වතු සමිති, ඉන්ජෙස්ටර් වතු පාලකයන් ගේ කොන්දේසි කම්කරුවන් මත පටවයි

එම්. දේවරාජා විසිනි, 2016 පෙබරවාරි 19

කැලනි වැලි වැවිලි සමාගම යටතේ පාලනය වන හැටන් දික්ඔය ඉන්ජෙස්ටර් වත්තේ වැඩ තහනමට ලක් ව සිටි කම්කරුවන් යලි සේවයේ පිහිටුවීමේ දී වතු පාලකයන්ගේ සහ වැවිලිකරුවන්ගේ සංගමයේ කොන්දේසි ඔවුන් මත පැටවීමට ලංකා කම්කරු කොංග‍්‍රසයේ (සීඩබ්ලිව්සී) නායකයන් ඍජු ව මැදිහත් වී ඇත.

ගනේෂන් සිවකුමාර්, ගනේෂන් පුෂ්පනාදන්, ගෝවින්දන් ලෙචුමනන්, සීඩබ්ලිව්සී දිස්ති‍්‍රක් නායක පෙරුමාල් මුරුගන්, සන්ගිලිමුත්තු සන්ගරන්, මාරිමුත්තු යෝගේන්ද්‍රන් සහ ඉන්ජෙස්ටර් වත්තේ සීඩබ්ලිව්සී සමිතියේ සභාපති සිවසාමි මහේන්ද්‍රන් යන කම්කරුවන් සත් දෙනා වැඩ තහනමට ලක්ව සිටියහ. ඔවුන් දඩයමට ලක් වුයේ වැටුප් ඉල්ලීම් මත පසුගිය වසරේ ජුලි 6 දා ඇරඹු වර්ජනය බිඳ දැමීමට වතු පාලකයන් සහ ආන්ඩුව ගෙන ගිය මර්දනයේ දී ය. මර්දනය මධ්‍යයේ වර්ජනය ජූලි 18 දා දක්වා සිදු කෙරුනි. මෙම කම්කරුවන් සත්දෙනා එම අරගලයේ පෙරමුනේ සිටි කි‍්‍රයාකාරීහු වෙති.

පෙබරවාරි 01 දා ඔවුන් යලි සේවයේ පිහිටුවනු ලැබුව ද දඬුවමක් ලෙස සිවකුමාර් සහ පුෂ්පනාදන් සමාගමට අයත් පුලිය වත්තේ පහල කොටසට හා සන්ගරන් සහ යෝගේන්ද්‍රන් එහි ඉහල කොටසට මාරු කරන ලද අතර, ලෙච්චුමනන් සහ මුරුගන් ඉන්ජෙස්ටර් වත්තේ බීට්රූට් කොටසටත්, මහේන්ද්‍රන් එහි බාත් කොටසට ත් මාරු කර ඇත. වැඩ තහනම් කර තිබු මාස හත සඳහා ඔවුන්ගේ වැටුප් ගෙවීම වතු පාලකයන් විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

එමෙන් ම ඉන්ජෙස්ටර් වත්තේ කලමනාකරුගේ බංගලාවට සහ උද්‍යානයට අලාබ කල බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධ ව පවරා ඇති නඩුව ද එලෙස ම පවතින අතර එය මාර්තු 28 දා යලි විභාගයට ගැනීමට නියමිත ය. තමන් ට විරුද්ධ ව පාලකයන් සහ පොලිසිය විසින් ගොනු කර ඇති චෝදනා මුලූමනින් ම සාවද්‍ය බව කම්කරුවෝ කියති.

යලි සේවයේ පිහිටුවීම සම්බන්ධව සමිති නියෝජිතයන් හා වතු පාලකයන් අතර ජනවාරි 13 දා පැවති සාකච්ඡාවට කැලනිවැලි වතු සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ හා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි පුද්ගලිකවම සහභාගී වී ඇත. දඩයමට ගොදුරු වූ කම්කරුවන් ද සාකච්ඡාවට කැඳවා තිබුන අතර “නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීම සඳහා වත්තේ පාලනාධිකාරයත් සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස” රාජදුරෙයි එහිදී අවධාරනය කල බව කම්කරුවෝ කීහ.

දඩයමට ගොදුරු වූ කම්කරුවන්ට පනවා ඇති දඬුවම් අසාධාරන බවට තර්ක කල යෝගේන්ද්‍රන් කෙරෙහි කෝප වූ රාජදුරෙයි “තමුසේ කතා කරන්නේ නීතිඥයෙක් වගේ. උසාවියට ගිහිල්ල තමුසේ අපහු වැඩ ඉල්ලා ගන්නවා.” යැයි ඔහුට තර්ජනාත්මක ව පැවසූ බව ද ඔව්හු කීහ.

රාජදුරෙයිගේ තර්ජනය ට විරෝධය පල කල යෝගේන්ද්‍රන් සාකච්ඡාවෙන් ඉවත් ව ගිය නමුත් පාලකයන්ගේ දඩයමට එරෙහිව කම්කරුවන්ගේ විරුද්ධත්වයක් ඇවිලෙනු ඇතැයි බියවූ සමිති නායකයන් ඔහු අස්වසා යලි කැඳවා ගෙන විත් ඇත. සෙසු කම්කරුවන් පෙබරවාරි 01 වෙනිදා සිට යලි සේවයේ පිහිටුවනු ලැබූ නමුත් යෝගේන්ද්‍රන් සේවයේ පිටුවීම පාලකයන් සති දෙකක් ප‍්‍රමාද කර ඇත. එය කම්කරුවන් ගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් වෙනුවෙන් කතා කිරීම නිසා ඔහුට දුන් දඬුවමකි.

සාකච්ඡාවට සහභාගී වූ සීඩබ්ලිව්සී යේ දික්ඔය ප‍්‍රාදේශීය කාර්යාලයේ නියෝජිතයා හෝ ඉන්ජෙස්ටර් වත්තේ සීඩබ්ලිව්සී සමිති නායකයන් හෝ කම්කරුවන්ට පනවා ඇති මෙම දඬුවම් ගැන හෝ රාජදුරෙයිගේ තර්ජනය ගැන කිසිදු විරෝධයක් පල නොකර මුලුමනින් ම නිහඬ ව සිටි බව ද කියති.

යලි සේවයේ පිහිටු වීමට අදාල ව ඔවුන්ට දුන් ලිපියෙහි වැඩ තහනම් කිරීමට යොදා ගත් සාවද්‍ය චෝදනා එහි සඳහන් කර තිබු බව ද කම්කරුවෝ කීහ. යලි සේවයේ පිහිටු වීම කෙරෙන්නේ සීඩබ්ලිව්සී නායකයන් වන ආරුමුගම් තොන්ඩමන් සහ මුත්තු සිවලින්ගම් ගේ ඉල්ලීම නිසා බව ද එම ලිපිවල අවධාරනය කර ඇත. ලිපි සියල්ල ම සීඩබ්ලිව්සී නායකයන් විසින් එකතු කර ගෙන තිබේ. ඒ තමන් කල ද්‍රෝහී පාවාදීම එලිදරව් වීම වලක්වා ගැනීමේ උවමනාවෙනි.

වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රාජදුරෙයි ලෝක වෙලඳ පොලේ තේ අර්බුදය කම්කරුවන් මත පැටවීම සඳහා දිනපතා වැටුප් ගෙවීමේ ක‍්‍රමය අහෝසිකර අඳ ගොවි ක‍්‍රමයට සමාන වැඩ ක‍්‍රමයක් හඳුන්වා දීමට ද සමාජ අයිතීන් කපා හෙලීමට ද තරයේ අවධාරනය කරයි. ඔහු මොනම වැටුප් වැඩිවීමක් හෝ දීම ප‍්‍රතික්ෂේප කරයි.

ඉන්ජෙස්ටර් වත්තේ කම්කරුවන්ගේ වර්ජනය බිඳීම සඳහා හෙමින් වැඩ කරන දිනවල ඔවුන් නෙලූ තේ දලු බාර ගැනීම ප‍්‍රතික්ෂේප කල පාලකයෝ වර්ජිත කම්කරුවන් ට විරුද්ධ ව පොලිසිය උසිගැන්වීමට ප‍්‍රකෝපකාරී වාතාවරනයක් දැනුවත් ව නිර්මානය කරමින් සිටියහ. දලු බාර නොගැනීම නිසා කෝපයට පත් කම්කරුවෝ වතු කලමනාකරුගේ ගෙවත්තට ඒවා ගෙන ගොස් දැමූ හ. කම්කරුවන් ට විරුද්ධ ව දඩයම දියත් කිරීමට පාලකයන් එම අවස්ථාව වහාම ඩහැ ගත්තේය.

සීඩබ්ලිව්සී නායකයන් ඉන්ජෙස්ටර් වත්තේ හෙමින් වැඩ කිරීමේ සීමිත විරෝධතා උද්ඝෝෂනයක් කැඳවුම් කලේ දෛනික වැටුප රුපියල් 620 සිට 1000 දක්වා වැඩි කරන ලෙස වෘත්තීය සමිති කල ඉල්ලීම් වතු සමාගම් ප‍්‍රතික්ෂේප කිරීම හා වැඩි වැඩ ඉලක්ක පැටවීමට එරෙහිව වතු කම්කරුවන් අතර පුලුල් විරෝධයක් වර්ධනය වෙමින් පැවති තත්වය තුලය. සීඩබ්ලිව්සී නායකයෝ ජුලි 18 දා වර්ජනය නතර කලේ අගෝස්තු මහා මැතිවරනය හේතුවක් කර ගනිමිනි.

වර්ජනය නතර කිරීමත් සමග කම්කරුවන් ට එරෙහි දඩයම දියත් විය. ජුලි 20 වෙනිදා ඉහත නම් සඳහන් කම්කරුවන් 7 දෙනා වතු පාලකයන් ගේ පැමිනිලි මත පොලිස් අත්අඩංගුවට ගැනුනි. කම්කරුවන් ට එරෙහි දඩයමේ දී ඔවුන් ව ආරක්ෂා කිරීම සඳහා කිසිදු පියවරක් නො ගත් සීඩබ්ලිව්සී නායකයින් සමාගමේ දුෂ්ට කොන්දේසි වලට කම්කරුවන් යටත් කර තැබීම සඳහා වතුපාලකයන් සමග සමීප සහයෝගයකින් කටයුතු කරන බව ඉතා පැහැදිලි ය.

වතු සමාගම් සහ වැවිලිකරුවන්ගේ සංගමය වැටුප් ඉල්ලීම් දිගටම ප‍්‍රතික්ෂේප කරති. 2013 වැටුප් ගිවිසුම අහෝසි වී වසරක් ගෙවී ඇත. එය වසරක් දීර්ග කල යුතු යැයි සමාගම් කල යෝජනාවට කම්කරුවන්ගේ කිසිදු අනුමැතියකින් තොරව සමිති නායකයෝ නිහඬ ව ම එකඟ වූ හ. ජීවන වියදම් පිම්මේ ඉහල යද්දී වතු කම්කරුවන්ගේ වැටුප් කැටි කොට තබා ඇත. ඒ අතර වැඩෙන කම්කරු විරෝධය පීලිපැන්නවීමට වෘත්තීය සමිතිය මගින්ආන්ඩුවේ මැදිහත් වීමෙන් රුපියල් 2,500 කින් වැටුප් වැඩි කරන බවට ප‍්‍රචාරයක් ද ගෙන යයි.

කම්කරුවන්ගේ විරෝධය නිසා තවමත් අඳගොවි ක්‍රමයට සමාන වැඩ සැලැස්ම කි‍්‍රයාවට දැමීමට වතු සමාගම් අසමත් වී ඇතත් මතුරට වැවිලි සමාගම වැනි සමහර වතුවල දනට මත් එය කි‍්‍රයාවට දමා අත්හදා බැලෙමින් පවතී.

වතු හාම්පුතුන්ගේ කොන්දේසි කි‍්‍රයාවට දැමීමට ඔවුන්ට සහයෝගය දීම හුදෙක් සීඩබ්ලිව්සී සමිති නායකයන් පමනක් නොව, සෙසු වතු සමිති නායකයන් ගේ ද පොදු පිලිවෙත වන්නේ ය. සමිති නිලධරය උත්සුක වන්නේ කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් ගැන නොව වතු සමාගම් වල ලාබ අවශ්‍යතාවයන් ගැන හා කම්කරුවන්ගේ අරගල යටපත් කර තැබීම සම්බන්ධයෙන් ධනපති ආන්ඩුවෙන් ලැබෙන වරප‍්‍රසාද ගැන ම පමනි.

ජාතික කම්කරු වෘත්තීය සමිතියේ (එන්යූඩබ්ලිව්) පී. දිගම්බරම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු සංගමයේ (ඩීඩබ්ලිව්යු) මනෝ ගනේෂන් හා කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) වී. රාධාකි‍්‍රෂ්නන් ආන්ඩුවේ ඇමතියෝය. සීඩබ්ලිව්සී නායකයෝ පසුගිය ආන්ඩුවේ ඇමතිකම් බුක්තිවිඳි අතර රනිල් වික‍්‍රමසිංහ ගේ ආන්ඩුවේ ඇමතිකම් වලට කෙල හලමින් සිටිති.

ඉන්ජෙස්ටර් වත්තේ කම්කරුවන් ට එරෙහි දඩයමට සහය දීමත් දඩයම ට ගොදුරු වූ කම්කරුවන් මත පාලකයන්ගේ කොන්දේසි පැටවීමට සමිති නිලධරය ඉටු කල ද්‍රෝහී කි‍්‍රයා කලාපය වතු කම්කරුවන් මෙන් ම අවශේෂ කම්කරුවන් ද හෙලා දැකිය යුතුය. ඔවුන්ට එරෙහි සාවද්‍ය චෝදනා හා යලි සේවයේ පිහිටුවීමේ දී පනවා ඇති සියලු දඬුවම් ඉවත් කර ගන්නා ලෙස බල කරමින් දඩයමට ගොදුරු වූ කම්කරුවන්ගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සහ රැකියා ආරක්ෂා කිරීමට සමස්ත කම්කරු පන්තිය ම පෙරට ආයුතු ය.

වතු සමාගම්, ආන්ඩුව හා වෘත්තීය සමිති එක පෙලට සිට කම්කරුවන් මත ලෝක අර්බුදයේ බර පැටවීමට කි‍්‍රයා කරන තතු යටතේ ඊට එරෙහිව තම අයිතීන් රැක ගැනීම සඳහා සටන් කිරීමට නම් කම්කරුවන්ට සමාජවාදී කි‍්‍රයා මාර්ගයක් ද මෙම සමිති වලින් බිඳී ගොඩ නගා ගන්නා කි‍්‍රයාකාරී කමිටු ද අත්‍යවශ්‍යය. මෙය සමස්ත කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ දේශපාලන අරගලයකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හැටන් නගර ශාලාවේ මාර්තු 13 දා ප‍්‍රසිද්ධ රැස්වීමක් කැඳවා ඇත්තේ මේ වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා යි. එම රැස්වීමට සහභාගී වන ලෙස සියලු කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් සසප ඉල්ලා සිටී.

Share this article: