ආන්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂනයට පොලීසිය යොදා පහර දෙයි

මනූෂ ප‍්‍රනාන්දු විසිනි, 2016 පෙබරවාරි 24

සිය රැකියා ඉල්ලීම් මුල් කරගෙන, පෙබරවාරි 16 දා, කොලඹ කොටුවේ සිට විරෝධතා පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට තැත් කල දහසකට ආසන්න රැකියා විරහිත උපාධිධාරී තරුන තරුනියන්ට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පොලීසිය දරුනු ප‍්‍රහාරයක් එල්ල කලේය.

කඳුලු ගෑස් හා ජල විදින වලින් පහර දුන් පොලීසිය තිදෙනෙකු අත් අඩංගුවට ගත් අතර, වැඩුනු මහජන විරෝධය හමුවේ පසුව ඔවුන් ඇප මත මුදා හලේය. මේවන විට, එම උපාධිධාරීන්ගෙන් කොටසක්, සිය රැකියා ඉල්ලීම් ලබාදෙනතුරු නික්ම නොයන බව පවසමින්, කොටුව දුම්රිය පල ආසන්නයේ සත්‍යග‍්‍රහයක යෙදී සිටිති.

ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) අනුබද්ධිත ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මෙම විරෝධතා පාගමන සංවිධානය කලේය. විරෝධතාවට මූලික හේතුව වූයේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු තිබියදීත් 25,000ක් පමන උපාධිධාරී තරුන පිරිසකට රැකියා ලබා නොදීම බව එම සංගමය පවසයි.

2015 දෙසැම්බර් 5 වන දින, එකී සංගමය අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග පැවත්වූ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාගේ නායකත්වයෙන් සහ රාජ්‍ය පරිපාලන හා කලමනාකාර, අධ්‍යාපන, මුදල් හා පලාත් පාලන නියෝජිතයන් ද ඇතුලත්ව රාජ්‍ය අංශයේ පුරප්පාඩු සෙවීමට කමිටුවක් පත් කෙරී ඇත. එමගින් ඉදිරිපත් කෙරුනු වාර්තාවක සඳහන්වූයේ රාජ්‍ය අංශයේ පුරප්පාඩු 17,000ක් පවතින බවයි.

කෙසේ වෙතත්, රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ධම්මික මුනසිංහට අනුව දිවයිනේ මුලු රාජ්‍ය අංශයේ පුරප්පාඩු ගනන 30,000 කට ආසන්න වෙයි.

රැකියාවක් සඳහා සෑම කෙනෙකුටම ඇති සමාජමය අයිතිය සුරක්ෂිත කරනු වස් අවශේෂ කම්කරුවන් සමග එක්ව සටන් වැදීම ප‍්‍රතික්ෂේප කරන මුනසිංහ සහ ඔහුගේ සංගමය, ධනේශ්වර සීමාවන්ට යටත් වෙමින්, ‘රාජ්‍ය අංශයේ පුරප්පාඩු පුරවනු’ යන සටන් පාඨය පෙරට දමා ඇත. රාජ්‍ය රැකියා අතලොස්සක් පමනක් ලබා දී අත සෝදා ගැනීමට එමගින් ඔවුන් පාලකයන්ට ඉඩකඩ ලබා දෙයි.

අගමැති වික‍්‍රමසිංහ ගිය වසරේ අගෝස්තු මැතිවරනයට ඉදිරිපත් වූයේ නව රැකියා දස ලක්ෂයක් ලබාදෙන පොරොන්දුව මතය. මෙම පොරොන්දුව යටින් පවත්නේ ශී‍්‍ර ලංකාව ලාභ ශ‍්‍රම වේදිකාවක් බවට පත්කර ගැනීමේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයි.

ප‍්‍රාග්ධනය ගෙන්වා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍යයන් අතර කෙරෙන තරගයේදී කම්කරුවන්ගේ වැටුප් මට්ටම් පහත හෙලීම, සේවා කොන්දේසි කප්පාදු කිරීම සහ ඔවුන්ගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් උදුරා ගැනීම වික‍්‍රමසිංහගේ න්‍යාය පත‍්‍රයේ අති මූලික අංශයක්ව පවතී. රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව ඇතුලු කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ විරෝධතාවන්ට එරෙහිව පසුගිය දිනයන්හි එල්ල කල පොලිස් ප‍්‍රහාරයන් හරහා කි‍්‍රයාත්මක වන්නේ එම රුදුරු න්‍යාය පත‍්‍රයයි.

අනෙක් අතට, බිඳ වැටීමක් තුලින් ගමන් කරන ධනේශ්වර පද්ධතිය ලෝක වෙලඳපොල හැකිලීමේ තර්ජනයකට මුහුන දී ඇති තතු යටතේ ලාභ ශ‍්‍රම වේදිකාවන් සම්පාදනය කිරීම හරහා රැකියා වියුක්තිය අඩු කිරීමේ මෙම සංකල්පය වඩවඩාත් අර්බුදයට යමින් පවතී. ලොව විශාලතම ලාභ ශ‍්‍රම වේදිකාව වන චීනයේ මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා අහිමි වීමෙන් මෙම අර්බුදය විශදව ප‍්‍රකාශයට පත්වෙයි.

රජයේ ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන වාර්තාවකට අනුව වික‍්‍රමසිංහ අගමැති වූ 2015 දෙවන කාර්තුව වන විට සියයට 4.5ක් වූ සමස්ත විරැකියා ප‍්‍රතිශතය එම වසරේ තුන්වන කාර්තුව වන විට 5.0 දක්වා ඉහල නැග ඇත. උසස් පෙල සහ ඊට ඉහල අධ්‍යාපන සුදුසු කම් ලබා ඇති පිරිසේ විරැකියා ප‍්‍රතිශතය එමෙන් දෙගුනයක් වූ සියයට 10.1කි. එමෙන්ම 2015 තුන්වන කාර්තුවේදී රැකියා වියුක්තිය වයස අවුරුදු 20-24 ත් අතර සියයට 22 කට ආසන්න වන අතර වයස 20-29 අතර එම අගය සියයට 14.9ක් වෙයි. මෙම අගයන් ද වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්වූ එම වසරේම දෙවන කාර්තුව හා සැලකීමේදී පිලිවෙලින් 0.2ක සහ 1.6ක වැඩිවීමකි.

රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා රැකියා විරහිත තරුන තරුනියන් පත් නොකිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන්ට අනුව සිදු කෙරෙන කප්පාදු වැඩපිලිවෙලේම කොටසකි. රාජ්‍ය සේවයේ පුරප්පාඩු නොපිරවීම මගින් රැකියා දහස් ගනනක් කපා දැමීම පමනක් නොව එම වැඩ තොගය අනෙක් සේවකයන්ගේ කර මත පැටවීම ද සිදු කර ඇත.

රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන ‘ප‍්‍රතිව්‍යූහකරනය’ නමින් ඉදිරිපත් කොට ඇති වැඩපිලිවෙල මෙම කප්පාදුවේ තවත් අංශයකි. ඒ යටතේ රාජ්‍ය රැකියා විශාල සංඛ්‍යාවක් කපා දැමීමටත් සමහර රාජ්‍ය ආයතන පුද්ගලීකරනයටත් පිඹුරුපත් සැකසෙමින් පවතී.

අනුප‍්‍රාප්තික ආන්ඩු යටතේ පසුගිය දශක තුනේ ශී‍්‍ර ලංකාව තුල රැකියා වර්ධනය වූයේ හමුදාව තුල සහ ඇඟලුම් කර්මාන්තය තුල පමනි. 2008 මුල්‍ය බිඳ වැටීමේ සිට ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කම්හල් සිය ගනනක් වැසීයාම නිසා එම ක්ෂේත‍්‍ර‍්‍රයේ රැකියාවන් දහස් ගනනක් කප්පාදු කෙරී ඇත.

රැකියා විනාශයේ මෙම ජාත්‍යන්තර ප‍්‍රපංචය වඩාත් කැපී පෙනෙන ආකාරයෙන් ප‍්‍රකාශයට පත් කරමින් ඇමරිකා එක්සත් ජනපද බහු ජාතික සමාගමක් වන ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් ආයතනය ඊලඟ වසර දෙක තුල යුරෝපය පුරා රැකියා 6,500 ක් කප්පාදු කිරීමට සැලසුම් කර ඇති බව පසුගිය මාසයේදී නිවේදනය කලේය.

එමෙන්ම ප‍්‍රන්ස රජයට වැඩිමනත් කොටස අයත් විදුලි සමාගමක් වන ඊඩීඑෆ් ආයතනය රැකියා 4,000ක් හෝ සේවක සංඛ්‍යාවෙන් සියයට හයක් කප්පාදු කරමින් සිටී. එපමනක් නොව ප‍්‍රන්ස දුම්රිය සේවය මෙහෙයවන එස්එන්සීඑෆ් ආයතනය විසින් රැකියා කප්පාදු කිරීම් 10,000ක් ද එයාර් ෆ‍්‍රාන්ස් ආයතනය විසින් රැකියා කප්පාදු කිරීම් 2,900ක් ද ආදී වශයෙන් තවත් ආයතන සහ විශාල බැංකු, ගනනාවක් රැකියා කප්පාදු කිරීමේ සිය න්‍යාය පත‍්‍රයන් ක‍්‍රියාත්මක කරමින් පවතී.

පසුගිය වසරේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ද මෙම තත්වය පුරෝකථනය කල වාර්තාවක් ඉදිරිපත් කල අතර, ලෝක ආර්ථිකය මන්දගාමී වර්ධනයේ ද, ඉහල විරැකියාවේ ද, ඉහල නයගැති භාවයේ ද ක‍්‍රියාවලියක් තුල සිරවී සිටින බවට එය අනතුරු ඇඟවීය.

සමාජය තුල අතිමහත් බහුතරයක් තම මූලික අවශ්‍යතාවන් සපයා ගතහැකි ආකාරයේ රැකියාවක් නොමැතිකමෙන් පීඩාවට පත්ව සිටියදී සහ තවත් සුවිසල් කොටසක් විරැකියාවෙන් පෙලෙද්දී වඩවඩාත් ධනයෙන් ආඪ්‍ය වන අතලොස්සක් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරති.

මෙම තත්වය, නිෂ්පාදන බලවේගයන්හි පුද්ගලික අයිතිය සහ ලාභය මත පදනම් වූ ධනපති ක‍්‍රමයේ අනිවාර්ය ප‍්‍රතිඵලයකි. අනෙකුත් සෑම සමාජ ප‍්‍රශ්නයක් මෙන්ම විරැකියා ප‍්‍රශ්නය ද විසඳා ගත හැක්කේ සමස්ත නිශ්පාදනය සහ ආර්ථිකය තාර්කික ආකාරයකට ප‍්‍රතිසංවිධානය කෙරෙන, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වැදීමෙන් පමනි.

විරැකියාවෙන් පීඩා විඳින දහස් ගනනක් වූ උපාධිධාරී තරුන තරුනියන්ගේ නායකත්වයේ මුදුනට පැන සිටින රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සහ එය මෙහෙයවන පෙසප, විරෝධතා දේශපාලනය පිටුපස එම තරුන තරුනියන් නැවත නැවතත් ගාල්කරමින් සිදු කරන්නේ ඉහත ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වැදීමෙන් ඔවුන් වලකාලීමයි.

Share this article: