ඩේවිඩ් නෝර්ත් ගේ නව කෘතිය

යුද්ධයේ විසිපස් වසරක්: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය 1990-2016
A Quarter Century of War: The US Drive for Global Hegemony 1990-2016

A Quarter Century of War: The US Drive for Global Hegemony 1990-2016

ඩේවිඩ් නෝත් විසිනි, 2016 ජූලි 11

අප මෙහි පල කරන්නේ ඩේවිඩ් නොර්ත් ගේ නව කෘතිය වන A Quarter Century of War: The US Drive for Global Hegemony 1990-2016 (යුද්ධයේ විසිපස් වසරක්: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය 1990-2016), නැමති කෘතියේ ප‍්‍රස්තාවනාවයි. මෙම කෘතිය අගෝස්තු 10 දින පලවනු ඇති අතර Mehring Books වෙතින් මෘදු සහ දැඩි වැස්මකින් යන දෙයාකාරයෙන්ම එය සැකසෙනවා ඇත.

***

“අර්බුදයේ කාලපරිච්ඡේදයකදී එක්සත් ජනපදයේ ආධිපත්‍යය, උත්පාතයේ අවධියකට වඩා පරිපූර්නව, වඩා විවෘතව සහ වඩාත් නිර්දය ලෙස ක‍්‍රියාත්මක වනු ඇත.”

- ලියොන් ට්‍රොට්ස්කි 1928

“1914 දී ජර්මනිය යුද මාවතට ඇද හෙලූ ප‍්‍රශ්නවලට, එක්සත් ජනපද ධනවාදය අද මුහුනදී සිටී. ලෝකය බෙදා ගනු ඇත් ද? එසේනම් එය නැවත බෙදිය යුතුය. ජර්මනිය සම්බන්ධයෙන් ගත් කල එය, ‘යුරෝපය සංවිධානය’ කිරීම පිලිබඳ ප‍්‍රශ්නයක් විය. එක්සත් ජනපදය ලෝකයම ‘සංවිධානය’ කල යුතුය. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳු පරිමාන පිපිරීමකට, ඉතිහාසය විසින්, මානව වර්ගයා මුහුනට මුහුන පිහිටුව යි.”

- ලියොන් ට්‍රොට්ස්කි, 1934

මෙම වෙලුම සමන්විත වන්නේ 1990-91 දී ආරම්භ වූ, එක්සත් ජනපදය මෙහෙයවූ යුද්ධ වල, ශතවර්ෂ කාලක් පමන වූ කාල පරිච්ඡේදය කෙරෙහි හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දක්වන ලද ප‍්‍රතිචාරය පිලිබඳ දේශපාලන වාර්තා, ප‍්‍රසිද්ධ දේශන, පක්ෂ ප‍්‍රකාශන, රචනා සහ වාද විවාද වලිනි. මෙහි ලා අප ඉදිරිපත් කර තිබෙන විශ්ලේෂන ලියන ලද්දේ, සිද්ධීන් දිගහැරෙන වාතාවරනය තුල වුව ද ඒවා කාලයාගේ පරීක්ෂනයෙන් සමත්ව ඇත. ජාත්‍යන්තර කමිටුවට පේන කීමේ හැකියාවක් නැත. එහෙත් එහි කටයුතු, ඇමරිකානු සහ ලෝක අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිඝතිතා පිලිබඳ මාක්ස්වාදී වැටහීමක් මත පදනම් වෙයි. තව ද මාක්ස්වාදී විශ්ලේෂන විධි ක‍්‍රමය මගින් සිදුවීම් විභාග කරනුයේ, හුදෙකලා සිද්ධීන් පෙලක් ලෙස නොව, වඩාත් පෘථුල ඓතිහාසික සන්තතියක විකසිත වීමේ දී පැනනගින මුහුර්තයන් ලෙසය. මෙම ඓතිහාසිකව යොමු වූ ප‍්‍රවිෂ්ටය අලුත්ම දේශපාලන වර්ධනයන්ට ධාරනාවාදී ලෙස ප‍්‍රතිචාර දැක්වීමට ප‍්‍රති විරුද්ධව පිහිටා සිටියි. සිද්ධියක සාරභූත හේතුව එය සිදුවන මොහොතේම දැක ගැනීම ඉතා දුෂ්කර බව එය හඳුනාගෙන ඇත.

ධනේශ්වර ප‍්‍රකාශන වල විශ්ලේෂනයක් යයි ඉදිරිපත් කෙරෙන දෙය සමන්විත වන්නේ, දෙන ලද සිද්ධියක් පිලිබඳ ධාරනාවාදී විස්තරයක් එහි ගැඹුරුතම හේතුව යයි කියා පෑමට නොවැඩි දෙයකි. මේ ජාතියේ දේශපාලන විශ්ලේෂනය, උදාහරන හැටියට ඉරාකයේ සදාම් හුසේන්, සෝමාලියාවේ “යුද දෙටු” ෆරා අයිඩීඩ්, සර්බියාවේ ස්ලොබොදාන් මිලොසෙවික්, අල් කයිඩාවේ ඔසාමා බින් ලාඩ්න්, ලිබියාවේ මුවම්මර් ගඩාෆි සහ ඇෆ්ඝනිස්ථානයේ මුල්ලා ඕමාර් වැනි එක් හෝ තවත් දුෂ්ට තත්වයේ පුද්ගලාරෝපනයකට ප‍්‍රතිචාර වශයෙන් ඇමරිකාවේ යුද්ධ යුක්තිසහගත කරයි. මෙයට අලුතෙන්ම එකතු කරගෙන ඇත්තේ සිරියාවේ බෂර් අල් අසාද්, කොරියාවේ කිම් ජොඟන් සහ රුසියාවේ ව්ලැඩිමීර් පුටින් ය. ඇමරිකා එක්සත් ජනපදයට උවමනා පරිදි විනාශ කිරීමට නියමිත, අසීමිත ලෙස පලල් කරනු ලබන මුර්ගයන්ගේ ලැයිස්තුවට අලුත් නම් නිරන්තරව ඇතුලත් කරගනු ලැබේ.

ඊට වඩා මෙම වෙලුමේ ඇතුලත් කාරනා වනාහි, බෙහෙවින් ම වෙනස් වඩාත් සාරාර්ථ ප‍්‍රවිෂ්ටයක් මගින් එක්සත් ජනපදයේ විදේශ පිලිවෙත විභාග කිරීමේ වාර්තාවකි.

ප‍්‍රථම සහ වඩාත් වැදගත් වන කරුන නම්, 1989-90 නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර බිඳවැටීම ද 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීම ද දෙවන ලෝක යුද්ධයේ අලු මතින් පැන නැගී සමස්ත ගෝලීය ජාතික රාජ්‍ය පද්ධතියේ ම පැවැත්ම පිලිබඳ අර්බුදයක් ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් අර්ථ කථනය කරගනු ලැබීමයි. දෙවනුව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අපේක්ෂා කලේ, ස්ථාපිත පශ්චාත් යුද්ධ සමතුලිතයේ බිඳවැටීම, ඉක්මනින් ම අධිරාජ්‍යවාදී යුදවාදය වේගයෙන් යලි පනගැන්වීමකට තුඩුදෙනු ඇතිය යන්න ය. අවුරුදු විසි හයකට පෙර, 1990 අගෝස්තු තරම් ඈත දී ජාත්‍යන්තර කමිටුව, බුෂ් පාලනය ඉරාකයට එරෙහිව කලා වූ යුද්ධයේ දිගු කාලීන ගම්‍යයන් පෙර දැකීමට සමත් විය:

එය අධිරාජ්‍යවාදය විසින් ලෝකය අලුතින් බෙදා ගැනීමේ නව ආරම්භයක් සලකුනු කලේ ය. පශ්චාත් යුද කාලයේ අවසානය, පශ්චාත් යටත් විජිත සමයේ අවසානය ද සලකුනු කලේ ය. “සමාජවාදයේ අසාර්ථකත්වය” ප‍්‍රකාශයට පත් කරන අධිරාජ්‍යවාදී ධනේශ්වරය, තවමත් වචන වලින් කියාපෑවේ නැති වුව ද ඉන් ඇඟවුම් කරන්නේ, “ස්වාධීනතාවේ අසාර්ථකත්වයයි.” සියලු ආධිරාජ්‍යවාදී බලවතුන් මුහුන දෙන, වඩ වඩාත් උග‍්‍රවන අර්බුදය ඔවුන්ට බලකර සිටින්නේ, මූලෝපායික සම්පත් සහ වෙලඳපලවල් අත්කරගැනීමට ය. යම් තරමක ස්වාධීනතාවක් අත්පත් කරගෙන තිබුනු පැරනි යටත් විජිත, යලි යටත් කරගත යුතු වේ. ඉරාකයට එල්ල කල මුර්ග ප‍්‍රහාරයේ දී අධිරාජ්‍යවාදය දැනුම් දුන්නේ, දෙවන ලෝක යුද්ධයට පෙර තමන් විසින් පසුගාමී රටවල් නිර්බාධිත ලෙස යටත් කර ගෙන තිබුනු ආකාරයටම යලිත් ඒවා යටත් කරගැනීමට පෙලඹී සිටින බවයි. (1)

ඓතිහාසිකව පදනම් වූ මෙම විශ්ලේෂනය, 1990-91 ගල්ෆ් යුද්ධය පිලිබඳව පමනක් නොව, එම දශකය තුල, ඉක්බිතිව දියත් කරන ලද යුද්ධ ද 9/11 න් පසුව දියත් කරන ලද “ත‍්‍රස්ත විරෝධී යුද්ධ” ද පිලිබඳව වැටහීමක් අත්පත් කර ගැනීම සඳහා සාරභූත රාමුවක් සම්පාදනය කලේ ය.

නිව් යෝක් ටයිම්ස් පුවත් පත මෑතදී පල කරන ලද මුල් පිටු ලිපියක්, බරක් ඔබාමාගේ ජනාධිපති ධුර කාලය පිලිබඳ වැදගත් සැතපුම් කනුවක් කෙරෙහි අවධානය කැඳවීය: “ඔහු මේ වන විට බුෂ් හෝ වෙන මොනයම්ම ඇමරිකානු ජනාධිපතියෙකුට ද වඩා දිගු කාලයක් යුද්ධයේ නියැලී සිටියි. තම ධුර කාලයේ ඉතිරිව ඇති මාස කිහිපය තුල ඔහු තවත් වාර්තාවක් බිඳ දමනු ඇත.”

ටයිම්ස් පුවත් පත කියන පරිදි:

“ඔබමා මහතාගේ ධුර කාලයේ ඉතිරි ටිකත් ඇෆ්ඝනිස්ථානයේ, ඉරාකයේ, සහ සිරියාවේ යුද්ධවල දිගටම යෙදීගෙන සිටියොත්, සිය සම්පූර්න ධුර කාල දෙක ම පුරා රට යුද්ධයේ නිමග්න කර ගෙන සිටි, ඇමරිකා ඉතිහාසයේ එකම ජනාධිපතිවරයා හැටියට වාර්තාවක් ඔහු තබා යනු ඇත - සිරියාවට තවත් අතිරේක ක‍්‍රියාන්විත භටයන් 250 ක් යැවීමට ජනාධිපතිවරයා ලඟ දී දුන් පොරොන්දුව ද සමග මෙය සහතිකෙන්ම සිදුවෙන්නට යන බව පැහැදිලි ය.” (2)

මෙම වාර්තාව පිහිටුවීමට යාමේ දී ඔබාමා මහතා, ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, සිරියාව, ලිබියාව, පකිස්ථානය, සෝමාලියාව, සහ යේමනය යන රටවල් හතකටම මිලිටරි ආක‍්‍රමන සිදු කර තිබේ. දැන් ඇමරිකාව අප‍්‍රිකාවට ද මිලිටරි කඩාවැදීම උග‍්‍ර කරමින් සිටින තතු තුල, එම රටවල් සංඛ්‍යාව ගනනින් වැඩිවෙයි. බොකෝ හරම් සංවිධානයේ සන්නද්ධ කැරැල්ල මර්දනය කිරීමට යයි, නයිජීරියාව, කැමරූන්, නයිජර් හා චැඩ්හි ඇමරිකානු හමූදා මෙහෙයුම පුලුල් කරනු ලැබේ.

උපහාසාත්මක අරමුනකින් තොරවම ටයිම්ස් ලිපියේ කතෘ මාක් ලැන්ඩ්ලර්, 2009 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාග ලාභියෙකු ලෙස ඔබාමාගේ තත්වය මෙසේ අගය කරයි. ජනාධිපති “යුද විරෝධී අපේක්ෂකයෙකු ලෙස තමා දුන් පොරොන්දු ය දැන් සම්පූර්න කිරීමට උත්සාහ කරමින් සිටින්නේ. ඔබාමා ධවල මන්දිරයට පැමිනි මුල් අවුරුද්දේ පටන්ම (යුද්ධය පිලිබඳ) මෙම වෙනස් කල නො හැකි යථාර්ථය සමග පොරබදා ඇත...”

ලැන්ඩ්ලර් සිය පාඨකයනට මෙසේ දනුම් දෙයි: “ඔබාමා ඇෆ්ඝනිස්ථානයට තවත් 30,000 ක් භටයන් යවන්නට අන දීමට සුදානම් වෙමින්, ආලිංටන් සුසාන භූමියේ සොහොන් කොත් අතර සක්මනක ට ගියේ ය.” නොබෙල් තෑග්ග පිලිගනිමින් 2009දී ඔබාමා කල කතාවේ කොටසක් උපුටා දක්වන ලැන්ඩ්ලර්, එහිදී ඔබාමා මනුෂ්‍ය වර්ගයාට මුහුන දීමට සිදුව ඇති, “කිසි සේත්ම සමනය කල නොහැකි යයි පෙනෙන සත්‍යයන් දෙකක් -එනම් යම් තතු තුල යුද්ධය නැතිව බැරි වන බව ද තවත් තත්වයකදී යුද්ධය වනාහි මානව මුග්ධත්වයේ ප‍්‍රකාශනයක් ලෙස ද පෙනීයන බව- ජනාධිපති වරයා වෙහෙසට පත් ආකාරයකින් අඳෝනා නැගූ” බව කියයි.

ඔබාමා සමයේ මුදුන අරක් ගත්තේ, මෙම මුග්ධත්වය යි. එහෙත් 2009 පටන් අද වන තුරුවත් ලැන්ඩ්ලර්ගේ වීරයාට මේ ගැන කල හැකි දෙයක් තිබුනේ නැත. සිය යුද්ධ “අවසාන කිරීම උමතු සහගත ලෙස දුෂ්කර” බව ඔබාමාට පෙනී ගොස් තිබේ.

ඔබාමා පිලිබඳ ටයිම්ස්හි මෙම නිරූපනය සැබෑ ඛේදාන්ත නාටකයක තිබිය යුතු සාරභූත ලක්ෂන වලින් තොර ය. ඒ වනාහි ජනාධිපති වරයාගේ ශ්‍රේෂ්ඨ පරමාර්ථයන් සහ මානුෂිකවාදී අභිලාෂයන් බිඳ දැමුවා වූ හෝ පරාජය කලා වූ, ඔහුගේ පාලනයෙන් පිටත පැවැති වෛෂයික හේතූන් කවරේ ද යන්න අවබෝධ කර ගැනුමයි. ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව ඩ්‍රෝන් ප‍්‍රහාර මගින් මිනිසුන් මැරීම තමාගේ පුද්ගල සුවිශේෂත්වය බවට පත් කර ගත් හා හෙතෙම සදාචාරත්මකව මුර්ගයෙකුට සමාන තත්වයකට පත් කරන ලද, මේ සාමකාමී මිනිසා වෙනුවෙන් පාඨකයන් ලවා කඳුලක් වැගිරවීමට ලැන්ඩ්ලර් මහතාට උවමනා නම්, ඔබාමාගේ “ඛේදනීය” ඉරනම තීරනය කල ඓතිහාසික තත්වයන් මොනවා ද යන්න ඔහු විසින් පැහැදිලි කල යුතුව තිබුනි.

එහෙත් ටයිම්ස් පුවත් පත මෙම අභියෝගය මග හරියි. එය ඔබාමාගේ යුදවාදී වාර්තාව, ගතවූ සියවස් කාර්තුව තුල අමරිකානු විදේශ පිලිවෙතේ සම්පූර්න ගමන් මග තුල බහා සලකා බැලීම ප‍්‍රතික්ෂේප කරයි. 2009 දී ඔබාමා බලයට පත්වීමට පවා පෙර සිට ඇමරිකා එක්සත් ජනපදය, නොකඩවා ම යුද්ධයේ නියැලී සිටියේය. ඒ 1990-91 එක්සත් ජනපදය දියත් කල ප‍්‍රථම ඉරාක යුද්ධයේ පටන් ම ය.

ගල්ෆ් යුද්ධය සඳහා ව්‍යාජය වූයේ, 1990 ආගෝස්තුවේ දී ඉරාකය විසින් කුවේටය අල්ලා ගැනීමයි. එහෙත් කුවේටයේ පාලක එමීර් වරයා සමග ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ ආන්ඩුව ඇතිකරගත් ගැටුම කෙරෙහි එක්සත් ජනපදයේ ප‍්‍රචන්ඩ ප‍්‍රතික‍්‍රියාව නිර්නය කරනු ලැබුවේ, වඩාත් පුලුල් ගෝලීය තත්වයන් සහ ගනන් බැලීම් මගිනි. එක්සත් ජනපද මිලිටරි මෙහෙයුමේ ඓතිහාසික සන්දර්භය, නොවැලැක්විය හැකි පරිදි සෝවියට් සංගමය විසුරුවා හැරීමට නියමිතව තිබීමයි. එය 1991 අගදී සිදුවී අවසන් විය. ප‍්‍රථම බුෂ් ජනාධිපති “නව ලෝක පර්යායක” ආරම්භය ප‍්‍රකාශයට පත් කලේ ය.(3) බුෂ් මෙම ප‍්‍රකාශයෙන් අදහස් කලේ, සෝවියට් සංගමයේ මිලිටරි බලයට මුහුනදීම පිලිබඳ යථාර්තය විසින් හෝ සමාජවාදී විප්ලවයේ අවතාරය පිලිබඳ බාධාවකින් තොරව, ඇමරිකානු ධනපති පන්තියේ ආසක්තයන්ට අනුව ලෝකය යලි ප‍්‍රතිව්‍යුහගත කිරීමට, එක්සත් ජනපදයට ඉඩ සැලසී ඇති බවයි. “ඉතිහාසයේ සමාප්තිය” යයි ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා විසින් හුවා දැක්වූ සෝවියට් සංගමය විසුරුවා හැරීම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායඥයන්ට දැනුම් දුන්නේ, මිලිටරි ප‍්‍රතිබාධනය (restraint) තව දුරටත් උවමනා නොකරන බවයි.

ඉතිහාසයේ මහා උත්ප‍්‍රාසයන්ගෙන් එකක් නම්, පලමුවන ලෝක යුද්ධයේ ව්‍යසනය මැද්දේ, ඇමරිකා එක්සත් ජනපදය අධිපති අධිරාජ්‍ය බලවතා හැටියට නිශ්චිතව ඉස්මතුවීම සමග බොල්ශෙවික් පක්ෂයේ නායකත්වය යටතේ, ඉතිහාසයේ ප‍්‍රථම සමාජවාදී කම්කරු රාජ්‍යය ලෙස සෝවියට් සංගමය ගොඩනැගීම තුල මුදුන්පත්වූ, 1917 රුසියානු විප්ලවය පුපුරා යාම, සම්පාත වීම ය.

1917 අප‍්‍රේල් 3 දින ජනාධිපති වුඩ්රෝ විල්සන්, ඔහුගේ යුද පනිවුඩය එක්සත් ජනපද කොන්ග‍්‍රස් මන්ඩලයේ දී ප‍්‍රකාශයට පත් කරමින් ගෝලීය අධිරාජ්‍යවාදී ගැටුම තුලට ඇමරිකාව මෙහෙයවූ අතර ඉන් දෙසතියකට පසු විප්ලවයේ ප‍්‍රසව වේදනාවෙන් පෙලෙමින් සිටි රුසියාවට ලඟාවූ වී. අයි. ලෙනින්, ධනේශ්වර තාවකාලික ආන්ඩුව පෙරලා දැමීම සඳහා බොල්ශෙවික් පක්ෂය යලි පෙල ගැස්වී ය.

ලෙනින් සහ ඔහුගේ ප‍්‍රමුඛ දේශපාලන සහකරු ලියොන් ට්‍රොට්ස්කි අවධාරනය කලේ, සමාජවාදය සඳහා අරගලය යුද්ධයට විරුද්ධ අරගලය සමග අවියෝජනීය ලෙස බද්ධව පවත්නා බවයි. ඉතිහාසඥ ආර්. ක්‍රේග් නේෂන් තර්ක කල පරිදි:

“විප්ලවය වනාහි අධිරාජ්‍යවාදී අර්බුදයේ ප‍්‍රති විපාකයක් බවත්, එය ඉස්මතු කල ගැටලුව විසඳිය හැක්කේ, ජාත්‍යන්තර මට්ටමේය යන්න පිලිබඳවත්, ලෙනින්ට මොනම සැකයක් වත් තිබුනේ නැත. යුද්ධයට එරෙහි අරගලය සහ අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය දැන් රුසියාවේ කම්කරු පන්තික ආධිපත්‍යය සඳහා වන ව්‍යායාමය තුල එකම අරගලයක් බවට පත් විය.” (4)

ලෝක ඉරනමේ තීරකයා ලෙස සිය තත්වය පිහිටුවාගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සැරසෙන විටම එරට, බොල්ශෙවික් විප්ලවයේ රූපයෙන් පැමිනි අභියෝගයකට මුහුන දුන්නේ ය. එය වනාහි, ඇමරිකා එක්සත් ජනපදයේ අධිකාරයට පමනක් නොව, ලෝක ධනේශ්වර පර්යායේ ආර්ථික, දේශපාලන, පමනක් නොව සදාචාරාත්මක අධිකාරයට ද එල්ල වූ අභියෝගයකි. ඉතිහාසඥ මෙල්වින් පී. ලේෆ්ලෙර් ලියා ඇති පරිදී “බොල්ශෙවික් වරුන්ගේ තර්කභාෂනය ද, ක‍්‍රියා පටිපාටිය ද වොෂින්ටනය තුල භීතිය, පිලිකුල සහ දෙගිඩියාව ජනනය කලේ ය.” (5)

එක්සත් ජනපදයේ විදේශ පිලිවෙත පිලිබඳ තවත් සුදර්ශි ඉතිහාසඥයෙක් මෙසේ පැහැදිලි කලේ ය:

ඇමරිකානු නායකයන්ගෙන් බහුතරයක්, බොල්ශෙවික් විප්ලවය ගැන එතරම්ම ගැඹුරින් කනස්සලු වූයේ, ජනාධිපති විල්සන් පෙන්නුම් කල පරිදි, පවත්නා පර්යායට එරෙහි “පොදු කැරලි කාරී හැරීම” සහ ප‍්‍රගාමිව තීව‍්‍ර වෙමින් පැවති උග‍්‍ර අතෘප්තිය නිසාය. එම අසහනයෙන් පැනනැගී සියලු විප්ලවවල සංකේතය ලෙස ඔවුන්ගේ සිත් තුලට කාවැදී තිබුනේ, බොල්ශෙවික් විප්ලවයයි. සමහරවිට ඇමරිකානු රාජ්‍යෝපායේ ඛේදවාචකය තුල ප‍්‍රාමානික අන්තර්ඥානය වන්නේ එය යි. (6)

නව විප්ලවකාරී රාජ්‍ය තන්ත‍්‍රය බිඳලීමට මංමුලා සහගත ලෙස වෑයම් කරමින් ජනාධිපති වුඩ්රෝ විල්සන්, මෘග සිවිල් යුද්ධයක නිරත වූ ප‍්‍රතිවිප්ලවවාදී හමුදා වල උදව්වට 1918 දී, ඇමරිකානු ආක‍්‍රමනික හමුදාවක් රුසියාවට යැවීය. එම ආක‍්‍රමනය නිර්ලජ්ජිත ලෙස අසාර්ථක විය.

අමරිකා එක්සත් ජනපදය 1933 තෙක්ම සෝවියට් සංගමයට රාජ්‍යතාන්ත‍්‍රික පිලිගැනීමක් දුන්නේ නැත. මෙම රජ්‍යතාන්ත‍්‍රික පිලිගැනීම එක්තරා දුරටකට පහසු කරන ලද්දේ, ඒ වන විට සෝවියට් සංගමය තුල බලය අල්ලාගෙන සිටි ස්ටැලින්ගේ නිලධාරිවාදී ඒකාධිපතිත්වය, 1917 දී බොල්ශෙවික් විප්ලවයට අනුප‍්‍රානය දුන් විප්ලවවාදී ජාත්‍යන්තරවාදය පිලිිකෙව් කිරීමේ ක‍්‍රියාවලියක නිරතව සිටි නිසාය. ඔවුන් “සාමූහික ආරක්ෂාව” තහවුරු කර ගැනීම උදෙසා අධිරාජ්‍ය බලවතුන් සමග සන්ධානයන් අටවා ගැනීමේ අරමුනින්, ලෝක විප්ලවයේ ඉදිරිදර්ශනය අතහැර දමමින් සිටියේ ය. බ්‍රිතාන්‍යය සහ ප‍්‍රන්සය සමග එවන් සාමූහික සන්ධානයක් ඇති කර ගැනීමට අසමත්වූ කල්හි ස්ටැලින්, 1939 අගෝස්තු මාසයේදී හිට්ලර් සමග කුප‍්‍රකට අනාක‍්‍රමන ගිවිසුම අත්සන් කලේය. 1941 ජුනි මාසයේදී හිට්ලර් සෝවියට් සංගමය ආක‍්‍රමනය කිරීම ද 1941 දෙසැම්බර් මාසයේ දී ඇමරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට පිවිසීම ද තුල, නාසි ජර්මනියට හා ජපන් අධිරාජ්‍යයට විරුද්ධ යුද්ධය හමුවේ, ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට් ගේ පාලනාධිකාරයට සෝවියට් සංගමය සමග යුද ගිවිසුමක් ගසාගැනීම අවශ්‍ය කැරිනි. එහෙත් ජර්මනිය සහ ජපානය පරාජයට පත් කෙරුනු පසු ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර සම්බන්ධතා වේගයෙන් පිරිහී ගියේය. සෝවියට් අනුහස නැගෙනහිර යුරෝපයට පැතිර යාමට විරුද්ධව ද බටහිර යුරෝපය තුල කොමියුනිස්ට් පක්ෂවල වැඩී යාම කෙරෙහි බිය ද හමුවේ ටෲමන් පාලනාධිකාරය, 1948 දී මාර්ෂල් සැලැස්ම දියත් කොට සීතල යුද්ධය ආරම්භ කලේ ය.

ක්‍රෙම්ලින් පාලන තන්ත‍්‍රය ස්ටැලින්වාදයේ “තනි රටක සමාජවාදය” මත පදනම්ව කම්කරු පන්තිය ද ලෝකය පුරා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර ද පාවා දෙමින්, සිය ජාතිකවාදී පිලිවෙත් ඉදිරියට ගෙන ගියේ ය. එහෙත් සමාජවාදී විප්ලවයක් මත පදනම්වූ පාලන තන්ත‍්‍රයක් පැවතීම ම, ලෝකය පුරා දේශපාලනික වශයෙන් රැඩිකලීකෘත වූ බලපෑමක් ඇති කලේ ය. සිය යට සඳහන් මතය සම්බන්ධයෙන් ජෝන් ඇපල්මන් විලියම්ස් සත්තකින්ම නිවැරදි විය: “අවුරුදු ගනනාවක් තිස්සේම ඇමරිකානු නායාකයෝ, සෝවියට් සංගමයේ සැබවින්ම පැවති බල තන්ත‍්‍රයට වඩා, විප්ලවයේ ගම්‍යයන් සහ වක‍්‍ර තර්ජනයට බිය වූ හ.” (7)

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව එලඹී දශක ගනන තුල එක්සත් ජනපදයට, සෝවියට් සංගමයේ පැවැත්ම නොතකා හැරිය නොහැකි විය. සෝවියට් සංගමය සහ 1949 දී පිහිටුවන ලද මහජන චීන සමූහාන්ඩුව, “තුන්වන ලෝකයේ” අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයන්ට සීමිත දේශපාලන හා ද්‍රව්‍යමය සහායක් සැලසූ අතර, එම රටවල්, එක්සත් ජනපද පාලක පන්තියේ අවශ්‍යතා පිලිබඳ වැඩ සටහන නිදහසේ කරගෙන යාමට එරෙහි විය. මේ සීමාවන්ගෙන් වඩාත් කැපී පෙනෙන උදාහරන වූයේ, එක්සත් ජනපදය කොරියාවේදී සහ වියට්නාමයේ දී ලද පරාජය, කියුබානු මිසයිල අර්බුදයේදී සම්මුතිවාදී විසඳුමකට යාම හා බෝල්ටික් ප‍්‍රදේශයේ ද නැගෙනහිර යුරෝපයේ ද සෝවියට් ආධිපත්‍යය පිලිගන්නට එක්සත් ජනපදයට සිදුවීම ද වේ.

සෝවියට් සංගමයේ සහ චීනයේ ප‍්‍රති-ධනේශ්වර රාජ්‍ය වල පැවැත්ම නිසා භූතලයේ ඉතා විශාල ප‍්‍රදේශයක, විශේෂයෙන්ම යුරේසියානු භූස්කන්ධය තුල, මිනිස් ශ‍්‍රමය හා අමු ද්‍රව්‍ය ද විභව වෙලඳ පොල ද කරා, නිර්බාධිතව පිවිසීමේ ඉඩකඩ එක්සත් ජනපදයට නැති විය. ඇමරිකා එක්සත් ජනපදයට සිදු වූයේ, ඉහත කරුන සිය වාසියට යොදාගත් තමන්ගේ ප‍්‍රධාන යුරෝපීය හා ආසියානු සගයන් සමග ද කුඩා රටවල් සමග ද, ඔවුන් කැමති වුනාට වඩා ප‍්‍රමානයකින්, ආර්ථික සහ මූලෝපායික ප‍්‍රශ්න පිලිබඳව සම්මුති ගැසීමටය.

1991 දී සෝවියට් සංගමය විසුරුවාලීම සමග අත්වැල් බැඳගෙන, 1989දී තියනන්මෙන් චතුරශ‍්‍රයේ මහා ජන ඝාතනයත් සමග චීනය තුල ධනේශ්වර ක‍්‍රමය පුනස්ථාපනය කිරීම ඇමරිකානු පාලක පන්තිය දැක ගත්තේ, පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ ඇති කර ගැනීමට තමන්ට බල කෙරී තිබුනු සම්මුති අහෝසි කොට, තම ආධිපත්‍යය තහවුරු වන පරිදි ගෝලීය භූ දේශපාලනයේ ප‍්‍රතිව්‍යුහකරනයක් සිදු කිරීමට ලැබුනු මහඟු අවස්ථාවක් ලෙසය.

සෝවියට් සංගමය බිඳී යාමට ඇමරිකාව දැක්වූ උත්කර්ෂවත් ප‍්‍රතිචාරය තුල ඉමහත් ස්වයං-මෝහයක් ද දක්නට ලැබුනි. ඇමරිකා එක්සත් ජනපදය සීතල යුද්ධය ජයග‍්‍රහනය කලේය යන පම්පෝරිය බොහෝ දුරට පදනම් වූයේ යථාර්ථයට වඩා මිථ්‍යාව මතය. ඇත්ත වශයෙන්ම සෝවියට් සංගමය හදිසියේ විසුරුවා හැරීම වොෂිංටනයේ විදේශ ප‍්‍රතිපත්ති පිලිබඳ සමස්ත නිලබල තන්ත‍්‍රය ම පුදුමයට පත් කලේය. 1987 පෙබරවාරියේදී විදේශ සම්බන්ධතා මන්ඩලය, සෝවියට් කටයුතු පිලිබඳ විශේෂඥයින් දෙදෙනෙකු වූ ස්ට්‍රෝබ් ටැල්බට් හා මයිකල් මැන්ඩල්බෝම්ගේ ප‍්‍රධානත්වයෙන් සෝවියට් සම්බන්ධතා ගැන තක්සේරුවක් නිකුත් කලේය. 1986 ජිනීවා හා රෙක්ජවික්හි රේගන් හා ගොර්බචෙව් අතර පැවති සාකච්ඡා විශ්ලේෂනය කරමින් විශේෂඥයින් දෙදෙනා නිගමනය කලේ මෙයයි:

ගොර්බචෙව් භාවිතයේදී පෙරස්ත්‍රොයිකාව කෙසේ නිර්වචනය කල ද, ආරක්ෂාව පිලිබඳ නිල නිර්වචනය සංශෝධනය කල ද එවැන්නක් පිටතින් හෝ ඇතුලතින් ආව ද මුදුනෙන් හෝ පල්ලෙන් ආව ද සෝවියට් සංගමය, වෙනස සඳහා යෙදෙන පීඩනයට විරුද්ධ වනු ඇත. එහෙයින් සෝවියට් ඇමරිකානු සම්බන්ධතාවන්හි ඇති මූලික කොන්දේසි දිගින් දිගටම පවතිනු ඇත. අනික් අතට මෙහි අර්ථය, සෝවියට් ඇමරිකානු ඉහල පෙලේ සාකච්ඡා දිගු කාලයක් පවතිනු ඇති බවයි. (8)

ටැල්බට් සහ මැන්ඩල්බෝම් පෙරකී පරිදි, “දිගු කාලය” නම්, හුදෙක් “ගොර්බචෙව් ගේ අනුප‍්‍රාප්තිකයා පමනක් නොව අනුප‍්‍රාප්තිකයාගේ ද අනුප‍්‍රාප්තිකයන්ගේ පාලන කාලයන්” දක්වා දිවෙනු ඇත. එක්සත් ජනපදය ද සෝවියට් සංගමය ද අතර සම්බන්ධතාවන්ගේ සැලකිය යුතු වෙනසක් අපේක්ෂා කල යුතු නැත. විදේශ සම්බන්ධතා මන්ඩලයේ අනාගත වක්තෘන් දෙන්නා එසේ නිගමනය කලෝ ය:

“ඔවුන් කවුරුන් වූවත්, ඒ අතරතුර කුමන වෙනස්කම් ඇති වුවත්, මීලඟ සියවසේ අමරිකානු සහ සෝවියට් නායකයින් පොරබදනු ඇත්තේ එකම මහා ප‍්‍රශ්නය සමග ය - තමන් අතර එදිරිවාදිකම් කෙසේ කලමනාකරනය කරගන්නවාද න්‍යෂ්ටික ව්‍යසනය කෙසේ වලක්වා ගන්නවාද - යන මේ ප‍්‍රශ්න 1980 ගනනන් වල අග, රොනල්ඞ් රේගන් සහ මිකායිල් ගොර්බච්චෙව් ගේ මහන්සිය උකහා ගනු ලැබුවේ එවන් කර්තව්‍යකටය.” (9)

කිසිවක් පෙර නොදුටු වොෂින්ටන් විශේෂඥයින්ට පටහැනි ලෙස ජාත්‍යන්තර කමිටුව, ගොර්බචෙව් තන්ත‍්‍රය සලකුනු කරන්නේ ස්ටැලින්වාදයේ අර්බුදයෙහි සෘතු විරාම අදියරක් යයි හඳුනාගනු ලැබින. 1987 මාර්තු 23දා නිකුත් කල ප‍්‍රකාශයක් තුල එය මෙසේ පැවසීය: “ගොර්බචෙව්ගේ අර්බුදය මතුව ඇත්තේ, ලෝක ස්ටැලින්වාදයේ සෑම කොටසක්ම, ජනතාවන්ගේ පෙරලිකාරිත්වය මෙන්ම ආර්ථික කැලඹීම් වලට මුහුනපා සිටියදීය. බීජිනයේ සිට බෙල්ග‍්‍රේඩය දක්වා සෑම සිද්ධියකදීම, ස්ටැලින්වාදී නිලධරයේ ප‍්‍රතිචාරය, තව තවත් විවෘත ලෙස ධනේශ්වර පුනස්ථාපනය වෙත හැරී ගැනීමයි.” (10)

සීතල යුද්ධයේ ජයග‍්‍රහනය පිලිබඳ කතිකාව පාලක ප‍්‍රභූව තුල නිර්මානය කලේ, ඇමරිකානු ධනවාදයේ බලය සහ ශක්‍යතාවය පිලිබඳ ව්‍යසනකාරී අධිමානයකි. ඇමරිකානු ආධිපත්‍යය සඳහා ධාවනය මගින් එක්සත් ජනපදයට, ගෝලීය ධනවාදයේ ක‍්‍රියාකාරිත්වය තුලින් ලිහා හරින ලද ආර්ථික සහ දේශපාලන අපසාරී බලවේගයන් වලහාලීමට පැවති හැකියාව අධිමානනය කරන ලදී. ඇමරිකානු අධිරාජ්‍යවාදී බලයේ මුදුන්පෙත්තේ දී වුව එයට එවන් අසීමිත බලයක් කරා ලංවීගත හැකි වූයේ නැත. එහෙත් සෝවියට් සංගමයේ අවසානය විසින් ජනනය කෙරුනු උන්මාදය මැද්දේ, ඇමරිකානු පාලක පන්තිය, ඇමරිකානු සමාජයේ ගැඹුරින් මුල්බැසගත් හා දිග්ගැස්සෙන අර්බුදය නොතකා හැරීමට තීන්දු කලේ ය. 1960 සහ 1990 අතර එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය යන දෙතැනෙහිම අර්බුදය පරීක්ෂා කරන වෛෂයික නිරීක්ෂකයෙක්, හොඳින් ම සලකා බලනු ඇත්තේ, වඩා ගැඹුරින් අර්බුදයට පත්ව තිබුනේ මෙම තන්ත‍්‍ර දෙකින් කොයි එක ද යන්නය. සෝවියට් සංගමය විසුරුවා හැරීමට පෙර එලඹි දශක තුන තුල එක්සත් ජනපදය, දේශපාලන, සමාජ හා ආර්ථික අස්ථාවරයේ ඉහලම මට්ටම් පෙන්නුම් කලේ ය.

ගතවූ දශක තුන තුල බලයේ සිටි ජනාධිපති බලාධිකාර වලට අත්වූ ඉරනම සලකා බලන්න: (1) 1963 නොවැම්බරයේ දී දේශපාලන ඝාතනයකින් හමාර වූ, කෙනඩි අධිකාරයේ ඛේදාන්තය ද සිදු වූයේ උග‍්‍රවන්නාවූ සමාජ අර්බුදයක් ද ජාත්‍යන්තර අර්බුද මාලාවක් ද මැද්දෑවේ ය. (2) නාගරික කැරලි සහ වියට්නාමයේ ඇමරිකානු ආක‍්‍රමනයට එරෙහි මහජන විරෝධයේ තතු තුල කෙනඩිගේ අනුප‍්‍රාප්තික ලින්ඩන් බී. ජොන්සන් ට 1968 දී යලි ජනාධිපති ධුරයට පත් විය නොහැකි විය. (3) ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනා උඩ නියෝජිත මන්ත‍්‍රී මන්ඩලයේ අධිකරන කමිටුව ඔහුට එරෙහිව අධිචෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කිරීමේ සූදානම හමුවේ රිචඩ් නික්සන්ට, 1974 අගෝස්ස්තුවේ දී සිය නිලයෙන් ඉල්ලා අස්වීමට සිදු විය (4) නික්සන් ගෙන් පසු ජනධිපති ධුරයට පත් වූ ජෙරල්ඩ් ෆෝඩ් 1976 ජනපති වරනයෙන් පරාජයට පත් වූයේ, නික්සන්ගේ අපරාධ ද වියට්නාමයේ දී එක්සත් ජනපදය ලත් යුද්ධමය ව්‍යසනය ද පිලිබඳව පැන නැගි මහජන පිලිකුල මධ්‍යයේ ය. (5) එක් ධුර කාලයකට පමනක් සීමාවූ ජිමී කාටර්ගේ පාලනාධිකාරය තුල, ඇමරිකානු මහ බැංකුවේ මූලික පොලී අනුපාතිකය සියයට 20 දක්වා ඉහල යැවූ උද්ධමනකාරී අර්බුදයක් ද පතල් කම්කරුවන් ගේ වර්ජනය ද ඉරාන විප්ලවයෙන් ජනිත පශ්චාත් කම්පනයන් ද රජ කලේ ය. (6) රොනල්ඩ් රේගන්ගේ පාලන සමය “ඇමරිකාවේ හිමිදිරියක්” පිලිබඳ කයිවාරු ගැසූ නමුදු, එහි ප‍්‍රධාන ලක්ෂනය වූයේ, ආර්ථික පසුබෑම, කටුක සමාජ ආතතීන්, මැද පෙරදිග සහ මධ්‍යම අප‍්‍රිකාවේ විදේශ පිලිවෙත් ව්‍යසන මාලාවකි. නිකරගුවාවේ පැරා මිලිටරි මෙහෙයුම් (ඉරාන-කොන්ට‍්‍රා අර්බුදය) නීති විරෝධී සැලැස්මක ට මුදල් දුන් බව හෙලිදරව් වීම, රේගන් දෝෂාභියෝගයකට ලක් කිරීමට ආසන්න තත්වයක් උද්ගත කලේ ය. දේශපාලනිකව දුබලව, ඒ වන විටත් නොසිහියාවේ රෝග ලක්ෂන පෙන්නුම් කරමින් සිටි ජනාධිපතිවරයකු නිලයෙන් ඉවත් කිරීමට ඩිමොක‍්‍රැටික් පක්ෂ නායකත්වය සුදානම් නුවූ නිසා පමනි, ඔහුගේ පාලනාධිකාරය ගැලැවුනේ.

කෙනඩි ගේ පටන් රේගන් දක්වා මේ සියලු පාලනාධිකාරයක්ම පිලිබඳ පොදු ලක්ෂනය වූයේ, එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික තත්වයේ ඛාදනයයි. දෙවන ලෝක යුද්ධය අවසන දී පැවැති ඇමරිකානු මූල්‍යයේ සහ කර්මාන්තයේ නිසැක ආධිපත්‍යය, ඩොලරය රත්රන් වල ට පරිවර්තනය කිරීමේ හැකියාව මුල්කොටගත් ධනේශ්වරයේ ගෝලීය වර්ධනය සහ ස්ථාවරත්වයේ අත්තිවාරම වූ බ්‍රෙට්න්වූඞ්ස් පද්ධතිය සඳහා පසුබිම සම්පාදනය කලේ ය. 1950 අගවන විට, මෙම පද්ධතිය වැඩි වැඩියෙන් දැඩි වන පීඩනයකට ලක්ව පැවතුනි. මෙම පද්ධතිය මුලින්ම සැලකියයුතු කනස්සල්ලක් මතු කිරීමට පටන් ගත්තේ, මුලින්ම ඇමරිකානු ගෙවුම් ශේෂයේ හිඟයක් ඇතිවීමට පටන්ගත් කෙනඩි පාලන සමයේ දීය. 1971 අගෝස්තු 15 දා ජනධිපති නික්සන් රත්රන් අවුන්සයකට ඩොලර් 35 අනුපාතයට හුවමාරු කල හැකිව තිබුනු බ්‍රෙට්න් වුඞ්ස් පද්ධතිය හිටි ගමන් අවසන් කලේ ය. ඉක්බිති එලඹි 1970 ගනන් සහ 1980 ගනන් වලදී ඩොලරයේ හුවමාරු අනුපාතය පිරිහීම ඇමරිකානු ආර්ථිකයේ පරිහානිය පිලිිබිඹු කලේය.

සෝවියට් සංගමය විසුරුවා හැරීමට ඇමරිකාව දැක්වූ යුදවාදී ප‍්‍රතිචාරය පිලිබිඹු කලේ, ඇමරිකානු ධනවාදයේ ශක්තිය නොව දුබලකමයි. සිය ආර්ථික තත්වයේ දිග්ගැසුනු ගෝලීය ඛාදනය, අතිමහත් යුද බලය යෙදවීම මගින් ජයගත හැකිය යන රැවටිල්ල, ඇමරිකා එක්සත් ජනපදයේ උග‍්‍ර ආක‍්‍රමනික විදේශ ප‍්‍රතිපත්තියට පාලක ප‍්‍රභූවේ අතිමහත් බහු තරයක ඒකමතික භාවය ලබා ගැනීම සඳහා යොදා ගැනුනි.

1992 පෙබරවාරියේ දී ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සකසන ලද ආරක්ෂක සැලසුම් නියාමනය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යවාදී විජිගීෂාව නිසැකව ම තහවුරු කර දැක්විය:

ඉදිරි අනාගතයේ දී කලාපීය පරිමානයෙන් හෝ ගෝලීය ආධිපත්‍යය සඳහා මූලෝපායික අරමුනු සහ ආරක්ෂක හැකියාවන් වර්ධනය කර ගැනීමේ ශක්‍යතාවය ඇති තවත් ජාතින් බිහිවනු ඇත. දැන් අපගේ මූලෝපාය යලි යොමු කල යුත්තේ, කවර හෝ විභව අනාගත තරග කරුවෙකු පැන නැගීම වලක්වාලීම උදෙසාය. (11)

1990 ගනන්වල අපට දක්නට ලැබුනේ, එක්සත් ජනපදයේ මිලිටරි බලය නිරතුරුව, විශේෂයෙන් ම පලමුවන ගල්ෆ් යුද්ධයේදී ද ඉන් ඉක්බිතිව යුගෝස්ලාවියාව කැබලි කර දැමීමට ද යොදවන ලද හැටියි. භාතෘ ඝාතක සිවිල් යුද්ධයක් අවුලුවා ලමින් බෝල්කන් රාජ්‍යය ප‍්‍රතිව්‍යුහගත කිරීම මුදුන් පත් කර ගනු ලැබුවේ, 1999 බෝම්බ දැමීම් මගින් කොසොවෝ ප‍්‍රාන්තය වෙන්කරලීම පිලිගැනීමට සර්බියාවට බල කරමිනි. එම දශකය තුල කරන ලද අනෙකුත් ප‍්‍රමුඛ මිලිටරි මෙහෙයුම් වලට, ව්‍යසනයකින් අවසානය දුටු සෝමාලියාවට මැදිහත්වීම ද හයිටි රාජ්‍යය බලෙන් අල්ලා ගැනීම, සුඩානයට සහා ඇෆ්ඝනිස්ථානය ට බෝම්බ දැමීම සහ යලි යලිත් ඉරාකයට බෝම්බ දැමීම ඇතුලත් වෙයි.

2001 සැප්තැම්බර් 11 දා සිද්ධීන් “ත‍්‍රස්තවාදයට විරුද්ධ යුද්ධය” යන කුමන හෝ මිලිටරි මැදිහත්වීමක් යුක්ති සහගත කරන ප‍්‍රචාරක සටන් පාඨය යටතේ, මැද පෙරදිග, මධ්‍යම ආසියාව සහ අප‍්‍රිකාව පුරා තව තවත් යුද මැදිහත්වීම් උග‍්‍ර කිරීමට යොදාගන්නා ලදී. ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තියේ සුජාත සහ සාමාන්‍ය උපකරනයක් ලෙස යුද්ධය සංස්ථාපිත කිරීමට බුෂ් පාලනාධිකාරයට මේ මගින් කඩතුරාවක් සම්පාදනය කර දුනි.

දෙවන බුෂ් ජනාධිපතිගේ පාලනාධිකාරය 2001 ශරත් ඍතුවේ දී ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමනය කිරීම ට අන දුනි. 9/11 පසුව කරන ලද කතාවලදී බුෂ් “21වන සියවසේ යුද්ධ” යන වාක්‍යය යොදා ගත්තේ ය. සාමාන්‍යයෙන් නම් හරියට කතා කර ගත නොහැකි මෙම ජනාධිපති වරයා මේ අවස්ථාවෙදි නම් පැහැදිලිව කතා කලේ ය. “ත‍්‍රස්ත විරෝධී යුද්ධය” යන්න මුලපටන්ම සංකල්පනය කරන ලද්දේ භූතලය පුරා අනවරත යුද මැදිහත්වීම් මාලාවක් සඳහා පසුබිම ලෙසය. මින් එක යුද්ධයක් අනිවාර්යයෙන් ම තවත් එකකට මග පෑදීය. ඇෆ්ඝනිස්ථානය ඉරාක ආක‍්‍රමනයේ පූර්ව රංගනය වූ බව සනාථ වී තිබේ.

2002 දී සම්මත කර ගත් “වැලැක්වීමේ යුද්ධය” යන නව ධර්මතාව ට ගැලපෙන පරිදි එක්සත් ජනපදයේ යුද මුලෝපාය සකසා ගන්න ලදී. පවත්නා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කල මෙම න්‍යාය අනුව, තමන්ට මිලිටරිමය පමනක් නොව ආර්ථික ස්වභාවයක පවා තර්ජනයක් එල්ල කරන්නට ඉඩ ඇතැයි පෙනී යන ලෝකයේ ඕනෑම රටකට පහර දෙන්නට එක්සත් ජනපදයට අයිතියක් ඇති බව කියා සිටියේය.

මෙය පවා ව්‍යාජ ලෙස පාවිච්චි කල බුෂ් පාලනාධිකාරය ඉරාකය ආක‍්‍රමනය කලේ, ඉරාකයේ “ජන ඝාතක අවි” එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට ක්ෂනික තර්ජනයක් එල්ල කර ඇති බවක් කියාපාමින් එය, පුර්වභංග යුද්ධයක් ලෙස යුක්ති සහගත කරමිනි. සත්තකින්ම සදාම් හුසේන්ගේ ජන ඝාතක අවි මෙන්ම එවන් තර්ජනයක් ද නොපැවතියේය. කෙසේ වෙතත් බුෂ් පාලනාධිකාරය, පුර්වභංග යුද්ධය ද වැලැක්වීමේ යුද්ධය ද අතර වෙනස මකාදැමීය. ඒ, ඇමරිකානු ජාතික ආරක්ෂාවට ක්ෂනික තාර්ජනයක් තිබුනත් නොතිබුනත් ඕනෑම රටකට පහර දීමට ඇමරිකා එක්සත් ජනපදයට අයිතියක් ඇතැයි තහවුරු කරමිනි. ඇමරිකානු ජනාධිපති වරුන් විසින් ප‍්‍රචාරක කටයුතු සඳහා කුමන වචන යොදා ගත්ත ද එක්සත් ජනපදය අනුගමනය කරන්නේ නීති විරෝධී වැලැක්වීමේ යුද්ධය පිලිිබඳ ධර්මතාවයි.

ඇමරිකාවේ මිලිටරි මෙහෙයුම්වල පරිමාව නිරන්තරව පුලුල් වී තිබේ. පැරනි ඒවා කරගෙන යන ගමන්ම අලුත් යුද්ධ අරඹන ලදී. 2011 දි ලිබියාවට එරෙහිව යුද්ධය හා මුවම්මර් ගඩාෆි ගේ පාලනය පෙරලා දැමීම සඳහා මානව අයිතිවාසිකම් පිලිිබඳ නරුම කඩතුරාව යොදාගැනුනි. සිරියාවේ කුලීකාර යුද්ධය සංවිධානය කිරීමට ද එම වංචනික කඩතුරාවම යොදාගත්තේය. මිනිස් ජීවිත සහ දුක් වේදනා වශයෙන් මෙම අපරාධවල විපාක මිනිය නොහැකිය.

එක්සත් ජනපදය විසින් අවුලුවනු ලද යුද්ධ වලින් ගහන පසුගිය 25 වසර අධ්‍යයනය කල යුත්තේ, අන්තර් සම්බන්ධිත සිද්ධි දාමයක් ලෙසය. ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමරිකාවේ යුද ධාවනයේ මූලෝපායික තර්කනය, මැද පෙරදිග සහ අප‍්‍රිකාවේ නව යටත් විජිතවාදී මෙහෙයුම් වලින් ඔබ්බට දිවෙයි. දැනට කෙරීගෙන යන ප‍්‍රාදේශීය යුද්ධ, රුසියාව හා චීනය සමග ඇමරිකාවේ වේගයෙන් පැතිර යන ගැටුමේ සංරචකයන්ය.

1990- 91 සිද්ධීන්ගේ සාරභූත අර්ථ භාරය එලිදරව් කරනු ලබන්නේ, මූලෝපායිකව තීරනාත්මක යුරේසියානු භූස්කන්ධය මත සිය පාලනය තහවුරු කර ගැනීම සඳහා ඇමරිකාව දරන්නාවූ ප‍්‍රයත්නයන්ගේ ප‍්‍රිස්මය තුලිනි. එහෙත් රුසියාව සහ චීනය සමග ගැටුමේ හදවතෙහිම පවතින, ලෝක ආධිපත්‍යය සඳහා කෙරීගෙන යන මෙම අරගලයේ අලුත්ම අදියර, ඇමරිකා එක්සත් ජනපදය ද එහි වත්මන් අධිරාජ්‍යවාදී සහචරයින් ද අතර පුපුරන සුලු විභවයකින් යුතු ආතතීන් මතුපිටට ගෙන එයි. ඔවුනතුරෙන් වඩාත්ම වැදගත් සහ විභවීය සතුරා වන ජර්මනිය ද ඇතුලුව විසිවෙනි සියවසේ ලෝක යුද්ධ දෙකම සිදුවූයේ වැරදි වැටහීම් නිසා නොවේ. අතීතය පූර්ව රංගනයකි. 1990-91 දී ජාත්‍යන්තර කමිටුව පෙර දුටු පරිදි, ලෝක ආධිපත්‍යය සඳහා ඇමරිකානු සුදානම, ලෝක දේශපාලනය යට පැසවමින් ඇති අන්තර් අධිරාජවාදී එදිරිවාදිකම් යලිත් එලිමහනට ගෙනාවේය. ලෝක සිද්ධීන් ගේ අවසාන බේරුම් කාරයා ලෙස එක්සත් ජනපදයේ භූමිකාව පිලිබඳ අතෘප්තිය යුරෝපයේදී විවෘතව කථා කරනු ලැබේ. ජර්මන් විදේශ ඇමති ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් අධිකාරවත් එක්සත් ජනපද විදේශ සම්බන්ධතා මන්ඩලයේ සඟරාව වන ෆොරින් එෆෙයාර්ස්හි පල කල ප‍්‍රකෝපකාරී ලිපියකින්, ලෝකාධිපත්‍ය පිලිබඳ වොෂින්ටනයේ ව්‍යායාමයට කෙලින්ම අභියෝග කර තිබේ.

ඉරාක යුද්ධයේ විපාක වලින් එක්සත් ජනපදය සසලවී සිටින තතු තුල, යුරෝපය අර්බුද මාලාවක් සමග පොර බදද්දී, ජර්මනිය සිය මතයම දරා සිටියි...

අද දින ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය යන දෙකොට්ඨාශයම, ගෝලීය නායකත්වය සම්පාදනය කිරීමේ අරගලයක යෙදී සිටිති. 2003 ඉරාක ආක‍්‍රමනය, ලෝකය තුල එක්සත් ජනපදය දරා සිටි තත්වයට හානි සිදු කලේය. සදාම් හුසේන් ඉවත් කිරීමෙන් පසු ඉරාකය, නිකායවාදී ප‍්‍රචන්ඩත්වයෙන් කැබලි වී ඇති අතර කලාපය තුල ඇමෙරිකානු බලය ගරා වැටෙන්නට විය. ජෝර්ජ්. ඩබ්ලිව්. බුෂ් පාලනාධිකාරය, බලය යොදා කලාපය ස්ථාවර කිරීමට අසමත් වූවා පමනක් නොව, එසේ කිරීමට දරන ලද මදාවි ප‍්‍රයත්නය ද එහි දේශපාලන, ආර්ථික පිරිවැය ද එක්සත් ජනපදයේ ලෝක තත්වයට වල කැපීය. ඒක ධ‍්‍රැවීය ලෝකයක් පිලිබඳ මිථ්‍යාව දියවෙමින් ඇත. (12)

ස්ටේන්මියර් එක්සත් ජනපදයට මෙසේ චෝදනා කරයි. “අපගේ ඓතිහාසික අත්දැකීම, ජාතික සුවිශේෂතාවාදය පිලිබඳ කුමන හෝ විස්වාසයක් බිඳ දමා තිබේ. මෙය කුමන ජාතියක් පිලිබඳව වුව සත්‍ය වේ.” (13)

මානව ඓතිවාසිකම් ආරක්ෂා කිරීමේ සහ “ත‍්‍රස්ත විරෝධී යුද්ධය” පිලිබඳ නිල කතිකාවේ රාමුව තුල වැඩ කරන මාධ්‍යවේදීන්ට හා ශාස්ත‍්‍රාලිකයන්ට පැහැදිලි කර ගත නොහැකි කාරනය නම්, වැල නොකැඞී පැවතීගෙන යන ගැටුම් මාලාවයි: 1990-91 ගල්ෆ් යුද්ධයේ සිට නැටෝ දේශ සීමාව මේ වන විට සැතපුම් 800ක් නැගෙනහිරට තල්ලු කරනු ලැබ තිබීම හා ආමරිකානු “ආසියාවට හැරීම” දක්වා .... ඇමරිකා එක්සත් ජනපදය සහ එහි සහචරයෝ, නිරන්තර පදනමක, නැගෙනහිර යුරෝපයේ රුසියානු දේශසීමා ආසන්නයේ ද, චීන වෙරලෙන් ඔබ්බේ මූලෝපායික වශයෙන් වැදගත් මුහුුදු ප‍්‍රදේශ වල ද යුද අභ්‍යාසවල යෙදී සිටිති. එක්කෝ දැනුවත් ගනන් බැලීමක් නැති නම් ඉවබව නැති වැරදි ගනන් බැලීමක් මගින් ඇතිවිය හැකි සිදුවීමක්, න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක් බවට පෙරලී යාම නොසිතිය හැක්කක් නොවේ. 2014 දී පලමු ලෝක යුද්ධයේ ශත සංවත්සරය ලඟා වෙද්දී, පලවෙන්නට පටන්ගත් වියත් ලේඛකයින්ගේ ලිපි මාලාවක්, 1914 අගෝස්තු ව්‍යසනය සහ වත්මන් ආතතීන් අතර සමාන කොන්දේසි කෙරේ අවාධානය යොමු කලෝ ය.

අද දින හා 1914 අතර එක් සමාන්තරයක් නම්, දේශපාලන සහ යුද මූලෝපායඥයින් අතර ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හා/හෝ රුසියාව අතර යුද්ධය නොවැලක්විය හැකිය යන වැඩෙන අවබෝධයයි. මෙම ඉරනම්වාදී ප‍්‍රස්තුතය, රාජ්‍යයේ ඉහලම මට්ටම්වල ප‍්‍රමුඛ තීන්දු ගන්නවුන්ගේ නිගමන සහ ක‍්‍රියාවන්ට වඩ වඩාත් බලපාන තතු තුල, එය ඇත්තටම යුද්ධය පුපුරායාම වඩාත් ආසන්න කරන්නාවූ ගතික සාධකයක් බවට පත්වෙයි. ජාත්‍යන්තර භූ දේශපාලනය පිලිබඳ විශේෂඥයෙක් මෑතකදී මෙසේ ලියා ඇත:

යුද්ධයක් වැලැක්විය නොහැකි යයි නිගමනය කරනු ලැබූ කල්හි, නායකයන්ගේ සහ මිලිටරියන්හි ගනන් බැලීම් වෙනස් වේ. තවදුරටත් ප‍්‍රශ්නය වන්නේ, යුද්ධයක් සිදුවිය යුතු ද හෝ සිදුවිය හැකි ද යන්න නොව, යුද්ධය වඩාත් වාසි සහගතව කල හැක්කේ කොයි වෙලාවේ ද යන්නයි. යුද්ධය පිලිබඳව ශුභවාදී හෝ උනන්දුවක් නැති අය පවා රාමුව තුල වැඩකරන්නේ නොවැලැක්විය හැකි කම නම් සටන් වැදීමට නැඹුරු වනු ඇත. (14)

දෙවන ලෝක යුද්ධයෙන් පසුව කවර කලෙකවත් යුද්ධයක අන්තරාය මෙතරම් උග‍්‍ර අතට හැරී නැත. අනතුර පිලිබඳ මහජනතාවගේ දැනුවත් භාවය ඉතා අඩු මට්ටමක පවතින තාක් එම අන්තරාය ද උග‍්‍ර වෙයි. එස්තෝනියාව නැමති කුඩා බෝල්ටික් රාජ්‍යය සමග අසල්වැසි රුසියාව යුද්ධයකට ගියහොත් එස්තෝනියාවේ ආරක්ෂාවට එක්සත් ජනපදය යන බවට ජනාධිපති බරක් ඔබාමා නිලවශයෙන් පොරොන්දු වී සිටින බව වටහාගෙන ඇත්තේ ඇමරිකානු ජනගහනයෙන් කීයෙන් කී දෙනෙක් ද? ඇමරිකා එක්සත් ජනපදය, රුසියාවට හෝ චීනය ට නැතහොත් ඒ දෙරටට ම විරුද්ධව එක විටම න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ කලහොත්, කොපමන මිනිසුන් සංඛ්‍යාවක් මරනයට පත් වේ දැයි ජනාධිපතිවරයාගෙන් නොවිමසීම ට තරම් ජනමාධ්‍ය ඉතා ආචාරශිලී ය.

දෙවන ලෝක යුද්ධය ආසන්නයේ දී ලියොන් ට්‍රොට්ස්කි, මානව වර්ගයා ගේ සමස්ත සංස්කෘතියම මහා ව්‍යසනයක තර්ජනයට ලක්ව ඇති බව පැවසීය. ඔහු නිවැරදි බව ඔප්පු විය. දශකයක් ගතවීමටත් පෙර දෙවන ලෝක යුද්ධය, මිලියන පනහකට වැඩි ජනකායකගේ ජිවිත වනසා දැමීය. යලිත් වරක් අනතුරු හඟවන නලාව හැඬවිය යුතුව ඇත. ඇමරිකාවේ ද ලෝකයේ ද කම්කරු පන්තියට හා තරුනයින්ට සත්‍යය පැවසිය යුතුය.

ගෝලීය වශයෙන් එකාග‍්‍රිත ලෝක ආර්ථිකයක ප‍්‍රගාමි වර්ධනය ධනපති ක‍්‍රමය සහ ජාතික රාජ්‍ය පද්ධතිය සමග කිසිසේත්ම ගැලපෙන්නේ නැත. යුද්ධය නතර කර ගෝලීය ව්‍යසනය වලක්වාලීමට නම් සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම්වූ හා මූලෝපායික වශයෙන් විප්ලවවාදී පන්ති අරගලයේ මූලධර්ම වලින් මෙහෙයවෙන බලගතු ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුව ඇත. ප‍්‍රාදේශීය සහ ගෝලීය ආධිපත්‍යය සඳහා ජාතික රාජ්‍යයන් මෘග ලෙස සටන් වැදී සිටින, අධිරාජ්‍යවාදී භූ දේශපාලනයට ප‍්‍රති විරුද්ධව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කරන්නේ, ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායයි. ට්‍රොට්ස්කි උපදෙස් දුන් පරිදි අප අනුයන්නේ “යුද සිතියම නොව, පන්ති අරගලයේ සිතියමයි”.... (15)

2003 ඉරාක ආක‍්‍රමනයට පෙර සතිවලදී, එක්සත් ජන්පදයේ හා එහි සහචරයින්ගේ යුද පිලිවෙත් වලට එරෙහිව මහජන විරෝධතා පැවැත්වින. මිලියන සංඛ්‍යාත ජනතාව වීදිවලට පැමිනියහ. එහෙත් යුද්ධය ආරම්භ වූ පසුව මහජන විරෝධය මුලුමනින්ම පාහේ අතුරුදහන් විය. මහජන විරෝධය නොතිබීම පෙන්නුම් කලේ යුද්ධය කෙරේ පලවූ සහයෝගයක් නොවේ. ඒ වෙනුවට එය නියෝජනය කලේ, පැරනි මධ්‍යම පන්තික විරෝධතා ව්‍යාපාරය විසින් වියට්නාම යුද සමයේ පූර්ව අධිරාජ්‍ය විරෝධය අත හැර දමා තිබීමයි.

කම්කරු පන්තියේ ද තරුනයන්ගේ ද සැලකිය යුතු කොටස් අතර දේශපාලන රැඩිකලි කරනයේ වැඩෙන ලකුනු පවතී. මෙම රැඩිකලී කරනය යුද්ධයට එරෙහිව දැනුවත් විරෝධයක් ලෙස පැන නැගීම කාලය පිලිබඳ ප‍්‍රශ්නයක් පමනි. මෙම කෘතියේ අරමුන, නව යුද විරෝධි ව්‍යාපාරයට විප්ලවවාදී, සමාජවාදී, සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් හා ක‍්‍රියාමාර්ගයක් සම්පාදනය කිරීම ය.

සටහන්

1. “1990 අගෝස්තු: එක්සත් ජනපදයේ පලමු ඉරාක යුද්ධය මුවවිට” බලන්න, පලමු කොටස, A Quarter Century of War (විසිපස් වසරක යුද්ධය).

2. මාක් ලැන්ඞ්ලර්, “ඔබාමාට යුද්ධයේ පූර්න දෙ වාරයක බලාපොරොත්තු රහිත උරුමය” නිව් යෝර්ක් ටයිම්ස්, 2016 මැයි 14.

3.Public Papers of the Presidents of the United States: George H.W. Bush එක්සත් ජනපදයේ ජනාධිපතිගේ ප‍්‍රසිද්ධ ලේඛන: ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්, රාජ්‍ය තත්ව වාර්තාව, 1991 ජනවාරි 29, www.presidency.ucsb.edu/ws/?pid=19253

4. ආර්. ක්‍රේග් නේෂන්, War on War: Lenin, the Zimmerwald Left, and the Origins of Communist Internationalism යුද්ධය මත යුද්ධය: ලෙනින්, සිමවෝල්ඞ් වාමාංශය, හා කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදයේ මූලාරම්භයෝ, (ඩර්හැම් ඇන්ඩ් ලන්ඩන්: ඩියුක් විශ්විද්‍යාල මුද්‍රනාලය, 1989), 173 පිටුව.

5. මෙල්වින් පී. ලෙෆ්ලර්, The Specter of Communism: The United States and the Origins of the Cold War, 1917–1953 , කොමියුනිස්ට්වාදයේ අවතාරය: එක්සත් ජනපදය හා සීතල යුද්ධයේ මූලාරම්භයෝ, 1917-1953, (නිව් යෝර්ක්: හිල් ඇන්ඩ් වෑන්ග්, 1994), 6 පිටුව.

6. විලියම් ඇපල්මන් විලියම්ස්, The Tragedy of American Diplomacy , ඇමරිකානු රාජ්‍යතාන්ත‍්‍රිකයේ ඛේදවාචකය, (නිව් යෝර්ක් හා ලන්ඩන්, ඩබ්ලිව්. ඩබ්ලිව්. නෝටන් හා සමාගම, 1972), 105-06 පිටු.

7. එම., 105 පිටුව.

8. මයිකල් මැන්ඩෙල්බෝම් හා ස්ට්‍රෝබ් ටැල්බට්, Reagan and Gorbachev, රේගන් හා ගොර්බචෙව්, (නිව් යෝර්ක්: වින්ටේජ් බුක්ස්, 1987), 189 පිටුව.

9. එම., 190 පිටුව.

10. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය, “What is Happening in the USSR? Gorbachev and the Crisis of Stalinism,” රුසියාව තුල සිදුවෙමින් ඇත්තේ කුමක් ද? ගොර්බචෙව් හා ස්ටැලින්වාදයේ අර්බුදය Fourth International (හතරවන ජාත්‍යන්තරය, 1987 ජූනි), 37 පිටුව.

11. US Department of Defense, Defense Planning Guidance එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආරක්ෂක සැලසුම් මගපෙන්වීම, 1992 මාර්තු 8දා නිව් යොර්ක් ටයිම්ස් පල කල පරිදි,)

http://nsarchive.gwu.edu/nukevault/ebb245/doc03_extract_nytedit.pdf.

12. ෆ‍්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර්, “Germany’s New Global Role: Berlin Steps Up,” ”ජර්මනියේ නව ගෝලීය ක‍්‍රියාකලාපය, බර්ලිනය නැගී සිටියි” Foreign Affairs , ෆොරීන් එෆෙයාර්ස්, 85 වෙලුම, අංක 4, 2016 ජූලි-අගෝස්තු, 106-07 පිටු.

13. එම., 110 පිටුව.

14. ස්ටීවන් ඊ මිලර්, The Next Great War? The Roots of World War I and the Risk of U.S.-China Conflict, මීලඟ මහා යුද්ධය? පලවෙනි ලෝක යුද්ධයේ මූලය සහ එක්සත් ජනපද–චීන ගැටුමේ අවදානම (එම්අයිටී ප්‍රෙස්, 2014), 11 පිටුව.

15. යුද්ධය හා ජාත්‍යන්තරය -1914 ඔක්තෝබර් - යුද්ධය හා හතරවන ජාත්‍යන්තරය-1934 ජූනි, ලියොන් ට්‍රොට්ස්කි (කම්කරු මාවත ප‍්‍රකාශන, 2016) 33 පිටුව.

Share this article: