වතු කම්කරුවන් මත අඳගොවි ක‍්‍රමය පැටවීමට වෘත්තීය සමිති සහාය දෙති - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

වතු කම්කරුවන් මත අඳගොවි ක‍්‍රමය පැටවීමට වෘත්තීය සමිති සහාය දෙති

පියසේන ලොකුගේ විසිනි, 2016 ජනවාරි 07

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු එම්. දේවරාජා කම්කරුවන් කන්ඩායමකට කතා කරයි

නුවරඑලිය වලපනේ මහ ඌව වත්තේ පාලනාධිකාරය වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව කොන්ත‍්‍රාත් වැටුප් ක‍්‍රමය කි‍්‍රයාවට දමා ඇත. කම්කරුවන්ගේ වැටුප් කප්පාදු වීමට සහ ඔවුන්ගේ වැඩ ප‍්‍රමානය වැඩි වීමට නව ක‍්‍රමය දැනටමත් බල පා තිබේ.

වතු කම්කරුවන්ට කිසිදු වැටුප් වැඩි කිරීමක් ප‍්‍රතික්ෂේප කල මහ වතු සමාගම් නියෝජනය කරන වැවිලිකරුවන්ගේ සංගමය විසින් අවධාරනය කල කොන්ත‍්‍රාත් ක‍්‍රමයට අනුකූල ව මෙය කි‍්‍රයාවට දමා ඇත. නව කොන්ත‍්‍රාත් ක‍්‍රමයේ අරමුන දැනට පවතින සොච්චම් දෛනික වැටුප් ක‍්‍රමය පවා ඊනියා “ආදායම් බෙදීමේ” ක‍්‍රමයක් මගින් විස්ථාපනය කිරීමය.

මෙම ව්‍යාපෘතියට අනුව එක් එක් කම්කරුවාට නිශ්චිත තේ පඳුරු සංඛ්‍යාවක් වෙන්කර දෙනු ලබන අතර ඒවා නඩත්තු කිරීමේ වගකීම ඔහු මත පැවරෙයි. නඩත්තුවට ලබා දෙන පොහොර සහ කෘෂි රසායන ආදිය සඳහා වියදම අඩුකර ගැනීමෙන් පසු ආදායමෙන් කොටසක් කම්කරුවාට ගෙවයි.

පැරනි අඳගොවි ක‍්‍රමයට සමාන වන මෙම ක‍්‍රමය මගින් අතීතයේ කල දුෂ්කර අරගල වලින් කම්කරුවන් දිනාගෙන තිබෙන සේවක අර්ථසාධක අරමුදල වැනි සීමිත සමාජ අයිතීන් පවා අහෝසි කිරීමට සමාගම් බලාපොරොත්තු වේ.

වෘත්තීය සමිතිවල දැඩි බල කිරීම යටතේ මහ ඌව වත්තේ කොටස් හතරක 400 පමන කම්කරුවන්ට කොන්ත‍්‍රාත් ක‍්‍රමය පිලිගනිමින් තනි තනිව ගිවිසුම් වලට අත්සන් කිරීමට බල කෙරුනි. හතලිහක් පමන කම්කරුවෝ අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කලහ. ඔව්හු තවමත් දෛනික වැටුප් ක‍්‍රමය යටතේ වැඩ කරති. නව කොන්ත‍්‍රාත් ක‍්‍රමයට වැඩ කරන කම්කරුවන්ගේ මාසික ආදායම දෛනික වැටුප් ලබන්නන්ටත් වඩා අඩු ය.

ගිවිසුමට අනුව මහඌව වත්තේ එක් කම්කරුවෙකුට වසර පහක කාලයකට තේ පඳුරු 2000-2500 වෙන් කර දී ඇත. ඔවුන් ඔවුන්ගේ කොටස නඩත්තු කල යුතුය. සමාගම විසින් සපයන පොහොර සහ කෘෂි රසායන වෙනුවෙන් කම්කරුවාගේ මාසික ආදායමෙන් රුපියල් 1000 ක් කපා ගැනෙයි.

වත්ත තුල කි‍්‍රයාත්මක වන ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සහ පුරවැසි පෙරමුන (සීඑෆ්) ගිවිසුමට අත්සන් කිරීම සඳහා කම්කරුවන් පොලඹවූහ. සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් කලින් පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ කැබිනට් ඇමතියෙකි. යූපීඑෆ් සහ එන්යූඩබ්ලිව් නායකයන් වන වී. රාධකි‍්‍රෂ්නන් සහ පී. දිගම්බරම් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ වර්තමාන ආන්ඩුවේ ඇමතියෝ වෙති. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන පුරවැසි පෙරමුනේ නායක ජේ. ශී‍්‍ර රංගා තමන් වතු කම්කරුවන්ගේ ආරක්ෂකයෙකු ලෙස මවා පෑමට උත්සාහ කරයි. කලින් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන් ඔහු දැන් රාජපක්ෂගේ හිතවතෙකි. වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන් තුල පවතින අසතුට ගසා කෑමට ඔහු නරුම උත්සාහයක යෙදී සිටියි.

මහඌව වත්තේ කම්කරු කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට මෙසේ පැවසීය: “අපි ගිවිසුමට අත්සන් කලේ තොන්ඩමන් අපට කිව්ව නිසා. අප කලේ වරදක් කියල දැන් අපට හිතෙනවා. වෘත්තීය සමිති අපව රැවැට්ටුවා. දැන් අපේ මාසික ආදායම රුපියල් 2500-3500 මට්ටමට තුනෙන් දෙකකින් අඩුවෙලා. කලින් අපට රුපියල් 620 ක දෛනික වැටුපක් ගෙවද්දීත් මාසෙකෙට රුපියල් 10,000-12,000 ගත්තා. අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදලුත් දැන් අපට අහිමි වෙලා.”

“ශක්ති ටීවී එකෙන් ඇවිල්ලා අපේ ප‍්‍රශ්න ගැන විස්තර සහිත වාර්තාවක් ගත්තා. නමුත් ප‍්‍රසිද්ධ කලේ නැහැ. ඇයි එහෙම කලේ කියල ඇහුවම වතු සමාගම එපා කිව්වා නිසා ප‍්‍රසිද්ධ කලේ නැහැ කිව්වා.”

සමාගම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමට විරුද්ධ වූ හේතුව පැහැදිලිය. මහඌව වත්තේ සැබෑ කොන්දේසි එලිදරව් වුවහොත් යෝජිත කොන්ත‍්‍රාත් ක‍්‍රමයට එරෙහිව වතු කම්කරුවන්ගේ පුළුල් විරුද්ධත්වයක් මතු වනු ඇතැයි සමාගම් භීතියට පත්ව ඇත.

මහ ඌව වත්තේ කම්කරුවන්ගේ මාසික ආදායම ඉහල ගොස් ඇති බවත් ඔවුන් ඉතා සතුටින් සිටින බවත් ප‍්‍රකාශ කරමින් හා කොන්ත‍්‍රාත් ක‍්‍රමය වග වර්නනා කරමින් ධනපති ව්‍යාපාරිකයන්ගේ පත්තරයක් වන මෑතක දී වාර්තාවක් පලකර තිබුනි. එහෙත්, කොන්ත‍්‍රාත් ක‍්‍රමය යටතේ ඔවුන් සැබවින් ම මුහුන දී සිටින්නේ ඊට මුලුමනින්ම විපරීත තත්වයකයි.

තවත් කම්කරුවෙකු පැවසුවේ, ඔහු සහ කම්කරුවන් කිහිප දෙනෙකු මහ මැතිවරනයෙන් පසුව කොලඹ දී දිගම්බරම් හමු වී කොන්ත‍්‍රාත් ක‍්‍රමයට විරුද්ධව පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටි බව ය. “ඇමති තනතුරට පත්වුනාට පස්සේ පාලනාධිකාරයත් සමග සාකච්ඡා කිරීමට වත්තට එන බව ඔහු කිව්වා. නමුත් ආවේ නැහැ. අප කිහිප වතාවක් රාගල සීඩබ්ලිව්සී කාර්යාලයට ගිහිල්ල මේ ප‍්‍රශ්නෙට මැදිහත් වෙන්න කිව්වා. කිසිම පලක් වුනේ නැහැ. වෘත්තීය සමිති අපෙන් සාමාජික මුදල් අය කරගෙන පාලනාධිකාරයටයි, ආන්ඩුවටයි කත් අදිනවා” ඔහු පැවසුවේ ය.

“ආන්ඩුව වෙනස් උනහම සහනයක් ලැබෙයි කියල අප හිතුවා. නමුත් අපේ ජීවන සහ සමාජ කොන්දේසි වඩා නරක අතට හැරිලා. මා වතු කම්කරුවන් සඳහා වන ඔබේ ප‍්‍රකාශය කියෙව්වා. මා එයට සම්පූර්නයෙන් ම එකඟයි. කම්කරුවන්ගේ අයිතීන් රැකීම සඳහා ඔබ යෝජනා කර තිබෙන ආකාරයට කි‍්‍රයාකාරී කමිටු ගොඩ නැගීම අවශ්‍යයි. ඔබ සමග වැඩි දුර සාකච්ඡා කරන්න මා කැමතියි” ඔහු වැඩි දුරටත් කීවේ ය.

සෙසු වතුවල මෙන් ම මහඌව වත්තේ කම්කරුවන්ට ද ප‍්‍රමානවත් තරම් නිවාස සහ සෞඛ්‍ය පහසුකම් නොමැත. එක ලයින් කාමරයක පවුල් 3-4 ජීවත් වෙති. ඔවුන්ට වැසිකිලි පහසුකම් සහ ජලය නොමැත. වෛද්‍යවරයෙකු සිටිය ද වතු ඩිස්පෙන්සරිය වසා දමා ඇති බැවින් බෙහෙත් නැත. වසරකට පෙර වතු කම්හල වසා දැමීම නිසා කම්කරුවන් 60 කව රැකියාව අහිමිවී ඇත.

ගල් පර්වතයක් අසල කටුමැටි පැලක ජීවත් වන කම්කරු කාන්තාවක් ඇය අත්විඳින තත්වය ගැන මෙසේ විස්තර කලා ය. “පසු ගිය අවුරුද්දේ කන්දෙන් ලොකු ගලක් පෙරලුනා. මා බේරුනේ අහම්බෙන්. වැසි දවස්වලට ඉන්නේ හරිම බයෙන්. පලානාධිකාරය අප ගැන කිසිම තැකීමක් නැහැ. කන්දෙන් වතුර ගන්න මා රුපියල් 20,000 වියදම් කලා. වෘත්තීය සමිති කිසි දෙයක් කරන්නේ නැහැ. දේශපාලකයන් එන්නේ චන්දෙ කාලෙට විතරයි. ඊට පස්සේ ඒ ගොල්ලෝ හොයා ගන්නත් බැහැ.” ඇය පැවසී ය.

මෙම කොන්ත‍්‍රාත් ක‍්‍රමය අත්හදා බැලීමක් ලෙස, කැලනි වැලි වතු සමාගමට අයත් දික්ඔය ටිලරි (සාන්චිමලේ) වත්තේ 2013 දී කි‍්‍රයාවට දැමී ය. වත්තේ අතහැර දමා තිබුන කොටසකින් තේ පඳුරු 600 බැගින් කම්කරුවන්ට වෙන්කර දුනි. මෙම ඉඩම් පසුව ඔවුන්ට පවරා දෙන බව පවසමින් ව්‍යාපෘතිය පිලිගැනීමට වෘත්තීය සමිති විසින් කම්කරුවන් පොලඹවන ලදී. සතියේ දිනවල වත්තේ වැඩකල කම්කරුවෝ සෙනසුරාදා සහ ඉරිදා තමන්ට පවරා දුන් කොටසෙහි වැඩ කලහ. කැලය සුද්ධකර එය හොඳින් නඩත්තු කලහ. එහෙත් පාලානාධිකාරය ඔවුන්ට ගෙව්වේ තේ දළු කිලෝවකට රුපියල් 30 පමන යි. පසු ගිය ඔක්තෝබර් මාසයේ කම්කරුවන්ට දී තිබු කොටස පාලානාධිකාරය විසින් ආපසු පවරා ගෙන ඇත.

විශ‍්‍රාමික කම්කරුවන් යොදාගෙන දික්ඔය ෆෝඩයිස් වත්තේ ද කැලනි වැලි සමාගම එය කි‍්‍රයාවට දමා ඇත. මෙම සමාගමට ම අයිති ඉන්ජෙස්ටර් වත්තේ පාලනාධිකාරය ද කොන්ත‍්‍රාත් ක‍්‍රමය කි‍්‍රයාවට දැමීමට උත්සාහ කල නමුත් කම්කරුවන්ගේ විරුද්ධත්වය නිසා එය නතර කිරීමට සිදුවිය. ඉක්බිතිව කම්කරුවන්ට විරුද්ධව දඩයමක් දියත් කල වතු පාලකයෝ කම්කරුවන් හත්දෙනෙකුගේ වැඩ තහනම් කලහ. ඔවුන්ව යලි සේවයේ පිහිටුවීමට පාලකයන් එකඟ වුයේ කම්කරුවන් විනය ගතකරන බවට සීඩබ්ලිව්සී ය පොරොන්දුවීමෙන් පසුව පමනි.

වතු කම්කරුවනුත් ඇතුලුව පුද්ගලික අංශයේ කම්කරුවන් ගේ වැටුප රුපියල් 2,500 කින් ඉහල දමන බවට ආන්ඩුව පසුගිය සතියේ පොරොන්දු විය. එහෙත්, වතු සමාගම් එය මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කර තිබේ. සෙසු සමාගම් ද එය ම අනුයනු ඇත.

ලෝක වෙලඳපොල තුල තරඟකාරී වීමට නම් නිෂ්පාදන ඵලදායිත්වය ඉහල දමා ගනිමින් නිෂ්පාදන වියදම අඩුකල යුතු බව වැවිලිකරුවන්ගේ සංගමය අවධාරනය කරයි. එනම්, තේ කර්මාන්තය මුහුන දී සිටින අර්බුදය කම්කරුවන්ගේ වියදමෙන් ජය ගැනීම සමාගම්වල අරමුනයි.

Share this article: