ඇඹිලිපිටිය ඝාතනය: වේගයෙන් වැඩෙන පොලිස් රාජ්‍යයක් පිලිබඳ බලගතු ප‍්‍රකාශනයක්

මිනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 පෙබරවාරි 14

ඇඹිලිපිටියේ පැවති සාදයකට පොලීසිය මැදිහත්වී සිදු කල පහර දීමේ සිද්ධියේ දී මිය ගිය තරුනයාගේ මරනය සම්බන්ධයෙන් එම ප‍්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරනය විසින් දුන් නියෝගය නොතකමින් දින පහක් කල් මැරූ පොලීසිය, පෙබරවාරි 3 දා ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මනා විභාගයකට යයි පවසමින් කුප‍්‍රකට පොලිස් අපරාධ විමර්ශන අංශයට සිද්ධිය භාරදී සති දෙකක් කල් ඉක්මවා ඇතත් පරීක්ෂනය තවමත් අවසන් නැති බව ප‍්‍රකාශ කෙරේ.

පසුගිය ජනවාරි 4 වනදා රාති‍්‍රයේ ඇඹිලිපිටිය මහඇල ප‍්‍රදේශයේ පැවති සාදයකට පොලීසිය කඩාපැන ඇතිකල ප‍්‍රකෝපකරනයේ දී සුමිත් ප‍්‍රසන්න නමැති 29 හැවිරිදි විවාහක එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්විය. මත්පැන් ඉල්ලමින් තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමග එහි පැමිනි ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා ප‍්‍රසන්නට පහරදී තෙමහල් ගොඩනැගිල්ලකින් පහලට තල්ලු කල බව ඔහුගේ බිරිඳ ඇතුලු ඥාතීහු මරන පරීක්ෂනයේදී ප‍්‍රකාශ කලහ.

අනතුරට ලක් වීමෙන් පසු රත්නපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ප‍්‍රසන්න, ජනවාරි 7දා ජීවිතක්ෂයට පත් වීමත් සමගම පොලීසියට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් පැන නැගුනි. ඇඹිලිපිටිය නගරයේ කඩසාප්පු වසා දමමින් පාරවල් අවහිර කරමින් ජනතාව සිය විරෝධය දැක්වූ අතර, අවසානයේ අවමගුල් උත්සවය පවත්වන ආකාරය සඳහන් කරමින් උසාවි නියෝගයක් ගැනීමට පවා පොලීසිය කි‍්‍රයා කලේය.

සිද්ධිය ඇසින් දුටුවන්ගේ චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කල පොලීසිය ගොඩනැගිල්ල තුල මතුවූ නොසන්සුන් තත්වයක් පාලනය කිරීමට මැදිහත් වූ අවස්ථාවේ ගැටුම හටගත් බව පැවසීය. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා, “විමර්ශනයේදී අනාවරනය වූනේ” අදාල තරුනයා “උඩ ඉඳන් පැන්න කියල” යැයි, එදිනම පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කලේය. ලංකාවේ පොලීසිය ප‍්‍රකෝපකරනයන් හා ඝාතන සිදු කර සිද්ධීන් කනපිට හැරවීම ගැන නම් දරා සිටී.

නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක සිද්ධියට අදාලව පාර්ලිමේන්තුව තුල ජනවාරි 12 දා කල ප‍්‍රකාශයක දී පොලීසියට සුදුහුනු ගාමින් සඳහන් කලේ, දෙපාර්ශවයෙන් “ප‍්‍රතිවිරුද්ධ මත දෙකක්” ඉදිරි පත් වී ඇතිබව සහ “ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන කටයුතු සිදුවෙමින් පවතින” බවයි. කෙසේ වෙතත් පොලීසියට සහ ආන්ඩුවට එරෙහි මහජන විරෝධය නැගී එත්ම, සිද්ධිය සම්බන්ධයෙන් ආන්ඩුවේ අත් පිසදා ගැනීමේ අරමුනෙන්, පොලිසිය කල “වැරදි කිහිපයක්” පිලිබඳව පසු දිනෙක ඔහු පාර්ලිමේන්තුවේදී තවත් ප‍්‍රකාශයක් කලේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, ජනවාරි 27 දා පාර්ලිමේන්තුවේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ විවාදයකදී ඇඹිලිපිටියේ සිදුවීම පොලිසියෙන් සිදු වූ එක “අඩුපාඩුවක්” ලෙස හුවා දැක්වීමට තැත් කලේ මෙසේය: “ලෝකේ හැමතැනම පොලිසි ගැන ප‍්‍රශ්න තියෙනවා. ඇමරිකාවේ ෆර්ගියුසන් නගරේ වුන වෙඩි තැබීම් වලින් පස්සේ මිනිස්සු පාරට බැස්ස. එංගලන්තේ ගිය අවුරුද්දේ ඒ වගේම තිබුන.... පොලිසිය කියන්නේ නීතිය සාමය ආරක්ෂා කරන්න තියෙන ආයතනයක්. ඉතින් පොලිසියෙන් අඩුපාඩු කම් වුනහම මේ ප‍්‍රශ්න ඇති වෙනවා”. ඔහු තම කතාව සමාප්ත කලේ “අපි හදන්නෙ පොලීසිය සහ ති‍්‍රවිධ හමුදාව ශක්තිමත් කරන්නයි. අපි කවදාවත් හමුදාව පාවා දෙන්නෙ නෑ” යි පවසමිනි. වික‍්‍රමසිංහ පොලීසිය ආවරනය කිරීමට හා එය මහජනතාව මැඩීම සඳහා යොදා ගැනීම සාධාරනීකරනය කිරීමට ඉදිරිපත් වූයේ එලෙස ය.

ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සාකච්ඡාවකට යෝජනාවක් ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුනේ නායක, අනුර කුමාර දිසානායක විසිනි. සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සාකච්ඡාවක් ඇදී ඒමෙන් පෙන්නුම් කෙරුනේ රාජ්‍ය යන්ත‍්‍රයේ මර්දන උපකරනයක් ලෙස තමන් විසින් යොදා ගන්නා පොලීසිය මහජනයා ඉදිරියේ හෙලිදරවු වීම හා විරෝධයට ලක්වීම ගැන දේශපාලන සංස්ථාපිතය තුල වැඩෙන භීතියයි.

වික‍්‍රමසිංහ නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) පිටුබලය ඇතිව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති මැතිවරනයේදී ගසාකනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ජීවන කොන්දේසි හා සමාජ අයිතීන්ට එල්ල කල ප‍්‍රහාරවලට ද පොලිස් මිලිටරි පියවර මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමීමට ද එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර පැන නැගෙමින් පැවති පලල් විරුද්ධත්වයයි.

ජවිපෙ, වෘත්තීය සමිති, පුරවැසි බලය වැනි මධ්‍යම පන්තික කන්ඩායම්, ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) එක රොත්තට පෙලගැසී මේ ගසා කෑමට ඍජුව හා වක‍්‍රව සහයෝගය දුන්හ.

දැන් සිදුවන්නේ කුමක් ද? ලැයිස්තුව දීර්ඝ එකකි.

ඇඹිලිපිටියේ ප‍්‍රහාරය පොලිස් ප‍්‍රචන්ඩත්වයේ අලුත්ම සිද්ධියයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ පසුගිය අධ්‍යාපන කප්පාදු වලට එරෙහිව විරෝධය පල කල එච්එන්ඩීඊ ශිෂ්‍යයන්ටත්, පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු බඳගිරියේ ගොවියන්ටත් මීතොටමුල්ලේ පරිසර දූෂනයට එරෙහි වූ ප‍්‍රදේශවාසීන්ටත් එරෙහිව ප‍්‍රචන්ඩ පොලිස් ප‍්‍රහාර එල්ල වුනි.

වතුකරයේදී, මස්කෙලිය ඩීසයිඩ් වත්තේ වැඩි වැඩ පැටවීමට එරෙහි විරෝධතාවකට නායකත්වය දුන් කම්කරුවන් බොරු නඩුවකට පැටලවීමටත් යටියන්තොට ගනේපල්ල වත්තේ රබර් කම්කරුවන්ගේ විරෝධතාවක් බිඳීමටත් පොලීසිය කොම්පැනි සමග කෙලින්ම සම්බන්ධ වී කි‍්‍රයා කලේය.

වික‍්‍රමසිංහත් නීතිය හා සාමය පිලිබඳ ඇමැතිත් පොලීසියට සුදු හුනු ගෑම පුදුමයක් නොවේ. වත්මන් ආන්ඩුවට ද පොලීසියේ හා හමුදාවේ ප‍්‍රචන්ඩත්වය වහංගු කිරීමත්, පවත්වා ගැනීමත්, වැඩි දියුනු කිරීමත් අවශ්‍ය ය.

දෙමල ජනයා ජනඝාතක විනාශයන්ට ගොදුරු කරමින් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙනගිය තිස් අවුරුදු යුද්ධයේදී තර කෙරුනු මිලිටරිය හා පොලීසිය රාජපක්ෂ පාලන සමයේ යුද්ධයෙන් පසුව ද රුදුරු ලෙස උතුරු නැගෙනහිර මෙන්ම දකුනේ ද යොදා ගැනුනි. දැන් එය ඉදිරියට යයි.

යුද්ධයෙන් ද ඉන් පසුව යොදා ගැනෙන පොලිස් පාලන ක‍්‍රමවලින් ද හෙලිදරවු කෙරෙන්නේ පොලීසි, හමුදා, හිර ගෙවල් හා අධිකරනය යනාදී ධනපති රාජ්‍යයේ සංස්ථාවන් නග්න හා ප‍්‍රචන්ඩ ලෙස ධනේශ්වර පන්ති පාලනය ආරක්ෂා කිරීමේ උප කරන මිස අපක්ෂපාතී, සාධාරනත්වය ඉටු කරන ආයතන නොවන බවයි.

වික‍්‍රමසිංහ ඇමරිකාවේ පොලීසිය ගැන මතක් කිරීම ද අර්ථභාරීය. ඇමරිකා එක්සත් ජනපදය තුල 2015 වසරේදී පමනක් 1193 කට ආසන්න ගනනක් පොලිසිය විසින් ඝාතනය කර තිබේ. ඔබාමා පාලන තන්ත‍්‍රය සිද්ධීන්ගෙන් සමහරක් ගැන කනස්සල්ල පල කර පොලිස් සාහසිකකම් වහංගු කරයි. අධිකරනයේ දී ප‍්‍රකාශ වන්නේ ආත්මාරක්ෂාව සඳහා ඝාතනය කිරීම් සිදුවූ බව ප‍්‍රකාශ කර පොලිස් නිලධාරීන් මුදා හැරීමයි. ඇමරිකාවෙන් පිට සිය ආධිපත්‍යය සඳහා මුර්ග යුද්ධ වල යෙදෙන ඔබාමා තන්ත‍්‍රය රට තුල පොලිස් රාජ්‍ය පාලනයක් තර කරයි.

පැරීසියට මෑතදී එල්ල කල ත‍්‍රස්ත ප‍්‍රහාරය දඩමීමා කරගනිමින් ප‍්‍රන්සයේ පාලක පන්තිය පොලිස් රාජ්‍යයක් දෙසට පියවර මාලාවක් තැබීය. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව අනුයමින් සිටින්නේ මෙම ජාත්‍යන්තර හාම්පුතුන්ය.

ලෝක ධනවාදයේ බිඳ වැටීමක කොන්දෙසි තුල රටක් රටක් පාසා පාලක පන්තීන්, කම්කරු මහජනතාව මෙතෙක් භුක්ති විඳිමින් සිටි සමාජ සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් උදුරා ගැනීමේ පොලිස් පාලනයන්ට මාරුවීම අරඹා ඇත. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ ද සිදුවන්නේ මෙයයි. මෙවර අයවැයෙන් මිලිටරිය හා පොලීසිය සඳහා වෙන් කල මුදල පෙර නොවූ විරූය. එම වියදම් පසුගිය වසරට සාපේක්ෂව සියයට 17 කින් වැඩි කොට ඇත. මේ අනුව දිවයින පුරා ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව 200 කට අධික සංඛ්‍යාවකින් වැඩි කෙරේ. පොලිස් නීති අලුතින් ගෙන ඒම සාකච්ඡා කෙරෙමින් පවතී.

ජන මාධ්‍ය ඇඹිලිපිටියේ පොලිස් ඝාතනයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ගෙන ගිය උද්ඝෝෂනයට මහත් ප‍්‍රචාරයක් දුන්නේය. තවත් එවැනි සිද්ධීන් වල දී මෙන්ම මෙහිදී ද ජන මාධ්‍ය ප‍්‍රචාරය එල්ල වූයේ එය හුදෙක් පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේ දුෂ්ටත්වය පෙන්නුම් කල තවත් සිද්ධියක් ලෙස පෙන්වීමට ය. දේශපාලන පක්ෂවල හැසිරීම ද ඒ හා සමාන ය.

ජවිපෙ නායකයා මේ සඳහා පාර්ලිමේන්තුවේ දී පෙනී සිටියේය. පොලිස් නිලධාරීන් ඇඹිලිපිටියේ දී කි‍්‍රයා කල ආකාරය විවේචනය කල ඔහු කියා සිටියේ නිසි ලෙස “නීතිය හා සාමය” කි‍්‍රයාත්මක කිරීමට නම් පොලීසියේ වැටුප් විශාල වශයෙන් වැඩි කර මනා ලෙස සංවිධානය කල යුතු බවයි.

නසසප සතිපතා ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී එහි නායක වික‍්‍රමබාහු කරුනාරත්න මෙසේ කියා සිටියේය: “පොලීසියේ ඉහල නිලධාරීන් සාධාරනව කි‍්‍රයා කිරීමට යොමුවෙලා තියෙනවා. පොලිස් කොමිසම දැන් සාධාරනයක් කරන්න කටයුතු කරනවා කියල පේනවා. ඒකෙන් පේනවා පැහැදිලිවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය එහෙමත් නැත්තන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැගිටීම සමාජය තුල ලොකු වෙනසක් ඇති කරලා තියනවා.”

ධනපති පන්ති පාලනයේ ආරක්ෂකයන් ලෙස ජවිපෙ හා නසසප නායකයන් පොලීසිය ආරක්ෂා කිරීමට හා තර කිරීමට ඉදිරිපත්වීම පුදුමයක් නොවේ. යුද්ධයේ කස කරුවෙකු වූ ජවිපෙ රාජපක්ෂ පාලනයේ පොලිස්-හමුදා මර්දනයට ද සහාය දී පසුව රාජපක්ෂ ගෙන් ඈත්වූයේ පක්ෂය අර්බුදයට යන තතු තුල ය. මෙම පක්ෂය සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්දේය.

නසසප නායකයා, කම්කරුවන් හා දුගීන් ලෙයින් මැඩීමේ අතීත වාර්තාව ද සහිත එජාපයේ නායක වික‍්‍රමසිංහගේ දීර්ග කාලීන පන්දම් කරුවෙක් හා වත්මන් ආන්ඩුවේ ආරක්ෂකයෙකි.

පොලීසිය හා හමුදාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සලුපිලි වලින් සැරසීම සාපරාධී කි‍්‍රයාවකි. මොවුන් ආවරනය කරන්නේ පොලිස් ප‍්‍රචන්ඩත්වයෙන් හා ඒවා සාධාරනය කරමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ පොලිස් රාජ්‍යයක් දෙසට පාලක පන්තිය ගමන් කිරීමයි.

Share this article: