ස්වාධීනතා ප්‍රකාශනයේ සිට වසර දෙසිය හතලිහක්

Two hundred forty years since the Declaration of Independence

2016 ජූලි 4

අදින් වසර දෙසිය හතලිහකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය නිර්මානය කල ප්‍රත්‍යන්ත දහතුනක නියෝජිතයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් හා රාජාන්ඩුවෙන් බිඳී වෙන්වීම ප්‍රකාශයට පත් කරමින් ස්වාධීනතා ප්‍රකාශයට අත්සන් තැබූහ. මෙම ක්‍රියාව ඉන් වසර පනහකට පසුව ප්‍රකාශනය ලිවූ ප්‍රමුඛ ලේඛකයා වන තෝමස් ජෙපර්සන්ට අනුව, “[ඔවුන්ගේ] දම්වැල් බිඳ දැමීමට නැගී සිටින ලෙස මිනිසුන්ට කල සංඥාව යි. . .මනුෂ්‍ය සංහතියේ මහා ජනතාව උප්පත්තිය ලබා ඇත්තේ, ඔවුන්ගේ පිටෙහි සවි කල සෑදල ඇතුව නොවනවාක් මෙන් ම, දෙවියන්ගේ කරුනා මහිමයෙන් යුක්තිසහගත කරගත්, ඔවුන් දැක්කීමට සූදානම් වූ, සන් කටු සහිත බූට් සපත්තු පයලූ සුලු පිරිසක් වෙනුවෙන් ද නොවේ.”

ඇමෙරිකානු විප්ලවයට පෙර, වසර 2000කට ආසන්න කාලයක් තිස්සේ සමාජය පදනම්ව තිබුනේ, වංශාධිපතිත්වයේ මූලධර්ම, “පැවත්මේ මහා දම්වැල“ හා රජුන්ගේ දිව්‍යමය අයිතිය මත ය. විප්ලවය මගින් නිර්මානය කරනු ලැබුවේ, රදලයන්ගේ පාරම්පරික තනතුරු තහනම් කල, රාජාන්ඩුව නීති විරෝධී කල හා රාජ්‍යය පල්ලියෙන් වෙන් කෙරුනු සමාජයකි.

විප්ලවයෙන් මග පෙන්වනු ලැබූ පරිවර්තනය විස්තර කරමින්, ශ්‍රේෂ්ඨ ඉතිහාසඥ ගෝඩ්න් වුඩ් මෙලෙස ලිවී ය:

එක පන්තියක් තව පන්තියක් පෙරලා දැමුවා නොවේ: දුප්පතුන් පොහොසතුන් විස්ථාපනය කලා ද නොවේ. එහෙත් සමාජ සම්බන්ධතා -මිනිසා එකිනෙකාට සම්බන්ධ වෙන ආකාරය- වෙනස් කරනු ලැබූ අතර එය තීරනාත්මකවම සිදු කෙරිනි. දහනව වන ශතවර්ෂයේ මුල් වසරවල විප්ලවය විසින් නිර්මානය කෙරුනේ, දහඅටවන ශතවර්ෂයේ යටත්විජිත සමාජයෙන් අති මූලිකව වෙනස්වූ සමාජයකි. එය වනාහී, ලෝකයේ අන් ඕනෑම තැනක එදා මෙදා තුර පැවැති ඕනෑම සමාජයකට වෙනස්වූ නව සමාජයකි.

වුඩ් සටහන් කල ආකාරයට විප්ලවය, “ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත් ම රැඩිකල් හා වඩාත්ම දුරදිග යන සිදුවීම“ විය. එය, “කාන්තාවන්ගේ තත්වය ද ඇතුලු ජනතාවගේ පුද්ගලික හා සමාජ සබඳතාවන් රැඩිකල් ලෙස වෙනස් කලා පමනක් නොව, අවම වසයෙන් සහශ්‍රක දෙකක් පුරා බටහිර ලෝකය තුල පැවැති වංශාධිපතිත්වය විනාශ කර දැමීය.”

සැබවින්ම පලාත්බද හුදෙකලාව අරක්ගෙන පැවතියාවූ ඇමෙරිකානු විජිත තුල, පුනරුදයෙන් මුල්බැසගත්, අත්‍යන්තයෙන්ම රැඩිකල් හා වැඩි දියුනු ලක්ෂනයකින් යුත් සංකල්ප, හුදෙක් වැලඳගත්තා පමනක් නොව, පලමුවතාවට ක්‍රියාවට දමනු ලැබීම කැපී පෙනුනු ජයග්‍රහනයක් විය.

ඇමෙරිකානු විප්ලවය අහසින් වැටුනා නොවේ. විප්ලවවාදීන්මත් තමන් දැකගනු ලැබුවේ දාහත්වන ශතවර්ෂයේ ඉංග්‍රීසි විප්ලවයේ සමාජ ජයග්‍රහනයන්හි ආරක්ෂකයන් ලෙසිනි. එහෙත් යුරෝපීය මහද්වීපය අත්කරගෙන තිබූ ඕනෑම ජග්‍රහනයකටත් වඩා බොහෝ දුර ඇමෙරිකානු විප්ලවයේ බලපෑම පැතිර ගියේ ය.

ඇමෙරිකානු විප්ලවයේ ජග්‍රහනය, ප්‍රංශ විප්ලවය හා අනුක්‍රමයෙන් සිදුවූ ප්‍රජාතාන්ත්‍රික, සමානාත්මතා සහ සමාජයීය ව්‍යාපාර සියල්ල සඳහාම දෘෂ්ටිවාදාත්මක හා දේශපාලන ගාමකය සම්පාදනය කලේ ය. කාල් මාක්ස් ඇමෙරිකානු විප්ලවය පැසසුමට ලක්කලේ, “දහඅට වන ශතවර්ෂයේ යුරෝපියානු විප්ලවයට ප්‍රථම ආවේශය දෙනු“ ලැබ කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයේ පසුකාලීන වර්ධනයට හේතුභූතවූ කාරනයක් ලෙස ය.

ඉතිහාසයේ සෑම විශිෂ්ඨ සිදුවීම් වලදී මෙන්ම විප්ලවය ද ප්‍රතිවිරෝධයන්ගෙන් පුපුරා ගියේ ය. එය ධනේශ්වර විප්ලවයක්වූ අතර එයට නායකත්වය දුන් අයට එකල පැවැති සමාජ සම්බන්ධතාවන් මගහැර යා නොහැකි විය. එකී ප්‍රතිවිරෝධතාවල වැදගත්ම ඒවා අතර, සියලුම මිනිසුන් සමානව නිර්මානය කර ඇතැයි සඳහන් කල, ප්‍රකාශය අත්සන් කල මහද්වීපීය කොන්ග්‍රසයේ නියෝජිතයන්ගෙන් සැලකිය යුතු ප්‍රමානයකගේ ආර්ථිකය පදනම්ව පැවතුනේ වහල් ක්‍රමය මත ය යන කරුන පවතී. විප්ලවයේ නායකයන්ගෙන් බහුතරයක් වහල් හිමියන්වූ අතර වහල් සංස්ථාව හා තමන් ප්‍රකාශයට පත්කල මූලධර්ම අතර ගැටුම පිලිබදව හොඳින් දැනුවත්ව සිටියෝ ය. කෙසේ නමුත්, වුඩ් සඳහන් කල පරිදි:

අද අපි බොහෝදුරට සිදුකිරීමට කැමති පරිදි, විප්ලවය මගින් අත්කර නොගත් දේවල් මත අවධාරනය කේන්ද්‍රගත කිරීම - වහල්ක්‍රමය අහෝසි කිරීමට හා කාන්තාවන් බොහෝමයකගේ මූලික ස්වභාවය වෙනස් කිරීමට එය අසමත්වීම ගැන අවධාරනය කිරීම හා ඒ ගැන වැලපීම- එය ඇත්තටම අත්කරගත් දේවල්වල අතිමහත් වැදගත්කම මග හරියි. ඇත්ත වසයෙන්ම, විප්ලවය, දහනව සියවසේ වහල් විරෝධී හා කාන්තා අයිතීන් සදහාවූ ව්‍යාපාර හා එනයින් අපගේ වත්මන් සමානාත්මතා චින්තනය සිදුකල හැකි දෙයක් බවට පත් කලේ ය.

විප්ලවයේ විශිෂ්ටත්වය ප්‍රකාශිත කලේ හුදෙක්ම එය විසඳූ ප්‍රශ්න තුලින්ම නොවේ. එය ඉස්මතු කල නව්‍ය ප්‍රශ්නවලින් ද එය ප්‍රකාශයට පත් කෙරින.1776 ජූලි 4 දිනයේ ප්‍රගතිශීලි හා විප්ලවවාදී ඇඟවුම් ගැන සැකයක් ඇති කිසිවෙකු වේ නම්, එහි වඩාත්ම දැඩි ආරක්ෂකයෙකු වූ, මර්දනයේ පෞද්ගලික අත්දැකීම් අඩුනැතිව විඳ තිබෙන, වහල් භාවයෙන් ගැලවී ගත් වහලෙකු වසයෙන්, වහල්ක්‍රම විරෝධී ෆ්‍රෙඩ්රික් ඩග්ලස්ගේ වචනවලට ඇහුන්කම් දීම වඩාත් උචිත ය.

“වහලාට ජූලි 4 දිනයේ අර්ථය කුමක්ද?“ යන මැයෙන් 1852 ජූලි 5දා සිදුකල කතාවකදී ඩග්ලස්, ඔහුගේ ප්‍රේක්ෂකයින්ට කීවේ, “නිදහස් ප්‍රකාශනයට අත්සන් තැබූ අය නිර්භය මිනිසුන් ය. එමෙන්ම ඔවුන් විශිෂ්ඨ -විශිෂ්ඨ යුගයකට කීර්තිය දීමට තරම් විශිෂ්ඨ- මිනිස්සු ද වූහ. මට දැකීමට බලකෙරී ඇත්තේ ඔවුන්, බොහෝ සෙයින් ජනප්‍රිය නොවන වගයි, එසේ වුවත් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා අභිමානයකින් සිහිපත් නොකර සිටීමට මට නොහැකි ය.“

ඩග්ලස් මෙසේ ද පැවසී ය, “දැන් ව්‍යවස්ථාවේ පෙල කියවා ගෙන යන්න, එහි වහල් ක්‍රමයට පක්ෂපාතී එකදු පෙලක් සොයා ගැනීම මට නම් දුෂ්කර ය. එයට ප්‍රතිවිරුද්ධව, එය පදනම්ව ඇත්තේ, වහල්ක්‍රමයේ පැවැත්මට මුලුමනින් ම සතුරු මූලධර්ම හා අරමුනුවලින් යුක්ත පරිච්ඡේදවලිනි.“

වහල්ක්‍රමය ස්වාධීනතා ප්‍රකාශනයෙන් ඉදිරිපත් කල මූලධර්මවලට නිග්‍රහයක් බවත් සහ මෙකී මූලධර්ම අව්‍යාජ ලෙස ක්‍රියාවට දැමීමට නම් වහල්ක්‍රමය අහෝසි කල යුතුව තිබුන බවටත් ඩග්ලස් තර්ක කලේ ය. එම ප්‍රතිවිරෝධය විසඳනු ලැබුවේ, “දෙවනි ඇමෙරිකානු විප්ලවය“ වන සිවිල් යුද්ධය තුල ජීවිත 750,000කගේ වියදමිනි.

ඇමෙරිකානු විප්ලවයේ උරුමය, “මෙකී පරිහානිගත කාලපරිච්ඡේදයන් සමග සසදන කල, වඩාත් අනභිබවනීය ලෙස නැගී සිටී“ යන ඩග්ලස්ගේ තියුනු විවේචනය, අද දිනයේ ඇමෙරිකානු සමාජය හා දේශපාලන තත්වයට ඒ සමාන බලයකින් යුතුව යෙදිය හැක. ඇමෙරිකානු විප්ලවාදීන් අනුගිය මූලධර්ම, සංවර්ධිත ලෝකයේ වඩාත්ම අසමානතාවෙන් පිරුනු- නමින් හැර වංශාධිපතීන් වන- එක්සත් ජනපදයේ පසු කාලීන සමාජ හා දේශපාලන වර්ධනයට සපුරාම ප්‍රතිවිරුද්ධව පිහිටා සිටී.

සෑම ආකරයෙන්ම පැතිර පවත්නා මෙම ප්‍රතිගාමිත්වය, 1776 උරුමයට එල්ල කෙරෙන වැඩෙමින් පවත්නා පෙරනූවූ විරූ අශික්ෂිත දෘෂ්ටිවාදී ප්‍රහාරයක් සමග අත්වැල් බැදගෙන තිබේ. විප්ලවයට අවමන් කිරීම සදහා වන වියරු ආශාවේ පෙරමුන ගෙන සිටින්නේ, ඓතිහාසික කරුන සම්බන්ධයෙන් පරිපූර්න නොතැකීම මගින් පමනක් එදිරිව සිටින, මොනයම්ම හෝ අව්‍යාජ සමාජ අරගලයක් සම්බන්ධයෙන් අත්දැකීම් නැති අය බව, ජූලි 1දා වොක්ස්.කොම් තීරු ලිපි රචක ඩිලාන් මැතිව්ස් විසින් ලියා පල කල ලිපියක් මගින් සලකුනු කර තිබේ.

මැතිව්ස් මෙසේ ලියයි, “මෙම ජූලි 4, ලොකු අකුරෙන් ලිවීමට ඉඩ දෙන්න: 1776 ඇමෙරිකානු නිදහස දැවැන්ත අත්වැරැද්දකි. අප එක්සත් රාජධානියට ප්‍රශංසා නොකොට එය අත්හැරීමේ කරුන ගැන අප වැලපිය යුතු ය“. විප්ලවයෙන් නැගී ආ ආන්ඩුවේ රූපාකාරය හා සසඳන විට, “රාජාන්ඩුව, ඇතම්විට සංකීර්න ආකාරයෙන්, වඩාත් ප්‍රජාතාන්ත්‍රික විසඳුමවූ“ බව ඔහු පවසයි.

“ජනපදිකයන්ට විප්ලවයේ මූලික වරප්‍රසාදය වූයේ, එය ඇමෙරිකාවේ සුදු පිරිමි සුලුතරයට දේශපාලන බලය ලබා දීම“ බව සඳහන් කරමින්, පන්තිය නොව වර්ගය ඉතිහාසයේ හා දේශපාලනයේ අතිමූලික කොටස ය යන ග්‍රස්තිමය හා සදොස් අවධාරනයෙන් යුතුව, අනන්‍යතා දේශපාලනයේ ආස්ථානයෙන් ඔහු රාජාන්ඩුවට ක්ෂමාලාප ඉදිරිපත් කරයි.

සයිමන් ක්ෂාමා වැනි ශාස්ත්‍රාලිකයන් අනුගමනය කරමින් මැතිව්ස් තර්ක කරන්නේ, ඇමෙරිකානු විප්ලවවාදීන් නොව බ්‍රිතාන්‍ය රාජාන්ඩුව, පීඩිතයන්ගේ විමුක්තියේ සැබෑ උපදේශකයාවූ බව යි. විප්ලවය “පලමුව හා ප්‍රමුඛව වහල්ක්‍රමය ආරක්ෂා කිරීමට යොමුවූවක්“ බව ඇමෙරිකානු විප්ලවය අවමානයට ලක් කිරීමට ක්‍රියාත්මක වූ ප්‍රතිගාමී ඉතිහාසඥයින්ගේ ප්‍රයත්නවල ප්‍රකාශකයෙක් වන ක්ෂාමා, ඔහුගේ රෆ් ක්‍රොසින්ග්ස්හිදී සඳහන් කරයි.

තමන්ගේ අරමුන වෙනුවෙන් වහලුන් බඳවා ගැනීමේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ප්‍රයත්නයන් ක්ෂාමා හා මැතිව්ස් යන දෙදෙනාම උත්කර්ෂයට නංවන්නේ, හරියට මෙම උපාය බ්‍රිතාන්‍ය රාජාන්ඩුවේ ප්‍රතිවිප්ලවවාදී අරමුනු වෙනස් කලා සේ ය. (සටහන් කල යුතු කාරානාවක් වන්නේ, ප්‍රංශ විප්ලවය වෙත විෂකුරු ප්‍රහාරයක් දියත් කිරීමට ක්ෂාමා තවත් පොතක් කැපකර තිබෙන බව ය.)

විප්ලවයට එරෙහිව වහලුන් සංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය දැරූ ප්‍රයත්නය කෙරේ “කෝපය,කෙතරම් ගැඹුරු වී ද යත්, තෝමස් ජෙපර්සන් එය නිදහස් ප්‍රකාශන කෙටුම්පත තුල මැසිවිල්ලක් වසයෙන් ඇතුලත් කල බව, මැතිව්ස් වොක්ස්.කොම්හි ඔහුගේ තීරු ලිපිය තුල කියා පායි. මේ නම්, එවැනි තර්කවල අඩංගුවන බුද්ධිමය වංචනිකත්වය ගැන උදාහරනයකි. මහද්වීප කොන්ග්‍රසය තුල වහල්-හිතැති කොටස්වල බලපෑම යටතේ අනුක්‍රමයෙන් ක්‍රියාවේ යෙදවූ, මැතිව් මතුරන උපුටා දැක්වීම, සම්ප්‍රදායික වහල්ක්‍රමය දැඩි ලෙස හෙලාදැකීමේ කොටසකි. ජෙපර්සන් ලීවේ, ජෝර්ජ් රජතුමා,

. . .කිසිදිනෙක ඔහුට හානි සිදුනොකල දුර ඈත සිටින මනුෂ්‍යයින්ගේ වඩාත්ම ශුද්ධ අයිතීන් වන ජීවත්වීමට හා නිදහස සඳහා ඇති අයිතිය උල්ලංඝනය කරමින්, ඔවුන් බලාත්කාරයෙන් ඩැහැගෙන වෙනත් අර්ධගෝලයක වහල් මෙහෙයට ඇදගෙන යමින් හා එසේ ගෙන යන අතර කාලකන්නි මරනයට ගොදුරු කරමින්, මනුෂ්‍ය ස්වභාවයටම එරෙහි කෘර යුද්ධයක් ගෙන ගියේ ය. . .

දැන් ඔහු කම්පාවට පත්ව ඇත්තේ, එම මිනිසුන් අතරට බලෙන් කඩා වැදී, ඔවුන් ඝාතනය කරමින්, ඔහු ඔවුන්ගෙන් උදුරාගත් නිදහස යලි අත්කර ගැනීමට එම ජනයාම අප අතර සිටිමින් සන්නද්ධව නැගී සිටීම ගැන යි.

කල්තියාම දැකගත හැකිවූ පරිදි වොක්ස් හි පලවූ 1776 පිලිබඳ ප්‍රතිගාමී හෙලාදැකීම, නිව්යෝක් ටයිම්ස්හි පලවූ උපදේශාත්මක කොලමක් තුල සැබවින්ම එවැනිම තර්කවලින් අනුමත කර ඇත්තේ, “වහලුන්ගේ කැරලි පිලිබඳ භීතියකින් ඇමෙරිකානු නිදහස ආවේශ ගැන්වුයේ ද?“ යන සිරසින් පලකල ලිපියකිනි. එහි කතෘ බින්හැම්ටන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ සහාය මහාචාර්ය රොබට් එෆ්. පාකින්සන් මෙසේ ලිය යි:

ශතවර්ෂ දෙකකට වැඩි කලක් තිස්සේ, අප ස්වාධීනතා ප්‍රකාශනය කියවමින් සිටින්නේ වැරැදි ආකාරයට ය. එසේත් නැතිනම්, අප ප්‍රකාශනය සමරමින් සිටින්නේ දහනව වැනි සහ විසිවැනි සියවස්වල මිනිසුන් අපට කියා ඇති ආකාරයට මිස, තෝමස් ජෙපර්සන්, බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් සහ ජෝන් ඇඩම්ස් ලියූ ආකාරයට නොවේ. ඔවුන්ට අනුව බ්‍රිතාන්‍යයෙන් වෙන්වීම, බෙහෙවින්ම වාර්ගික භීතිය පිලිබඳ සහ අහිමිකල නොහැකි අයිතීන් බැහැර කිරීම පිලිබඳ කාරනාවක් විය.

පාකින්සන්ට අනුව, ජෙෆර්සන්, ඇඩම්ස් හා ෆ්‍රැන්ක්ලින් (රතු) ඉන්දියන් විරෝධී හා කලු දාමරික විරෝධී මනෝගතීන් ඇවිස්සීමට ඔවුන් සතු බලය යොදා කලහැකි සියල්ල කිරීමත් සමග, විප්ලවවාදී යටත්විජිතවාසීන් අතර විසකුරු වර්ගවාදයේ මනෝගතියක් පැතිර ගියේ ය. සහාය මහචාර්යවරයා මෙසේ ලියයි:

ආදීකතෘන්ට මෙහිලා සමාව දීමටත්, එයට අවසර පත්‍රයක් දීමටත් අපි කැමති ය. සියල්ලටමත් පසුව මේ තුල, ඇමෙරිකානු ඉතිහාසය සහ අන්‍යතාව ගැන වඩාත්ම වැදගත් ලේඛනය තුල සියලු දෙනාම “සමානව නිර්මානය කර ඇතයි“ යන්න ගැන ඇබිත්තක් ඇත. [අවධාරනය ඈදින]

පාකින්සන්ට අනුව, ඉංග්‍රීසි භාෂාවෙන් මේ දක්වා ලියන ලද විවාදාත්මක හා වඩාත්ම ප්‍රසිද්ධ හා දේශපාලනික වසයෙන් වැදගත් වාක්‍ය ඛන්ඩ මේවා ය, “අප මෙම සත්‍යයන් ස්වයං සාක්ෂි ලෙස පිලිගනිමින්, නිශ්චිතව අහෝසි කල නොහැකි අයිතීන් සමග ඒවායේ නිර්මාපකයා විසින් ප්‍රදානය කරන ලද ජීවත්වීම, නිදහස හා සතුට අත්කර ගැනීම ඇතුලු සියලුම මිනිසුන් සමානව නිර්මානය කර ඇත යන්න හුදෙක්ම “ඒ සා ඇබිත්තකි“.

ප්‍රථම ඇමෙරිකානු විප්ලවය අවමානයට හා අපකීර්තියට පත් කිරීමට දැරෙන ප්‍රයත්න වනාහී, සාරාර්ථයෙන්ම, පන්ති සූරාකෑම මත පදනම්වූ වඩ වඩාත් පුලුල්වන සමාජ අසමානතාව දෘෂ්ටිමය වශයෙන් යුක්තිසහගත කිරීමට දැරෙන ප්‍රයත්නයකි.

සමාජවාදී ව්‍යාපාරය, ඇමෙරිකානු විප්ලවය සහ මානව සමානතාව ගැන එහි ප්‍රකාශනය සැමවිටම වැලඳගෙන තිබේ. වෙනස්වන දේ වෙනස් විය යුතු ය, මිනිසාගේ අයිතීන් ගැන එහි ප්‍රකාශය සමග ස්වාධීනතා ප්‍රකාශනය තුල විස්තාරනය කෙරී ඇති මූලධර්ම, සමාජවාදී ව්‍යාපාරය ආවේශ ගැන්වූ සංකල්පවල දෘෂ්ටිමය, දේශපාලනික හා සදාචාරමය පදනම නිර්මානය කර ඇත.

වසර දෙසිය හතලිහකට පසුව, මිලියන 320ක් ජනයා වෙසෙන යෝධ හා සංකීර්න භූමියක, ඇමෙරිකානු විප්ලවයේ සමානාත්මතා මූලධර්ම අතිබහුතරයක් ජනයාගේ විඤ්ඤානය තුල බලගතු ආකරයෙන් හා අනවරතයෙන් රාව ප්‍රතිරාව නංවමින් තිබේ.

ආන්ද්‍රේ ඩේමන්

Share this article: