කොර්බින් විරෝධී කුමන්ත‍්‍රනය සහ බ්‍රෙක්සිට් පිලිබඳ දෙවැනි ජනමත විමසුමක් සඳහා කැරෙන ඉල්ලීම

The anti-Corbyn coup and calls for a second referendum on Brexit

බි‍්‍රතාන්‍ය සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය , 2016 ජූලි 1

බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂ නායක ජෙරමි කොර්බින් ට විරුද්ධ කැරැල්ලකට අරඅදින දක්ෂිනාංශික කල්ලියකගේ කුමන්ත‍්‍රනය, බි‍්‍රතාන්‍යයේ ද එක්සත් ජනපදයේ ද රහස් ඔත්තු සේවාවන් සමග ඉතා සමීප සහයෝගයකින් සිදුකෙරෙමින් පවතින්නකි. එහි ප‍්‍රධාන ප‍්‍රචාරක අවිය ගාඩියන් පුවත් පතයි. එහි අරමුන, ජුනි 23 දා ජනමත විචාරනයේ ප‍්‍රතිඵලය නිෂේධනය කර, තමන්ට ගැලපෙන පරිදි සකසාගත් ලේබර් පක්ෂයක් බලයට පත් කරගැනීම මගින් හෝ එය සභාග ආන්ඩුවකට සම්බන්ධ කර ගැනීම මගින් යුරෝපීය සංගමයේ බි‍්‍රතාන්‍ය සාමාජිකත්වය සහතික කර ගැනීම යි.

යුරෝපීය සංගමයෙන් ඉවත්වීමට පක්ෂපාති මෙහෙයුමේ ජයග‍්‍රහනයෙන් ඉක්බිතිව ඇරඹුනු කොර්බින්ට එරෙහි පියවරයන්ට සහභාගි වන සෑම මූලික පුද්ගලයෙක් ම ලේබර් පක්ෂයේ බ්ලෙයාර්ගේ පැත්තේ අය යි. මෙයට දැන් සිටින ලේබර් පක්ෂ මන්ත‍්‍රීවරුන් සහ ඡායා-ඇමති මන්ඩලයේ සාමාජිකයන් පමනක් නොව, හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ද ඇතුලු අභ්‍යන්තර කවය ද -එනම්, ඇලිස්ටෙයාර් කැම්බල්, ඩේවිඩ් බ්ලන්කට්, ජැක් ස්ට්‍රෝ සහ සෙස්සෝ ද- ඇතුලත් වෙති. එම්අයි 5 සහ එම්අයි 6 යන බි‍්‍රතාන්‍ය රහස් ඔත්තු සේවා විසින් තෝරා අනුමත කැරුනු, සීඅයිඒ සංවිධානයෙන් අන ලබන, චෝදනා නොලත් යුද අපරාධකරුවන් වන මොවුහු, කොර්බින් පමනක් නොව ඔහුගේ සම්පූර්න සහයෝගිතා පදනම ම පක්ෂයෙන් පලවාහැරීමේ කටයුත්ත බාරව වැඩට බැසගෙන සිටිති.

කප්පාදුවට ද යුදවාදයට ද එරෙහිව කොර්බින්ගේ ප‍්‍රකාශිත විරෝධය බ්ලෙයාර්වාදීන් ට පෙනෙන්නේ, දරාගත නොහැකි අපචාරයක් ලෙස ය. මොවුන් 1980 ගනන්වල පටන් “නව ලේබර්” ආන්ඩුවක් පත්කරගැනීම දක්වා සිදු කර ඇත්තේ, තැචර්වාදී ආර්ථික පිලිවෙත් ක‍්‍රියාත්මක කිරීමේදී ද ඇෆ්ඝනිස්ථානයේ සහ ඉක්බිති ඉරාකයේ යටත් විජිත යුද්ධවලදී ද එක්සත් ජනපදය සමග කොන්දේසි විරහිත සන්ධානය පවත්වා ගැනීමේදී ද ලේබර් පක්ෂය උපකරනයක් බවට පත් කිරීමය.

ගිය අවුරුදේ දී කොර්බින්ගේ මැතිවරන ජය මොවුන් විසින් දිගටම දැකගෙන ඇත්තේ, ලේබර් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර නායකයා තෝරාගැනීම සාමාජිකයන් සහ හිතවතුන් ගේ පුලුල් ඡන්දයකින් සිදු කිරීමට ගනු ලැබ තිබුනු වැරදි තීන්දුවක විපාකයක් ලෙසය. එහෙත්, කොර්බින් නායකත්වයෙන් ඉවත් කිරීම නොකර බැරි දෙයක් ලෙස මොවුන් සලකන්නට පටන් ගත්තේ, ජනමත විචාර තීන්දුවෙන් පසුව ය. බි‍්‍රතාන්‍ය සහ එක්සත් ජනපදය තුල පාලක ප‍්‍රභූවේ උත්සුකතාවයන්, විශේෂයෙන් ම රුසියාවට එරෙහිව නේටෝව සහ මිලිටරි ප‍්‍රකෝපකරනයන් ඉල්ලා සිටින්නේ - ජනමත විචාර තීන්දුව අහෝසිකර දැමීම අත්‍යවශ්‍ය බවය. ලේබර් පක්ෂය මෙම ප‍්‍රතිගාමී ව්‍යාපෘතිය උපකරනයක් ලෙස තෝරා ගනු ලැබ ඇත්තේ කොන්සර්වටිව් පක්ෂය තුල බ්‍රෙක්සිට්-හිතැති බලවේග බලවත්ව පවත්නා තතු තුල ය. බදාදා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වොෂිංටනයේ ඉල්ලීම ඉදිරිපත් කරමින් ජනමත විචාරනයේ ප‍්‍රතිඵල ය ආපසු හැරවිය හැකි බව වාර්තාකරුවන් ට කියා සිටියේ මෙසේ ය, “මෙය සිදු කිරීමට ක‍්‍රම කිහිපයක් ඇති යයි මම සිතමි. එහෙත් අද ඒවා එලියට දැමීමට මා සූදානම් නැත.”

ඊලඟ දිනයේ ගාඩියන් පුවත්පත රොබට් හන්ටර් විසින් ලියනලද මත-ප‍්‍රකාශක ලිපියක් පලකලේ ය. මෙය කරන ලද්දේ ලේඛකයා ඉහල පෙලේ එක්සත් ජනපද නිලධාරියෙකු බව පාඨකයන්ට නො දන්වාය. අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ හිටපු ප‍්‍රධනියා ද නැටෝවේ හිටපු එක්සත් ජනපද තානාපතියා ද වන ඔහු තවත් ප‍්‍රමුඛ මිලිටරි තනතුරු ගනනාවක් දරා ඇත. විකිපීඩියා ඔහුව හඳුන්වා ඇත්තේ ”නැටෝව ප‍්‍රතිනිර්මානය කිරීමට ද නැටෝ ව සහ යුරෝපීය සංගමය අතර බාධා බිඳලීමට ද” උදව් කරන තැනැත්තා ලෙස ය.

හන්ටර් කියා සිටින්නේ ජනමත විචාරනය “රැලක බලය” බවත්, එහෙයින් නොතකා හැරිය යුතු බවත් ය. එය “නව නායකත්වයක් සහ නව ආන්ඩුවක් සඳහා වූ මැතිවරනයක් මගින් පෙරලා දැමිය යුතු” යයි ඔහු කියාසිටී.

බ්ලෙයාර්වාදියෝ මෙම විධානය දේශපාලන ක‍්‍රියාවක් බවට පත් කර ගෙන සිටිති. ලේබර් නායකයා තරුන පරපුර තුල පවත්නා යුරොපීය සංගමයට හිතවත් අපේක්ෂාවන් ‘පාවාදුන්නේය’ යන චෝදනාව යොදාගනිමින් කොර්බින් ට විරුද්ධ විශ්වාස භංග චන්දය ක‍්‍රියාවට නැංවුයේ ඔවුන් ය. ගාඩියන් පුවත් පතේ එම මුද්‍රනයේ ම, බ්ලෙයාර්ගේ හිටපු කාර්යමන්ඩල ප‍්‍රධානියා වූ ජොනතන් පවල් විසින් ලියනලද ලිපියක් ද පල කර ඇත. ඔහු එහි කියා ඇත්තේ, “යූරෝපීය සංගමයේ රැඳී සිටීමට පක්ෂපාති රටේ 48% දෙනා වෙනුවන් ලේබර් පක්ෂය කතා කල” යුතු බවය. “පැහැදිලිවම කොර්බින් එම කටයුත්ත ඉටු කල හැකි තැනැත්තා නොවේ.” එහෙයින් නව නායකයෙක්, ‘යුරෝපය තුල අපගේ තත්වය ගලවා ගැනීම සඳහා අපගේ සහකරුවන් සමග යලිත් සාකච්ඡා කරන’ බවට පැහැදිලි පොරොන්දුවක් උඩ මැතිවරනයට ඉදිරිපත් විය හැකි නව නායකයෙක් අවශ්‍යව ඇත. “ලේබර් පක්ෂය මැතිවරනයෙන් ජයගත හොත් ඇගේ ප‍්‍රථම කර්තව්‍යය වනු ඇත්තේ දෙවන ජනමත විමසීමක් පැවැත්වීමය.”

ඊයේ ලේබර් පක්ෂයේ ජෙරයීන්ට් ඬේවිස් සහ ප්ල්යිඞ් සිම්රු පක්ෂයේ (වේල්ස් ප‍්‍රාන්ත යේ පක්ෂයක්) ජෝනතන් එඞ්වර්ඞ්ස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාවක් මගින්, යූරෝපිය සංගමය වෙතින් බි‍්‍රතාන්‍ය ඉවත් වීමේ දී කුමන කොන්දේසි වලට එකඟ විය යුතු ද යන්න පිලිබඳව දෙවන ජනමත විචාරනයක් පැවැත්විය යුතු යයි කියා සිටියෝ ය.

සමාජවාදී සමානතා පක්ෂය මෙම කුටෝපායයන් හෙලාදකී. ඒවා සිහියට නංවන්නේ, යූරෝපීය සංගමයේ තවත් කප්පාදු මාලාවක් මහජනයා විසින් පිලිගනු ඇතිය යන අපේක්ෂාවෙන් සිරිසා ආන්ඩුව, පසු ගිය අවුරුද්දේ ග‍්‍රීසියේ ජනමත විචාරනයක් පැවැත්වූ අවස්ථාවයි ‘එපා’ චන්ද බහුතරයක් ලැබුනු තතු තුල සිරිසා නායක අලෙක්සිස් සිප‍්‍රාස් කලේ, ප‍්‍රතිඵලය ට පයින් ගසා වැඩ කරගෙන යාමයි.

බ්‍රෙක්සිට් ඡන්දය වටා ඉමහත් ව්‍යාකුලත්වයක් නිර්මානය කොට ඇත. ඒ අන් සියල්ලටමත් වඩා ‘ඉවත්වීමේ’ ව්‍යායාමයට නායකත්වය දුන් පරභීතික දක්ෂිනංශික බලවේගයන් විසිනි. දැන් යූරෝපීය සංගමය හැරයාමේ ආර්ථික බලපෑම පිලබඳ උත්සුකතා විසින් මෙය තවදුරටත් උග‍්‍ර කරනු ලැබ තිබේ. දෙවන ජනමතයක් ඉල්ලා පෙත්සමක් කැඳවීමටත් එයට මේ වන විට අත්සන් මිලියන් 4 ක් එක්කර ගැනීමටත් ඬේවිස් සහ එඞ්වඞ්ස් සමත්ව ඇත්තේ එම තතු තුලය.

කෙසේ වෙතත් දෙන ලද ඡන්දය පෙරලා දැමීමට දැරෙන දුර්යත්නය, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වන අතර කම්කරු පන්තියට එරෙහිව වඩාත් උග‍්‍ර ප‍්‍රහාර එල්ල කිරීම සඳහා තත්වය නිර්මානය කිරීමේ අරමුනෙන් කෙරෙන්නකි. මෙය, ඉවත්වීමට පක්ෂපාතීව ඡන්දය දුන් දසලක්ෂ ගනන් වැඩකරන ජනතාව “තකතිරුය” “නූගත්ය” “වර්ගවාදීය” යනුවෙන් හෙලාදැකීම සඳහා තුච්ඡ දේශපාලන කතිකාවක් වගාකිරීමත් සමග බැඳී ඇත්තේ එබැවිනි. මෙම අපහාස ඕඝය පෙන්නුම් කරන්නේ, යුරෝපිය සංගමය තමන්ගේ වරප‍්‍රසාදිත ජීවන රටාවන් ගේ ආරක්ෂකයා ලෙස ගන්නා ඉහල මධ්‍යම පන්තික තට්ටුවක සමාජ දෘෂ්ටියයි. බොහෝ විට ඔවුන්ගේ පෞද්ගලික ධනයේ සෘජු මූලාශ‍්‍රය ද එයයි.

ජනතාව මත කප්පාදුව පැටවීමේ ද වෙලඳ යුද්ධයේ ද මිලිටරි යුද්ධයේ ද යෙදෙන්නා වූ මහ බලවතුන්ගේ සහ මහ ජාවාරම් කරුවන්ගේ උපකරනයක් ලෙස වැඩ කරන යුරෝපා සංගමයට එරෙහිව නැගෙන්නාවූ මෙයට ප‍්‍රතිවිරුද්ධ මහාජන කෝපය සැබවින්ම සුජාත වේ.

ඉවත්වීමේ ව්‍යායාමය ජාතික වාදය සහ සංක‍්‍රමනික විරෝධය මත පදනම් කල ටෝරි පක්ෂයේ දාක්ෂිනාංශික කන්ඩායම ද එක්සත් රාජධානියේ ස්වාධීනතා පක්ෂය ද විසින් නායකත්වය දෙන ලද ජනමත විචාරනය, එම යූරෝපීය සංගම් විරෝධයට ප‍්‍රගතිශීලී අන්තර්ගතයක් අත්පත් කර ගත නොහැකිවූ තත්වයකි උද්ගත කලේ. කප්පාදු පියවරයන් පටවා දස ලක්ෂ සංඛ්‍යාත ජනයා ගේ වෛරයට පාත‍්‍ර වූ ආන්ඩුවක් විසින් නායකත්වය දෙන ලද යූරෝපීය සංගමය තුල රැඳි සිටීමේ ව්‍යායාමයට, කොර්බින් යටතේ ලේබර් පක්ෂය දුන් සහය මෙය තවදුරටත් උග‍්‍ර කලේය.

දැන් සිදුවෙමින් පවතින්නේ, එක්සත් රාජධානිය යුරෝපා සංගමය තුල රඳවා ගැනීම සඳහා ධනපති පන්තික අධිපති කොටස් විසින් දැරෙන ප‍්‍රයත්නයට සුජාත භාවයක් අත්පත් කරදීම සඳහා මහජන මතය නම්මා ගැනීමට දැරෙන ක‍්‍රමානුකූල ප‍්‍රයත්නයකි. අන් සියල්ලටත් වඩා දැන් අවශ්‍ය කෙරෙන්නේ, ලේබර් පක්ෂය ප‍්‍රාථමිකවම යුරෝපා සංගමයට පක්ෂපාත, ඉන් ඉවත්වීමට විරුද්ධ, පක්ෂය ලෙස ඉස්මතුවී, ස්කොට් ජාතික පක්ෂය, වේල්සයේ ජාතිකවාදී ප්ලේය්ඞ් සිම්රු පක්ෂය සහ ටෝරින්ගේ සමහර කොටස් ද සෙස්සන් ද සමග “ගෝලීය වශයෙන්” යොමු වූ සන්ධානයක් ගොඩනගාගත හැකි තත්වයක් ඇති කර ගැනීමය.

ගාඩියන් පුවත්පත ට කත් අදින අනන්‍යතා දේශපාලනයේ සහ පශ්චාත් නූතනවාදයේ වෘත්තික කසලයන්, “පසුගාමී, දූපත් වාදී, ජාතිකවාදය”යි මෙම ජාවාරමට එරෙහි කුමන ප‍්‍රයත්නකට වුව ද පහර දීමට යොදාගනු ලබනු ඇත. ඒ අතර රැකියා, වැටුප් අත්‍යවශ්‍ය සේවා වලට එරෙහි ප‍්‍රහාරය උග‍්‍ර කරනු ලැබේ. එපමනක් නොව මෙය වනාහි නිල දේශපාලන සංස්ථාපිතයේ සහාය ඇතිව පැතිරෙන ව්‍යාපෘතියකි. ඊයේ ෆිනැන්ෂල් ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියක ෆිලිප් ස්ටේෆන්ස් මෙසේ සඳහන් කලේ ය: “බොහෝ මාධ්‍යමික ටෝරීහු, ඉංගිරිසි ජාතිකවාදී බ්රෙක්සිට් වාදීන්ට වඩා ලේබර් පක්ෂය තුල සිය සහචරයින් සමග පෙලගැසෙති...එසේම මැද මාවත් වාදී ලේබර් පාක්ෂිකයෝ, කොර්බින් ගේ 1970 ඉසව්වේ රාජ්‍ය සාමාජවාදයට වඩා, යුරෝපීය ගැති ටොරීන්ට ආසන්න වෙති. මිරිකීගිය ජාතිකවාදයට සහ උග‍්‍ර-වාම සමාජවාදයට එරෙහි නව යුරෝපා-ගැති, ආර්ථික වශයෙන් ලිබරල් සහ සාමාජීය වශයෙන් සානුකම්පික, විකල්පයක් ලෙස විවෘත වනවා විය හැකිය.

“මේ සානුකම්පික විකල්පය” යන්න කම්කරු පන්තියට දෙන්නේ කුමක් ද යන්න පැහැදිලි කරමින් ස්ටේෆන්ස් මෙසේ කීය. “කල් බැලීම, ඇත්තටම බි‍්‍රතාන්‍යයේ පරන මිත‍්‍රයන් දැඩි ලෙස කෝපයට පත් කරනු ඇත. අවදානම අවුරුද්දක් වත් දරා සිටීමට යුරෝපයට බැරිය. එහෙත් බර්ලිනය ද පැරිසිය ද සෙස්සෝ ද ග‍්‍රීසිය සමග ගනුදෙනු කොට පුරුද්ද ඇත්තෝය.”

සසපය ජනමත විචාරනයේ දී සක‍්‍රිය ඡන්ද වර්ජනක් ඉල්ලා සිටියේ, යුරෝපා සංගමයට ප‍්‍රගතිශීලී විරෝධය ප‍්‍රකාශ කරන්නාවූ සැලකිය යුතු බලවේගයක් නො පැවති තතු තුලය. එවන් තතු තුල ඉවත්වීමට පක්ෂ ඡන්දයක් දක්ෂිනාංශය ශක්තිමත් කරනු ඇත. දැන් අප අනතුරු හඟවන්නේ, ජනමත විචාරනයේ තීන්දුව පෙරලා දැමීමට දැරෙන ප‍්‍රයත්නය, යුරෝපා සංගමය පිලිබඳ භයානක මිත්‍යාවන් පතුරුවනවා පමනක් නොව, “ප‍්‍රභූන්ට එරෙහිව පොදුජන මතයේ” ආරක්ෂකයන් ලෙස පෙනී සිටීම සඳහා අන්ත දකුනේ බලවේගයන්ට ඉඩ සලසමින් එම බලවේග ශක්තිමත් කරන බව ය.

කල යුතුව ඇත්තේ, ධනපති පන්තියේ තරග වැද සිටින දෙකොටස පිටුපස කම්කරුවන් ගාල්කිරීමට දැරෙන සියලු ප‍්‍රයත්නයන් කපාගෙන - සමස්ත යුරෝපය හරහා කප්පාදුවට, යුදවාදයට සහ යුද්ධයට එරෙහිව මහා ජනතා ව්‍යාපාරයක් වර්ධනය කිරීම පදනම් කරගත් ඉදිරි දර්ශනයක් සඳහා සටන් වැදීමය. සැබෑ යුරෝපීය එක්සත් භාවය අත්පත්කරගත හැකි වන්නේ උඩින් නොව පත්ලේ සිටය. එය ඉටුකල හැක්කේ යුරෝපා සංගමය ද එය හා බැඳුනු සියලු ආන්ඩු ද පෙරලාදමා යුරෝපයේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීම සඳහාවූ ඉදිරි දර්ශනයක් මතය.

Share this article: