පිලිපීන පොලීසිය හා නිල නොලත් ඝාතකයෝ දුතර්තේ ආන්ඩුවේ පලමු සතිය තුල 72 ඝාතනය කරති

Philippine police and vigilantes kill 72 during first week of Duterte government

ජෝශප් සැන්ටොලන් විසිනි, 2016 ජූලි 9

අලුතින් බලයට පත්වූ ජනාධිපති රොද්‍රිග්‍රෝ දූතර්තේගේ පිලිපීන පාලනයේ පලමු සතියේ දී, පොලීසීය හෝ නිල නොලත් ඝාතකයින් විසින් අපරාධවලට චෝදනා ලැබූ හෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධවීමේ චෝදනා මත පුද්ගලයන් 72ක් මරා දමා ඇත.

මැතිවරන ව්‍යාපාරය තුල දූතර්තේ, නීතියේ හා සාමයේ නාමයෙන්, චෝදනා ලැබූ අපරාධකරුවන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඝාතනය කිරීම් වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටි අතර ජූනි 30වැනිදා ජනාධිපති ලෙස වැඩ බාර ගත්තේය.

මැයි මස මුල බලයට පත්වූ තැන් පටන් දූතර්තේ, පිලිපීනයේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ (සීපීපී) හා එහි පෙරමුනු සංවිධානයන්ගේ ප්‍රබල සහායක් ලබා ඇත. ඡන්දයෙන් පත්වුනු එහි පෙරමුනු සංවිධානයන්ගේ සීසීපී නියෝජිතයින් හතරදෙනෙකුට දූතර්තේ කැබිනට් තනතුරු පිරිනැමී ය. මෑත දී පත් කරන ලද ලීසා මාසා, ජාතික දරිද්‍ර-විරෝධී කේන්ද්‍රයේ ප්‍රධානියා වනු ඇත.

දූතර්තේගේ ආරම්භක කතාව හා පලමු කැබිනට් රැස්වීමෙන් පසුව සීපීපී පෙරමුනු සංවිධාන ජූනි 30වැනිදා සන්ද්‍යාවේ දී, දූතර්තේගේ ඉල්ලීම මත කම්කරු පන්තික හා නාගරික දිලිඳු ජනයා වෙසෙන ටොන්ඩෝ හි රාත්‍රී භෝජන සංග්‍රහයක් පිලියෙල කලේ ය. එයට ප්‍රජා සාමාජිකයින් 500ක් රැස්ව සිටියේය.

ඔහු එම අවස්ථාවේ පැවැත්වූ කතාවට පලවූ අත්පොලසන් හඬ මධ්‍යයේ දුතර්තේ, මධ්‍යයේ තමා “වාමාංශිකයෙකු” බවත් කොමියුනිස්ට් පක්ෂය සමග වැඩකිරීමෙන් සතුටට පත්වන බව ත් පැවසී ය. ඔහු කතාව සමාප්ත කලේ හොර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෙලා දකිමිනි, “මෙම බැල්ලිගේ පුත්තු ඔබගේ දරුවන් විනාස කරනවා.” ඔහු ප්‍රේක්ෂකයින්ට පැවසුවේ, “ඔබ යම්කිසි මත්ද්‍රව්‍ය සොඬෙකු දන්නේ නම් ඔහු මරා දැමිය යුතුය.” යනුවෙනි.

ඊලඟ දිනයේ උදෑසන, පිලිපීන ජාතික පොලිස් සේවාවේ (පීඑන්පී) ප්‍රධානි ලෙස අධ්‍යක්ෂ ජනරාල් රොනාල්ඩ් ඩි ල රෝසා පත් කිරීමේ උත්සවය අතරතුර දී දුතර්තේ, පිලිපීන ජාතික පොලීසිය ඇමතී ය. ඔහු පොලීසියට මෙසේ පැවසී ය, “ඔබ ඔබගේ රාජකාරිය ඉටු කිරීම සඳහා පුද්ගලයන් දාහක් මරන්නේ නම්, මම ඔබව ආරක්ෂා කරන්නෙමි. අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වන” ඕනෑ ම අයෙකු “මර දමනු” ඔහු පොලීසියට උපදෙස් දුන්නේ ය.

එදින ම පොලීසිය චූදිත අපරාධකරුවන් 12කු ඝාතනය කලේ ය. නිල නොලත් ඝාතකයෝ තවත් දෙදෙනෙකු මරා දැමූහ. පසු දින පොලීසිය විසින් හත්දෙනෙකු ද නිල නොලත් ඝාතකයින් විසින් පස්දෙනෙකු ද වශයෙන් 12ක් මරා දැමූහ.

ජූලි 7වැනිදා වන විට ලේ වැකි කඩා ව්‍යාපාරය හමුවේ පුද්ගලයින් 72ක් ඝාතනය කර තිබුනි. පොලීසිය විසින් 43ක් ද නිල නොලත් ඝාතකයින් විසින් 29ක් ද වශයෙනි.

මැරුනු බොහෝ අයගේ විස්තර පැහැදිලි නොවන නමුත් ඝාතනය කෙරුනු බොහොමයක් ක්‍යුයිආපෝ, මුන්ටින්ග්ලූපා හා ටොන්ඩෝ වැනි සාමාන්‍යයෙන් දුගී ප්‍රදේශවල ජීවත්වන අයයි.

මැරයින් විසින් ඝාතනය කරන ලද අයගේ මෘතදේහවල අංගඡේදනය කර තිබුනි. ඔවුන්ගේ දේහ කුදලා, ඇස් බැඳ, හිසේ පසු පසට වෙඩි තබා තිබූ නි. “මම මත් සොඬෙකි, මා අනුගමනය නො කරන්න” යන සංඥා දේහවල එල්ලා තිබුනි.

පොලිස් ඝාතන හැම විට ම කෙරී තිබුනේ, මරන දන්ඩනය දීමේ ආකාරයකට ය, ගොදුරුවූවන් “ අත්අඩංගුවට ගැනීමට විරෝධය පාන” ලදැ යි කෙටියෙන් මවා පෙන්වීමටවත් උත්සාහ ගෙන නො තිබුනි. උදාහරන වසයෙන්, ජූලි 6වැනිදා මාංචු සහිතව අත්අඩංගුවේ සිටි සහෝදරයින් දෙදෙනෙක් පොලීසිය විසින් ඝාතනය කරන ලදී.

මේ අතර දුතර්තේ ඔහුගේ ෆැසිට්වාදී න්‍යායපත්‍රයේ අනෙකුත් අංග ක්‍රියාවට නගමින් සිටී. ඔහු ව්‍යවස්ථාදායක මන්ත්‍රී මන්ඩල දෙකේ ම බහුතරය පාලනය කරන අතර මරන දන්ඩනය යලි පැනවීමට හා අපරාධයක් සඳහා වග කිව යුතු අවම වයස තව දුරටත් පහල දැමීමට යෝජනා කරයි.

අනුප්‍රාප්තික පාර්ලිමේන්තු කතානායක පැන්ටලියොන් අල්වාරෙස්, මරන දන්ඩනය යලි හඳුන්වා දෙන අංක 1 පාර්ලිමේන්තු පනත කෙටුම්පත් කරමින් ඊට ප්‍රතිචාර දක්වා ඇත. පනත දැනට මුහුන දෙන එක ම සැලකිය යුතු විවාදය, දඬුවම ක්‍රියාත්මක කල යුත්තේ මාරාන්තික එන්නතකින් ද නැතහොත් එල්ලා මැරීමෙන් ද යන්න යි. ප්‍රසිද්ධියේ එල්ලා මැරීම “ නිවාරකයක් නොව පව් පලදීමක්” ලෙස විස්තර කරමින් දුතර්තේ, දෙවැනි දන්ඩනයට බලගතු ලෙස පක්ෂව පෙනී සිටියේය. සෙනෙට් සභික මානි පැකිනෝ, එල්ලා මරා දැමීම ශඛ්‍ය කරනු ඇති කෙටුම් පතක් ඉදිරිපත් කර ඇත.

අපරාධයකට වග කිව යුතු අවම වයස අවුරුදු 15 සිට 9 දක්වා අඩු කරන දෙවැනි පනත් කෙටුම්පතක් ද අල්වාරෝ විසින් ඉදිරිපත් කර ඇත. දුතර්තේ සහාය දෙන මෙම පනත සම්මත වුවහොත්, දෙවැනි ශ්‍රේනියේ අයට ද වැඩිහිටියන් ලෙස සලකා නඩු දැමෙන අතර මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වරදකට එල්ලා මැරීමට මුහුන දීමට සිදු වනු ඇත.

ජූලි 1වැනිදා එරට ඉහල මිලිටරි නායකත්වය ඉදිරියේ කල කතාවක දී, සිය මිනීමරු උද්ඝෝෂනයට සහාය දෙන මෙන් සීපීපී හා එහි සන්නද්ධ අංශය වන නව මහජන හමුදාව (එන්පීඒ) වෙත දුතර්තේ, ප්‍රසිද්ධ ඉල්ලීමක් නිකුත් කලේ ය. ඒ අතර පිලිපීන සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රධානීන් අමතමින් දුතර්තේ “අපගේ ගැටලුවට විසඳුම වේගවත් කිරීමට ඔබලා‍ගේ කැන්ගරූ උසාවි (තැනින් තැන පැවත්වෙන) යොදා ගන්නැයි” මාඕවාදින්ගෙන් ඉල්ලා සිටියේ ය.

“මත්ද්‍රව්‍ය විරෝධී උද්ඝෝෂනය සඳහා ජනාධිපති දුතර්තේගේ ඉල්ලීමට ප්‍රතිචාර” යන ශීර්ෂයකින් යුතු ප්‍රකාශනයකින්, ජූලි 2වැනිදා සීපීපී ඊට ප්‍රතිචාර දැක්වීය. එය ඇරඹෙන්නේ “පුලුල් ව පැතිරුනු මත්ද්‍රව්‍ය හොර ජාවරමට එරෙහිව විප්ලවවාදී හමුදා සමග සහයෝගිත්වය සඳහා ජනාධිපතිගේ ඉල්ලීම ” පක්ෂය සාදරයෙන් පිලිගනී යයි ප්‍රකාශ කිරීම සමගිනි.

“නියමිත ලෙස සංස්ථාපිත මහජන උසාවි සම්බන්ධයෙන් ඔහුගේ සඳහන, සීපීපීය පිලි නොගන්නා අතර, අපරාධකාරී සැකකරුවන් පිලිබඳ නියමිත ක්‍රියාවලියට ඇති අයිතිය යලි කියාපාමින්, සීපීපී හා විප්ලවවාදී හමුදා මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයට සහාය දෙන ලෙස ජනාධිපති කල ඉල්ලීම පිලිගනී” යයි ඔවුහු තව දුරටත් පවසති. ඊ ලඟ ඡේදය තුල ඔවුහු මෙසේ සඳහන් කරති, “සන්නද්ධ ප්‍රචන්ඩත්වය සමගින් අත්අඩංගුවට ගැනීමට විරුද්ධවන්නන්ට එරෙහිව සටනක් දීමට එන්පීඒ සූදානම් ය.”

සීපීපී ආරම්භකයා මෙන් ම නායකයා ද වන ජොමා සිසොන්, පසු දින සීඑන්එන් සම්මුඛ සාකච්ඡාවක පෙනී සිටි මින් නිවේදනය කලේ, චූදිත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව පක්ෂය ප්‍රචන්ඩ ලෙස කටයුතු කරනු ඇති බව යි. එන්පීඒ උසාවි තුල දී සැකකරුවන්ට නියමිත ක්‍රියාදාමය සහතික කරන්නේ කෙසේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ, “විප්ලවවාදී යුක්තිය” ක්‍රියාත්මක කිරීමට පෙර “මහජන නඩු පවරන්නෙකු” සාක්ෂිකරුවෙකු‍ගේ සාක්ෂියක ආකාරයෙන් බැලූ බැල්මට පෙනෙන සාක්ෂි ඉදිරිපත් කරනු ඇති බව යි.

ලේවැකි බොරු නඩු පිලිබඳ ව එන්පීඒ සංවිධානයට දීර්ග ඉතිහාසයක් ඇත, පක්ෂ සාමාජිකත්වය තුල මිලිටරි ඒජන්තයින් සෙවීමේ දඩයමේ දී පක්ෂයේ ම කේඩර් දාහකට වඩා ඝාතනය කෙරුනු අභ්‍යන්තර විරේක කිරීමක් පක්ෂය විසින් ක්‍රියාත්මක කරන ලදී. සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි හෝ බලහත්කාර පාපොච්චාරන මත විශේෂයෙන් ම පදනම් වී වරදකරු කිරීමේ ප්‍රතිඵලය වූයේ ලුහු මරන දන්ඩනය හා සමූහ මිහිදන් කිරීම යි.

සීසීපීයේ පෙරමුනු සංවිධාන ද ඒ ආකාරයෙන් ම දුතර්තේගේ මිනීමරු උද්ඝෝෂනය පිටුපස ගාල් වී ඇත. බයන් සභාපතිනී කැරොල් අරව්ලෝ, එරට ප්‍රමුඛ ව්‍යාපාරික දිනපතා පත්‍රය වන බිස්නස් වර්ල්ඩ් හි ලියමින් සඳහන් කලේ, “දේශපාලනිකව දැනුවත්, ප්‍රගතිශීලී මහජන සංවිධානයන්ගේ හා පොදුවේ වාමාංශිකයින්ගේ කාර්යභාරය පැහැදිලි ය, එනම් දුතර්තේ මහතාගේ ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ප්‍රකාශන, අභිප්‍රායන් හා සංයුක්ත ක්‍රියාවන් වෙනුවෙන් නැගී සිටීම, සංවිධානය වීම හා සහාය දීම යි.”

බයන් ප්‍රධාන ලේකම් රෙනටෝ රෙයෙස්, ඒඑන්සී5 ඔස්සේ ගෙන ගිය ජාතික රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ, “ඔහු (දුතර්තේ) මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන බව ඉතාමත් පැහදිලි ය” යනුවෙනි. “දුතර්තේ තන්ත්‍රය ගැන සැකය හා නොඑකඟතාවන් ” ගැන ජූලි 4වැනිදා ප්‍රසිද්ධ කල ප්‍රකාශනයක් සමගින් එය ඉදිරිපත් කෙරුනි. “සරලව කිව හොත්, ඔහු මිත්‍රයකි” යි ඔහු සඳහන් කලේ ය. දුතර්තේ සමග බයන් (සංවිධානයට) වෙනස්කම් ඇති බව ඔහු පිලිගනිමින් ඔහු පැවසුවේ, “... පසු ගිය මාසයේදී ජනාධිපති එකඟ විය නො හැකි දෙයක් පැවසූ සෑම විට ම මිත්‍රත්වය දුර්වල කෙරී ඇති ” බව යි. “අඩු වශයෙන් අපි ඔහුට අවස්ථාවක් දිය යුතු යයි” ඔහු ආයාචනා කලේ ය.

මරන දඬුවම් හා ඝාතනයේ පරිමාව පැහැදිලි වත් ම බයන්, “ගෙවී ගිය සති කීපය තිස්සේ චූදිත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීත්‍යානුකූල නො වූ ඝාතනවල හදිසි වැඩිවීම” ගැන “බලවත් කනගාටුව” පල කරමින් තවත් ප්‍රකාශනයක් නිකුත් කලේය. බයන් ක්ෂනිකව ප්‍රකාශ කලේ නියමිත පරිපාටිය ආරක්ෂා කිරීමට දුතර්තේ කැපවුනු බව යි. ඊට පසු වංචා සහගත නරුම බවකින් ප්‍රකාශ කලේ, බහුතරය පොලීසිය විසින් ගෙන යන ලද ඝාතන බවත්, අනෙක්වා “නව තන්ත්‍රය විසින් අත්අඩංගුවට ගැනීමට පවතින ඉඩකඩ ඇහිරීම සඳහා සාපරාධී ව්‍යාපාරික හවුල් විසින් නිවාස ශුද්ධ කර ගැනීමේ කොටසක්” වූ බව යි.

පිලිපීනය තුල ක්‍රියාත්මක කෙරෙමින් පවතින රාජ්‍ය අනුග්‍රහය සහිත නිල නොලත් රහස්‍ය ඝාතකයින්ට හා පොලීසියේ ඝාතන රැල්ලට ගොදුරුවූවෝ, දුප්පත් හා කම්කරු පන්තික සාමාන්‍ය පිරිස් වෙති. ඔවුන් මර්දනය කරන්නේ ධනවාදයේ අවශ්‍යතා ඉටු කිරීම සඳහාය. ගෝල්ඩ්මන් සැක්ස් ජූනි මාසයේ දී වාර්තාවක් ප්‍රසිද්ධ කල අතර, එහි දුතර්තේට ප්‍රශංසා කර තිබුනේ, “ඉදිරියේ එන පාලනය විසින් ආර්ථික වර්ධනයට මෙන් ම ව්‍යාපාර සඳහා හිතවත් ප්‍රතිපත්ති ගෙන යනු ඇති” බවට සිය විශ්වාසයේ ප්‍රධාන සාධකය, දුතර්තේ ගේ “බලගතු දේශපාලන අධිෂ්ඨානය” බව පවසමිනි.

Share this article: