ආන්ඩුවේ මන්ත‍්‍රීවරිය සාපරාධී චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප පිට මුදා හැරේ

වසන්ත රූපසිංහ විසිනි. 2016 ජනවාරි 18

සිය ආරක්ෂකයින් පිරිසක් විසින් දෙසැම්බර් 21 දා කොලඹ දෙමටගොඩ සාප්පු සේවකයෙකු පැහර ගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, සති තුනක් කල් මැරීමෙන් පසු, ජනවාරි 9 දා පොලිසිය විසින් අත් අඩංගුවට ගත් ආන්ඩුවේ මන්ත‍්‍රීවරියක වන හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර එදින ම ඇප පිට නිදහස් කරන ලදි.

නීතිපතිගේ උපදෙස් පරිදි ඇය පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ, පුද්ගලයෙකු අයුතු ලෙස සිර කර තැබීමේ අදහසින් පැහැරගෙන යාම, කුමන්ත‍්‍රනය කිරීම, පැහර ගෙන යාමට ආධාර අනුබල දීම, අයුතු සිර කර තැබීමට තැත් කිරීමේදී අඩන්තේට්ටම් කිරීම හෝ සාපරාධී බලහත්කාරය යන චෝදනා යටතේ ය.

පුද්ගලයින් කීප දෙනෙකු පැමින රෙදිපිලි සාප්පුවක සේවකයෙකු එලියට ගෙන ගොස් කලුපාට ඩිෆෙන්ඩර් රථයකට නංවා ගන්නා ආකාරය සටහන්වූ සාප්පුවේ සීසීටීවී දර්ශන මාධ්‍ය මගින් කඩිනමින් ව්‍යාප්ත විනි. එදින රාත‍්‍රී දෙමටගොඩ පොලිසියේ පෙනී සිටි අමිල ප‍්‍රියංග අමරසිංහ නමැති සාප්පු සේවකයා පැමිනිල්ලකින් ප‍්‍රකාශ කලේ, ඔහු ගෙන ගිය පුද්ගලයින් තමන්ට පහරදී පේ‍්‍රචන්ද්‍රගේ කාර්යාලයට ගෙන ගිය බවත් එහිදී ඇය ඔහුට බැන වැදී තර්ජනය කල බවත් ය. සිද්ධිය මහජනයා තුල පිලිකුලට බඳුන්වීමත් සමඟම මන්ත‍්‍රීවරිය සිද්ධියට අදාල ඩිෆෙන්ඩර් රථය සමඟ ආරක්ෂකයින් ද පොලිසියට භාර කලා ය. සති දෙකක් රිමාන්ඩ් ගත කර සිටි සැකකරුවන් අට දෙනා දැන් ඇප ලබා සිටිති.

මෙම සිද්ධියෙන් කම්කරුවන්ට දුගීන්ට ක්ෂනිකව ම සිහි ගැන්වුයේ, කලකට පෙර පටන් ගෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ උග‍්‍ර කෙරුනු කුප‍්‍රකට සුදු වෑන්වලින් දේශපාලන විරුද්ධවාදීන් පැහැර ගෙන ගොස් මරා දැමීමේ හා අතුරුදහන් කිරීමේ රුදුරු ක‍්‍රියා වූවාට සැක නැත. මෙම පැහැර ගෙන යාම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩලීමේ දේශපාලන සාපරාධී ක‍්‍රියාවන් ය.

දෙසැම්බර් 22 දා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී මන්ත‍්‍රීවරිය කීවේ, සාප්පු සේවකයා පැහැර ගැනීම තමන්ගේ අනුදැනුමින් තොරව සිදුව ඇති එකක් බව යි. සිය බිරිඳ විවාහකයෙකු වන ප‍්‍රියංග විසින් ”බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින” බැවින් ඇය තමන් ලඟට ගෙන්වා දෙන ලෙස, දේශපාලනිකව මන්ත‍්‍රීවරියට විශාල සේවයක් කල පුද්ගලයෙකු ඇගේ ආරක්ෂකයින්ගෙන් ඉල්ලා තිබේ. සිය ආරක්ෂකයින් වරදක් කර තිබෙන බව පිලිගන්නා අතරම, ප‍්‍රියංග ද ”විවාහක බිරිඳක් සමග සබඳතාවක් පැවත්වීම මගින් වරදක් සිදුකර ඇති බවත්” මේ අනුව, ”කැඩීමට ගිය පවුලක් එක් කිරීමට සද්භාවයෙන් යුතුව තමන් මැදිහත්වූ බවත්” පේ‍්‍රමචන්ද්‍ර සඳහන් කලා ය.

ඇගේ උපාසක ප‍්‍රකාශ කුමක් වුවත්, සාපරාධී චෝදනා එල්ල වී ඇති පේ‍්‍රමචන්ද්‍ර සම්බන්ධ මෙම සිද්ධිය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවට අන්දා ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සළුපිලි ගලවන තවත් අත්දැකීමක් සාමාන්‍ය මහජනයාට සපයා ඇත. ඉන් කුලප්පුවී සිටින, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දර දිය ඇදි මධ්‍යම පන්තික කන්ඩායමුත් ජනමාධ්‍යත් එහි කුනු සේදීමේ වැඩට බැසගෙන සිටිති.

එහි පෙරමුනේ ම සිටින්නේ, මහජනතාව රැවටීමේ මෙහෙයුම ගෙන ගිය හා ගෙන යන පුරවැසි බලය සංවිධානයේ නායකයින් ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් දෙසැම්බර් 30 දා හිරු නිව්ස් වෙත ඔවුන් දැක්වූ අදහස්වලින් ඉස්මත්තට ආවේ මෙය යි. මෙහි එක් නායකයෙක් වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කීවේ, ”නීතියට පිටින් පුද්ගලයින් පැහැරගෙන යාම කලින් ආන්ඩුවේ තිබුන අවලක්ෂනයක්” බවත් ”එවැනි අවලක්ෂනයක මූලික අවස්ථාව” මෙම සිද්ධියේදී පෙන්නුම් කරන බවත් ය. ඔහුට අනුව,”මේ ආන්ඩුව නීතිය අවභාවිත කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් කොයිතරම් විවෘතව නීතිය ආධිපත්‍ය පැත්තෙන් බලලා ක‍්‍රියාත්මක වනවාද කියන කාරනය සම්බන්ධයෙන් ලිට්මස් පරීක්ෂාවක් මේක.”

නීතිය කාටත් සමාන විය යුතු බවත්, ඒ අනුව පේ‍්‍රමචන්ද්‍ර මේ සිද්ධියට සම්බන්ධ නම්, අනිවාර්යයෙන් ම දඬුවමක් හිමි විය යුතු බවත් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය සඳහන් කලේ ය. ”ඒ යහපාලනය තමයි අපි මේ රටට ගේන්න කියලා ඉල්ලුවේ.”

මෙම ප‍්‍රකාශවලට අත්වැල් සැපයූ පුරවැසි බලයේ කැඳවුම්කරුවෙකු වන ගාමිනී වියන්ගොඩ කීවේ, පේ‍්‍රමචන්ද්‍ර, ”මේච්චර කල් මේ රටට කියපු දේශපාලන සංස්කෘතිය දූෂනය කර ඇති” බව යි.

දේවසිරිලා තොරොම්බල් කරන මෙම ඊනියා ”යහපාලනය” ප්‍රෝඩාවකි. උත්ප‍්‍රාසය නම් රාජපක්ෂ ආන්ඩුව යටතේ ක‍්‍රියාත්මකවූ පුද්ගලයින් පැහැර ගෙන යාම ඇතුලු අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ”අවලක්ෂන” ක‍්‍රියා ඔවුන් කර ගැසූ ”ලස්සන” යහපාලනයෙන් ද මතු වීම යි. රාජපක්ෂ ආන්ඩුව ගෙන ගිය ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ක‍්‍රියා හුදෙක් එම පාලනයේ දුෂ්ටත්වයක් ලෙස හුවා දැක්වූ දේවසිරි වැනි සුලුධනේශ්වර අවස්ථාවාදීහු ඊට වඩා යහපත් ආකාරයෙන් ක‍්‍රියා කරන ධනේෂ්වර පාලන තන්ත‍්‍ර ඇතැයි යන අදහසකින් මහජනයා රැවටීමට බේගල් ගෙතූහ.

ධනපති ක‍්‍රමය වටා භ‍්‍රමනය වන ව්‍යාජ වම්මු ඇතුලු මධ්‍යම පන්තික කන්ඩායම් ලිට්මස් පරීක්ෂන මගින් යහපාලනය සෙවීමට හෝ ශුද්ධවන්ත පාලනය සෙවීමට කරන යෝජනා කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට මරුවැල් ඇදීමකි.

පේ‍්‍රමචන්ද්‍රගේ ක‍්‍රියාව පෙන්නුම් කරන්නේ දශක තුනක් තිස්සේ ගෙනගිය, දෙමල විරෝධී යුද්ධයේදී මිලිටරීකරනය කල පාලනයේ එක් විධි ක‍්‍රමයකි. පැහැර ගෙන යාම, අතුරුදහන් කිරීම හා ඝාතනය සිදු කෙරෙන්නේ ධනපතියන් ම ඔවුන් ව්‍යාජව දේශනා කරන ”නීතියේ පාලනය” තුට්ටුවකට මායිම් නොකර එය පාගා දමමිනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට කැපවන්නේ යයි කියමින් රාජපක්ෂ ප‍්‍රතික්ෂේප කර, සිරිසේනට සහයෝගය දීමට පිල් මාරු කල පේ‍්‍රමචන්ද්‍ර මෙලෙස ක‍්‍රියා කලේ කෙසේදැයි පුරවැසි බලයේ කපුරාලලා හා වෙනත් ලියනප්පුලා පිලිතුරු සොයන්නේ, එය ඇගේ පුද්ගලික ප‍්‍රශ්නයකට හා අහඹු සිදුවීමකට සිඳුවා ලමිනි.

රාජපක්ෂ ආන්ඩුවේ මර්දනකාරී පොලිස්-මැර පාලන ක‍්‍රම --පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් ද ඇතුලුව-- ඔහුගේ හා ඔහු වටා සිටි පිරිසකගේ පුද්ගලික දුෂ්ටත්වයෙන් පැන නැගුනු ඒවා නොවේ. පසුව ආ ජනාධිපතියන් වඩවඩා මුවහත් කල අධිකාරිවාදී පාලනයකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 1978 දී මාරු වුයේ ය. ඊට පෙර, 1970 බලයට ආ ධනපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය-ලංකා සම සමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ඇතුලත්වූ හවුල් ආන්ඩුව සත් අවුරුදු හදිසි පාලනයක් ගෙන ගියේ ය.

පාලන රූපාකාරවල එවන් තියුනු මාරුවීම් බැඳී ඇත්තේ, ජාත්‍යන්තරව ම වෙනස් වන, ධනේශ්වර පන්ති පාලනයේ උවමනාකම් සමග ය. රාජපක්ෂ දෙමල ජනයාට එරෙහිව යුද්ධය යලි ආරම්භ කිරීම හා කෲරතර පාලනය මූලිකව ම එල්ල වූයේ කම්කරු පන්තිය බෙදා මැඩලීම සඳහා ය.

රාජපක්ෂ පාලනය සමාජ පිපිරීමක තර්ජනයට මුහුන දෙද්දී, ව්‍යාජ වම්මු හා පුරවැසි බලය වැනි මධ්‍යම පන්තික කන්ඩායම් යහපාලනයක් හා හොඳ ජීවන තත්වයක් පිලිබඳ ව්‍යාජ ඝෝෂාවක් මගින් එය අවමංගත කර, ඔබාමා පාලනය මුල්වී ක‍්‍රියාත්මක කල ඇමරිකන් ගැති පාලන තන්ත‍්‍ර මාරුවක් සිදු කිරීමට උදව් දුන්හ.

ආන්ඩුව බලයට ගෙන ඒමට වක‍්‍රව සහය දුන් ජනතා විමුක්ති පෙරමුනේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් කීවේ, ”වෙනසක් සිදුව නැති බව” මෙම සිදුවීමෙන් පැහැදිලි අතර ”සුදුවෑන් වෙනුවට කලු ඩිෆෙන්ඩර් පැමිනීම පමනක් වෙනස” බවට පත්ව තිබෙන බව යි. ව්‍යාජ ”වෙනසක” මිත්‍යාව මහජනතාවට ගිල්ලවූ ජවිපෙ උක්ත ප‍්‍රකාශය වංචනික ය.

ජවිපෙ ප‍්‍රකාශ ගැන අඩු ලන්සුවෙන් කියනවා නම්, ඒවා දේශපාලන තක්කඩියන් ඇස් වලට වැලි ගැසීමට කරන ප‍්‍රකාශයන් බව ය. රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට ක‍්‍රියා කර එහි යුද්ධයට හා මර්දනයට සහය දුන් ජවිපෙ සිරිසේන ජනාධිපති කරවීමට උද්ඝෝෂනය කර ඔහුගේ පාලනයට උපදෙස් දීමට ජාතික විධායක සභාවට ද ඇතුල් විය. මෙම පක්ෂය ආන්ඩුවේ ක‍්‍රියා වලට වග කිව යුතු ය.

ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත් මහජනතාවගෙන් වසන් කරමින් සිටින ජනමාධ්‍ය, පේ‍්‍රමචන්ද්‍රගේ ක‍්‍රියාව කෙරෙහි හිස් විවේචන එල්ල කරන අතර ම, මන්ත‍්‍රීවරිය සිය ආරක්ෂකයින් හා පැහැර ගැනීම සිදුකෙරුනු ඩිෆෙන්ඩර් රථය පොලිසියට භාර කිරීම මහා ඉහලින් අගය කරයි. 27දා දිවයින පුවත්පත, ”සුදුවෑන් වෙනුවට කලු ඩිෆෙන්ඩර්” මැයෙන් කතුවැකියක් ලියමින්, ”සැකකාර මැර පිරිසට සැඟව සිටීමට හෝ රටින් පිටව යෑමට අනුබල දෙනවා වෙනුවට ඒ තක්කඩියන් පොලිසියට භාරදීමට ක‍්‍රියාකිරීම ගැන මන්ත‍්‍රීවරියට ප‍්‍රසාද පල කල යුතු” යැයි ලීවේ ය.

ආන්ඩුව බලයට ගෙන ඒමට කැපවී එහි සියලුම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිලිවෙත් නින්දිත ලෙස ආරක්ෂා කරන රාවය පුවත්පත පේ‍්‍රමචන්ද්‍රත් ආන්ඩුවත් බේරා ගැනීමට සුපුරුදු ලෙස ඉස්මත්තට ආවේ ය. දෙසැම්බර් 27දා රාවය පලකල ”හිරුනිකාගේ කැලෑ උසාවිය” නම් මැද පිටුවේ ලිපිය කැපවී තිබුනේ මේ අරමුන වෙනුවෙනි.

රාජපක්ෂගේ පූර්න ආශිර්වාදය සහිතව ප‍්‍රසිද්ධියේ දාමරික ක‍්‍රියාවල යෙදුනු ඇමතිවරයෙක් වූ මර්වින් සිල්වා හා පේ‍්‍රමචන්ද්‍ර අතර ”විශාල වෙනසක් තිබෙන” බව කියමින් ”පල්වුනු දාමරික අතීතයක් ඇති” සිල්වා සිදුකර ඇති අපරාධ සමඟ පේ‍්‍රමචන්ද්‍ර ”නොදැන” කල වරද ගනන් ගත යුතු එකක් නොවන බව පාඨයාට ඒත්තු ගැන්වීමට රාවයේ ලිපිය යොමුවී තිබුනි. ”පැහැර ගැනීම කලවුන්ට නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමට” ඉල්ලා සිටිමින් ලිපිය අවසන් වන්නේ, ”රට යහපාලනයේ ම පවතිනු දැකීමට මිනිසුන්ට අවශ්‍ය“ බවත් ”එයට එරෙහි වන කවරෙකුවුව සාමාන්‍ය මිනිසුන්ගේ අප‍්‍රමාන කේන්තියට ලක්වන” බවටත් ආන්ඩුවට අවවාද කරමිනි. රාවය භීතියට පත් වන්නේ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ විරුද්ධත්වය වැඩී ඒම ගැන යි.

කම්කරුවන්, දුගීන් හා තරුනයන් දෙමටගොඩ පැහැර ගැනීම අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු ය. සිරිසේන පාලනයේ පසුගිය අවුරුද්දක තුල ඔවුහු පොලීසියේ මුර්ග පහරදීම් වලට හා මර්දනයන්ට මුහුන දුන්හ. ගැඹුරුවන අර්බුදයක ගිලී සිටින ආන්ඩුව ඔවුන්ට විරුද්ධව උසි ගන්වනු ඇත්තේ පොලිස් පාලනයකි.

Share this article: