

ලෝකයේ ඉහලම ජීවන තත්වය
ඇමරිකානු මාවතට සමාන වෙනත් මාවතක් ඇත්තේ නැත

(1937© Margaret Bourke-White/Timepix) මහා අවපාතය අවධියේ දුගීන්ගේ ආහාර පෝලිමකට ඉහලින් දැක්වෙන, ජාතික නිෂ්පාදකයින්ගේ සංඟමයෙහි (නෑම්) පෝස්ටරයක්.

සමාජ විද්‍යා පෙල පොත්වල සැලකිය යුතු තරමක්, ඇමරිකානු ධනවාදය, ඇමරිකානු ආන්ඩුව හා එරට ඉතිහාසය විවේචනයට ලක් කරන බවත්, සිසුන් අතර නොසංසුන්තා හා කැලඹීම් ඇති කිරීමට තුඩු දෙන බවත්, ජාතික නිෂ්පාදකයින්ගේ සංඟමය විසින් පත් කරන ලද ශාස්ත්‍රාලිකයන්ගේ මන්ඬලයක් 1941 පෙබරවාරි 21දා නිවේදනය කලේය.

එම පෙල පොත්, 1930 ගනන්වල මහා අවපාතයේ ද කම්කරු පන්තියේ නැඟෙමින් පැවති අරගලයන්ගේ ද බලපෑම ප්‍රකාශයට පත් කලේය. ඒවා පිලිබඳ නෑම් විවේචන පල වන්නට පටන් ගත්තේ ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට ඇතුලු වීමත් සමඟය.

ශාස්ත්‍රාලික මන්ඬලය, ද්වීතීයික අධ්‍යාපනයේදී යොදාගන්නා පෙල පොත් වලින් සියයට 90ක් තරම් වූ පොත් 6000ක් විමසුමට ලක් කලේය. උගැන්වීමට පදනම් කර ගන්නා පොත අගැයීම පිනිස ඔවුන් ප්‍රශ්න දෙකක් යොමු කරන ලදී. එකක්, “ලේඛකයා ඇමරිකානු ආන්ඩුවේ ආකෘතිය කෙරෙහි දක්වන ආකල්පය කුමක් ද?” අනෙක, “අපගේ නිදහස් ව්‍යාපාරික ව්‍යවසායකත්වය කෙරෙහි ඔහුගේ ආකල්පය කුමක් ද?” යන්නයි.

ඇමරිකාවේ ඉතිහාසය පන්ති අරගලයේ ආස්ථානයක සිට පැහැදිලි කිරීමට උත්සාහ කල පෙල පොත්වල කොටස් ඔවුහු ලැයිස්තු ගත කලහ. ඇමරිකාවේ පොහොසත්ම ධනපති පවුල්වල නැඟීම හා තහවුරු වීම ද දේශපාලන පක්ෂ හා ආන්ඩුව කෙරෙහි ඔවුන් සතුව තිබූ පාලනය ගැන ඒවායේ විස්තර කෙරුනි. කම්කරු පන්තිය නිර්දය ලෙස සූරාකෑම හා මර්දනය කිරීම ගැන ඒවායේ සඳහන් විය. “මාධ්‍යයේ නිදහස” පිලිබඳ සංකල්පය කෙරෙහි සතුරු භාවයක් අඟවමින්, පුවත්පත් ධනපතියන් විසින් හසුරුවන්නේ කෙසේදැයි ඒවායින් පෙන්නුම් කෙරුනි.

මන්ඬලයේ නායකත්වය දැරූ, බැංකු ක්‍රමය පිලිබඳ කොලොම්බියා විශ් විද්‍යාලයේ මහාචාර්ය රැල්ෆ් රොබි, තමන් හෙලිකරගත් කරුනු ගැන කථා කලේය. “එම පෙල පොත්වල අවධාරනය යොදා තිබුනේ කුඩා ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් කෙරෙහි නොව, විශාල ව්‍යාපාර සුලු සංඛ්‍යාවක් කෙරෙහිය. ඔබ පෙන්නුම් කර ඇති විවේචනාත්මක ආකල්පය ඇති කරන බලපෑම විනාශකාරීය. ව්‍යාපාර පවෙත්වාගෙන යන්නේ තක්කඩියන් රැලක් විසින් යයි ද එය නොගැලපෙන්නේ යයි ද සිසුන්ට උගැන්වීමට පෙර අපි ඔවුන්ට, ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ පෞද්ගලික ව්‍යවසායකත්වයේ මූලධර්ම ගැන කියා දෙමු” ඔහු පැවසීය.

Share this article: