මහබැංකු අධිපති මාරුවේ දේශපාලනය

පානි විජේසිරිවර්ධන විසිනි, 2016 ජූලි 11

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වූ විවාදාත්මක කාල පරිච්ඡේදයකට පසු, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින්, පසුගිය 2 වන දා, තම පාලක ප‍්‍රභූවේම විශ්වාසවන්තයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරසාමි එම තනතුරට පත් කරගෙන ඇත.

මහ බැංකුව විසින් පසුගිය වසරේ සිදු කරන ලද බැඳුම්කර විකිනීමක දී, සුවිසල් මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට මහේන්ද්‍රන්ට චෝදනා එල්ල විය. ඔහුට එරෙහිව විධිමත් පරීක්ෂනයක් කොට දඬුවම් කරන ලෙස ද, ජූනි 30 වනදා අවසන් වූ ඔහුගේ සේවා කාලය යලි දීර්ඝ නොකරන ලෙස ද ඉල්ලමින් විපක්ෂයන් සහ ‘සිවිල් සංවිධානයන්’ උද්ඝෝෂනයක යෙදී සිටියහ.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා පෙල ගැසී සිටින ඒකාබද්ධ විපක්ෂය ද, ‘පුරවැසි බලය’ (පුබ) සහ ‘සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය’ (සසාජාව්‍යා) වැනි ‘සිවිල් සංවිධාන’ ද උද්ඝෝෂනයේ පාර්ශ්වකරුවෝ වූහ. ආන්ඩුවේ දේශපාලන අර්බුදය උග‍්‍ර කෙරෙමින් එහි දෙවන ප‍්‍රධානතම පාර්ශ්වය වන ජනාධිපති සිරිසේනගේශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙම ඝෝෂාකාරී උද්ඝෝෂනයට එකතු විය.

උද්ඝෝෂනයට ප‍්‍රතිචාරී ලෙස මහේන්ද්‍රන් වෙනුවට වෙනත් අයෙකු පත් කරන බවට ජනාධිපති සිරිසේන ප‍්‍රසිද්ධියේ ශපථ වූ නමුදු, රටේ ප‍්‍රධානතම මූල්‍ය ආයතනයට පත් කර ගන්නා ලද තම සමීපතමයා ආරක්ෂා කර ගැනීමේ අරගලයක අගමැති රනිල් වික‍්‍රමසිංහ යෙදී සිටියේ ය. විධිමත් පරීක්ෂනයකින් මහේන්ද්‍රන් වරදකරුවෙකු ලෙස ‘ඔප්පු වනතෙක්’ ඒ සම්බන්ධයෙන් තීරනයක් ගත නොහැකි බව ඔහුගේ ආස්ථානය විය.

සිරිසේන සහ වික‍්‍රමසිංහ අතර ඇතිවූ කඹ ඇදිල්ල මධ්‍යයේ, මහේන්ද්‍රන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් මහජන ව්‍යවසායන් සම්බන්ධ පාර්ලිමේන්තු (කෝප්) කමිටුවේ නිගමන ඉදිරිපත් කෙරෙන තෙක් වැඩබලන අධිපතිවරයෙකු පත් කෙරෙන බව ආන්ඩුව නිවේදනය කලේය.

කෙසේනමුදු, නිත්‍ය අධිපතිවරයෙකු නොමැතිව වැඩබලන අධිපතිවරයෙකු පත් කිරීම මහබැංකුවේ රෙගුලාසි වලට පටහැනි බවට මතු වූ විරෝධතාව හේතුවෙන් අවසානයේ දී මහබැංකු අධිපති ධුරයට කුමාරසාමි පත් කෙරුනි.

මහේන්ද්‍රන් කේන්ද්‍ර කරගෙන ගිය මෙම ගාලගෝට්ටිය තුල කම්කරු-පීඩිත මහජනතාවගේ කවර හෝ අවශ්‍යතාවක් නියෝජනය නොවුනි. එය පිටුපස පැවතියේ ධනේශ්වර පද්ධතිය සහ එම පන්ති පාලනය රැක ගැනීමේ උවමනාවයි.

අගමැති වික‍්‍රමසිංහ විසින් තම පරිපාලනයට අයත් වන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට මහේන්ද්‍රන් පත් කරගනු ලැබුවේ සහ ඔහු රඳවා ගැනීමට උත්සාහ දැරුවේ, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව මත සැකැසුනු තම ආර්ථික පිලිවෙත ක‍්‍රියාත්මක කිරීමේදී එම නිලයට සුදුසුතම සහ විශ්වාසවන්තම පුද්ගලයා ලෙස ඔහු දකිමිනි.

ආන්ඩුව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයේ බර විවිධ කප්පාදු පියවරයන් හා බදු අයකිරීම් හරහා මහජනතාවගේ කරමත පටවමින් වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඉදිරියට ගෙන යමින් සිටින රුදුරු ආර්ථික පිලිවෙත ක‍්‍රියාත්මක කිරීමේදී මහේන්ද්‍රන් තම උපරිම දායකත්වය ඒ සඳහා ලබා දුනි.

ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය වෙනුවෙන් නව මහබැංකු අධිපති කුමාරසාමිගේ කැපවීම මහේන්ද්‍රන්ට අඩු නොවේ. ඔහු 1981 දී, එවකට පැවති ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ මුදල් අමාත්‍යංශයේ උපදේශක තනතුරකට පත්කර ගැනුනේ, එම ආන්ඩුව විසින් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට දොර විවර කිරීම සඳහා හඳුන්වා දුන් ‘විවෘත ආර්ථික’ පිලිවෙත් යටතේ ව්‍යූහාත්මක ප‍්‍රතිසංස්කරන සැලසුම් කිරීම සඳහාය.

එපමනක් නොව, ඔහු පොදු රාජ්‍ය මන්ඩල මහලේකම් කාර්යාලයේ මූල්‍ය සහ වෙලඳ අංශයේ ප‍්‍රධානියා ලෙස, 1990 සිට 2008 දක්වා වසර 18 ක් සේවය කරමින් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ සුවච සේවකයෙකු ලෙස විශ්වාසය දිනා සිටින්නෙකි.

කුමාරසාමි නව නිලයට පත් කිරීමෙන් පසු, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සම්බන්ධයෙන් ඔහු ඉටුකල යුතු මෙහෙය පිලිබඳව අගමැති වික‍්‍රමසිංහ විසින් ම මාධ්‍යයට මෙසේ පැවසීය: ‘ආචාර්ය කුමාරසාමි හැකියාවන් සහිත පුද්ගලයෙකි. ඔහු පැමිනෙන්නේ නව විදේශ හුවමාරු පනතක්, (කොලඹ වරාය නගරයේ) මූල්‍ය සහ ව්‍යාපාරික කේන්ද්‍රයක්, සහ බැංකු රෙගුලාසි ශක්තිමත් කිරීමක් සඳහා පියවර ගැනෙන කාලයකයි. අප අපව බාහිර ලෝකයට විවර කර ගන්නා විට ජාත්‍යන්තර ප‍්‍රජාව සමග සහයෝගයෙන් වැඩකලහැකි පුද්ගලයෙකු රටට අවශ්‍යයි.’

දැවැන්ත නය අර්බුදයකින් වෙලී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වාරික වශයෙන් ලබා ගනිමින් සිටින ඩොලර් බිලියන 1.5 ක නයට හිලව් වශයෙන් පනවා ඇති විධාන ක‍්‍රියාත්මක කිරීම කුමාරසාමි ට පැවරී ඇති ප‍්‍රධානතම කර්තව්‍යයි. මහේන්ද්‍රන් කරමින් සිටියේ සහ දැන් කුමාරසාමිට පැවරී ඇත්තේ මෙම රාජකාරියයි.

මේ වසර අවසන් වන විට අය-වැය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 5.4 දක්වා ද 2020 අවසන් වන විට එය සියයට 3.8 දක්වා ද අඩු කිරීම එම විධානයන් අතර ප‍්‍රමුඛ ය. මෙය සිදු කල හැකිව පවතින්නේ දැවැන්ත කප්පාදු මාලාවක් සහ දැවැන්ත බදු බරක් කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමෙන් පමනි. ආන්ඩුව සුවිසල් වැට් බද්දක් පනවමින් ද සහනාධාර කප්පාදු කරමින් ද ආරම්භ කොට ඇත්තේ එම ප‍්‍රහාරයයි.

කෙසේ නමුත්, මහේන්ද්‍රන් ඉවත් කිරීම සඳහා උද්ඝෝෂනයේ යෙදුනු කවර හෝ කන්ඩායමක උත්සුකය වූයේ මහජනතාවට එරෙහි මෙම ප‍්‍රහාර සැලසුම් කිරීමේ දී හා ක‍්‍රියාත්මක කිරීමේ දී මහබැංකු අධිපති ලෙස ඔහු ඉෂ්ඨ කරමින් සිටි රුදුරු ක‍්‍රියාකලාපය නොවේ.

පුරවැසි බලය සහ අනෙකුත් ඊනියා සිවිල් සංවිධානයන් හි උත්සුකය වූයේ තම පූර්න සහයෝගයෙන් පිහිටුවා ගන්නා ලද මෙම ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය යි. ලෝක ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරුවන තතු තුල, ජාත්‍යන්තර ප‍්‍රපංචයක් ලෙස යලි මතු වෙමින් පවත්නා පන්ති අරගලය ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රකාශයට පත් කරමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව වැඩෙන කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ අරගල, තම වරප‍්‍රසාදයන්හි ප‍්‍රභවය වන ධනේශ්වර පද්ධතියට අභියෝග කෙරෙතැයි යන භීතියෙන් මෙම මධ්‍යම පන්තික නඩයන්හි දෙපා සලිතව ඇත.

මොවුන්ගේ අභිප‍්‍රාය වන්නේ මෙවන් ව්‍යාජ උද්ඝෝෂන හරහා මහජන විරෝධය අවමංගත කොට ධනේශ්වර ආන්ඩුවත් ධනේශ්වර පන්ති පාලනයත් රැක දීමයි. එමගින් තම වරප‍්‍රසාද වඩාත් ශක්තිමත් කර ගැනීමයි.

2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරනයේ දී, මහින්ද රාජපක්ෂ තන්ත‍්‍රයට එරෙහිව වැඩුනු මහජන විරෝධය සිරිසේන-වික‍්‍රමසිංහ නඩය වෙත ගාල් කරනුවස්, සිරිසේන බලයට ගෙන ඒමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කල හැකි බවටත් දූෂනය තුරන් කල හැකි බවටත් බේගල් ඇද බෑවේ මෙම කන්ඩායම්ය.

ඇමරිකා එක්සත් ජනපදයේ චීනය වටලෑමේ මූලෝපායට ශ‍්‍රී ලංකාව ඒකාග‍්‍ර කර ගැනීම සඳහා වොෂින්ටනය අත යොදා සිදු කරන ලද කුමන්ත‍්‍රනයකින් සිදු කෙරුනු මෙම තන්ත‍්‍ර මාරුවෙන් පසු ගතවී ඇති වසර එකහමාර තුල අත් විඳිමින් සිටින්නේ, එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් අවුලුවමින් සිටින ලෝක යුද ගිනිමැලයේ කේන්ද්‍රය දෙසට ශ‍්‍රී ලංකාව වඩවඩාත් ඇදීයාම සහ කම්කරු පන්තිය මෙතෙක් අත් විඳිමින් සිටි යම් සමාජමය සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියක් වෙතොත් ඒ සියල්ල උදුරා ගැනීමයි.

ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයට මුලුමනින්ම ඒකාග‍්‍රව සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙම ‘දූෂන විරෝධයේ’ තවත් පාර්ශ්වයකි. ‘කෙසේ හෝ රාජපක්ෂ පරාජය කිරීමේ’ සූත‍්‍රය යටතේ මෙම ඇමරිකානු අධිරාජ්‍ය ගැති ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි ජවිපෙ යත්න දරන්නේ ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන කෝපය ‘දූෂන විරෝධය’ යටතට ගාල් කොට නැති වී ගිය තම පදනම් යලි තහවුරු කර ගැනීමටයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය නමින් රාජපක්ෂ වටා ගොනුවී සිටින සිංහල වර්ගවාදී කොටස් ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසා කා යලි බලයට ඒමේ අරමුනෙන් මහේන්ද්‍රන් ඉවත් කිරීමේ උද්ඝෝෂනයේ ප‍්‍රමුඛ කාර්ය භාරයක යෙදී සිටියහ. කුමාරසාමි පත් කිරීමත් සමග, ‘එල්ටීටීඊ යට මුදල් ආධාර සැපයූ’ සහ දූෂන චෝදනාවක් සම්බන්ධයෙන් දැනට එක්සත් ජනපදයේ සිර දඬුවමක් විඳින රාජරත්නම් නමැති මහා ව්‍යාපාරිකයාගේ උපදේශකයෙකු ලෙස කුමාරසාමි සේවය කොට ඇති බැවින් ඔහු ද ‘විශ්වාසය පලුදු කරගත්’ තැනැත්තකු ලෙස පවසමින් තම උද්ඝෝෂනය වර්ගවාදී තලයකට නංවා ඇත.

කෙසේ නමුත්, මහේන්ද්‍රන් සිද්ධිය වටා ආන්ඩුව තුලම ඇති වූ, විශේෂයෙන්ම ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ අතරමත් ඇතිවූ, මතභේදයන්ගෙන්් ඉතා පැහැදිලිව පෙනී යන්නේ ආන්ඩුවේම පාර්ශ්වයන් අතර පරස්පර විරෝධයන් ගැඹුරු වෙමින් ආන්ඩුව මුහුන දී සිටින උග‍්‍ර ආර්ථික අර්බුදයට අමතරව තියුනු දේශපාලන අර්බුදයක් වර්ධනය වන බවයි.

තමා මහජනතාව වෙනුවෙන් පෙනී සිටින බවක් සහ දූෂනයට එරෙහිව සටන් කරන බවක් මවා පාමින් තමාටත් ශ‍්‍රීලනිපයටත් නැතිව ගිය පදනම් යලි ගොඩනගා ගැනීමටත් ආන්ඩුව තුල තමාගේ සහ තම පක්ෂයේ බලය තහවුරු කර ගැනීමටත් සිරිසේන වලිකයි.

එහෙත් සත්‍යය නම් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අනවන ලද කප්පාදු ක‍්‍රියාත්මක කිරීමේ දී සහ එක්සත් ජනපදයේ යුද මූලෝපායික සැලසුම් වලට ශ‍්‍රී ලංකාව ඒකාග‍්‍ර කර ගැනීම සඳහා ගැනෙන පියවරයන්හි දී සිරිසේන සහ ඔහුගේ ශ‍්‍රීලනිපය, එජාපය සමග අතිනත ගෙන සිටින බවයි.

Share this article: