විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක අරගලයට සමාජවාදී ක‍්‍රියා මාර්ගයක්

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය, 2016 ජූලි 28

වැටුප් හා සේවා කොන්දේසි පිලිබඳ ඉල්ලීම් පාදක කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ ජුලි 27 සිට වැඩ වර්ජනයක නිරත ව සිටිති. රජයේ විශ්වවිද්‍යාල 14 ම නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයෝ 13,000 පමන වර්ජනයට සහභාගී වී සිටින බවත් ඉල්ලීම් ලැබෙන තෙක් එය අඛන්ඩව ඉදිරියට ගෙන යන බවත් වර්ජනය කැඳවුම් කල විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. වර්ජනය හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම අක‍්‍රිය වී ඇත.

උතුරු සහ නැගෙනහිර විශ්වවිද්‍යාල වල දෙමල කතා කරන කම්කරුවන් සියලු දෙනාම පාහේ වර්ජනයට සම්බන්ධ වීම මගින් පෙන්නුම් කෙරෙනුයේ දසක තුනක යුද්ධයක් තුලින් උත්සන්න කෙරුන වාර්ගික අපසරනයන් නොතකා සිය ජීවන තත්වයන් ට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට ධනපති ආන්ඩුව විසින් එල්ල කරන ප‍්‍රහාර කෙරෙහි පොදුවේ කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වය හා ඊට එරෙහිව සටන් කිරීමට ඇති දැවෙන උවමනාවයි.

අනධ්‍යන සේවක අරගලය සෙසු කම්කරුවන් අතරට පැතිර යාමට ඇති හැකියාව කෙරෙහි තැති ගෙන සිටින ආන්ඩුව වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා හොරිකඩයන් යෙදවීමට සැලසුම් කරන බව වාර්තවේ.

රුපියල් 2,500 දීමනාව මූලික වැටුපට එකතු කිරීම, අධ්‍යයන සේවකයන් ට ශාස්ත‍්‍රීය වැඩ කටයුතු සඳහා ගෙවන දීමනාවට සමානුපාතිකව මාසික හිලව් දීමනාවක් ලබාදීම, වයස අවුරුදු 57 ඉක්මවූ සේවකයන් ගේ සේවාකාලය දීර්ඝ කිරීමේ දී පනවා ඇති රෙගුලාසි ඉවත් කර වයස අවුරුදු 60 දක්වා සේවා කාලය දීර්ඝ කර ගැනීමට ඉඩ සැලසීම ඇතුලු ඉල්ලීම් හතක් අනධ්‍යන සේවකයන් විසින් ආන්ඩුවට ඉදිරිපත් කර ඇත.

සාමාජිකයන්ගේ පීඩනය හමුවේ විරෝධතා වර්ජනයක් කැඳවීමට සමිති නිලධරයට බල කෙරී ඇති නමුත් ඔවුන්ගේ සෑම පියවරක් ම යොමුව පවතින්නේ කම්කරුවන් අතර වර්ධනය වන විරුද්ධත්වය හා සටන්කාමිත්වය නිස්සාර උද්ඝෝෂන හා ආන්ඩුවේ පොරොන්දු වලට යට කර දිය කර දැමීම දෙසට ය. ආන්ඩුව සහ විශ්වවිද්‍යාල බලධාරීන් සමග පවත්වන ලද සියලු සාකච්ඡාවන් හි දී ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදය ඉස්මතු කරමින් ඉල්ලීම් සියල්ල ම ප‍්‍රතික්ෂේප කල බව සමිති නායකයෝ කියති.

අනධ්‍යන සේවක අරගලයට ආන්ඩුව දක්වා ඇති ප‍්‍රතිචාරය සමස්ත කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි. ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කිරීමත්, වර්ජනය බිඳීම සඳහා හොරිකඩයන් සංවිධානය කිරීමත් ආන්ඩුවේ ආර්ථික කප්පාදු හා මර්දනකාරී දේශපාලන පිලිවෙත් වල කොටසකි. එහෙයින් ධනපති ආන්ඩුවට එරෙහිව කරන දැනුවත් දේශපාලන අරගලයකින් තොරව අනධ්‍යන හෝ කම්කරු පන්තියේ කවර හෝ කොටසකට සිය ඉල්ලීම් හා අයිතීන් දිනා ගත නොහැකිය.

වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා දර දිය ඇද්ද ඒකාබද්ධ කමිටුවේ නායකයෝ එවන් දේශපාලන අරගලයකට පරම වශයෙන් ම සතුරු ය. ජුලි 13-14 විරෝධතාව අවසානයේ අනධ්‍යන සේවකයන් ඇමතූ ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ “අරගලය දේශපාලනයෙන් තොර” බව අවධාරනයෙන් ප‍්‍රකාශ කලේ ය. ආන්ඩුවට එරෙහි විරෝධය අපගමනය කරනු වස් දැන් ඔවුන් කියා සිටින්නේ තම ඉල්ලීම් ලබා දීමට උසස් අධ්‍යාපන ඇමති සහ මුදල් ඇමති එකඟ වුවත් ‘නිලධාරීන්ගේ විරුද්ධත්වය හේතුවෙන් ඒවා සාක්ෂාත් නොවන බවයි’ නිලධාරීන් තම තීන්දු සහ තීරන ගනු ලබන්නේමත් ආන්ඩුවේ පිලිවෙත් මත බව වසන් කරමින් මල්වත්තගේ ඇතුලු සමිති නිලධරය ආන්ඩුව කොක්කෙන් ගලවා දමයි.

ප‍්‍රහාරයන්ගේ මූලය

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කම්කරු-පීඩිත මහජනතාව මත එල්ල කරන ප‍්‍රහාර ගලා එන්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ), විධානයන්ගෙනි. මෙම ප‍්‍රහාර ශ‍්‍රී ලංකාවට සුවිශේෂ වූවක් නොවන අතර එය ජාත්‍යන්තර ප‍්‍රපංචයකි.

2008 න් ඇරඹී අවපාතයක් දෙසට වර්ධනය වන ජාත්‍යන්තර ආර්ථික අර්බුදයේ සියලු බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම සෑම රටකම පාලක පන්තීන්ගේ පිලිවෙත බවට පත්ව ඇත. මහ ධනපති රටවල වේවා, ශ‍්‍රී ලංකාව වැනි කුඩා ධනපති රටවල වේවා, කම්කරු පන්තිය අත් විඳින්නේ මෙම පිලිවෙතෙහි ආනිශංසයි.

ඵසුගිය රාජපක්ෂ ආන්ඩුවේ ද පිලිවෙත වූයේ මෙයයි. මූල්‍ය අරමුදලෙන් පනවන ලද කප්පාදු ක‍්‍රියාත්මක කිරීමේ දී වැඩුනු මහජන විරෝධය හමුවේ, කලින්ම ජනාධිපතිවරනයක් පවත්වා තවත් වසර හයකට තම පාලනය දීර්ඝකර ගනිමින්, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව දැවැන්තම ප‍්‍රහාරයකට යාම ඔහුගේ අරමුන විය.

වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහී ක‍්‍රියා කලාපය

රාජපක්ෂ තන්ත‍්‍රයට එරෙහිව වැඩුනු බලගතු මහජන විරෝධය, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුලින් ප‍්‍රකාශයට පත්වීම සම්බන්ධයෙන් මාරක ලෙස සතුරු, අනධ්‍යන සේවක සමිති නිලධරය ඇතුලු සමස්ත වෘත්තීය සමිති නිලධරය සහ නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂ, පුරවැසි බලය වැනි ඊනියා සිවිල් සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමග එක්ව, එම මහජන විරෝධය මෛත‍්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ හවුල යටතට ගාල් කිරීමට දැනුවත්ව වැඩ කලහ. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවල රාජපක්ෂ නැවැත්වූ තැන සිට, කම්කරු-පීඩිත ජනතාවට එරෙහි ප‍්‍රහාරය ආරම්භ කලේය.

වත්මන් ආන්ඩුව මූල්‍ය අරමුදලෙන් කොටස් වශයෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 1.5ක නය කන්දරාව වෙනුවෙන් පනවා ඇති විධානයන් අතරින්, 2020 වසර වනවිට අය-වැය පරතරය ද, ජාතික නිශ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩු කිරීම ප‍්‍රමුඛ වෙයි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධනයන්හි සුවිසල් කප්පාදුවක් සමග ‘ප‍්‍රතිව්‍යූහකරනය’ යටතේ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය වේගවත් කිරීම සහ සේවක සංඛ්‍යාව කප්පාදු කිරීම, ආන්ඩුවේ පිලිවෙත් වල ප‍්‍රධානතම අංගයන් බවට පත්කරගෙන ඇත්තේ ඉහත විධානයන් සපුරාලීමේ අරමුනෙනි.

ආන්ඩුවේ මර්දනය

මෙම මහජන විරෝධී පිලිවෙත් සුමටව ක‍්‍රියාත්මක කල නොහැකි බව ආන්ඩුව හොඳින් දනී. අරගලයන්ට ඇදෙමින් සිටින කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ගොවීන් ඇතුලු අවශේෂ පීඩිතයන් මැඩීම සඳහා, තිස් අවුරුදු සිවිල් යුද්ධය මධ්‍යයේ ගොඩ නගාගත් පොලිස් රාජ්‍ය මර්දන යන්ත‍්‍රය වඩාත් ශක්තිමත් කර ගැනීමට ආන්ඩුව තීරනය කොට ඇත. ජාතික ආරක්ෂාව, සංවිධානගත අපරාධ සහ ජාතික ඔත්තු සේවා පිලිබඳ නව නීති ගෙන එමින්, වැඩ වර්ජනය කිරීම්, විරෝධතා පැවැත්වීම් සහ පෙලපාලි පැවැත්වීම් ඇතුලු සියලු

ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් තලා දැමීමට ආන්ඩුව සූදානම් වෙයි. විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව ගෙනයන රුදුරු මර්දනයෙන් සලකුනු කෙරෙන්නේ එම සූදානමයි.

රාජපක්ෂගේ මහජන-විරෝධී ප‍්‍රහාරයන් සහ මර්දන පිලිවෙත් හමුවේ රැඩිකලීකරනය වෙමින් සිටි කම්කරුවන් ට සහ තරුනයන් ට සමිති නිලධරය ඇතුලු ඉහත නඩ නැවත නැවතත් කියා සිටියේ සිරිසේන – වික‍්‍රමසිංහ හවුල බලයට ගෙන ඒම මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කලහැකි බවයි.

සැබැවින්ම 2015 ජනවාරි මස සිදුවූයේ, තම මූලෝපායික අවශ්‍යතාවන්ට එරෙහිව රාජපක්ෂ සහ චීනය අතර වැඩෙමින් පැවති සමීප සබඳතා පිලිබඳව උත්සුක වූ වොෂින්ටනය, සැලසුම් සහගතව සිදුකල තන්ත‍්‍ර මාරුවකි. එතැන් පටන් ගතවූ වසර එකහමාර තුල සිදුව ඇත්තේ, චීනය වටලෑමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද මූලෝපායට ශ‍්‍රී ලංකාව වඩවඩාත් ඒකාග‍්‍ර වීමයි.

කම්කරු පන්තික අරගලයන්හි නව ජාත්‍යන්තර පිබිදීමක්

ග‍්‍රීසියේ, ස්පාඤ්ඤයේ සහ ප‍්‍රන්සයේ ආන්ඩු විසින් කම්කරුවන්ගේ සමාජමය සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කල ප‍්‍රහාරයන්ට එරෙහිව දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් අරගලයට අවතීර්න වූ අතර එය ජාත්‍යන්තර ප‍්‍රපංචයක් ලෙස වර්ධනය වෙමින් පවතී. 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් වසර 25 කට පසුව යලි මතු වෙමින් පවත්නා මෙම අරගලයන්ගේ සුවිශේෂී ලක්ෂනය වන්නේ, වෘත්තීය සමිති වලට සහ සංස්ථාපිතයේ පක්ෂ වලට පිටතින් එම අරගල වැඩී ඒමයි.

එනමුදු එම අරගලයන් ජයග‍්‍රහනය දක්වා ගමන් කිරීමට අවශ්‍ය ඉදිරි දර්ශනයකින් සහ නායකත්වයකින් සන්නද්ධ නොවී ඇති තත්වය ගසා කමින් ව්‍යාජ වම්මු සහ සමිති නිලධරයෝ, කම්කරුවන් අවමංගතකොට විවිධ ධනේශ්වර පෙරමුනු යටතට යලියලිත් ගාල් කරමින් සිටිති. ග‍්‍රීසියේ සිරිසාව යටතට ද ශ‍්‍රී ලංකාවේ සිරිසේන-වික‍්‍රමසිංහ හවුලට ද කම්කරුවන් සහ පීඩිතයන් ගැට ගසනු ලැබුවේ මෙම ද්‍රෝහීන් විසිනි.

අනධ්‍යන සේවකයන් අධිෂ්ඨාන සහගතව අරගලයට අවතීර්න වත්ම, ආන්ඩුවට විශාල බලපෑමක් යෙදීම මගින් තම ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යාව වපුරමින් කම්කරුවන් අලාමුලා කොට ඔවුන්ගේ දිරියබල සිඳීමට සමිති නිලධරය මුල සිටම ක‍්‍රියා කලහ. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු නායකයන් පසුගිය 22 දා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් ඇමති රවි කරුනානායක මුන ගැසී සාකච්ඡා කලහ. වියහැකි පරිදිම, මාසික හිලව් දීමනාව මූලික වැටුපෙන් සියයට 25 ක් ලෙස පිලිගෙන, මෙම වැඩ වර්ජනය නවතා දැමීමට නිලධරය විසින් අර අදින බව ආරංචි වෙයි.

සමාජවාදී වැඩපිලිවෙලක් සහ විප්ලවවාදී නායකත්වයක්

අනධ්‍යන සේවක ඉල්ලීම් ඇතුලු කම්කරු පන්තියේ සමාජමය සහ ප‍්‍රජාතන්ත‍්‍රීය ඉල්ලීම්, අර්බුද ග‍්‍රස්ත ධනේශ්වර ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ලබාගත නොහැක. ලොව පුරා කම්කරු පන්තිය තම අත් දැකීමෙන්ම පසක් කර ගනිමින් සිටින්නේ එයයි. තමාට එරෙහි ප‍්‍රහාරයේ මූලය වන අර්බුදයට පත් ධනේශ්වර පද්ධතිය, ලෝක පරිමානව සැලසුම් කෙරුනු සමාජවාදී නිශ්පාදන අර්ථිකයකින් විස්ථාපනය කෙරෙන දේශපාලන අරගලයක් සඳහා කම්කරු පන්තිය පෙරට පැමිනිය යුතුය. ද්‍රෝහී සමිති නිලධරයෙන් බිඳී වෙන්වීම ඒ සඳහා පූර්ව කොන්දේසියකි. කම්කරුවන් තමන්ගේම ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින්, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදිය යුතුය.

එම ආන්ඩුවල මහා සමාගම් ද වතු ද බැංකු ද කම්කරුවන්ගේ ප‍්‍රජතන්ත‍්‍ර පාලනයක් යටතේ ජනසතු කිරීම ඇතුලු සමාජවාදී පිලිවෙත් ක‍්‍රියාවට නගමින් සමාජයේ බහුතරයකගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය තර්කාන්විත ලෙස සංවිධානය කරනු ඇත. එය සියලු විදේශ නය අහෝසි කරනු ඇත.

නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා ශුභ සාධන සේවා ද කම්කරුවන්ගේ හා නාගරික, ග‍්‍රාමීය පීඩිත ජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකගත හැක්කේ එවන් පදනමක් මත පමනි.

මෙම ඉදිරි දර්ශනය ගැඹුරින් සාකච්ඡා කෙරෙන සමාජවාදී සමානතා පක්ෂයේ රැස්වීමක් අගෝස්තු මස 9 වන දා සවස 4.00 ට කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ. එයට සහභාගි වන ලෙස අනධ්‍යන සේවකයන්ගෙන්, කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: