සව්දි අරාබියේ සමූහ හිස් ගසා දැමීම්

The mass beheadings in Saudi Arabia

2016 ජනවාරි 04

අරාබි ලෝකය තුල වොෂින්ටනයේ සමීපතම සහචරයා වන සව්දි අරාබියේ ආඥාදායක රාජාන්ඩුව, නව වසරට එලඹුනේ, එක්වරම ඝාතනය කල සිරකරුවන් 47 දෙනෙකු ගේ ලේ නාගනිමිනි.

මෙම රාජ්‍ය ඝාතන රැල්ල ක්‍රියාත්මක වුනේ, රටේ සිර ගෙවල් 12ක දී ය. සිරකරුවන් අට දෙනෙකුගේ හිස් සිඳ දැමුනු අතර සිව් දෙනෙක් වෙඩික්කරුවන් එල්ල කල වෙඩි වරුසාවකින් ජීවිතක්ෂයට පත් විය. හිස සුන් මල කඳන් පසුව මහජන ප්‍රදර්ශනය සඳහා එල්ලා තැබුනේ, පාලක රාජකීය පවුලේ පරමාධිපති බලයට විරුද්ධවීම ගැන සිතන්නට පවා පෙලඹෙන අයෙකුට කෙරෙන පිලිකුල් සහගත අනතුරු ඇඟවීමක් ලෙසිනි.

මරනයට පත් කලවුන් අතරින් වඩාත් කැපී පෙනෙන පුද්ගලයා වූයේ, සව්දියේ පීඩිත ෂියා සුලුතරයේ ප්‍රමුඛ හඬක් බවට පත්ව සිටි, නිමිර් අල් නිමිර් යන මුස්ලිම් පූජකයාය. වධ බන්ධනයට ලක් කිරීමෙන් පසුව කැන්ගරු අධිකරනයට ගෙන ආ නිමිර්, “පාලකයාට අකීකරුවීම, පෙලපාලි උසිගන්වීම, මෙහෙයවීම හා ඒවාට සහභාගීවීම” වැනි චෝදනාවන්ට වරද කරු කරන ලදී.

මෙම “අපරාධ” සිදු වූයේ සුන්නි රාජාන්ඩුව, ෂියාවරුන් මර්දනය හා වෙනස්කම් කිරීම නතර කල යුතු බවටත්, ප්‍රජාතන්ත්‍ර ප්‍රතිසංස්කරන ඉල්ලා සිටිමිනුත්, 2011 වසරේ ෂියා බහුතරයක් සහිත නැඟෙනහිර සව්දිය සිසාරා ගිය මහජන විරෝධතාවලදීය.

නිමිර් සමඟ ඝාතනය කල අනෙක් ෂියා සිරකරුවන් තිදෙනාගෙන් අයෙක්, ඔහුට චෝදනා නඟන කාලයේ බාල වයස්කරුවෙක් විය. අනෙක් අය 2003-06 අතර සව්දි අරාබියේ සිදුවූ අල් කයිඩා ප්‍රහාරයන්ට සම්බන්ධ බවට චෝදනා ලත් සුන්නිවරුය.

රියාද්හි රාජකීය පරපුට්ටන් විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ඝාතන රැල්ල, ගනන් බලා කරන ලද, දේශීය මෙන්ම ජාත්‍යන්තර අරමුනු සහිත දේශපාලන ක්‍රියාවකි. සව්දි පාලකයින්, අල් කයිඩා සාමාජිකයින් ද සමඟ නිමිර් එක ගොඩට දමා ඝාතනය කලේ, සිය පාලනයට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් ත්‍රස්තවාදී ක්‍රියාවක් යයි, රට තුලදී හංවඩු ගැසීමේ උත්සාහයක් ලෙසය. එහි පලමු අරමුන ෂියා සුලුතරය බියගැන්වීමය. ඔවුන් ජනගහනයෙන් දල වශයෙන් සියයට 15ක් වන අතර ජීවත් වන්නේ, ප්‍රධාන තෙල් නිෂ්පාදන ප්‍රදේශයක් වන නැඟෙනහිර පලාත තුලය.

අරමුදල් සපයමින් දෘෂ්ටිමය වශයෙන් උත්තේජනය කරමින් ද පිටස්තර තැන්වල තමන් විසින්ම නිර්මානය කරන ලද ඉස්ලාමීය ත්‍රස්තවාදය වැන්නක්, රට තුලට ද ගෙන ඒමේ කුමන හෝ උත්සාහයක්, රුදුරු ලෙස මඬිනු ලබන බවට පනිවිඩයක් නිකුත් කිරීම ද ඒ සමඟම සවුඩ් යන පාලක සභාවට අවශ්‍ය විය. විශේෂයෙන්ම එම ත්‍රස්තවාදය සිරියාව තුල බිහිසුනු ප්‍රතිවිපාක ජනනය කලේය. සව්දි රාජාන්ඩුව, අයිසිස් හා අල් නුස්රා වැනි මූලධර්මවාදී කන්ඩායම් ලෙස මුදා හල ෆ්‍රැන්කස්ටීන් යක්ෂයාට තමන්ම බිලි වේ යයි එන්ට එන්ටම භීතියට පත්වෙමින් සිටියි. ඔවුන්ගේ වහාබි ආගමික දෘෂ්ටිවාදය හා සමූහ වශයෙන් හිස් සිඳීම, සව්දි අරාබියම යොදා ගන්නා රාජ්‍ය ත්‍රස්තයේ මොඩලයයි.

වඩාත් සාමාන්‍ය ලෙස පැවසුවහොත්, වෛශ්‍යා හිමියන් හා පරපුට්ටන්ගෙන් සැදුම් ලත් සව්දි අරාබියේ පාලක පවුල, කලින් සිටි රාජකීය පවුල් මෙන්ම තමන්ගේ හිස් ගෙඩි ද දංගෙඩියට ගෙන යන තැනට ඇද වැටිය හැකි සමාජ පිපිරීමක් සඳහා කොන්දේසි මෝරමින් තිබීම ගැන බියපත්ව සිටිති. රුසියාව හා ඉරානය යන දෙරටටම ආර්ථික වශයෙන් වල කැපීම අරමුනු කරගෙන, වොෂින්ටනයේ අනු දැනුම ඇතිව, කිසි ලෙසකින් හෝ නිමැවුම අඩු නොකිරීමට තමන්ම ගත් තීරනයේ ප්‍රතිපල වශයෙන් හැකිලී යන තෙල් මිල ගනන්, සව්දි ආර්ථිකයටම බැට දීමට පටන්ගෙන ඇත.

පසුගිය වසර අවසානයේ සව්දි තන්ත්‍රය, 2015දී ඩොලර් බිලියන 98ක අයවැය හිඟයකට මුහුනපා ඇති බව හෙලිදරව් කලේය. එවැනිම හිඟයක් මේ වසර තුල ද අපේක්ෂිතය. ආදායම් වැඩිකර ගැනීමේ මංමුලා සහගත උත්සාහයක යෙදෙමින් ඔවුන්, ගෑස් මිල සියයට 50න් ඉහල නැංවීය. එමෙන්ම විශේෂයෙන් සව්දි සමාජයේ විශාල දුගී ජනතාවක් පන ගැටගසාගෙන සිටින ආර්ථික සහන කබාසීනියා කරමින්, පොදු වියදම් තවදුරටත් කපා හැරීමට පියවර ගෙන ඇත. නව අයවැය “රැඩිකල් කප්පාදුවක්” යයි ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය කියා ඇත.

මෙම කොන්දේසි හමුවේ අඩුම තරමින් 2015 වසර තුල, පුද්ගලයින් 158 දෙනෙක් ඝාතනය කල මේ ආකාරයේ හිස් ගසාදැමීම් වේගයෙන් ඉහල යාමෙන් පෙන්නුම් කරන්නේ, ජනතාව බියවැද්දීමේ වෑයමකි.

ජත්‍යන්තර පෙරමුනේදී ෂීක් නිමිර්ගේ රාජ්‍ය ඝාතනය, ගනන් බලා සිදුකල ප්‍රකෝපකරනයකි. එය ඉලක්ක කර ඇත්තේ, කලාපය පුරා නිකායික කාකොටාගැනීම් උත්සන්න කිරීමටය. දැනටමත් ෂියා මුස්ලිම් නායකත්වය “දිව්‍යමය පලිගැනීමක්” යයි අනතුරු අඟවමින් ප්‍රතිචාර දක්වා ඇති එය, ඉරානය ප්‍රකෝප කිරීම එල්ල කර ගනියි. ටෙහෙරානයේ සව්දි තානාපති කාර්යාලයට හා මෂාඩ් නඟරයේ කොන්සියුලර් කාර්යාලයට ගිනි බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ඇතුලු විරෝධතා, ඝාතනය මඟින් අවුලුවා ඇත. රියාද් පාලනය තානාපති සම්බන්ධකම් බිඳ දමා, පැය 48ක් තුල ඉරාන තානාපති නිලධාරීන්ට රටින් පිටවන ලෙස දැනුම්දී ඇත.

සව්දියේ හා එහි බටහිර සහචරයින්ගේ මුල් අරමුන, එනම් තන්ත්‍ර මාරුව ඇති කිරීමට පෙරාතුව, සිරියාව තුල සිවිල් යුද්ධය අවසන් කිරීමේ මොනම උත්සාහයක් හෝ කඩාකප්පල් කිරීමට සව්දි රාජාන්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටියි. සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ ප්‍රධාන සහචරයා වන ඉරානය සමඟ ආතතීන් උග්‍ර කිරීම මඟින් සව්දිය, එවන් කිසිදු විසඳුමක් වැලැක්වීමටත්, ඉරානය සමඟම යුද්ධය සඳහා කොන්දේසි නිර්මානය කිරීමටත් අදිටන් කර ගෙන සිටී.

අහම්බයක් වීමට කිසිසේත්ම ඉඩක් නැති ආකාරයට එදිනම රියාද් පාලනය, බොහෝකොටම සිය සාමාජිකයින් ෂියා වරුන්ගෙන් බඳවාගෙන ඇති කැරලිකාරී ව්‍යාපාරයක් වන හවුති වරුන්ගේ සටන මැඬීමේ අරමුන ඇතිව, සව්දි මිලිටරිය යේමනය තුල ගෙන යන නීති විරෝධී හා මාරක මැදිහත්වීම හමුවේ ඇතිකර ගැනීමට යනවා යයි කිවූ සටන් විරාමය, අවසන් බව නිවේදනය කර තිබේ.

සව්දියේ ෂියා පූජකවරයෙක් ඝාතනය කිරීම, දැනටමත් මැද පෙරදිග තුල ඔඩු දුවා ඇති කලාපීය ගැටුම තවත් ව්‍යාප්ත කිරීම පිනිස සැලසුම් කරන ලද්දකි. 1914දී ඔස්ට්‍රියානු මහාධිපාද ෆර්ඩිනන්ඩ්ගේ ඝාතනය මෙන් මෙය ද අවසානයේ ලේ වැකි ගෝලීය අග්නි ජාලාවක් තුලට ප්‍රධාන බලවතුන් ඇද ගැනීමේ විභවය සහිත සිදුවීමකි.

සව්දි පාලනයේ අපරාධ පිලිබඳ ප්‍රධාන වගකීම පැවරෙන්නේ, එහි මූලික අනුග්‍රාහකයා වන ඇමරිකානු අධිරාජ්‍යවාදයටයි. සව්දියේ රාජාන්ඩුව, හුදෙක් වැඩවසම්වාදී පසුගාමිත්වයේ යම් නිර්මිතයක් නොවේ. එය වනාහි, 1930 හා 40 ගනන්වල ටෙක්සකෝ හා ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සමාගම් සඳහා ඉඩකඩ ලැබාගැන්මේ තැන් පටන්, අද සව්දි රාජාන්ඩුව, ඇමරිකාවේ මිලිටරි කර්මාන්තයෙහි අංක එකේ ගනුදෙනුකරුවා බවට පත්කර තිබෙන දැවැන්ත අවි අලෙවිය දක්වා වූ හැඩගැස්මකි.

එරට සමූහ වශයෙන් හිස් ගසා මරා දැමීම සම්බන්ධයෙන් වොෂින්ටනය, තමන්ගේම ප්‍රතිපත්ති වලට කිසිදු අදාලත්වයක් නැති, කුඩා ප්‍රතිවිපාක දනවන සිද්ධියක් ලෙස සලකා ප්‍රතිචාර දක්වයි. ධවල මන්දිරය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව, ෂීක් නිමිර්ගේ දේශපාලන ඝාතනය සෘජු ලෙස හෙලා දැකීමකින් තොර, කෝකටත් තෛලයක් ලෙස, සව්දි තන්ත්‍රය මානව හිමිකම් වලට ගරු කල යුතු බව “අවධාරනය” කෙරෙන, හුදෙක් කෙලතොලු ප්‍රකාශයන් පමනක් නිකුත් කර ඇත.

පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය සව්දි පාලනය රට තුල ගෙන යන මර්දනයෙහි පූර්න අනුචරයින් වනවා පමනක් නොව, යේමනය තුල මාස නවයක් තිස්සේ ගෙන යන යුද්ධයේදී සව්දියේ ප්‍රහාරක යානා වලට, ගුවනේදී ඉන්ධන පිරවීම, බෝම්බ සම්පාදනය හා ඉලක්ක පෙන්වාදීම අතින් ද දායක වෙයි. සාපරාධී ආක්‍රමනයක් වන එහිදී දහස් ගනන් යේමන් සිවිල් වැසියන් මරා දමා ඇති අතර තවත් ලක්ෂ ගනනක් සරනාගතයින් බවට පත්කොට ඇත.

ලේ නාගත් සව්දි රාජාන්ඩුව, මැද පෙරදිග ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙන යන කොල්ලකාරී ප්‍රතිපත්තියේ ප්‍රකාශනය වෙයි. මෙම අන්ත ප්‍රතිගාමී තන්ත්‍රය මත වොෂින්ටනයේ රඳා පැවැත්ම හා එය ආරක්ෂා කිරීම, මේ දක්වා කලාපය තුල කර ඇති, ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” සිට “ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන්” සුරැකීම යයි කියනු ලබන ඇමරිකානු මිලිටරි මැදිහත්වීම් සඳහා යොදාගත් සියලු කඩතුරාවන් හෙලිදරව් කර ඇත.

අවසාන විග්‍රහයේදී සවුඩ් පාලක සභාව සමඟ සන්ධානයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන කුමන හෝ ප්‍රතිපත්තියක්, මැද පෙරදිග තුල පන්ති අරගලය හිස එසවීමත් සමඟ කඩදාසි ගෙයක් මෙන් කඩාවැටෙනු ඇත.

බිල් වෑන් ඕකන්

Share this article: