ජී 20 රැස්වීම සැක සාංකා හා මතභේද වලින් සලකුනු කෙරේ

Perplexity and divisions mark G-20 meeting

2016 පෙබරවාරි 26

ගෝලීය ආර්ථිකයෙන් සියයට 80ට වඩා වගකියන ජී20 කන්ඩායමේ මුදල් ඇමතිවරු හා මධ්‍යම බැංකු කරුවෝ, 2008 මූල්‍ය අර්බුදයෙන් ක්ෂනික ඉක්බිත්තේ පටන් උදාවී තිබෙන නරකම ආර්ථික තත්වය හමුවේ, චීනයේ ෂැංහයි නුවර දෙදින රැස්වීමකට සහභාගී වෙති.

රැස්වීම පැවැත්වෙන්නේ, ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයට ඩොලර් ට්‍රිලියන 5ටත් වැඩි මුදල් ප්‍රමානයක් මුදා හැර තිබෙන, ආන්තිකව පහත් පොලී අනුපාතික හා ප්‍රමානාත්මක ලිහිල් කිරීමට සමාන කුමන හෝ ආර්ථික උත්තේජක පියවරක් රිනාත්මක පොලී අනුපාත තවත් පතුරුවා හරිනු ඇතැයි යන භීතියක වාතාවරනය තුලය.

මේ අතර සමුලුවට පෙර ආර්ථික අංශ ගනනාවක් කියා සිටියේ, සියලු ප්‍රමුඛ ආර්ථිකයන්හි 2008 පූර්ව මට්ටම් වලටත් වඩා පහත වැටී තිබෙන ආයෝජන ඉහල නැංවීම පිනිස, ව්‍යුහාත්මක යෝජනා ක්‍රම වලට රජය කරන වියදම් වැඩිකිරීම අවධාරනය කරන, ප්‍රතිපත්තිමය වෙනසක අවශ්‍යතාවයයි.

පසුගිය සතියේ ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිලිබඳ සංවිධානය (ඔඊසීඩී) එවන් පියවරයන්හි අවශ්‍යතාවය අවධාරනය කලේය. පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද එවැනිම මතයක් ඉදිරිපත් කලේය. ජී 20 රැස්වීම වෙත කෙටි පනිවිඩයක් යවමින් එය, වර්ධනය නැංවීම හා අවදානම් අඩුකිරීම පිනිස “සෘජු බහුපාර්ශවික පියවර” ගැන කියා සිටියේය.

සමස්ත තත්වය පිලිබඳ තම සාරාංශගත සටහන තුල ජාමූඅ, “මූල්‍ය කැලඹීම් හා පහත වැටෙන වත්කම් මිල හමුවේ ගෝලීය ප්‍රකෘතිය තවත් දුබල වනු ඇතැයි” සඳහන් කලේය. 2015 අවසන් වන විට ආර්ථික කටයුතු මන්දගාමී වෙමින් අවදානම් වැඩි වත්කම් අගය වේගයෙන් පහත වැටුනි. එය ඉදිරි දැක්ම පිලිබඳ බෙලහීනත්වය තවත් වැඩි කලේය. ජාමූඅ ගෝලීය වර්ධනය පිලිබඳ සිය තක්සේරුව පහත නොදැමූ නමුත් එය අප්‍රේල් රැස්වීමේදී සිදුවීමට ඉඩ තිබෙන බව ඇඟවුම් කර තිබේ.

චීන ආර්ථිකයේ මන්දගාමී වීම පිලිබඳ ඇඟවුම් කරමින් එය “චීනය තුල වර්ධනයේ වඩා තුලනාත්මක පරිවර්තනයක්” ගැන කනස්සල්ල පල කරමින්, බොහෝකොටම පහත වැටෙන කාර්මික අමුද්‍රව්‍ය මිල ගනන් වල ප්‍රතිපල වශයෙන් අනෙකුත් නැඟී එන ආර්ථිකයන්ගේ “අපහසුතා පිලිබඳ සලකුනු” ගැන සඳහන් කරයි.

“ගෝලීය ආර්ථිකය අහිතකර කම්පනයන්ට බෙහෙවින් නිරාවරනය කර ඇති අවස්ථාවක සිදු වන මෙම වර්ධනයන්, ප්‍රකෘතිය අඩපන කිරීමේ අවදානම්” ගැන එය සඳහන් කරයි. මෙම අවදානම් වලට මුහුන දීමට ජී 20 “දැන්ම පියවර” ගනිමින්, පොදු ආයෝජන වැඩි කිරීමේ ක්‍රමෝපායන් හා ඉල්ලුමේ සම්බන්ධීකරනය කල වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම ගැන එය කියා සිටියි.

ලෝක ආර්ථිකය පිලිබඳ ඊටත් වඩා අඳුරු විශ්ලේෂනයක් ෆිනෑන්ෂල් ටයිම්ස් ආර්ථික ප්‍රකාශකයා වන මාටින් වුල්ෆ් 24දා ඉදිරිපත් කලේය.“ලෝක ආර්ථිකය ව්‍යුහාත්මකව ද චක්‍රීයව ද මන්දගාමී වෙමින් තිබේ.” වෙනත් වචන වලින් කිවහොත්, පහත වැටෙන ව්‍යාපාරික චක්‍රයට ඉහලින්, ආර්ථික වර්ධනය පහත හෙලන දිගු කාලීන ක්‍රියාවලීන් ද පවතින බවයි.

වසර පහකට පසු අඩුම අගයකින් වර්ධනය වන ගෝලීය ආර්ථිකය ගැන ඕඊසීඩීය උපුටා දක්වමින් වුල්ෆ් පවසන්නේ, “මෙය පිටුපස ඇත්තේ සරල යථාර්ථයකි, ගෝලීය ඉතුරුම් අතිරික්තයක් වර්ධනය වීම, එනම් ඉල්ලා සිටින ආයෝජන වලට වඩා ඉල්ලා සිටින ඉතුරුම් පිලිබඳ ප්‍රවනතාවයි. එබැවින්, ‘අසාද්‍ය ඉල්ලුම් ඌනතා සංධාවය' නරක අතට හැරෙයි. වෙනත් වචන වලින් කිවහොත්, කුමන ප්‍රමානයක හෝ මූල්‍ය උත්තේජකයක් සැබෑ ආර්ථිකයේ ආයෝජන ඉහල නැංවීමට සමත් නොවන බවයි.”

ලාභ මුදල් වර්ධනයට උත්තේජනයක් වන්නේය යන ඒවායේ කියාපෑම් නොතකා ආරම්භයේ පටන්ම සැබෑ අරමුන වශයෙන් පැවතියේ, 2008 ලෝක ආර්ථිකය කඩාවැටීමේ ලක්ෂ්‍යය කරාම ගෙන ආ, සමපේක්ෂකයින්ගේ හා බැංකුවල තත්වය නඟා සිටුවීමයි. එමඟින් මූල්‍ය වංශාධිපතිත්වයේ අතට, කම්කරු පන්තියේ වියදමෙන්, ට්‍රිලියන ගනන් ඩොලර් හරවා යවන පරිදි දැවැන්ත කොල්ලයක් පවත්වාගෙන යාමට ඔවුන්ට අවස්ථාව සැලසීමයි.

මෙම දැවැන්ත මුදල් අච්චු ගැසීමේ මෙහෙයුම ගෝලීය වර්ධනය ඉහල නැංවිමට කිසිදු දායකත්වයක් ලබාදී නැති බවටත්, ප්‍රතිවිපාක 2008-09ත් වඩා දරුනු වනු ඇති බවට හා තවත් මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කරන, සමාජීය වශයෙන් විනාශකාරී පරපුටු භාවයක වර්ධනය සිදුකලා පමනක් බවටත් වැටහීමක් දැන් මෝදු වෙමින් තිබේ.

ආර්ථික ප්‍රතිපත්තිය පිලිබඳ පාලක පන්තියේ වික්ෂිප්ත භාවයේ වැඩීම සලකුනු කරමින් වුල්ෆ්, “ගෝලීය ආර්ථීක අසමතුලිතයන් සඳහා සරල විසඳුමක් ඇත්තේ නැත. ඇත්තේ වේදනා නාශක පමනි.” එම වේදනා නාශක ප්‍රතිකර්මය නිතරම යොදාගන්නේ, මාරාන්තික රෝගයකින් පෙලෙන යමෙකු ගලවා ගන්නා ප්‍රතිකර්මයක් නැතිව, සායනයක තබනවා වැනි දෙයකටය. මෙය වනාහි, ගෝලීය ධනවාදයේ ස්වභාවය ගැන හෙලිදරව්කාරී තක්සේරුවකි.

තවත් ප්‍රමානාත්මක ලිහිල් කිරීමක බලපෑම ලෙස, “පුපුරා යාමට නියමිතව ඇති,” සෑම රටක්ම සිය අපනයන වැඩිකර ගැනීම පිනිස සිය මුදල් හුවමාරු අනුපාතික පහත දැමීමට උත්සාහ කරද්දී, ඇති එකම විකල්පය, ඉල්ලුම වැඩි කිරීම පිනිස රජයේ වියදම් වැඩිකරන මූල්‍ය පිලිවෙතක් බව ඔහු අවධාරනය කරයි. මෙහි අර්ථය, ඔහු හඳුන්වන කප්පාදු පිලිබඳ පිස්සු “උන්මාදයෙන්” ඉවත් වීමයි.

යථාර්තය, ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ කටයුතු පැන නඟින්නේම, ලාභ පද්ධතිය හා ලෝකය එදිරිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදීම මත පදනම් වන වත්මන් සමාජ පර්යායේ උන්මාදයෙන් ය යන්නයි. ජාමූඅ හා ඕඊසීඩී ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතාවක් සඳහා කැඳවුම් කරද්දී පවා, ඇමරිකාව ප්‍රමුඛ ගෝලීය බලවතුන්, තම එදිරිවාදීන් සමඟ මිලිටරි ගැටුමක් සඳහා සූදානම් වෙමින් තියුනු ලෙස මිලිටරි වියදම් ඉහල නංවයි.

සියලු බලවතුන් තම අවශ්‍යතා හඹා යද්දී, සම්බන්ධීකරනය කල පිලිවෙතක් වෙනුවෙන් කරන, ජාමූඅ හා වෙනත් ආයතනවල ඉල්ලීම් බීරි අලින්ට වීනා ගායනා කිරීමක්ව ඇත්තේ ඒ නිසාය. ඔවුන් පවසන්නේ, ගෝලීය අර්බුදය සිය තරඟකරුවන්ගේ වගකීම වන බවයි.

එම තානය ඇමරිකානු භාන්ඩාගාර ලේකම් ජැක් ලිව් විසින් එලිදැක්වීය. චීනය තම දේශීය පාරිභෝජනය නැංවීමට බොහෝ දේ කල යුතු යයි ද විශේෂයෙන්ම ජර්මනිය ඇතුලු වෙලඳ අතිරික්තයන් සහිත යුරෝපීය රටවල්, මූල්‍ය උත්තේජක සැපයීමට පියවර ගත යුතු යයි කියා සිටිමින් ඔහු, හදිසි ජී 20 රැස්වීමට ප්‍රතිචාර දැක්වීය.

“පසුගිය මාස කිහිපය පෙන්නුම් කර ඇත්තේ, ගෝලීයව පැන නැඟී තිබෙන ඉල්ලුමේ දුබලකම, සෑම අයෙක්ම එක්සත් ජනපදය දෙස බැලීමෙන් විසඳාගත නොහැකි බවයි. සැබෑ ආර්ථිකයන්, මූල්‍ය වෙලඳපොලවල් සිතනවාට වඩා හොඳින් කටයුතු කරන බව” ඔහු පැවසීය. “මෙය අර්බුදයේ මොහොතක් නොවේ. අර්බුදකාරී නොවන තත්වයක් තුල අර්බුද තත්වයකදී දක්වන ප්‍රතිචාර බලාපොරොත්තු නොවන්න.”

ඒ ආකාරයටම අනෙකුත් ප්‍රමුඛ බලවතුන් ද තම තමන්ගේ වැඩ බලා ගනිති. ජර්මානු පාලක පැලැන්තිය යුරෝපය තුල මූල්‍ය උත්තේජක කෙරෙහි දක්වන්නේ දැඩි සතුරු කමකි. ඔවුන් තර්ක කරන්නේ, ඇමරිකාවෙන් කෙරෙන එවන් ඉල්ලීම්, තමන්ගේ මූල්‍ය ක්‍රමය දුබල කොට, ජර්මානු තරඟකාරීන්ට විරුද්ධව ඔවුන්ගේ ඇමරිකානු බැංකුවල තත්වය ශක්තිමත් කරන බවයි.

මූල්‍ය වෙලඳපොලවලට “ප්‍රබෝධමත් යමක්” අවශ්‍යව ඇති නමුත් ගෝලීය එකඟත්වයක් සඳහා ඇත්තේ මඳ බලාපොරොත්තුවක් පමනි. “මැජික් පොල්ලක්” නැතැයි ජපන් නිලධාරීහු පැවසූහ. ජපාන ආන්ඩුවට තවත් උත්තේජක අවශ්‍යව ඇතත්, දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ වැඩිම නයගැති රට ජපානයයි. චීනය ද තවත් උත්තේජක ගැන කැමැත්තක් දැක්වුව ද රටේ වැඩිවන නය හා අස්ථාවර වෙමින් ඇති මූල්‍ය ක්‍රමය එවැන්නකට සලසන්නේ අල්ප අවස්ථාවකි. ලැයිස්තුව තවත් දිගය.

ගෝලීය ධනවාදයේ ප්‍රතිසංස්කාරකයින් ලෙස පෙනී සිටින අය කුමක් කීව ද කප්පාදු වැඩසටහන පාලක පැලැන්තියේ නරක සිතුවිල්ලක කොටසක් ලෙස නිර්මානය වූ දෙයක් නොවේ. එය වනාහි නිශ්චිත සමාජ බලවේගයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පනවනු ලබන පන්ති පිලිවෙතකි. පාලක ව්‍යාපාරික හා මූල්‍ය පැලැන්තිය විසින් මෙහෙයවනු ලබන එහි අරමුන, කම්කරු පන්තියේ තත්වය දුබල කිරීමයි. ඒ විරැකියාව, වැටුප් කැපීම හා සමාජ තත්වයන් මත එල්ල කරන ප්‍රහාර තුලිනි. එය ලාභය වැඩිකිරීමේ යාන්ත්‍රනයේ මූලික කොටසකි.

ක්ෂනික ප්‍රතිපලය කුමක් වුවත් ජී 20 රැස්වීම, ෂැන්හයි වෙතින්, ක්‍රියාත්මක විය යුතු යයි කියන කුමන ප්‍රකාශන නිකුත් වුව ද ගෝලීය ධනේශ්වරයේ අර්බුදය ගැඹුරු වෙද්දී හා ප්‍රමුඛ බලවතුන් අතර බෙදීම් පුලුල් වෙද්දී, ඉහතකී ක්‍රියාමාර්ගය එලඹෙන මාසවලදී තවත් උත්සන්න කෙරෙනු ඇත.

නික් බීම්ස්

Share this article: