ශ්‍රී ලංකාවේ සසප, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 සංවත්සරය සමරන ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ශ්‍රී ලංකාවේ සසප, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 සංවත්සරය සමරන ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

SEP (Sri Lanka) holds public meeting on 75th anniversary of Leon Trotsky’s assassination

අපගේ වාර්තාකරුවන් විසිනි, 2015 දෙසැම්බර් 30

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින්, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 75 සංවත්සරය සමරන, සැලකිය යුතු සහභාගිත්වයක් සහිත රැස්වීමක්, දෙසැම්බර් 20දා, කොලඹ නව නඟර ශාලාවේදී පවත්වන ලදී.

රැස්වීම සඳහා සසප හා සසජාතශී, කටුනායක නිදහස් වෙලඳ කලාපය, රත්මලාන දුම්රිය පරිශ්‍රය, කොලඹ වරාය නිවාස හා විශ්වවිද්‍යාල ඇතුලු කොලඹ අවට ප්‍රදේශ වල ද උද්ඝෝෂනය කලේය. එහිදී ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ තැන් පටන් 75 වසරක් යන, ලෝසවෙඅ කතෘ මන්ඬලයේ සභාපති ඩේවිඩ් නොර්ත් විසින් රචිත පොත් පිංචේ සිංහල හා දෙමල පිටපත් සිය ගනනක් අලෙවි කරන ලදී.

රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන කමිටු සාමාජික කේ. රත්නායක, ට්‍රොට්ස්කි ඝාතනයේ 75 වන සංවත්සරය සැමරීමේ වැදගත්කම පැහැදිලි කලේය. “ලෙනින් සමඟ 1917 රුසියානු විප්ලවයේ සම නායකත්වය දැරූ ට්‍රොට්ස්කි, ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය පිලිබඳ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා විය. දෙවන ලෝක යුද්ධය පුපුරා යාමෙන් වසරකට පසුව 1940 අගෝස්තුවේ, ඔහු පිටුවහලේ රැඳී සිටි මෙක්සිකෝවේදී, ජෝසෆ් ස්ටාලින් විසින් මෙහෙයවන ලද රේමන් මර්කාඩර් නමැති ජීපීයූ ඒජන්තයා විසින් ට්‍රොට්ස්කි ඝාතනය කරන ලදී.

කේ. රත්නායක

රුසියානු කම්කරු පන්තිය වෙතින් බලය පැහැරගෙන, අනෙකුත් රටවල සමාජවාදී විප්ලව පාවාදුන් පරපුටු ස්ටැලින්වාදී නිලධරය පෙරලා දමන, දේශපාලන විප්ලවයක් වෙනුවෙන් ට්‍රොට්ස්කි පෙනී සිටියේය. ඔහු හතරවන ජාත්‍යන්තරය ගොඩනඟමින් ජාත්‍යන්තර කම්කරු පන්තියට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය සම්පාදනය කලේය. දෙවන ලෝක යුද්ධය විප්ලවවාදී මහජන නැඟිටීම් පැන නංවනු ඇති බව හොඳින් දැන සිටි ස්ටැලින්වාදයට මෙන්ම අධිරාජ්‍යවාදයට ද ට්‍රොට්ස්කි ජීවත්ව සිටීම ඉවසිය නොහැකි විය.”

ඇමරිකාව සිය ලෝක ආධිපත්‍යය රැක ගැනීමට උත්සාහ දරන අතර 2008 ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා යාමත් සමඟ හටගත් ධනවාදයේ ගැඹුරු වන බිඳ වැටීම තුලින් නිර්මානයවී ඇති, උත්සන්න වන භූ දේශපාලනික ආතතීන් රත්නායක පැහැදිලි කලේය. “ඇමරිකාව යුරේසියාව මත සිය ආධිපත්‍යය පිහිටුවීමේ අටියෙන්, මිලිටරිමය වශයෙන් ක්‍රමානුකූලව රුසියාව හා චීනය වටලමින් සිටියි. එසේම අනෙකුත් අධිරාජ්‍යවාදී බලවත්තු ද සිරියාව තුල කරන ආකාරයට තම මූලෝපායික අවශ්‍යතා පෙරමුනට ගැනීමේ ව්‍යායාමයක යෙදී සිටිති. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉවබව නැති කටයුතු, න්‍යෂ්ඨික බලවතුන් පොර වදින තුන්වන ලෝක යුද්ධයක් තුලට ලෝකය ඇද දමනු ඇත.” ඔහු පැවසීය.

පලමුවන ලෝක යුද්ධයට තුඩු දුන් එම ප්‍රතිවිරෝධතාවන්ම දැන් කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයන්ට කොන්දේසි නිර්මානය කර ඇති ආකාරය රත්නායක පැහැදිලි කලේය. “අද අප ජීවත් වන්නේ පූර්ව විප්ලවවාදී අවධියකයි. ට්‍රොට්ස්කිගේ අරගලයෙහි දේශපාලන හා න්‍යායික පාඩම් වලින් තොරව ලොව පුරා කම්කරුවන්ට, තමන් හමුවේ මතුකර ඇති අභියෝගයන්ට මුහුන දිය නොහැක. මෙම උරුමය රැකගෙන සිටින්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි. එම පදනම මත ජාත්‍යන්තර කමිටුව ලොව පුරා විප්ලවවාදී නායකත්වය ගොඩනැඟීමේ අරගලයක නිරතව සිටියි.”

සසප දේශපාලන කමිටු සාමාජිකාවක් වන විලානි පීරිස්, ට්‍රොට්ස්කි මරා දැමුවේ කුමක් නිසා ද හා කෙසේ ද යන්න වටහාගන්නේ නැතිව යමෙකුට, ට්‍රොට්ස්කිවාදයේ වැදගත්කම අවබෝධ කර ගත නොහැකි බව පැවසුවාය. “ ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය ලෙස හඳුන්වන පරීක්ෂනය තුලින් හජාජාක පමනක්, ට්‍රොට්ස්කි ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කිරීම පිනිස ස්ටැලින්වාදී ඔත්තුකරුවන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනිවිද්දේ කෙසේ ද යන්න හෙලිදරව් කර ඇත.”

විලානි පීරිස්

1917 රුසියානු විප්ලවය සඳහා න්‍යායික පදනම සම්පාදනය කල නොනවතින විප්ලව න්‍යාය වර්ධනය කිරීමේදී මාක්ස්වාදයට ට්‍රොට්ස්කි කල ප්‍රතිපදානය ඇය පැහැදිලි කලාය. “ස්ටැලින්වාදී නිලධරය තනි රටක සමාජවාදය යන සිය ප්‍රතිගාමී ජාතිකවාදී ක්‍රියාමාර්ගය පෙරට ගෙන යාමේදී, ට්‍රොට්ස්කිට හා එම න්‍යායට එතරම් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම අහම්බයක් නොවීය.

“ස්ටැලින්වාදයේ පාවාදීම් වලට එරෙහිව නව විප්ලවවාදී පක්ෂ ගොඩනඟන ලෙසට ට්‍රොට්ස්කි කල ඉල්ලීම වටා පෙල ගැසුනු කොටස්, ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය ගොඩනැඟූහ. කෙසේ වුව ද එම පක්ෂයමත් පසුව, සිය ජාත්‍යන්තරවාදී මූලධර්ම පාවා දෙමින්, 1964දී සිරිමා බන්ඩාරනායකගේ ධනපති සභාග ආන්ඩුවට ඇතුලුව තවදුරටත් පරිහානියට පත්වූ ජාතිකවාදී ලංකා සමසමාජ පක්ෂයට ඒකාබද්ධ විය.

“අද කම්කරුවන්ට හා තරුනයින්ට අවශ්‍ය වන්නේ ට්‍රොට්ස්කිවාදය මත පදනම්වූ විප්ලවවාදී පක්ෂයකි. එම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය මිස අන් කිසිවක් නොවේ“ යයි පීරිස් පැවසුවාය.

සසජාතශි කැඳවුම්කරු හා සසප දේශපාලන කමිටු සාමාජික කපිල ප්‍රනාන්දු, ඇමරිකානු අධිරාජ්‍යවාදය රුසියාවට හා චීනයට එරෙහිව යුද්ධයට සූදානම් වන තතු තුල තරුනයින් මුහුනපා සිටින අන්තරායන් කෙරේ අවධානය යොමු කලේය. “මෙම සත්‍යය කම්කරුවන් හා තරුනයින් ඉදිරියේ පවසන එකම දේශපාලන පක්ෂය සසප පමනි. 1991දී සෝවියට් සංඟමය බිඳවැටීමෙන් ඉක්බිතිව මතුවූ ධනපති විජයග්‍රහනවාදය අතුරුදහන්ව ඇති අතර ලෝක ධනවාදය බිඳවැටීමේ අවධියකට ඇතුලුවී ඇත.” ඔහු පැවසීය.

කපිල ප්‍රනාන්දු

“1991දී සිදුවූයේ, මාක්ස්වාදය හෝ සමාජවාදය අසාර්ථක වීම නොව, ස්ටැලින්වාදයේ ප්‍රතිගාමී ජාතිකවාදී ඉදිරිදර්ශනය බිඳ වැටීමකි. තනි රටක සමාජවාදය පිලිබඳ ස්ටැලින්වාදී න්‍යාය, සෝවියට් සංඟමය පරිහානියට පත්වීමටත්, ධනේශ්වර පුනස්ථාපනයට දොර විවෘත කිරීමටත් තුඩු දෙනු ඇතැයි ට්‍රොට්ස්කි අනතුරු ඇඟවීය.

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධානත්, විශ්වවිද්‍යාලයන්හි පැරනි රැඩිකල්ලුත්, ට්‍රොට්ස්කිවාදයට හා ඉතිහාසයෙන් අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගැනීමටත් විරුද්ධය. දැන් ඔවුහු ධනවාදයත්, කොලඹ ඇමරිකානු ගැති ආන්ඩුවත් ආරක්ෂා කිරීම සඳහා පෙල ගැසී සිටිති. ට්‍රොට්ස්කිවාදය අධ්‍යයනය කරන ලෙස” ඔහු තරුනයින්ගෙන් ඉල්ලා සිටියේය.

රැස්වීමේ ප්‍රධාන කථාව පවත්වමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, යුද්ධය කරා වන තල්ලුව වේගවත් වීම සමඟ සිදුවෙමින් ඇති, නිරන්තර දේශපාලන අර්බුද හා ලෝකය පුරා වැඩකරන ජනතාවන්ගේ ජීවන තත්වයන් කාබාසිනියා කිරීම වෙත අවධානය යොමු කලේය. “අධ්‍යතන සමාජ හා දේශපාලන කැලඹීම්, පසුගිය සියවසේ ආරම්භක අවධියේදී අධිරාජ්‍යවාදය බවට පත්වූ ධනපති පර්යායේ නොවිසඳුනු අති මූලික පරස්පර විරෝධයන්ගේ ප්‍රතිපලයයි. අධිරාජ්‍යවාදය මානව සංහතිය ලෝක යුද්ධ දෙකකට ඇද දමමින් නාසිවාදය හා නිමක් නැති මිලිටරි ආඥාදායකත්වයන්ට පාර කැපීය. මෙම කුනුවූ පද්ධතිය තුලින් ඔවුන් තම මූලික ප්‍රතිවිරෝධතා විසඳා ගැනීමේ කිසිදු ස්ථිරසාර විසඳුමක් ඇතිකර ගැනීමට අසමත්වී ඇත.

“අද දිනයේ පවත්නා ලෝක පරිමාන සමාජ අර්බුදය වටහා ගැනීමේ අත්‍යවශ්‍ය සාධකය වන්නේ, 1906 තරම් ඈතදී වර්ධනය කල සිය නොනවතින විප්ලව න්‍යායේ පදනම මත ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද දීප්තිමත් න්‍යායික ප්‍රතිපදානයන්ය. 1914 අගෝස්තුවේ පුපුරා ගිය පලමුවන ලෝක යුද්ධයට තුඩු දුන් හේතු පිලිබඳ ඔහුගේ විනිවිද යන විශ්ලේෂනය එවන් එක් න්‍යායික මඟපෙන්වීමකි.

විජේ ඩයස්

“1914 ඔක්තෝබරයේදී ට්‍රොට්ස්කි මෙසේ ලිවීය.

යුද්ධය වනාහි ජාතික රාජ්‍යය බිඳ වැටීමේ ප්‍රකාශනයයි. ඒ සමඟම එය ආර්ථිකයේ ධනපති පදනම බිඳ වැටීම ද ප්‍රකාශ කරයි. ජාතික රාජ්‍යය මාධ්‍ය කර ගෙන ධනවාදය සමස්ත ලෝක ආර්ථික ක්‍රමයම විප්ලවවාදී ලෙස පරිවර්තනය කලේය. එය සමස්ත පෘතුවි තලයම මහ බලවතුන්ගේ කතිපයාධිකාරයන් ලෙස බෙදා වෙන් කල අතර ඒ වටා, කුඩා ජාතීන්ගේ පරිවාර රාජ්‍යයන් පෙලගැස්වීය. ඔවුන් ජීවත් වන්නේ මහ බලවතුන් අතර එදිරිවාදිකම් මධ්‍යයේය... ලෝක නිෂ්පාදනය කැරලි ගසන්නේ, ජාතික හා රාජ්‍ය බෙදීම් මඟින් නිර්මිත ව්‍යාකූලත්වයට එරෙහිව පමනක් නොව, දැන් ම්ලේච්ඡ විසිරීමක් හා ව්‍යසනයක් බවට පත්ව තිබෙන ධනපති ආර්ථික සංවිධානයට ද එරෙහිවය... 1914 යුද්ධය, කම්කරුවන් බලහත්කාරයෙන් සමාජවාදී විප්ලවයේ මාවතට ඇද දමමින්, මේ අන්ධ පථයෙන් ඉවතට මාවත හෙලි කලේය.

මෙම සමාජවාදී ඉදිරිදර්ශනය රුසියාවේ කම්කරු පන්තිය 1917 ඔක්තෝබරයේදී බලය අල්ලා ගැනීම කරා මෙහෙයවීය.”

සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම වලින් ඉවතට හැරීමේ ආරම්භක ලකුනු පල කරමින් නවමු සෝවියට් සංඟමය තුල නිලධරයක් මතුව ඒම දැකගත හැකිවූ 1923 තරම් නුදුරු අවධියකදී ට්‍රොට්ස්කි, එම ජාතිකවාදී ප්‍රවනතාවට එරෙහිව සටන් වැදීම පිනිස වාම විපාර්ශවය ගොඩනැඟූ බව ඔහු පැහැදිලි කලේය. “1924දී ලෙනින් මිය යාමෙන් පසුව ට්‍රොට්ස්කි හා වාම විපාර්ශවය, එම දේශපාලන අරගලයේ කේන්ද්‍රය බවට පත් විය.

“තනි රටක සමාජවාදය පිලිබඳ ස්ටැලින්-බුකාරින් න්‍යායට විකල්පව, ලෝක සමාජවාදී විප්ලවයේ නායකයා ලෙස තමන් ඉටුකරන ක්‍රියාකලාපය, ඔක්තෝබර් විප්ලවයේ තම කාර්යභාරයට හා අධිරාජ්‍යවාදී මිලිටරි මැදිහත්වීමට එරෙහිව විප්ලවය ආරක්ෂා කල රතු හමුදාවේ නායකයා ලෙස තමන් ඉටුකල භූමිකාවට වඩා, බෙහෙවින් වැදගත් වන බව ට්‍රොට්ස්කි හඳුනාගෙන සිටියේය.

“දරුනු මර්දනයක් යටතේ ට්‍රොට්ස්කි, සෝවියට් කොමියුනිස්ට් පක්ෂය හා තුන්වන ජාත්‍යන්තරය විප්ලවවාදී සමාජවාදයේ මාවතට හැරවීම පිනිස දස වසරක් තිස්සේ නොපසුබට දේශපාලන අරගලයක් ගෙන ගියේය. 1933දී ජර්මනිය තුල හිට්ලර් බලයට පත්කිරීමට මාවත හෙලි කල ස්ටැලින්වාදී නායකත්වයේ ද්‍රෝහී පිලිවෙත කෙරෙහි කුමන හෝ විරුද්ධත්වයක් තුන්වන ජාත්‍යන්තරයේ කිසිදු පක්ෂයකින් පල නොවූ කල පමනක් ට්‍රොට්ස්කි, හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමට තීරනය කලේය.

“ට්‍රොට්ස්කි විසින් කෙටුම්පත් කරන ලදුව, 1938 හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සමුලුවේදී අනුමත කරන ලද සංක්‍රමන ක්‍රියාමාර්ගය, කාලයේ පරීක්ෂනයට භාජනය වී ඇත. එය පසුගිය සියවසේ පලමු භාගයේ පන්ති අරගලයෙහි සියලු මූලෝපායික අත්දැකීම් මූර්තිමත් කරයි. එය අද දිනයේ විප්ලවවාදී නායකත්වය හා ඉදිරිදර්ශනය පිලිබඳ අර්බුදය විසඳීම පිනිස අදාල වන්නේය.” ඩයස් අවධාරනය කලේය.

නිමක් නැති දේශපාලන පක්ෂ තම සාර්ථකත්වය පිලිබඳව උදම් අනද්දී ජාත්‍යන්තර කම්ටුව ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී අරගලයන්හි අඛන්ඩතාවය ආරක්ෂා කල බව විජේ පැහැදිලි කලේය. “ඔවුහු, පන්ති අරගලයේ වෛෂයික නියාමයන්ට පස්ස හැරවූ අතර වැලි වලින් ගොඩනඟන ලද බලකොටු බිඳ වැටෙනු අත් දුටුවෝය. මෙයට ලොව පුරා පැවති ස්ටැලින්වාදී පක්ෂවල නින්දිත කඩාවැටීම ද ඇතුලත්ය.

“මෙම පක්ෂ, මිලියන ගනන් කම්කරුවන්ට හා පීඩිත ජනතාවන්ට නිමක් නැති විනාශයන් ඇති කලෝය. ලෝක ධනවාදයේ දිග්ගැස්සෙන කඩාවැටීම හා ඇමරිකානු අධිරාජ්‍යවාදය හා එහි සහචරයින් සූදානම් කරන න්‍යෂ්ඨික යුද්ධයේ සන්දර්භය තුල ව්‍යාජ වාම සංවිධාන, ඊටත් වැඩි ව්‍යසනයන්ට පාවඩ එලමින් සිටින” බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව ද ඇතුලු මෙම කලාපය පුරා භූදේශපාලනික එදිරිවාදිකම් උත්සන්න කරන, චීනයට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වල කැපීම හා එරට මිලිටරිමය වශයෙන් වැටලීම අරමුනු කරගත් ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම” පිලිවෙත ගැන විජේ සඳහන් කලේය. “කලින් පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව චීනය සමඟ ගොඩනඟාගෙන සිටි සම්බන්ධතා කෙරෙහි සතුරුකම් දැක්වූ වොෂින්ටනයේ පිටුබලය සහිතව, පසුගිය ජනවාරියේ කොලඹ සිදුවූ පාලන තන්ත්‍ර මාරුව තුල ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කලේ ව්‍යාජ වම්මුන්ය.

“ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ නව අන්ඩුව දැන්, ශ්‍රී ලංකාව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද කරත්තයට ගැට ගැසීම පිනිස විවෘතව වැඩ කරන අතර වැඩකරන ජනතාවගේ හා තරුනයින්ගේ සමාජ කොන්දේසි වලට එරෙහි අඛන්ඩ ප්‍රහාරයකට විවෘතව මුල පුරා ඇත. කම්කරුවන් සිය අතීත අරගල තුලින් දිනා ගත් සමාජ සහන අහෝසි කිරීමේ ක්‍රියාවලිය තුල ව්‍යාජ වම්මු, එහි උපදේශකයින් බවට පත්ව සිටිති.

“සිය ද්‍රෝහි ක්‍රියාකලාපය හෙලිදරව්වී සිටින පැරනි වම්මුන්ට නොඅඩු කෘරත්වයකින් ඉතිහාසය, අද්‍යතන ව්‍යාජ වම්මුන්ට සලකනු ඇති බව නිසැකය. කම්කරු පන්ති ජාත්‍යන්තරවාදයේ සියලු විරුද්ධවාදීන්ට එරෙහිව ට්‍රොට්ස්කි ගෙන ගිය මූලධර්මාත්මක අරගලයේ පාඩම් මත සෑම මහාද්වීපයකම විප්ලවවාදී සමාජවාදීන්ගේ අනාගත පරම්පරාවක් උගන්වා ගැනීම පිනිස ජාත්‍යන්තර කමිටුව, දේශපාලන අරගලය ගෙනයාමට අධිෂ්ඨාන සහගතව සිටින” බව පවසමින් ඩයස්, රැස්වීමට පැමින සිටින සියල්ලන්ගෙන් ඉල්ලා සිටියේ සසප හා සසජාතශියට බැඳෙන මෙන් ය.

Share this article: