ඊනියා සමීක්ෂනයක් මැදි කොට ආන්ඩුව රාජ්‍ය සේවකයන්ට එරෙහි දඩයමකට සැරසේ - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ඊනියා සමීක්ෂනයක් මැදි කොට ආන්ඩුව රාජ්‍ය සේවකයන්ට එරෙහි දඩයමකට සැරසේ

සමන් ගුනදාස විසිනි , 2016 පෙබරවාරි 01

රාජ්‍ය අංශයේ ප‍්‍රාථමික, ද්විතියික හා මන්ඩලීය සේවකයන් අතර කරන ලද සමීක්ෂනයකින් ඔවුන්ගෙන් සියයට 60 දිනකට අවම වශයෙන් පැය දෙකක් සමාජ වෙබ් අඩවි, විශේෂයෙන් මුහුනු පොත වෙත පිවිසෙමින් කාලය කා දමන බව සොයා ගෙන ඇති බවත් එම දත්ත අගමැතිට හා ජනාධිපතිට දන්වා ඇති බවත් ප‍්‍රධාන පෙලේ ජන මාධ්‍ය විසින් වාර්තා කෙරිනි. රට පුරා රාජ්‍ය අංශයේ ආයතන 350ක පමන මෙම සමීක්ෂනය රහසිගතව කර ඇත්තේ ආන්ඩුවේ හා පලාත් ආන්ඩු වෘත්තීය සමිති ෆෙඩරේෂනය නම් වෘත්තිය සමිතිය මගින් බව ද කියැවිනි.

“රාජ්‍ය සේවකයන් නව ලක්ෂයක් සිය පැය 8 සේවා මුරයෙන් දිනකට පැය දෙකක් ජංගම දුරකථන පාවිච්චි කිරීම නිසා මිනිස්-පැය දශ ලක්ෂ 1.8ක් අපතේ යන්නේයැ”යි මෙම සමීක්ෂනය මෙහෙයවූවා යැයි කියන සමිති ෆෙඩරේෂනයේ ලේකම් අජිත් කේ. තිලකරත්න නමැත්තා සඳහන් කල බවට වාර්තා විය.

හදිසියේ පාදුර්භුත වූ මෙම සමිතිය කාගේ ද ඒ සමීක්ෂනය කලේ කාගේ උවමනාවකට ද, සමීක්ෂනය සඳහා මුදල් වියදම් කලේ කවු ද යන්න මෙම මාධ්‍ය වාර්තාවන්ගේ සඳහන් නොවූව ද ආන්ඩුව ද ජන මාධ්‍යයන් ද එම සමීක්ෂන වාර්තාව සැනෙකින් ම ඩැහගෙන ඇත. මැති ඇමතියන් කර ඇති ප‍්‍රකාශවලින් ද පත්තරවල ලියා ඇති කතුවැකි වලින් ඉස්මතු වී ඇත්තේ මෙම සමීක්ෂනය රාජ්‍ය සේවයට කෙටීම සඳහා සැලසුම් කරන ලද්දක් බවයි.

මේ ප‍්‍රවෘත්තිය සමගම පල කල විශේෂ ව්‍යාපෘති ඇමති හා මුදල් කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමති සරත් අමුනුගම ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රාජ්‍ය සේවකයන්ගෙන් දැවැන්ත බහුතරයක් සිය පැය අටේ සේවයෙන් අවම වශයෙන් පැය හතරක්වත් වැඩ නොකරන බවයි.

මෙම දත්තයන් ආන්ඩුව විසින් සැලකිල්ලට භාජනය කර රාජ්‍ය සේවකයන් ඔවුන්ගේ වැඩ කාලය අපතේ හැරීම වැලැක්වීම සඳහා යාන්ත‍්‍රනයක් වර්ධනය කරන බවට කම්කරු හා වෘත්තිය සමිති සම්බන්ධතා ඇමති ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න පවසා ඇත.

ඒ සමගම දි අයිලන්ඩ් හා ඬේලි මිරර් පුවත් පත් මෙම සමීක්ෂන වාර්තාව පාදක කොට කතුවැකි ලියමින් පොදුවේ කම්කරු පන්තියට ද, විශේෂයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ට ද විෂ ඝෝර ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

දි අයිලන්ඞ් කතුවැකිය රාජ්‍ය සේවකයන් හා පොදුවේ කම්කරු පන්තිය කෙරෙහි ධනපති පන්තියේ තුච්ඡ වෛරය වමාරා ඇත්තේ මෙසේය: “රාජ්‍ය සේවය සමන්විත වන්නේ දූෂනය, අකාර්යක්ෂමතාව, නිලධාරීවාදී නුවුමනා නීතිරීති හා අවුල් ජාලයන්, අසංවේදීත්වය, කුසීතබව හා පමාවීම් වලිනි. රාජ්‍ය සේවකයන් ඉතාම උනන්දුවෙන් කිරීමට උත්සුක වන දේ ලෙස පෙනෙන්නේ හැකි ඉක්මනින් ගෙදර යාමයි...බොහෝ රජයේ සේවකයින්ගේ වැඩ දිනයෙන් හතරෙන් එකක් අන්තර්ජාලය මත අපතේ යන බව පෙනෙන්නට ඇති අතර වෙනත් වචන වලින් කිවහොත් ඔහුගේ හෝ ඇයගේ වැටුපෙන් හතරෙන් එකක් ගෙවන්නේ අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා ය. මෙය අපරාධයක් නොවේ නම් වෙන කුමක්ද?”

”ඔවුන්ට (රාජ්‍ය සේවකයන්ට) අවශ්‍ය වන්නේ හැකි තාක් අවම ප‍්‍රමානයක් වැඩ කර හැකි තාක් ඉහලම වැටුපක් ලබා ගැනීම වන අතර ආප්තය වන්නේ “වැඩි වැඩ වැඩි කරදර, අඩු වැඩ අඩු කරදර, වැඩ නැත කරදරද නැත” යන්නයි.”

“පසුගිය වසරේ මැතිවරනයේදී මංමුලාසහගත ලෙස නිර්ලජ්ජිතව රජයේ සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් අල්ලසක් ලෙස ලබා දුන් ආන්ඩුව දැන්වත් මොවුන්ව හුරතල් කිරීම නවතා කසය ගත යුතුය.”

පුද්ගලික අංශයේ සේවකයන්ට ද පහර එල්ල කරන කතුවැකිය මෙසේ කියයි: “මොවුන්ගේ (රාජ්‍ය සේවකයන්ගේ) සමානයින් සිටින පුද්ගලික අංශය ද මීට වඩා හොඳ නැත. ඔවුන්ද සමාජ මාධ්‍යයන්, අසභ්‍ය ඕපා දූප බෙදා හරින “මඩ වෙබි අඩවි” ලෙස අප හඳුන්වන වෙබ් අඩවි වලට පිවිසීම මගින් විශාල කාලයක් කා දමති.”

“තිලකරත්නගේ සමිතිය කල සමීක්ෂනයේ වැදගත්කම වන්නේ කවුරුත් හොඳින් දන්නා කරුනක් සංඛ්‍යාමය දත්ත සහිතව තහවුරු කිරීම හා පලමු වතාවට එය රටේ ඉහලම අධිකාරයට නිල වශයෙන් දැනුම් දීම බව” ඬේලි මිරර් කතුවැකිය කියා සිටියේය.

සුවිශේෂව රාජ්‍ය සේවකයින් එල්ල කර දියත් කර ඇති මෙම විසකුරු ප‍්‍රහාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග වශයෙන් පවතින කප්පාදු වැඩ පිලිවෙලෙහි ප‍්‍රධාන අංගයක් වන රාජ්‍ය සේවය කප්පාදු කිරීම හා රජයේ සේවය වානිජකරනය කිරීම හා පුද්ගලීකරනය කිරීම සඳහා ජන මාධ්‍ය මැදි කර ගෙන යන ප‍්‍රචාරක යුද්ධයකි.

රාජ්‍ය සේවකයන් සංඛ්‍යාත්මකව කප්පාදු කර රාජ්‍ය සේවකයන් මත වැඩ පීඩනය ඉහල දැමීම 2001 දී වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ අගමැතිව සිටිය දී කි‍්‍රයාවට දැමීමට උත්සාහ කල “යලි පුබුදමු ශී‍්‍ර ලංකා” වැඩ පිලිවෙලෙහි මූලික අංගයක් විය. පසුගිය නොවැම්බර් 5 වික‍්‍රමසිංහ ඉදිරිපත් කල “ආර්ථික කියා මාර්ගික ප‍්‍රකාශනයේ” රාජ්‍ය සේවය පුද්ගලීකරනය පිලිබඳ වැඩ පිලිවෙල “වහෙන් ඔරෝ” භාෂාවෙන් මෙසේ සඳහන් කලේය: “රාජ්‍ය ව්‍යවසායයන් කාර්යක්ෂමව පවත්වා ගෙන යාම සහතික කිරීමට පුද්ගලික අංශයේ පවතින කාර්යක්ෂමතා ක‍්‍රමෝපායයන් ඊට යෙදවීමට අර්ථාන්විත පියවර ගනු ලබන අතර දේශීය හා ගෝලීය ආයෝජකයන්ට ඊට සහභාගි වන ලෙස උනන්දු කරනු ලැබේ.”

රාජ්‍ය සේවකයන් දිනා ගෙන පැවති මූලික අයිතියක් වූ විශ‍්‍රාම වැටුපට 2016 සිට පහර එල්ල කර, රජයේ සේවයට මේ වනවිටත් මූලික ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

රාජ්‍ය සේවක සංඛ්‍යාව පහල දමමින් තව තවත් ප‍්‍රහාරයන් සඳහා මඟ එලි පෙහෙලි කර ගැනීමටත් එම ප‍්‍රහාරයන් දියත් කිරීමට එරෙහිව සටනට පිවිසෙන රාජ්‍ය සේවකයන්ට එරෙහිව මහජන මතයක් ගොඩ නංවා එම සටන් මැඬීම සඳහා අවශ්‍ය වාතාවරනය සකස් කිරීමටත් “රජයේ සේවකයන් වැඩ කරන්නේ නැත” යන ප‍්‍රචාරයක් පලිප්පු දමා සකස් කිරීමට ආන්ඩුව කි‍්‍රයාත්මක වන බව පැහැදිලිය.

දි අයිලන්ඩ් කතුවැකිය අවසන් කරන්නේ මෙසේය, “අනෙක් සියල්ල අසමර්ථ වුවහොත් රාජ්‍ය ආයතන තුල ජංගම දුරකථන පාවිච්චිය හා අන්තර්ජාලයට පිවිසීම සම්පූර්නයෙන්ම තහනම් කිරීම පිලිබඳව ආන්ඩුව බැරෑරුම්ව සලකා බැලිය යුතුව ඇත. ඒ හැර අන් මාවතක් නොමැත.”

මෙම ප‍්‍රචාරය පිටුපස පවතින්නේ වහලෙකු හාම්පුතාට වැඩ කල අයුරින්ම වැටුප් ශ‍්‍රමිකයෙකු ඔහු හෝ ඇය ලබන වැටුප වෙනුවෙන් තම වැඩ කාලය හාම්පුතාට සම්පූර්නයෙන්ම කැප කල යුතුය යන්නයි. වැටුප් ශ‍්‍රමිකයා හට අවකාශ ඇත්තේ අතිශයින්ම මූලික අවශ්‍යතා එනම් ආහාර ගැනීම හා මලමුත‍්‍ර පිට කිරීම සඳහා පමනි.

වහලා ගෙන් වැඩ ගැනීමට යොදා ගත් දම්වැල හා කසය දෘශ්‍යමානයේ නොතිබුන ද හාම්පුතාගේ හිතුමතයට සේවයෙන් දොට්ට දැමීමේ නීති හා වෙනත් දඬුවම් ඒ තැන ගැනීමට සකස් කල යුතුය යන්න ජාමූඅලේ කොන්දේසි වල අන්තර්ගතයයි. 2008 හි ප‍්‍රධාන ජාත්‍යන්තර බැංකු කඩා වැටීම මගින් සනිටුහන් කෙරුනු ධනපති ක‍්‍රමයේ ලාභ ගැරීමේ අර්බුදය උග‍්‍ර වීම සමග සූරා කෑම තීව්ර කිරීමේ හා රැකියා කප්පාදු කිරීමේ ම්ලේඡ්ච ක‍්‍රමෝපායන්ට සෑම රටකම ධනපති පන්ති හැරී සිටිති.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත් කිරීමට දර දිය ඇද්ද ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ* දැන් ආන්ඩුවේ මෙම ප‍්‍රහාරයට පිටුබලය සැපයීමට වැඩ කරයි. ”රාජ්‍ය සේවය කාර්යක්ෂමව කරන්න අවශ්‍ය කරන අදාල නීති ප‍්‍රතිපත්ති රාජ්‍ය සේවය පැත්තටවත් ගෙනැල්ලා නැහැ” යැයි පවසමින් එය ඉක්මනින් කල යුතු බවට ජවිපෙ නායකත්වය දරන ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ නායක ලාල් කාන්ත රාවය පුවත් පතට සඳහන් කර ඇත.

දැවැන්ත වැටුප් වැඩිවීමක් ලෙස දි අයිලන්ඞ් පුවත්පත් කතුවැකිය කුහක ලෙස හඳුන්වා දී ඇති වැඩිවීමෙන් පසුවද රාජ්ය සේවයේ අවම වැටුප ආසන්න වන්නේ, හතර දෙනෙකුගෙන් යුත් පවුලකට නඩත්තු වීම සඳහා අවම වශයෙන් මසකට අවශ්‍ය රුපියල් 41,000 (ආන්ඩුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2012-13 වසරේදී කල සමීක්ෂනය* අඩකට ය.

කම්කරුවන්ට වැටුප් ගෙවන්නේ මහජන බදු මුදලින් යැයි කියන එම කතුවැකිය මෙරට බදු වලින් මේ වන විට සියයට 86 ක්ම ගෙවන්නේ රජයේ සේවකයන් ඇතුලූ වැඩ කරන ජනයා බව වහංගු කරයි. එමෙන්ම ඉහත සමීක්ෂනයට අනුව මහජනයා ලබන ජාතික ආදායමෙන් රාජ්‍ය සේවකයන්ගෙන් අති බහුතරය අයත් පහල සියයට 20 ට ලැබෙන්නේ සියයට 4.5ක් පමනි.

රාජ්‍ය සේවකයන්ට එල්ල කෙරෙන ප‍්‍රචාරක ප‍්‍රහාරයේ අනෙක් පැත්ත වන්නේ එමගින් සේවකයන් සමාජ මාධ්‍යයන් හා අන්තර්ජාල සන්නිවේදනය පරිහරනය කිරීම පිලිබඳව පාලක පන්තිය තුල පැන නැගී ඇති භීතියයි. ප‍්‍රධාන ජන මාධ්‍යයන් පාලක පන්තියේ හා මහා ව්‍යාපාරික දෘෂ්ටිවාදයන් වපුරන්නා වූත් වුවමනාවන් ඉටු කරන්නා වූත් ලාභ ගැරීම මුල් කර ගත් දැවැන්ත ව්‍යාපාරයකි. අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි හරහා ජන මාධ්‍ය ප‍්‍රචලිත වීම පාලක පන්තියට ද එහි ඒජන්ත මාධ්‍යයන්ට ද දරා ගත නොහැක්කක් වීම පුදුමයක් නොවේ.

සමාජ වෙබ් අඩවි හා අන්තර්ජාල සන්නිවේදනයට එල්ල කෙරෙන ප‍්‍රහාරය එහි කොටසකි. අන්තර්ජාල සන්නිවේදනය කම්කරු පන්තියෙන් ඈත් කරවීම පොලිස් රාජ්‍යයන් පවත්වා ගෙන යන චීනය, සවුදි අරාබිය ආදී රටවල පමනක් නොව ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙනයන බව කියන ඇමරිකාව ඇතුලූ අධිරාජ්‍යවාදී හා නොදියුනු රටවල ද තර්ජනයට ලක්ව ඇත. ඊජිප්තු විප්ලවය වැනි අවස්තා වලදී සමාජ වෙබ් අඩවි හා අන්තර්ජාල සන්නිවේදනය ඉටු කල කි‍්‍රයා කලාපය පාලක පන්තීන්ගේ කොඳුනාරටි සීතල කර ඇති බව නො රහසකි.

මෙම ඊනියා සමීක්ෂනය ඊට උල්පන්දම්දෙමින් ඉදිරිපත්වී ඇති ප‍්‍රතිගාමී ජන මාධ්‍ය මැදි කර රාජ්‍ය සේවකයන්ට එරෙහි මහජන මතයක් ගොඩ නැගීමට ජනාධිපති මෛතීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඇමරිකන් ගැති අන්ඩුව කි‍්‍රයා කරන්නේ කම්කරු පන්තියට එරෙහි පලල් ප‍්‍රහාරයක කොටසක් ලෙස රාජ්‍ය අංශය කප්පාදු කිරීමට හා වැඩ වේගවත් කිරීමට බව සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි..

Share this article: