තුර්කි කුමන්ත‍්‍රනය, එක්සත් ජනපද මිලිටරිවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳ වැටීම

The Turkish coup, US militarism and the collapse of democracy

2016 ජූලි 22

තුර්කි ජනාධිපති රෙසෙප් ටේයිප් අර්ඩෝගන් පලවා හැරීමේ අසාර්ථක කුමන්ත‍්‍රනයෙන් සතියකට පසුව පැහැදිලි වන්නේ, ඉස්තාන්බුල් හා අන්කරා නගර දෙදෙරුම් කැවූ ලේවැකි සිදුවීම් තුල නිසැකවම වොෂින්ටනය ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බව යි.

එක්සත් ජනපදය යුරෝපයේ තම විශාල න්‍යෂ්ටික අවි සංචිතය ගබඩා කර ඇත්තා වූ ද, ඉරාකය හා සිරියාවට එරෙහිව බෝම්බ දැමීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කරන්නා වූ ද ඉන්සිර්ලික් ගුවන් හමුදා කඳවුරේ අනදෙන්නා ද ඇතුලුව පෙන්ටගනය සමග කිට්ටු සම්බන්ධකම් ඇති තුර්කි මිලිටරි අඥාපතීන් කුමන්ත‍්‍රන ප‍්‍රයත්නයට ඍජුව සම්බන්ධ වී ඇත. කුමන්ත‍්‍රනයට සහාය දක්වමින් බහුවිධ ගුවන් යානයක් ඉන්සිර්ලික් කඳවුරෙන් පිටත්ව ගිය අතර ඒ එක්සත් ජනපද මිලිටරියේ අනුදැනුම ඇතිව ය. කුමන්ත‍්‍රනය අසාර්ථක වනු ඇතැ යි පැහදිලි වූවාට පසුව තුර්කි කඳවුරේ අනදෙන්නා එක්සත් ජනපදයේ රැකවරනය ඉල්ලා සිටියේ ය.

කුමන්ත‍්‍රනයක් සිදුවෙමින් ඇති බවට අනතුරු ඇඟවීම නිකුත්වී තිබුනේ, කුමන්ත‍්‍රන සැලැසුම්කරුවන් අතර සිදු වූ ගුවන් විදුලි පනිවිඩ හුවමාරු වලට ඇහුම්කන් රුසියාව, එම්අයිටී නමින් ප‍්‍රසිද්ධ තුර්කියේ ජාතික ඔත්තු සේවා සංවිධානයට ඒවා සම්ප‍්‍රේෂනය කල පසුව බව බදාදා වන විට හෙලි විය. ඝාතනය කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සඳහා තුර්කි ජනාධිපති අර්ඩෝගන් නිවාඩුව ගත කරමින් සිටි මුහුදු බඩ නිවාඩු නිකේතනයට විශේෂ මෙහෙයුම් සේනාංකයක් යැවීමට සැලසුම් කෙරී තිබුන අතර පැනයාම සඳහා පැය භාගයක කාලයක් ඇතිව අනතුරු ඇඟවීම ඔහු වෙත යවා තිබුනි.

කලාපය තුල අති විශාල හමුදා රැඳවුම් හා සීඅයිඒ සංවිධානය හා මිලිටරිය සන්තකයේ බොහෝ ව්‍යාප්ත විද්‍යුත් සෝදිසි කිරීමේ ජාලයක් සහිත එක්සත් ජනපදයට, එකී පනිවිඩ හුවමාරු පිලිබඳ දැනුමක් නො තිබෙන්නට ඇතැ යි සිතිය හැකි ද?

ඇමරිකානු මිලිටරිය හා ඔත්තුසේවා විසින් තොරතුරු තුර්කි ආන්ඩුවට සම්ප‍්‍රේෂනය නො කෙරුනේ නම් ඊට හේතුව පැහදිලි ය. ඔවුන් සිටියේ කූමන්ත‍්‍රන කූටෝපායට සම්බන්ධව ය. අර්ඩෝගන්ට මෙසේ අනතුරු ඇඟවීම ඔබාමාට අවශ්‍ය නොවී ය: ඔහුගේ (මාගේ) මරනය ඔහුට අවශ්‍යව තිබුනි.

ඊට පසුවය කුමන්ත‍්‍රනය පිලිබඳ වොෂින්ටනයේ පලමු ප‍්‍රතිචාරය පල වූයේ: එය නිකුත් කෙරුනේ, ඒ වන විට මොස්කව්හි සිටි රාජ්‍ය ලේකම් ජොන් කෙරීගෙනි. “තුර්කිය තුල ස්ථාවරත්වය හා සාමය පවත්වා ගැනීම” සඳහා ඇමරිකාවේ බලාපොරොත්තු ප‍්‍රකාශ කිරීමට පමනක් කෙරී සීමා වුනි. මිලිටරි මෙහෙයුමට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව තෝරා ගැනුනු ආන්ඩුව ආරක්ෂා කිරීම ගැන සඳහන් නො වුනි. එරට ජනාධිපති අර්ඩෝගන්ගේ ඉරනම පිලිබඳ උනන්දුව පල කෙරෙන ප‍්‍රකාශනයක් ගැන කීමට අවශ්‍ය නැත.

“තුර්කියේ පැවැත්ම” වෙනුවෙන් සහාය ප‍්‍රකාශ කිරීමේ දී කෙරී, නිශ්චිතව සඳහන් කරන දෙය වටහා ගත හැක්කේ, පසු ගිය 70 වසර තුල එක්සත් ජනපද-තුර්කි සම්බන්ධතාවන්ගේ සන්දර්භය තුල පමනි. 1947 සීතල යුද්ධය ආරම්භයේ දී එක්සත් ජනපදය, ටෲමන් ප‍්‍රවාදය ප‍්‍රසිද්ධ කල අතර එය, සෝවියට් ආක‍්‍රමනයකට එරෙහිව ග‍්‍රීසිය හා තුර්කිය යන දෙරට ආරක්ෂා කිරීමට ප‍්‍රතිඥා දුන්නේය.

එක්සත් ජනපද ආධාර, මිලිටරි උපදේශකයින් හා ගුවන්යානා හාරක නැව් කඩිමුඩියේ තුර්කියට ගෙන ආ අතර, මධ්‍යධරනී මුහුදට කලු මුහුද සම්බන්ධ කෙරෙන මූලෝපායික මුහුදු මාර්ගය වන තුර්කි සමූද්‍ර සන්ධිය හරහා මූලෝපායික මුහුදු මාර්ගයක් සඳහා ඉදිරිපත්වූ මොස්කෝවේ ඉල්ලීමට අවහිර කිරීමේ දී සහාය වනු පිනිස ඒ පියවර ගනු ලැබින. 1952දී තුර්කිය නේටෝවට බඳවා ගත් අතර සෝවියට් සංගමයට එරෙහිව එක්සත් ජනපද මිලිටරි තල්ලුවේ දශක හතරක කාලය තුල තුර්කිය එහි වැදගත් සාමාජිකයෙක් ලෙස පැවතිනි.

මෙම “පැවැත්ම” ඉදිරියට ගෙන යාමේ උත්සුකයන් හමුවේ තුර්කිය තුල සිදුවූ මිලිටරි කුමන්ත‍්‍රන මාලාවකට වොෂින්ටනය පිටු බලය දුන්නේ ය. පලමු වැන්න 1960දී තුර්කි අගමැති අද්නාන් මෙන්ඩෙරෙස්ට එරෙහිව ය, ඔහුගේ ඉරනමට (ඔහු එල්ලා මරන ලදී) මුද්‍රා තැබුනේ, ආර්ථික ආධාර සඳහා ඔහු රුසියාව දෙසට හැරීමෙන් පසුව ය.

2003 සිට 2014 දක්වා අගමැති වූ ද ඊට පසු ජනාධිපති ද වන අර්ඩෝගන් ද ඒ සමාන ගැටලුවලට මුහුන දී ඇත. දක්ෂිනාංශික ඉස්ලාම්වාදී පක්ෂය වන ඒකේපී ය තුල ඔහුගේ ග‍්‍රහනය රැක ගැනීමේ අවශ්‍යතාව මත ඔහු ජාතිකවාදී ප‍්‍රතිපත්තියක් පසු පස ගිය අතර, එය යලි යලිත් වොෂින්ටනය සමග පැටලිලි ඇතිකර ගත්තේය. 2003දී ඉරාක ආක‍්‍රමනය සඳහා සිය භූමිය යොදා ගැනීම පිනිස ඇමරිකාවට ඉඩ දීම තුර්කිය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. 2010දී, ඉරානයට එරෙහි එක්සත් ජනපද සම්බාධක පැනවීමේ උත්සාහයට සහාය දීමට එරට අසමත් විය. එමෙන්ම 2013දී තුර්කිය, වොෂින්ටනය හා නේටෝව තිගස්සමින්, චීනයෙන් මිසයිල්-විරෝධී පද්ධතියක් මිල දී ගැනීමේ සැලැසුම් නිවේදනය කලේය.

සිරියාව තුල තන්ත‍්‍ර වෙනස සඳහා වන මිලිටරි සම්බන්ධතා තව දුරටත් පලුදු වී ඇත. එහි දී අල් කයිඩාවට බැඳුනු ඉස්ලාමීය මිලීෂියා හමුදාවන්ගේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා තුර්කිය වන අතර, වොෂින්ටනය වඩ වඩා බැඳීම් තර කර ගෙන ඇත්තේ, සිරියාවේ කුර්දි මිලීෂියා හමුදාවන් සමග ය. අනෙක් අතට ඇමරිකාව පීකේකේ සංවිධානය සමග මිත‍්‍ර ය. පීකේකේ යනු අන්කාරාව සමග යුද්ධයක පැටලී සිටින තුර්කි කුර්දි ව්‍යාපාරය යි.

2015 නොවැම්බරය තරම් මෑත දී, රුසියානු යුද ගුවන් යානායක් හිතා මතා වෙඩි තබා බිම හෙලීම සම්බන්ධයෙන් මොස්කව් පාලනයෙන් අර්ඩෝගන් සමාව ගැනීම ද ව්ලැඩිමීර් පුටින්ගේ ආන්ඩුව සමග නැවතත් මිත‍්‍රවීමේ සාකච්ඡා ද සිදුව ඇත.

කුමන්ත‍්‍රනය ඉක්බිත්තේ ඔබාමා සමග දුරකතන කථාබහක යෙදීමට බොහෝ කලින් අර්ඩෝගන්, පුටින් සමග සාකච්ඡා කලේ ය. එමෙන් ම අඟහරුවාදා ඉරාන ජනාධිපති හසාන් රෝහානි සමග සාකච්ඡාවක දී අර්ඩෝගන් මෙසේ ප‍්‍රකාශ කලේ ය, “ඉරානය හා රුසියාව සමග අත්වැල් බැඳ ගනිමින් හා කලාපයට සාමය හා ස්ථාවරත්වය යලි ගෙන ඒමේ අපගේ උත්සාහය සමග, කලාපීය ප‍්‍රශ්න විසඳා ගැනීමට අපි අධිෂ්ඨාන සහගත වෙමු.”

කලාපය තුල එවැනි මූලෝපායික යලි පෙලගැසීමක් විඳ දරා ගැනීමේ අභිලාෂයක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට නැත. මිලිටරි කුමන්තුනයක පිහිට පැතීම, සහාසික අපරාධකාරී ප‍්‍රතිපත්තියක් බව නිසැකය. එය සාර්ථක වූයේ නම් විය හැකි ප‍්‍රතිඵලය, සිවිල් යුද්ධය හා මිනිස් සංහාරයකි. එය එක්සත් ජනපදය පිටුබලය දුන් ඊජිප්තුවේ ලේවැකි කුමන්ත‍්‍රනය පරයා යනු ඇත.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දැනටමත්, තම භූ-මූලෝපායික උත්සුකයන් හඹායාමේ දී ඉරාකය, ලිබියාව හා සිරියාව සුනු විසුනු කර ඇති අතර, මිලියන ගනනාවක් ඝාතනය කර හා අංග විකල බවට පත් කර ඇත. තුර්කියට එසේ නොවිය හැක්කේ කෙසේ ද?

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරිවාදී උත්සන්නිය සමගින් තුර්කිය සමග ආතතීන් මතුව ඇත. කුමන්ත‍්‍රනය සිදුවූයේ, රුසියාවේ බටහිර දේශසීමාවේ මිලිටරි ස්ථානගත කිරීම් දැවන්ත ලෙස උත්සන්න කිරීම හා ඍජු ප‍්‍රහාරයකට, උදාහරනයක් ලෙස, මොස්කෝව සමග න්‍යෂ්ටික ගැටුමකට සූදානම් වීම සඳහා වෝර්සෝවේ පැවති නේටෝ සමුලුවක් සංයුක්ත සැලැසුම් සකස් කිරීමෙන් යන්තම් සතියකට පසුව ය.

ආසියාවේ දී බීජීනයට එරෙහිව ප‍්‍රධාන මිලිටරි මෙහෙයුමක් සඳහා කඩතුරාව ලෙස දකුනු චීන මුහුද තුල, චීනයේ අයිතිවාසිකම් කීමට එරෙහිව, ස්ථාවර බේරුම්කාර අධිකරනයේ තීන්දුව පාවිච්චි කිරීමේදී එක්සත් ජනපදය තම උත්සුකයන් පෙරටුකොට ගනු ඇත.

එම අරමුන වෙනුවෙන් හා එක්සත් ජනපද මිලිටරි ශක්තිය සමගින් චීනයට තර්ජනය කරන යුදවාදී කතා පැවත්වීමට හා ඕස්ට්‍රේලියානුවන් කැමති වුවත් නැතත් ඔවුන් එක්සත් ජනපද යුද වැඩසටහනට ඇද ගනු ඇති බව වඩාත් ප‍්‍රබල ලෙස ඔවුන්ට පෙන්වා දීමටත් ඔබාමා පාලනාධිකාරිය උප ජනාධිපති ජෝ බිඩෙන් ඕස්ට්‍රේලියාවට පිටත් කලේ ය. “එක්සත් ජනපදයට එරෙහිව එකටෙක කිරීම කිසි දා යහපත් නො වේ” යයි ඔහු ප‍්‍රකාශ කලේ ය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නො දුටු පරිමාවක මිලිටරි ගැටුමකට එක්සත් ජනපදය ගමන් කරමින් සිටී. තම යුද සැලැසුම් මාවතේ සියලු බාධක කුඩුකර දැමීමට එය අධිෂ්ඨාන සහගත ය. ඇමරිකාවේ නොවැම්බර් මැතිවරනය ඉක්බිත්තේ, එසේ නැත්නම් ඊට පෙර මහා කම්පන ඇති වීමට නියමිත ය.

මිලිටරිවාදයේ වර්ධනය හා ලෝක යුද්ධ සඳහා සූදානම ග‍්‍රහලෝකයේ කිසිම තැනක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පවත්වා ගෙන යාම සමග නො පෑහේ. යුද්ධය සඳහා වන ගමන තීව‍්‍ර කරමින් හා වේගවත් කරමින්, එක් රටකින් පසු තව රටක් තුල ඒකාධිපතිවාදී ක‍්‍රමවේදයන් දෙසට හැරීම වේගවත් වී ඇත. එම හැරීම මුල් බැස ඇත්තේ, ලෝක ධනේශ්වරයේ ප‍්‍රගාඪ අර්බුදය, සමාජ අසමානතාවේ අපාලිත වර්ධනය සහ 2008 මූල්‍ය අර්බුදය ඉක්බිත්තේ ඇතිව තිබෙන පන්ති ආතතීන් තුල ය.

තුර්කිය තුල ම ද, අධිරාජ්‍යවාදී පිටුබලය ලත් කුමන්ත‍්‍රනයේ පරාජය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යම් පිබිදීමක් නො ව පැහැදිලි කරන්නේ, දක්ෂිනාංශික ඒකාධිපතිත්වයක, පැලදියම් වීමකි. ආඥා මගින් පාලනය ගෙන යාමට අර්ඩෝගන් තමන් වෙත බලය පවරා ගෙන ඇත. ඔහුට විරුද්ධ යැයි පෙනෙන දස දහස් ගනනක් පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් හා මරන දන්ඩනය යලි ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටියි.

බටහිර ධනේශ්වර විවේචකයින්ට හොඳ නරක කියා දෙමින් දුන් පිලිතුරක දී, තුර්කි ජනාධිපති, තමා දැන් කරමින් සිටින්නේ, ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද් කරන දේ ම බව කියා සිටියේය. ඔලන්ද් දැන් පාලනය ගෙන යමින් සිටින්නේ, ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ කඩතුරාවක් ලෙස අටවන ලද නමුත් වැඩෙන සමාජ ආතතියට හා කම්කරු පන්තියේ නොසන්සුන්තාවන් ට එරෙහිව එල්ල කරෙන්නා වූ ද ස්ථාවර වෙමින් පවතින හදිසි නීති තත්වයක් යටතේ ය.

ජූලි 15වැනිදා අසාර්ථක කුමන්ත‍්‍රනය තුර්කි මිලිටිරිය විසින් බලය අල්ලා ගැනීමට දරන උත්සාහයේ අවසානය සලකුනු කරන්නේ ද නැද්ද යන්න ම විවෘත ප‍්‍රශ්නයකි. එරට ප‍්‍රධාන කාර්ය මන්ඩලයෙන් තුනෙන් එකක් අත්අඩංගුවේ සිටිය දී, සන්නද්ධ හමුදා පවතින්නේ කැකෑරෙන තත්වයක ය. තව ද තම මූලෝපායික කක්ෂයෙන් පාවී යාමට තුර්කියට නිදහසේ ඉඩ දීමට වොෂින්ටනය සූදානම් ද නැත.

තුර්කි සිදුවීම් කම්කරු පන්තියට සපයා දී ඇත්තේ පැහදිලි පාඩමකි. එනම් අධිරාජ්‍යවාදී යුද්ධය හා මිලිටරිවාදයට එරෙහිව හා ඒවා මුල් බැස ඇති ධනේශ්වර පද්ධතියට එරෙහිව එක්සත් ජාත්‍යන්තර අරගලයකට පිටතින්, මූලික සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ මගක් නොමැති බව ය.

බිල් වෑන් ඕකන්

Share this article: