සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ඇවිස්සීමට තවත් සංවිධානයක් එලි බසී - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ඇවිස්සීමට තවත් සංවිධානයක් එලි බසී

වසන්ත රූපසිංහ විසිනි. 2016 ජනවාරි 29

පසුගිය ජනවාරි මාසයේදී වොෂිංටනය පිටුබලය දුන් පාලන තන්ත‍්‍ර මාරුවකින් බලයට පත් ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවේ ගැඹුරුවන අර්බුදයට සමගාමීව විෂකුරු සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කල්ලි යලි හිස එසැවීමට පටන් ගෙන තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය සමයේදී සුලුතර ජනයාට එරෙහි වාර්ගික ප‍්‍රකෝපකරනයන් අවුස්සමින් එලියට ආ බොදු බල සේනා (බොබසේ), සිංහල රාවය, රාවනා බලය වැනි සංවිධානයන් අතරට බෞද්ධ භික්ෂු කන්ඩායමක් නායකත්වය දෙන ”සිංහලේ ජාතික බලමුලුව” (සිංජාබ) නම්වූ සංවිධානයක් එක්වී ඇත.

ජනවාරි 6දා ප‍්‍රථමවරට පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මෙම සංවිධානයේ නායකයෝ සිංජාබයේ ආරම්භයත් එහි ස්වෝත්තමවාදී අරමුනුත් පැහැදිලි කලහ. විද්‍යුත් මාධ්‍ය ගනනාවක් විසින් ප‍්‍රචාරය දුන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවත්වෙන්නේ, ”දැයට පන දෙමි සිංහලේ” යන පාඨය සහිත බැනරයක් හා සිංහයෙකුගේ රුවක් සහිත ”සිංහ ලේ” වැකිය සටහන් කල ධජ පසුබිමේ ප‍්‍රදර්ශනය කරමිනි. බෞද්ධ භික්ෂුවක් වන සිංජාබයේ සභාපති යක්කලමුල්ලේ පවර භික්ෂුව ඇතුලු ගිහියන් හා පැවිද්දන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.

පසුගිය දෙසැම්බර් මස මුල ෆේස්බුක් ඇතුලු සමාජ වෙබ් අඩවිවලින් පටන් ගෙන ත‍්‍රීරෝද රථ, පෞද්ගලික බස් රථ හා අනෙකුත් වාහනවල, මෙම මාධ්‍ය සාකච්ඡාවේ පසුබිමේ ප‍්‍රදර්ශනය කෙරුනු සිංහ රුව හා ‘‘සිංහ ලේ’’ වැකිය ඇතුලත් ලාංඡනයක් සහිත ස්ටිකරයක් අලවමින් ද හොර රහසේ තාප්පවල එම වචන පින්තාරු කරමින් ද ගෙන ගිය ප‍්‍රචාරනයක් මැදින් මෙම සංවිධානය එලි බැස්සේ ය.

මහාවංශයේ සඳහන් මිථ්‍යා කතාවකට අනුව, සිංහ පියෙකුගේ හා මිනිස් මවකගේ මුනුපුරයෙකු යැයි කියැවෙන, සිංහල ජාතියේ ආරම්භකයා යැයි ද සැලකෙන විජය කුමරුට ”සිංහයෙකුගේ ලේ” තිබූ බැවින් සිංහල මිනිසුන්ට ඇත්තේ සිංහ ලේ ය යන ගෝත‍්‍රවාදී විකාර අදහසක් මෙම ”සිංහ ලේ” යෙදුම තුල පවතී. මාධ්‍ය සාකච්ඡාවේදී තමන් එලියට දැමූ මෙම ස්ටිකරය ”බල පෙරලියක පෙරනිමිති පලකරනවා වගේ දේශපාලනඥයින් රත්කිරීමට” හා ”භීතිය දැනවීමට” සමත්ව තිබීම ගැන පවර සිය උද්දාමය පල කලේ ය.

”සිංහ ලේ” නමින් ෆේස්බුක් ගිනුම් ගනනාවක් නිර්මානය කෙරී ඇති අතර බොහෝ පුද්ගලයින් තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරය මෙම ලාංඡනය මගින් විස්ථාපනය කර තිබේ. මේ නමින් නිර්මානය කර ඇති ඇතම් ගිනුම්වලට ‘‘ලයික්ස්’’ දහසක් පමන පෙන්නුම් කරන අතර ආරම්භක ගිනුම ලෙස පෙනීයන ගිනුමේ ‘‘ලයික්ස්’’ සංඛ්‍යාව ජනවාරි 29 දා වන විට 30,000ට නංවා තිබිනි. මින් පෙන්නුම් කරන්නේ සමාජ ජාල ද උපයෝගි කරගනිමින් තම ව්‍යාපාරය පුම්බා ගැනීමේ විෂකුරු ප‍්‍රචාරයක් මෙම සංවිධානය විසින් ගෙනයන බව යි.

මෙම සංවිධානය වාර්ගික ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවලට සූදානම් බව පෙන්නුම් කරමින් මේ මස මුල නුගේගොඩ මුස්ලිම් ජනයාට අයත් නිවෙස්වල තාප්ප හා ගේට්ටු මත ”සිංහ ලේ” යන්න ස්පේ‍්‍ර කිරීමේ ව්‍යාපාරයක් ගෙන ගොස් තිබිනි. මීට පෙර බොබසේ ඇතුලු අනෙකුත් ස්වෝත්තමවාදී සංවිධාන ආරම්භ කල, මුස්ලිම්-විරෝධී ප‍්‍රකෝපකරන මුස්ලිම් හා ක‍්‍රිස්තියානි පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම, මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහරදීම, මුස්ලිම් කාන්තාවන්ගේ පර්දාව බලාත්කාරයෙන් ගැලවීම යනාදී විවිධාකාර වාර්ගික හිංසන ක‍්‍රියාවන්හි යෙදුනි.

මෙවැනි සංවිධානවලට තම ව්‍යාපාරයන් ගෙන යාම සඳහා සුලුජාතීන් සම්බන්ධ භීතියක් මෙන්ම වෛරයක් ද වැපිරිය යුතු ය, එමෙන්ම ඉතිහාසය විකෘති කල යුතු ය. මේ කාර්යේදී බොබසේ වැනි අනෙකුත් ස්වෝත්තමවාදී සංවිධාන සමග එකපෙලට සිටගන්නා සිංජාබයේ සභාපති කීවේ, ”වර්ගවාදී බෙදුම්වාදී මානසිකත්වයක් සහිත සුලු ජාතිකයන් නියෝජනය කල දේශපාලන නායකයන්ගේ බලවත් ඉල්ලීම්වලට කන්දුන්නු අපේ අඥාන නායකයින් ජාතික ධජයේ සිට සියල්ල විකෘති කල” බවත් එය රටතුල ”අර්බුදකාරී තත්වයක්” ඇතිකල බවත් ය. මේ හරහා ”අපේ රටේ සිටි ශ්‍රේෂ්ඨ ජනවර්ගයා මහා පිරිහුනු මනුෂ්‍ය කොට්ඨාසයක් බවට පත්ව, ඒ පිරිහීම ජනවර්ග අතර කාකොටා ගැනීමක් බවට පත්වුන” බවත් ඔහු තවදුරටත් කීවේ ය.

මෙය ඓතිහාසික මුසාවකි. මෙරට වඳ ධනපති පාලක ප‍්‍රභූව සිය උපතේ සිටම දෙමල හා සිංහල කතා කරන කම්කරු පන්තියේ එකමුතුව බිඳ දැමීමට පටු වර්ගවාදය හා ආගම්වාදය යහමින් ගසා කා තිබේ. සිංජාබ නායකයින් පරලවී ඇති කාරනයක් වන, ඊනියා ”ජාතික ධජයට” සුලුතර දෙමල හා මුස්ලිම් ජනයා නියෝජනය කිරීමට කියා 1953 හා 1971 වසරවල එයට තීරු දෙකක් එක් කිරීම වැනි දේවල් සුලුතර ජනයාගේ ඇස්වලට වැලි ගැසීමට ගෙන ආ දේවල් මිස අන් කවරක්වත් නොවේ. පසුකලෙක දී සුලුතර දෙමල ජනයාට එරෙහිව ජනසංහාරක යුද්ධයක් දියත් කිරීම හා අද දක්වා සුලුතර ජනයා ඉලක්ක කර සිදු කරන වෙනස්කම් මෙම ප්‍රෝඩාවන් නිරුවත් කර ඇත.

සුලුතර ජනයාට එරෙහි වාර්ගික ප‍්‍රකෝප ක‍්‍රියා ඇවිස්සීමේ කුප‍්‍රකට වාර්තාවකට හිමිකම් කියන ගංගොඩවිල සෝම හා අනගාරික ධර්මපාල වැනි ස්වෝත්තමවාදීන්ගේ මග අනුයෑමට සථප කල සිංජාබ සභාපති, මස් පිනිස ගවයින් මැරීමට එරෙහිව යැයි කියාගනිමින් ගිනි තබා ගෙන මිය ගිය බෝවත්තේ ඉන්ද්‍රසාර භික්ෂුව ”රට දැය සමය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කල” බව කියමින් එම ප‍්‍රකෝපකාරී ක‍්‍රියාව උත්කර්ශයට නැංවී ය. අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද ගව ඝාතනයට එරෙහි උද්ඝෝෂනය සෘජුවම බැඳී ඇත්තේ මුස්ලිම් ජනයාට එරෙහිව ය.

උක්ත සඳහන් බෞද්ධ නායකයින් සුලුතර ජනයාට එරෙහිව සිදුකල උසිගැන්වීම් මගින් ”රට තුල නැග ආ බෞද්ධ ප‍්‍රබෝධය, මනුෂ්‍යත්වයේ සාරධර්ම පිරුනු ඒ මහා පිබිදීම, දේශපාලනය ඇතුලු අනෙකුත් න්‍යාය පත‍්‍ර හමුවේ විනාශවී ගිය” බවත් ඒ සමගම ”යම්කිසි අකර්මන්‍යතාවකට මේ රටේ මහා ජාතිය පත්වුන” බවත් සිංජාබ සභාපති කීවේ ය. කිසිදු සැකයට ඉඩ නොතබා පවර මෙහි සඳහන් කරන්නේ, ඔවුන් නියෝජනය කරන බෞද්ධ භික්ෂු ධුරාවලිය, සිංහල ධනපති පංතිය සහ ඉහල සිංහල මධ්‍යම පන්තිය පිලිබඳව යි.

මුස්ලිම් හා විශේෂයෙන් දෙමල ප‍්‍රභූව, සිය කොල්ලකාරී ආර්ථික හා දේශපාලනික වැඩසටහනට ඈඳා ගැනීම සඳහා ඔවුන් සතුටු කිරීමට වත්මන් ආන්ඩුව සිදුකරන යම් යම් සීමිත වැඩසටහන් ද හේතුවෙන් තම වරප‍්‍රසාද අහිමි වෙතැයි ඔවුන් තුල පවත්නා භීතිය මෙයින් ප‍්‍රකාශයට පත් වෙයි.

ධනේශ්වර රාජ්‍යයේ දෘෂ්ටිවාදය සකස් කිරීමෙහිලා සිදුකරන ප‍්‍රතිගාමී කර්තව්‍ය නිසාවෙන් බෞද්ධ භික්ෂූහු සුවිශේෂ වරප‍්‍රසාද බුක්ති විඳිමින් සිටිති. මෙම වරප‍්‍රසාදවලින් ප‍්‍රමුඛතම වන්නේ, 1972 ඊනියා ජනරජ ව්‍යවස්ථාවෙන් බුද්ධාගම රාජ්‍ය ආගම බවට ද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම යි. මෙම තත්වය, 1978 ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ද එලෙස ම පවත්වා ගත් අතර සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දැන් ඇටවීමට කතිකා කරගෙන යන නව ව්‍යවස්ථාවකින් එම වරප‍්‍රසාදවලට කිසිදු හානියක් නොවනු ඇතිබවට සහතික කර ගැනීම මෙම උද්ඝෝෂනවල එක් ප‍්‍රධාන අරමුනකි.

මෙහිලා මෙම ආන්තික සංවිධානවල ඉලක්කය, සුලුතර ජනයා පමනක් නොව සියලුම වර්ගවල කම්කරු පීඩිත මහජනයා ය. මෙම ව්‍යාපාරය ”මොනම දේශපාලනීකරනයකට” ඉඩ නොතබන බව කීප විටක් ”සිංහලේ” නායකයින් සඳහන් කල ද එහි නිශ්චිත දේශපාලන අරමුන වන්නේ, කම්කරු පන්තියේ පන්ති එකමුතුව බිඳ දැමීම ය. දශක ගනනාවක් තිස්සේ ඉමහත් විනාශයක් සිදු කරමින් දෙමල හා සිංහල කම්කරු පන්තිය බෙදා දමා තිබූ ලේවැකි යුද්ධය හමාරවීමත් සමග ධනේශ්වර පාලකයන්ගේ භීතියට හේතුවන ලෙස වාර්ගික හා ආගමික රේඛා පරයා, එම පංතිය ඒකාබද්ධ කිරීමට කොන්දේසි සැකසෙමින් පවතී.

‘සිංහලේ’ ව්‍යාපාරයේ පැන නැගීම සම්බන්ධයෙන් ආන්ඩුවේ ඇතැම් මන්ත‍්‍රීන්, සිංහල-බෞද්ධ ස්වෝත්තවාදී උද්ඝෝෂනයකින් යලි බලයට ඒමට කැස කවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ඔහු වටා සිටින මන්ත‍්‍රීන්ට ඇගිල්ල යොමු කරන නමුත් සිරිසේන හෝ වික‍්‍රමසිංහ රාජපක්ෂට වඩා අඩු වර්ගවාදීන් නොවේ. ඒ, මොවුන් සියලු දෙනාගේ ම දේශපාලන අවිය සිංහල-බෞද්ධ ස්වෝත්තවාදය වන බැවිනි.

බලයට පත්වූදා සිට සිරිසේන පුනපුනා ප‍්‍රකාශ කරන ”සිංහල සංස්කෘතිය, සභ්‍යත්වය හා බුද්ධාගම රැකීම” යනාදී ප‍්‍රකාශ හා සිංජාබය වැනි සංවිධානවල වෛරී ප‍්‍රකාශ අතර වෙනසක් ඇත්තේ නැත. බොබසේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර සහ ජනාධිපති සිරිසේන අතර ජනවාරි 18දා සාකච්ඡාව ම වුව, සිරිසේන සහ සිංහල ස්වෝත්තමවාදීන් අතර පවතින සම්බන්ධතාව ගැන සහතිකයකි. ජනාධිපති, අගමැති සහ ඇතැම් ඇමතිවරුන් බොබසේට ”ජාතීවාදීන් ලෙස චෝදනා කිරීම” වැරැදි යයි තමන් සිරිසේනට පැවසූ බවත් සිරිසේන එම චෝදනාව ”පිලිගත්” බවත් බොබසේ ලේකම් කීවේ ය. ඉදිරියේදී ”හොඳ සාකච්ඡාවක්” තමන්ට ලැබෙනු ඇති බව ඥානසාර තවදුරටත් පැවසීය.

ධනේශ්වර ක‍්‍රමයේ ක්ෂමාලාපකයින් මෙම ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට එරෙහිවීමේ නාමයෙන් ආන්ඩුවේ මර්දනකාරී හස්තය ශක්තිමත් කර ගැනීමට උපදෙස් දෙයි. ”සිංහ ලේ” ප‍්‍රචාරන වැඩ සටහන ගැන ජාතික සාම මන්ඩලය ජනවාරි 16දා නිකුත් කල ප‍්‍රකාශනයකින් ඉල්ලා සිටියේ ”සියලූම වෛරී ප‍්‍රකාශ නීතියෙන් තහනම් කරන” ලෙසත් ”සිංහ ලේ” උද්ඝෝෂනය මැඩ පැවත්වීමට නව නීති සම්පාදනය කරන ලෙසත් ය. මෙවැනි නීති සැමවිටම එල්ලවී ඇත්තේ ධනේශ්වර ක‍්‍රමයට එරෙහි කම්කරු පන්තියේ අරගල කුරිරු ලෙස මර්දනය කිරීම සඳහා යොදා ගැනීමට බව මෙම කැඳවුම් කරන්නන් හොඳන් ම දැනුවත් ය.

ෆැසිස්ට් නැඹුරුවක් සහිත මෙවැනි සංවිධාන යුරෝපය, ඇමෙරිකාව ඇතුලු ලෝකයේ බොහෝ ප‍්‍රදේශවලින් මතු වෙමින් තිබේ. මුස්ලිම් ජනයාට එරෙහි ප‍්‍රකෝපකරන අවුස්සමින් සිටින අසල්වැසි ඉන්දියාවේ පාලක හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයේ සිට ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා ප‍්‍රංශයේ නව්‍ය ෆැසිස්ට්වාදී ප‍්‍රංශ ජාතික පෙරමුන සහ තවත් නොයෙක් සංවිධාන මේ අයුරින් අන්ත දක්ෂිනාංශික උද්ඝෝෂනයක් ගෙන යමින් පවතී. මෙම සංවිධාන හදා වඩා කරලියට ගැනෙන්නේ අර්බුද ග‍්‍රස්ත ධනේශ්වර ක‍්‍රමය සිය පනනල රැක ගැනීමට දරන වියරු ප‍්‍රයත්නයේ කොටසක් ලෙසිනි.

එම අර්බුදයේ ම ගිලෙමින් සිටින සිරිසේන-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය කම්කරු පන්තිය වෙතින් පැමිනෙන ඒකාබද්ධ ප‍්‍රහාරයක් හරවා යැවීමටත් ඔවුන්ගේ විරුද්ධත්වය කුඩු කිරීමටත් උක්ත වර්ගවාදී හා ආගම්වාදී සංවිධාන, පූර්ව රාජපක්ෂ පාලනයට සමාන අයුරින් යොදා ගැනීමට නියමිත ය.

Share this article: