ගෝලීය ආර්ථික කඩාවැටීමේ නව අදියරක්

A new stage in the global economic breakdown

2016 පෙබරවාරි 09

පසුගිය දෙසැම්බරයේදී ඩොලර් බිලියන 108ක් අහිමි වීමෙන් පසුව චීන විදේශ සංචිත, ජනවාරි මාසයේදී බිලියන 100න් පමන පහත වැටුනි. රෙන්මිම්බි හෙවත් යුවාන් මුදල වේගයෙන් පහත වැටීම වැලැක්වීමට මූල්‍ය අධිකාරීන් දියත් කර ඇති සටන පරාජය වන බව හා රට, ප්‍රාග්ධනය පලා යාමේ තත්වයක් අත්විඳින්නේය යන බිය, මේ නිසා තවත් වැඩිවී ඇත. මේ පිලිබඳ නිවේදන ගෝලීය වැදගත් කමක් දරයි. ජාත්‍යන්තර කොටස් වෙලඳපොලවල පහත වැටීමත් සමඟ ගත් කල එය ඇඟවුම් කරන්නේ, 2008 ආරම්භවූ ආර්ථික බිඳවැටීම නව හා පුපුරන සුලු අදියරකට සේන්දුවීමට පටන් ගෙන තිබීමය.

මෙතෙක් සිදුව ඇති ලොකුම වැටීම සලකුනු කල දෙසැම්බරයේ ඉවතට ගැලූ ඩොලර් බිලියන 99.5 නිසා, රටේ විදේශ සංචිත අගය ට්‍රිලියන 3.23ත් වඩා ක්ෂයවීම, තෙවසරකදී සලකුනු කල පහත්ම අගයයි. මෙම සංඛ්‍යාවේ පලමු සලකුනු වලට අනුව, චීනය සතුව තවමත් සැලකිය යුතු සංචිත පවතින බව පෙනී යයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනන් බැලීම් වලට අනුව චීනයට, සිය මූදල හා මූල්‍ය ක්‍රමයේ මෙහෙයුම් නම්‍යශීලිත්වය සක්‍රියව පවත්වාගෙන යාමට ට්‍රිලියන 2.75ක් පමන අවශ්‍යය. අන් අයුරකින් කිවහොත්, රට දුෂ්කර කොන්දේසි වලට මුහුනපෑවොත් ඒ සඳහා චීනයට ඇත්තේ බිලියන 500ක ආරක්ෂිත සංචිතයක් පමනි. වත්මන් වේගයෙන් අරමුදල් ඉවත ගලා යන්නේ නම් එය ඉක්මනින්ම සිඳී යනු ඇත.

වත්මන් තත්වය පසුගිය විසිපස් වසරක ආර්ථික ඉතිහාසයේ ආකෘතිය තුල තැබුවහොත්, චීනය මුහුනපාන මූල්‍ය ගැටලුවල ගෝලීය අර්ථභාරය පැහැදිලි වනු ඇත. සෝවියට් සංඟමය 1991 අවසානයේ විසුරුවා හැරීම සමඟ ලෝකය පුරා පැන නැඟි “නිදහස් වෙලඳපොලේ” විජයග්‍රහනය පිලිබඳ ධනපති සැමරුමට චීන තන්ත්‍රය ද එක්ව සිටියේය.

ධනපති පුනස්ථාපනය හා 1989දී ටියන්ආන්මෙන් චතුරස්‍රයේ ජන ඝාතනය තුලින් කම්කරු පන්තිය මැඬීමේ කර්තව්‍යය ඒ වන විට සපුරා තිබුනු තන්ත්‍රය, 1992 ආරම්භයේ සිට චීනය ධනපති ලෝක වෙලඳපොලට වඩාත් සෘජු ලෙස ඒකාග්‍ර කිරීම ද ගෝලීය ප්‍රාග්ධනය සඳහා එරට ලාභ ශ්‍රම වේදිකාවක් බවට පත්කිරීමට ද පියවර ගත්තේය.

පසුව එලඹි වසර වලදී මෙම සැකැස්ම හඳුන්වනු ලැබුනේ, “ගරුකටයුතු” ආර්ථික චක්‍රයක් ලෙසය. ගෝලීය සංගත සඳහා නම්, චීනය හා එරට ලාභ ශ්‍රම බලකාය නිරාවරනය කිරීම, සැලකිය යුතු තරමින් ලාභ තරකර ගැනීමට ද ඇමරිකානු මූල්‍ය වෙලඳපොල වලට වාසි ද සැලසීය.

ලෝකයේ ප්‍රමුඛ ලාභ ශ්‍රම වේදිකාව පලමුවෙන් පිහිටුවා දිගටම පවත්වාගෙන යාම තුලින් චීන තන්ත්‍රය, ඇමරිකානු හා බටහිර වෙලඳපොල වලට අපනයනය කිරීමෙන් ලබාගත් ඩොලර්, ඇමරිකානු භාන්ඬාගාර බිල්පත් මිලට ගැනීම හරහා එරට මූල්‍ය ක්‍රමය තුලට යලි ප්‍රතිචක්‍රීයකරනය කලේය. මෙය රෙන්මිම්බියේ අගය ඉහල යාම වලක්වාලීය.

අනෙක් අතට මෙය, 1990 ගනන් අග භාගයේ හා නව සියවසේ මුල් වසරවල, පොලී අනුපාත ඓතිහාසික මට්ටමකින් පහත් අනුපාතයක පවත්වාගෙන යාමට ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවට අවකාශ සැලසීය. මෙය හඳුන්වනු ලැබුවේ “ශ්‍රෙෂ්ඨ පරිපාලනයක්” ලෙසය.

පහල පොලී අනුපාතික, ඉඩම්, නිවාස, කොටස් වැනි සමපේක්ෂනාත්මක මූල්‍ය වත්කම් ඉමහත් ලෙස ප්‍රසාරනය කලේය. මෙය ඇමරිකාව තුල ලාභ සමුච්ඡයේ ප්‍රමුඛ ක්‍රමය බවට පත් විය. මූල්‍ය උත්පාතය හා නිවාස අගය වැඩි වීම, මූර්ත වැටුප් මට්ටම් පහත වැටෙද්දී පවා, ඇමරිකාව තුල පාරිභෝගික වියදම් ඉහල මට්ටම්ක පවත්වාගෙන යාමට ඉඩ සලසමින්, ඊට ගැලපෙන පරිදි චීනයේ නිෂ්පාදිත පාරිභෝගික භාන්ඩ වෙලඳපොලට ගලා ඒමටත්, ඉන් නිර්මානය කල වෙලඳ අතිරික්තය, ඇමරිකානු භාන්ඩාගාර බැඳුම්කරයන් තුලට ප්‍රතිචක්‍රීයකරනයටත් එමඟින් පොලී අනුපාත පහත මට්ටමක තබාගැනීමටත් අවස්ථාව සැලසීය.

2008 ඇමරිකානු හා ගෝලීය මූල්‍ය කඩාවැටීමකට තුඩු දෙමින් අවමුඛ උකස්කර වැඩසටහන අර්බුදයට ගිය විට, මෙම කඩදාසි නිවස ද ඇද වැටුනි.

අර්බුදය චීනයේ අපනයන උත්පාතයේ අවසානය නිවේදනය කලේය. 2008-09 අතර මිලියන 20ක් රැකියා අහෝසි වීමට ප්‍රතිචාර වශයෙන් චීන තන්ත්‍රය, ඩොලර් ට්‍රිලියන භාගයක් පමන වන මූල්‍ය උත්තේජක පැකේජයක් හඳුන්වා දුන් අතර නයට ගත් අරමුදල් මත පදනම් වූ යටිතල ව්‍යුහාත්මක හා දේපල උත්පාතයකට තුඩු දුන්, නයෙහි දැවැන්ත ප්‍රසාරනයකට මූල්‍ය බලධාරීහු මුල පිරූහ.

මෙය අනෙක් අතට, “භාන්ඩවල සුපිරි චක්‍රය” ලෙස හඳුන්වන, තෙල් හා කාර්මික අමුද්‍රව්‍ය මිල උත්පාතයකට දොර හැරියේය. නැඟී එන වෙලඳපොල ආර්ථිකයන් සිය අපනයන භාන්ඩ සඳහා වන වැඩිවන ඉල්ලුමෙන් වාසි ලබද්දී, ඉහල ප්‍රතිලාභ සොයමින් සිටින මූල්‍ය ආයතන, නය මත පදනම්වූ ව්‍යාපෘතීන්ට මුදල් යෙදවූහ.

ඒ අතර ෆෙඩරල් මහ බැංකුව, අනෙකුත් මධ්‍යම බැංකු ද සමඟ, ඔවුන්ගේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන් යටතේ ආන්ඩුවල බැඳුම්කර හා අනෙකුත් මූල්‍ය වත්කම් මිලට ගැනීම හරහා වඩ වඩාත් මුදල් සැපයීම හා පොලී අනුපාතයන් වාර්තාගත පහත් මට්ටම් කරා ගෙන ආහ.

කෙසේ වෙතත් මේ පියවරයන්, 2008ට පූර්වයෙන් පැවති තත්වයන් කරා ගෝලීය ආර්ථිකය යලි නඟා සිටුවීමට අසමත් විය. ඊනියා “ප්‍රකෘතිය” සිදුවූයේ රක්තහීන ස්වභාවයකිනි. ධනපති ආර්ථිකය තුල මූර්ත වර්ධනයේ තීරනාත්මක ගාමකය වන ආයෝජන, වාර්තාගත පහත් මට්ටම්වල රැඳී තිබුන අතර, සංගත රැස්කර ගත් මුදල් තොග, යොදවනු ලැබුවේ, ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් ද කොටස් යලි මිලට ගැනීම් ද වැනි සමපේක්ෂනයේ කටයුතු වෙනුවෙනි.

චීන නය දැවැන්ත ලෙස ප්‍රසාරනය වීමේ අර්ථභාරය සලකුනු වූයේ, ගෝලීය ආර්ථිකයේ චීන පංඟුව වැඩිවීම ලෙස පමනක් නොවේ; ඉන් උත්පාදනය කෙරුනු “භාන්ඩවල සුපිරි චක්‍රය” ලෙස, චීනය මත යැපුනු නැඟී එන ආර්ථිකයන් 2008න් පසුව ගෝලීය වර්ධනයෙන් සියයට 40කට දායක වීමේ කරුනෙනි.

2008න් පසුව ගනු ලැබූ සියලු පියවර මඟින් සිදු වූයේ, අර්බුදය ජයගැනීම නොව, තවත් මූල්‍ය හා ආර්ථික අර්බුදයකට කොන්දේසි නිර්මානය වීමයි.

පසුගිය සතියේ නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ පලවූ විශ්ලේෂනයකින්, සමස්ත බැංකු ක්‍රමයටම වැඩි වන තර්ජනයක් බවට පත්ව ඇති, එකතැන පල්වන දැවැන්ත අක්‍රීය නය තටාකයක් පිලිබඳව පෙන්නුම් කරයි. චීනයේදී “ගැටලු සහගත නය” රටේ වාර්ෂික ආර්ථික නිමැවුමෙන් අඩක් පමන වන ඩොලර් ට්‍රිලියන 5 ඉක්මවිය හැකි බවට ගනන් බැලේ.

ලිපිය තුල අදහස් දක්වන ආර්ථික විශ්ලේෂක චාලින් චූට අනුව, චීනයේ මූල්‍ය ක්ෂේත්‍රය, පසුගිය වසර අවසානයට ඩොලර් ට්‍රිලියන 20ක් වටිනා නය හා අනෙකුත් මූල්‍ය වත්කම් හිමිකරගෙන ඇත. එය වසර 9ට පෙර පැවතියේ ට්‍රිලියන 9ක මට්ටමේය. “එවන් කෙටි කාලයක් තුල ඒසා පරිමානයකින් නය ප්‍රසාරනය වීමක් ලෝකය මීට පෙර අත්විඳ නැත. අප විශ්වාස කරන්නේ එය, ලෝකයේ සෑම වත්කම් වර්ගයකම මිල කෙරේ සෘජුව හෝ වක්‍ර ලෙස බලපානු ඇති බවයි. චීනයේ නය පිලිබඳ ගැටලු නිරාවරනය වීමේ අදහස මුල්කරගෙන වෙලඳපොලවල් මෙතරම් තිගැස්සෙන්නේ එබැවිනි.” ඇය පැවසුවාය.

අක්‍රිය නය පිලිබඳ සංසිද්ධිය චීනයට පමනක් සීමාවී නැත. යුරෝපයේ ඇති අක්‍රිය නය ප්‍රමානය ඩොලර් ට්‍රිලියනයක් පමන ද නැඟී එන ආර්ථිකයන් හැකිවාට වඩා ට්‍රිලියන 3ක් වැඩියෙන් නය ගෙන ඇති බව ද ජාමූඅ ගනන් බලා තිබේ.

පසුගිය විසිපස් වසර සමස්තයක් ලෙස ගතහොත් අපට දැකගත හැක්කේ, සෝවියට් සංඟමය විසුරුවා හැරීමත් සමඟ මුදාහැරුනු “නිදහස් වෙලඳපොල” විජයග්‍රහනයේ රැල්ලට බෙහෙවින් වෙනස් සිතුවමකි. වර්ධනයේ පලමු අදියර, චීනයේ හා තවත් තැන්වල ලාභ ශ්‍රමය සූරාකෑමෙන් ලාභ තරවීමේ ප්‍රතිපලයකි. එය මූල්‍ය ව්‍යසනයකින් කෙලවර වූවාට පසුව, බෙහෙවින් සසල වූ ලෝක ආර්ථිකය නඟා සිටවූයේ, ප්‍රමුඛ මධ්‍යම බැංකු විසින් මූල්‍ය ක්‍රමය තුලට ලාභ මුදල් ට්‍රිලියන ගනනින් සම්පාදනය කරනු ලැබීමත් චීනයේ දැවැන්ත ලෙස ප්‍රසාරනය කෙරුනු නය සැපයුමත් මඟිනි.

ගැඹුරුවන පසුබෑමේ ප්‍රවනතා වලට ද 2008 පරයා යන ප්‍රතිවිපාක ගෙන ඒමට තර්ජනය කරන නව මූල්‍ය අර්බුදයක් පැනැඟීමට ද තුඩු දෙමින් දැන් මෙම ක්‍රියාවලිය අවසානයකට පත්ව ඇත.

චීනයේ ගැඹුරු වන අර්බුදයත්, එහි ගෝලීය ප්‍රතිපලත් එක් නිර්දය කාරනයක් හෙලිදරව් කරයි: ගෝලීය ආර්ථික ප්‍රසාරනය සඳහා පදනම සම්පාදනය කල හැකි ආර්ථිකයක් හෝ ආර්ථික කාන්ඬයක් ඇත්තේ නැත. මෑතක් වන තුරුම “දීප්තිමත් ලක්ෂයක්” ලෙස සලකන ලද ඇමරිකාව, පසුබෑමක් කරා ගමන් ගනියි. නිෂ්පාදන ක්ෂේත්‍රය දැනටමත් එය පසුකරමින් සිටියි. එය දස අවුරුදු භාන්ඬාගාර බැඳුම්කර ප්‍රතිලාභ කඩාවැටීම මඟින් සලකුනු කරයි. ආයෝජකයින් “ක්ෂේමභූමි” කරා පැන යද්දී ඊයේ දිනය තුල එය, යන්තම් සියයට 1.7ක් විය.

පල්වෙමින් ඇති යුරෝපීය ආර්ථිකය තුල විරැකියාව අංක දෙකේ මට්ටම්වල පවතිනු ඇතැයි ද බැංකු ක්‍රමයේ අක්‍රිය නය ඉහල නඟිනු ඇතැයි ද කනස්සල්ල පලවේ. “අබේනොමික්ස්” යන අගමැති අබේගේ ආර්ථික විද්‍යාව, ජපන් ආර්ථිකය උත්තේජනය කිරීමට අසමත්ව ඇති තත්වය තුල මහ බැංකුව, සිය පොලී අනුපාත රින තත්වයකට ගෙනැවිත් ඇත.

පසුබෑමේ ප්‍රවනතා කෙතරම් තීව්ර ද යත්, ඓතිහාසිකව නොවූ විරූ පරිදි ලෝකයේ හතරෙන් එකක් දැන් පවතින්නේ, රින පොලී අනුපාතික සහිතවය.

නැඟෙන අර්බුදයට කිසිදු විසඳුමක් නැති තත්වය තුල ලෝකය පුරා පාලක පන්තීන්ගේ ප්‍රතිචාරය තෙආකාර වී ඇත:

* රැකියා හා වැටුප් කප්පාදුව හා සමාජ කොන්දේසි වලට ප්‍රහාර එල්ල කිරීම තුලින් කම්කරු පන්තිය රුදුරු කොන්දේසි වලට යටත් කිරීම.

* දැන් හිස ඔසවමින් ඇති සමාජ හා පන්ති අරගල තලා දැමීම පිනිස, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත ප්‍රහාර දැඩි කිරීම හා පාලනයේ පෙර නොවූ විරූ ආඥාදායක ක්‍රමවේදයන් යොදා ගැනීම.

*අවශ්‍ය වුවහොත් මිලිටරි මාධ්‍යයන් තුලින් හෝ අර්බුදය සිය එදිරිවාදීන් මත පැටවීමට, ධනපති “මහ බලවතුන්” සෑම කෙනෙක්ම, යුද සැලසුම් උත්සන්න කර ඇත.

ජාත්‍යන්තර කම්කරු පන්තිය අවසානය දක්වාම තමන්ගේ මූලෝපාය වර්ධනය කල යුතුය. එය පදනම් කල යුත්තේ, ධනපති ලාභ සූරාකෑම අහෝසි කරන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා වන අරගලය මතය.

නික් බීම්ස්

Share this article: