බ්‍රික්සිට් ඡන්දය යුරෝපීය ආතතීන් උත්සන්න කරයි

Brexit vote heightens tensions in Europe

පීටර් ෂ්වාර්ස් විසිනි, 2016 ජූලි 01

පසුගිය සතියේ යුරෝ සංගමය හැර යාමට බ්‍රිතාන්‍ය දුන් ඡන්දය, යුරෝපය තුල ජාතික විසංවාදයන් තියුනු ලෙස උත්සන්න කර තිබේ.

සාමාජිකයින් 28න් යුක්ත යුරෝ සංගමයේ දෙවන විශාලතම ආර්ථිකය ඉවත්ව යාම, යුරෝපය තුල ජර්මනියේ ආර්ථික අනුහස නාටකාකාර ලෙස ඉහල නැංවීය. බ්‍රිතාන්‍යයේ පිටවීමත් සමග යුරෝපීය දල දේශීය නිෂ්පාදිතයේ ජර්මානු පංගුව පහෙන් එකක සිට හතරෙන් එකක් දක්වා නගිනු ඇත. මෙම දත්ත ජර්මනියේ ආධිපත්‍ය පාර්ශවීය ලෙස පිලිබිඹු කරයි.

විශේෂයෙන්ම 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව ජර්මනිය, යුරෝපයේ දේශපාලන හා ආර්ථීක ආධිපත්‍යය පිහිටුවා ගැනීමේ උත්සාහයක යෙදී සිටියි. ග්‍රීසිය, පෘතුගාලය හා ස්පාඤ්ඤය මත කප්පාදු වැඩ ඩසටහන් පැටවීම ද යුරෝපීය සංගමය ලෝක දේශපාලන හා මිලිටරි බලවතෙකු බවට පත්කිරීමේ සැලසුම් ද බර්ලිනය විසින් වඩාත් ආක්‍රමනශීලී ආකාරයෙන් ඉදිරියට ගනු ලැබින.

යුරෝ උසස් නියෝජිත ෆ්‍රෙඩ්‍රිකා මොගරිනි විසින් 29දා යුරෝපා සමුලුවට ඉදිරිපත් කරන ලද මූලෝපායික පත්‍රය, යුරෝ සංගමය මිලිටරි බලයක් බවට පත්කිරීමට කල යෝජනාවට ජර්මනියේ ආරක්ෂක අමාත්‍යාංශයේ සමීප සහාය ලැබී තිබුනි. බර්ලිනයේ දේශපාලන විද්‍යාඥයෙකු වන හර්ෆීල්ඩ් මුන්ක්ලර් විසින් රචනා කලPower in the Middle  (මධ්‍යයේ බලය) නමැති කෘතිය, යුරෝපයේ “හයිකාරයා” හා “කෙරුම්කාරයා” ගේ භූමිකාව සඳහා ජර්මනියට කැඳවුම් කර තිබේ. ඊට ජර්මනියේ සංස්ථාපිත පක්ෂ හා මාධ්‍යයේ පුලුල් අනුමැතියක් පලව ඇත.

බ්‍රික්සිට් කෙරෙහි ජර්මනියේ ප්‍රතික්‍රියාව, යුරෝපයේ කෙරුම්කාරයා සඳහා වන එහි තල්ලුවේ සන්දර්භය තුල තබයි. ඡන්දයට පෙර බ්‍රිතාන්‍යයේ පිටවීම කෙරෙහි ජර්මනිය දැක්වූයේ මඳ සහායකි. “ඉවත්වීමේ” කඳවුර ලබන ජයක්, ජර්මනියේ කෙරුම්කාර අභිලාශයන්ට විරුද්ධව දක්ෂිනාංශික ජාතිකවාදී ආස්ථානයකින්, යුරෝපය පුරා බලවේගයන් ශක්තිමත් කරනු ඇතැයි ඔවුන් භීතියට පත් කලේය. එසේම ඔවුන්, බ්‍රිතාන්‍ය වැදගත් ආර්ථික සහචරයෙක් හා බ්‍රසල්ස් විසින් නව ලිබරල් ආර්ථික පිලිවෙත් හා දැඩි අයවැය විනය ක්‍රියාත්මක කිරීමේදී විශ්වාසවන්ත සහකරුවෙක් ලෙස සලකන ලදී.

කෙසේ වෙතත් ජනමත විචාරනයෙන් පසුව ජර්මනියේ ආස්ථානය හදිසියේම වෙනස් විය. දැන් බර්ලිනය, ප්‍රතිපලය ආපසු හැරවිය හැකිය යන සියලු සමපේක්ෂන හා ලංඩනයට කිසිදු සහනයක් සැලසීම ප්‍රතික්ෂේප කරමින්, බ්‍රිතාන්‍යයේ ඉක්මන් පිටවීමක් වෙනුවෙන් බලපෑම් කරයි.

මේ සඳහා හේතු ගනනාවක්ම පවතියි. බ්‍රිතාන්‍යයට පිටවීම සඳහා දිග්ගැස්සෙන සාකච්ඡාවන්ට ඉඩදීම හා සහන සැලසීම, යුරෝපයේ කේන්ද්‍රාපසාරී බලවේග ශක්තිමත් කල හැකිය යන බිය එකකි. නිදසුනක් ලෙස, කලින් බ්‍රික්සිට් ඡන්දයට දැඩි විරුද්ධත්වයක් පල කරමින් තර්ක කල, ඩර් ස්පීගල් සතිපතා පුවත්පත, ලංඩනය කෙරෙහි යුරෝව ලිහිල් පිලිවෙතක් අනුගමනය කලහොත්, බ්‍රිතාන්‍යයේ උදාහරනය අනෙකුත් අය විසින්ද අනුගමනය කිරීමට ඉඩ තිබෙන බවට අනතුරු අඟවයි.

සියල්ලටත් වඩා බර්ලිනය, බ්‍රිතාන්‍ය විරුද්ධවූ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට බ්‍රිතාන්‍ය පිටවීම මගින් සැලසුනු අවස්ථාව ඩැහැගෙන ඇත. ඇමරිකාවෙන් ස්වාධීනව විදෙස් හා මිලිටරි පිලිවෙතක් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ගත් කල එසේය. 2003 ඉරාක යුද්ධය අවස්ථාවේ මෙන් ඇමරිකානු විදේශ පිලිවෙතට හරස්ව යාමේ ජර්මානු උත්සාහයන්ට බ්‍රිතාන්‍ය ආන්ඩුව නිරතුරුවම විරෝධය පා ඇත. නොඑසේ නම්, නේටෝවට සමාන්තරව යුරෝපීය මිලිටරියක් ගොඩනැගීමේ ව්‍යායාමයට විරුද්ධව.

ජර්මානු විදේශ ඇමති ෆ්‍රැන්ක් වෝල්ටර් ස්ටේන්මියර් යුරෝ සංගමයේ ආරම්භක ජාතීන් හයට ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීම පිනිස බර්ලිනය වෙත ආරාධනය කරන විට බ්‍රික්සිට් ඡන්ද‍යේ ප්‍රතිපල ගැන නිවේදනයවී නොතිබුනි. චාන්සලර් මර්කෙල් ෆ්‍රැන්කෝ-ජර්මානු අක්ෂය ශක්තිමත් කිරීමේ සාකච්ඡාවන්ට ප්‍රන්ස ජනාධිපති ඔලන්දේ හමුවී තිබින. ඉතාලිය ඉවතට තල්ලුවී යාම වැලැක්වීමේ උත්සාහයක යෙදෙමින්, තරු පහේ ව්‍යාපාරයෙන් හා උතුරු ලීගයෙන් එල්ල වන ජාතිකවාදී බලපෑම් වලට මුහුනපා සිටින ඉතාලි අගමැති මෙටිරෝ රෙන්සිට ද රැස්වීමට ආරාධනා කර තිබින.

යුරෝපය නොබිඳී තබාගැනීමේ පියවර මාලාවකට ආන්ඩු නායකයින් තිදෙනා එකඟ වූහ. පලමුවන කාරනය වූයේ, “දේශීය හා විදේශීය ආරක්ෂාව” ය. එනම්, දේශීය නොසංසුන්තා මැඩීම පිනිස රාජ්‍ය මෙවලම සන්නද්ධ කිරීම හා නව යුද මෙහෙයුම් සඳහා මිලිටරි සූදානමයි.

ජර්මානු හා ප්‍රන්ස විදේශ ඇමතිවරු බ්‍රික්සිට් ජනමත විමසුම ගැන තමන්ගේ නිගමන ගෙන එමින්, “අවිනිශ්චිත ලෝකයක් තුල ශක්තිමත් යුරෝපයක්” යන හිසින් අත්සන් තැබූ ඒකාබද්ධ ප්‍රකාශය තුල මේ කොන්දේසි වලින් ඔවුන් අදහස් කරන්නේ කුමක්දැයි සඳහන් කෙරින.

එය යුරෝපය අර්ථ දැක්වූයේ “ආරක්ෂක යුරෝපයක්” ලෙසය. එය, “පොදු ආරක්ෂාව හා ආරක්ෂක පිලිවෙතක් අවධාරනය කරයි, ජාත්‍යන්තර තලයේදී යුරෝපයේ ස්වයං සුපරීක්ෂාකාරිත්වය හා එක්සත්කම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් ජර්මනියට හා ප්‍රන්සයට ප්‍රසාදය පල කරයි.” ඒ අනුව යුරෝපය “අඩියෙන් අඩිය ස්වාධීන හා ගෝලීය නායකයෙකු” බවට පත්විය යුතුය.

යුරෝපය දේශපාලනිකව හා මිලිටරිමය වශයෙන් මැදිහත්වන කලාප ලෙස ඔවුන් නම් කරන්නේ, අනෙකුත් ප්‍රදේශ අතර යුක්‍රේනය, මැද පෙරදිග හා අප්‍රිකාවයි. “සිවිල් හා මිලිටරි මෙහෙයුම් වඩා කාර්යක්ෂම ලෙස සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට” මධ්‍යගත යුරෝපීය සංස්ථා බිහිකල යුතුය.

බර්ලිනයේ රැස්වීම නැගෙනහිර යුරෝපය තුල මුදාහැරියේ කුලප්පුවකි. ප්‍රාග්හිදී පෝලන්තය, චෙක් සමූහාන්ඩුව, ස්ලොවේකියා හා හංගේරියාව ඇතුලත් විසිගාඩ් රාජ්‍යයන්ගේ වෙනම රැස්වීමක් පැවැත්වුනි. පෝලන්ත විදේශ ඇමති රුමේනියාව, බල්ගේරියාව, ඔස්ට්‍රියාව, ස්පාඤ්ඤය හා බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝ සංගමයේ රටවල් දහයක විදෙස් ඇමතිවරුන්ට වෝර්සෝව වෙත ආරාධනා කලේය.

සියල්ලටත් වඩා පෝලන්ත ආන්ඩුව ප්‍රන්ස-ජර්මානු විදෙස් ඇමතිවරුන්ගේ ඒකාබද්ධ පත්‍රිකාව එකහෙලා ප්‍රතික්ෂේප කලේය. ඒ වෙනුවට “ශක්තිමත් යුරෝපයක්” එරට යෝජනා කල අතර යුරෝ සංගම් ගිවිසුම්, ජාතික රාජ්‍යයන්ට බලතල හිමිවන පරිදි සංශෝධනය කල යුතු බව කියා සිටියේය. පෝලන්තයේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව, බර්ලිනය හා රුසියාව යන දෙපැත්තේම තර්ජනයක් ගැන බියපත්ව ඇත. පෝලන්තයේ නිදහස සහතික කරන්නේ, ඇමරිකාව අධිපතියා වන නේටෝවක් බව එරට සලකයි.

ආන්ඩු ගැති ගැසටා පොල්ස්කා පුවත්පත 30දා “සිව්වන රීකයක් ඇතිවෙමින් තිබේ ද?”යන ශීර්ෂය යටතේ වාර්තාවක් පල කලේය. එහි මුල් පිටුවේ ස්වස්තිකයක් ද දක්නට ලැබුනි. රුසියානු ගැති යොමුවක් පිලිබඳව ලිපිය ප්‍රන්සයට හා ජර්මනියට චෝදනා කරමින්, මෙසේ පැවසීය. “නාසිවාදය හා කොමියුනිස්ට්වාදය සමග යක්ෂයින් මියගොස් නැත, සුපිරි රාජ්‍යයන්ගේ ආඥාදායක දෘෂ්ටිය අපගේ ඇස් පනාපිට දිස්වෙමින් තිබේ.” මැද පිටුවල පලවූ දිගු ලිපියක “බර්ලිනය විසින් පාලනය කරන යුරෝපයකට” විරුද්ධව අනතුරු අඟවා තිබුනි.

ගැසටා පොල්ස්කා මුල් පිටුව : “සිව්වන රීකයක් ඇතිවෙමින් තිබේ ද?”

හංගේරියානු විදෙස් ඇමති පීටර් සිජර්ටෝ “බ්‍රසල්ස්හි සංක්‍රමන ප්‍රතිපත්තියට” පහර දෙමින් මෙසේ පැවසීය. “වැසූ දොරවල් පිටුපස, බොහෝ පෞද්ගලිකව බ්‍රසල්ස්හි කොහේ හරි, නිලධරුවන් විසින් යුරෝපයේ අනාගතය ගැන ගන්නා තීන්දු පිලිගැනීම අවශ්‍ය නොවේ, යුරෝපීයයන්ට අවශ්‍යව ඇත්තේ, සිය ජීවිත හා තම අනාගතය තමන් විසින්ම තීරනය කිරීමය.”

ප්‍රන්සය තුලම වුවත් යුරෝපයේ ජර්මානු අධිපතිවාදයට විරුද්ධ හඬවල් නැගෙමින් තිබේ. ඒ අන්ත දක්ෂිනාංශික ජාතික පෙරමුනෙන් පමනක් නොවේ, එහි නායක මැරින් ලේ පෙන් ප්‍රන්සය යුරෝපයෙන් ඉවත්විය යුතු යයි කියා සිටියි, එහෙත් කොන්සවේටිව් රිපබ්ලිකානුවන්ගේ හා ව්‍යාජ වම්මුන්ගේ සාමාජිකයින් අතරින් ද වේ.

නිදසුනක් ලෙස, හිටපු ජනාධිපති නිකොලායි සාකෝසිගේ සමීපතමයෙක් වන හෙන්රි ගුඅයිනෝ, ලෙ ෆිගරෝ දිනපතා පත්‍රයට මෙසේ පැවසීය. “බ්‍රික්සිට් කෙරෙහි පල වන ප්‍රතිචාරය වඩ වඩාත් ජර්මානු වීම නම්, අප තල්ලු වන්නේ බිත්තියට හේත්තු වෙන්ටයි.” සාකෝසි ද එලඹෙන ජනාධිපතිවරන‍යේ අපේක්ෂකයෙක් ද විය හැකි හිටපු අගමැති ෆිලන් ද පවා ඉදිරිපත් කරන්නේ, “ජාතික රාජ්‍යයන්ගේ වඩා ලිහිල් සංගමයක් ඇඟවුම් කරන ජාතීන්ගේ යුරෝපයකි.”

සමාජවාදී පක්ෂයේ “වමෙක්” ලෙස සැලකෙන හිටපු ආර්ථික ඇමති ආර්නෝඩ් මොන්ටිබෝග් හා ප්‍රන්ස වාම පක්ෂයේ නායක ජීන් ලුක් මෙලන්කොන් ද වඩ වඩාත් ජර්මන් විරෝධී ජාතිකවාදී හඬ නැගීමට පටන්ගෙන ඇත.

බ්‍රික්සිට්හි යුරෝපීය ප්‍රතිවිපාක මතුවීමට පටන්ගෙන ඇතුවා පමනි. එක් අතකින් තමන්ගේ අනසක යටතේ යුරෝපය එක්සත් කිරීමට යොමු වුනු ජර්මන් ව්‍යායාමයයි. එය අත්වැල් බැඳගනු ඇත්තේ, වැඩකරන ජනතාවට එරෙහි ප්‍රචන්ඩ ප්‍රහාරයන් සමගය. වැඩි වන රාජ්‍ය මර්දනය, මිලිටරිවාදය සමගයි. අනෙක් අතට, විසකුරු ජාතිකවාදයයි. එය අන්ත දක්ෂිනාංශික හා ව්‍යාජ වාම රූපාකාරයන් ගනියි. එය කම්කරු පන්තිය බෙදා විදේශික නුරුස්නාව උසිගන්වයි.

දෙපැත්තෙන් එක් පැත්තක් හෝ යුරෝපීය කම්කරු පන්තියට ප්‍රගතිශීලී ඉදිරි මාවතක් නොපෙන්වයි. යලි වතාවක් පැහැදිලි වෙමින් ඇත්තේ යුරෝපය ධනවාදී පදනමක එක්සත් කල නොහැකි බවයි. විසිවෙනි සියවසේ භීෂනයන්ට, එනම් ලෝක යුද්ධය හා ෆැසිස්ට්වාදයට මහාද්වීපය යලි ඇද වැටීම වැලැක්විය හැක්කේ, කම්කරු පන්ති ව්‍යාපාරයක එක්සත් සමාජවාදී යුරෝපීය සමූහාන්ඩුවක ක්‍රියාමාර්ගය මත පමනි.

Share this article: