අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර රිමාන්ඩ් භාරයට පමුනුවයි

සුරංග සිරිවර්ධන විසිනි, 2016 ජූලි 14

අධිකරන නියෝග උල්ලංඝනය කරමින් පාගමනක් සංවිධානය කල බවට චෝදනා නගමින් පසුගිය ජූලි 8 වන දා අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු ලහිරු වීරසේකර, එදින කොටුව මහේස්ත‍්‍රාත් අධිකරනය විසින් දෙන ලද නියෝගයක් මත රිමාන්ඩ් භාරයේ රඳවා සිටී.

නවක වද චෝදනා යටතේ මාස දෙකකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින කැලනි සරසවියේ සිසු-සිසුවියන් සත් දෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා අවිශිබම යේ නායකත්වයෙන් පසුගිය ජූනි 15 වන දා උක්ත පා ගමන පැවැත්වුනි. ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් ගත් පෙලපාලිය වැලැක්වීම සඳහා උසාවි නියෝග ගෙන තිබු පොලීසිය, උසාවි නියෝග නොතකා ඉදිරියට ඇදුනු සරසවි සිසුන්ට රුදුරු ප‍්‍රහාරයක් එල්ල කලේය. ඉන් සති තුනකට පසු වීරසේකර අත්අඩංගුවට ගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කොන්දේසි අනුයමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ක‍්‍රියාවට දමමින් සිටින නිදහස් අධ්‍යාපන කප්පාදුව හා අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව සිසුහු නොකඩවා අරගලයට අවතීර්න වෙමින් සිටිති. සිසුන් අතර වැඩෙන මෙම සටන්කාමිත්වය මුලිනුපුටා දැමීමේ අරමුනෙන්, නවක වදය ඇතුලු විවිධ හේතු දඩමීමා කරගනිමින් පන්ති තහනම් කිරීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, පොලිස් ප‍්‍රහාරයන්, අත් අඩංගුවට ගැනීම් සහ අධිකරනමය මෙහෙයවීම් ද ඇතුලු රුදුරු මර්දනයක් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් ක‍්‍රියාවට නංවා ඇත.

පසුගිය මැයි 5 වන දා සිට විවිධ චෝදනා යටතේ කැලනි සරසවියෙන් පමනක් අත්අඩංගුවට ගැනුන සිසුන් සංඛ්‍යාව 12 කි. මේ අතර සබරගමු විශ්ව විද්‍යාල පරිපාලනය විසින් නවකවද චෝදනා සහ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා එල්ල කොට සිසුන් 26 දෙනෙකුගේ පන්ති තහනම් කොට ඇත. මෙම පන්ති තහනමට එරෙහිව කවර හෝ විරෝධතාවයක් සිසුන් අතරින් වර්ධනය වීම වැලැක්වීම සඳහා, මේ වන විට පැතිර යන උන රෝගය කඩතුරාවක් ලෙස යොදා ගනිමින්, විශ්ව විද්‍යාලය මේ මස 20 වනදා තෙක් වසා තිබේ.

සමස්ත සිදුවීම් මගින් නැවත නැවතත් පැහැදිලි කෙරෙන්නේ ශිෂ්‍යයන්ද ඇතුලු සමස්ත කම්කරු පීඩිත මහජනයා අතරින් පැන නගින කවර හෝ විරෝධතාවයක් ඕනෑම අයුරකින් මර්දනය කිරීමට සිරිසේන- වික‍්‍රමසිංහ ආන්ඩුව පය පෙරට තබා ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව අධ්‍යාපනයට එල්ල කල ප‍්‍රහාරයන් හමුවේ සිසු අරගල වේගයෙන් වැඩී යද්දී, නවකවද පනත වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අනපනත් බලාත්මක කරමින්, ශිෂ්‍ය සංගම් තහනම් කරමින්, සිසුන් සිය ගනනක් පන්ති තහනමට ලක් කරමින් හා අත්අඩංගුවට ගනිමින් මෙම මර්දනය තීව‍්‍ර කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව ඉවත් කොට සිරිසේන-වික‍්‍රමසිංහ හවුල බලයට ගෙන ආවොත් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් ද ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ද රැකගත හැකි වෙතැයි ව්‍යාජ-වාම සංවිධාන සහ ඊනියා සිවිල් සංවිධාන තොරොම්බල් කල ඉදිරිදර්ශනයේ බංකොලොත් බවත් එය කම්කරුවන්ට හා සිසුන්ට ඇටවූ උගුලක් බවත් සිදුවීම් මගින් ඇස්පනාපිට එලිදරව් වෙමින් පවතී.

තම අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව සිසුන් ධෛර්යසම්පන්නව පෙරට පැමිනියද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) විශ්ව විද්‍යාල හස්තය ලෙස කටයුතු කරන අවිශිබම ය නැවත නැවතත් තොරොම්බල් කරනුයේ, ධනේශ්වර ක‍්‍රමය එසේ පැවතියදී, ආන්ඩුවලට බලපෑම් යෙදීමෙන් අයිතීන් රැකගත හැකිය යන බංකොලොත් ඉදිරි දර්ශනයමයි.

2008 වසරේ ලෝක පරිමානව පුපුරා ගිය ආර්ථික අර්බුදය හේතුවෙන් ධනේශ්වර පාලක පන්තීහු සියලු සමාජ වියදම් කප්පාදු කොට අර්බුදයේ බර කම්කරු පීඩිත මහජනයාගේ කර මතට හෙලමින් සිටිති. දැන් ආරම්භ වී ඇත්තේ මෙම ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ පලල් පරිමාන පන්ති සටන් ලොව පුරා ඇවිලී යෑමේ අවධියකි. මේ වන විට සමස්ත යුරෝපයේම පාලක පන්තීන් තැති ගන්වමින් ප‍්‍රන්ස ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී කම්කරු නීතිවලට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ අරගලයට අවතීර්ව සිටිිති.

ලෝක ආර්ථික අර්බුදයෙන් ද නය බරින්ද මිරිකී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මේවන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනුමත වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක නය කොටස් වශයෙන් ලබා ගනිමින් සිටින අතර ගෙවුම් ශේෂ පූර්නය සඳහා තවත් නය මුදලක් ඉල්ලා ඇත. නය දීමේදී ජාමුඅ පනවා ඇති විධානයන් යටතේ අධ්‍යාපනය ඇතුලු සියලු අංශ වල කප්පාදුව වේගවත් කර හා ජාත්‍යන්තර ආයෝජන වලට වඩාත්ම හිතකර කොන්දේසි සකසා දීමට ආන්ඩුව කැපවිය යුතුය. එමෙන්ම එයට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරු-පීඩිත මහජනතාව තලා දැමිය යුතුය.

අවිශිබම යේ හා වෘත්තීය සමිති නිලධරයේ විරෝධතා තිබියදීම දිගටම ගෙනයන කප්පාදුවලින්, දැවැන්ත බදු පැනවීම් වලින් සහ මර්දනයෙන් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුවේ එම කැපවීමයි.

ධනේශ්වර ක‍්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් ගලා එන මෙම ප‍්‍රහාරයන්, අවිශිබම ය විසින් එක් විරෝධතාවකට පසුව තවෙකක් ආකාරයට කැඳවන විරෝධතා මාලාවකින් ආපසු හැරවිය හැකි නොවේ.

වීරසේකර අත් අඩංගුවට ගැනීමෙන් පසු අවිශිබම ය කැඳවූ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අවිශිබම වැඩ බලන කැඳවුම්කරු සනත් බන්ඩාර කල ප‍්‍රකාශයෙන් මෙය යලිත් සනාථ වෙයි. ඔහු මෙසේ පැවසීය : “ලහිරු සහෝදරයාට තිබෙන චෝදනා තමයි උසාවි නියෝග කැඩුවා. උසාවියට අපහාස කලා කියන එක. නමුත් අපි පසුගිය කාලයක් තිස්සේ අරගල කලේ උසාවියත් එක්ක තියෙන ප‍්‍රශ්නයක් බේරගන්න නෙමෙයි. අපි සටන් කලේ මේ පාලකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය සම්බන්ධයෙන් තියෙන ප‍්‍රතිපත්තිත් එක්ක. අපි උද්ඝෝෂන කලේ මේ ආන්ඩුවට මේ තිබෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් උත්තර දෙන්න කියලා බල කරලා.” අවිශිබමයට සුපුරුදු ලෙස බන්ඩාර මේ සඳහා ‘අරගලය’ හැර වෙන විසඳුමක් නැතැයි කියා සිටියේ ය.

වීරසේකර නිදහස් කරගැනීමේ අවිශිබම ‘අරගලය’ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට වඩාත් ‘විශාල’ බලපෑමක් යෙදීම හැර අනෙකක් නොවේ.

අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලය මෙන්ම වීරසේකර ඇතුලු අනෙක් සිසුන් අත් අඩංගුවට ගනිමින් ගෙනයන රාජ්‍ය මර්දනයට එරෙහි අරගලය ද ජයගත හැක්කේ ධනේශ්වර පද්ධතියට අභියෝග කෙරෙන, ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලකින් සන්නද්ධ වූ සටනකින් පමනි.

මෙම සටනට නායකත්වය දීමට ඓතිහාසිකව නිර්නය වී ඇති පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. අවිශිබමයෙන් සහ පෙසපයෙන් මුලුමනින්ම බිඳී වෙන් වී කම්කරු පන්තිය වෙතට හැරී එම නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීම හැර සිසුන්ට තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට අන් මගක් නොමැත.

වීරසේකර ඇතුලු සිසුන් අට දෙනෙකු රිමාන්ඩ් භාරයේ රඳවා ගෙන ආන්ඩුව විසින් ඉහල තලයකට නංවා ඇති සිසු මර්දනයට එරෙහි වෙමින්, කොන්දේසි විරහිතව ඔවුන් නිදහස් කර ගැනීමේ සටනට නායකත්වය දීම සඳහා කම්කරු පන්තිය පෙරට පැමිනිය යුතුය.

Share this article: