රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග‍්‍රන්ථය එලිදැක්වීමේ සසප/සසජාතශි ප‍්‍රසිද්ධ රැස්වීමක් කොලඹදී

SEP/IYSSE public meeting in Colombo to introduce Sinhala edition of The Russian Revolution and the Unfinished Twentieth Century

2016 පෙබරවාරි 22

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, ඩේවිඩ් නෝර්ත් විසින් රචිත රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග‍්‍රන්ථය එලිදැක්වීමේ ප‍්‍රසිද්ධ රැස්වීමක් මාර්තු 15 දා කොලඹ දී පවත්වනු ඇත. සසප ප‍්‍රකාශන ආයතනය වන කම්කරු මාවත විසින් පල කරන ලද මෙම සිංහල පරිවර්තනය රැස්වීම පැවැත්වෙන ස්ථානයෙන් හා සසප වෙතින් මිලදී ගත හැකි ය.

ඩේවිඩ් නෝර්ත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ය. ඔහුගේ පොත, සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව පැනනැගි ධනේශ්වර විජයග‍්‍රහනවාදයට විරුද්ධව ද විකෘතිකරන හා මුසාකරන ප‍්‍රවාහයට එරෙහිව ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම පිනිස ද වර්ධනය කරන ලද දේශන හා ලිපි එකතුවකි.

සමාජවාදයේ අවසානය, නැතහොත්, ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා පැවසූ පරිදි, ඉතිහාසයේ අවසානය, ප‍්‍රකාශයට පත් කල අයට එරෙහිව, නෝර්ත් මෙසේ තර්ක කරයි: “සෝවියට් සංගමය විසුරුවා හැරීම සහතිකෙන්ම, අතිමහත් වැදගත්කමක් දරන සිද්ධියක් වන අතර, එය සමාජවාදයේ වේදනාකාරී අවසානය නුවූ බව තහවුරු කිරීම අවශ්‍යය. ඉතිහාසය ඉදිරියට ගමන් කරනු ඇත. යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ නැගීමට තුඩු දුන්, ධනවාදයේ තියුනු අර්බුදයක යුගයක් ලෙස විසිවන සියවස අර්ථදක්වන තාක් දුරට, එය ‘නොනිමි’ සියවසක් ලෙස ගුනාංගීකරනය කිරීම වඩාත් යෝග්‍යය.”

ධනවාදයේ වැඩෙන ගෝලීය අර්බුදයක හා තියුනු වන අධිරාජ්‍යවාදී ලෝක යුද තර්ජනයක කොන්දේසි යටතේ, එලඹෙන විප්ලවවාදී අරගලවල සූදානම සඳහා, 20 වන සියවසේ ප‍්‍රධාන මූලෝපායික අත්දැකීම්, විශේෂයෙන් ම 1917 රුසියානු විප්ලවය, පිලිබඳ අවබෝධයක් අත්‍යවශ්‍ය බව නෝර්ත් පැහැදිලි කලේය. කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානයේ පුනරුදයක් සඳහා ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම, අත්‍යවශ්‍යය.

රුසියානු විප්ලවය, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානිය, ස්ටැලින්වාදයට එරෙහි ලියොන් ට්‍රොට්ස්කිගේ අරගලය, නොනවතින විප්ලව න්‍යාය, ෆැසිස්ට්වාදයේ නැගීම, දෙවන ලෝක යුද්ධයේ ප‍්‍රභවයන් හා වෘත්තීය සමිතිවල ඓතිහාසික පරිනාමය. පිලිබඳව විවාදාත්මක ස්වරූපයෙන් ලියන ලද, ලිපි සම්භාරයක් රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස ග‍්‍රන්ථයේ අඩංගු වේ.

කොලඹ රැස්වීම, මෙම ග‍්‍රන්ථය පිලිබඳව සසප/සසජාතශි විසින් රට පුරා පවත්වනු ලබන රැස්වීම් මාලාවක පලමු වැන්න වනු ඇත. මෙම රැස්වීමට එක් වී මෙම වැදගත් සාකච්ඡාවට සහභාගි වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

දිනය හා වේලාව: මාර්තු 15 වන අඟහරුවාදා සවස 4.00

ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරය.

Share this article: