“සිවිල් සමාජ කල්ලි” ආන්ඩුවට සුදුහුනු ගෑමේ ව්‍යාපාරයක් අරඹයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2016 ජූලි 03

“ජනවාරි 8 වෙනිදා පැතූ යහපාලනය මේකද?” යන මැයෙන් සාධාරන සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය (සාසජා) හා පුරවැසි බලය එකාබද්ධව ජූනි 21 දා කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ පැවැත්වූ රැස්වීම පැහැදිලිව ම කම්කරු-පීඩිත මහජනතාව අතර ආන්ඩුවට එරෙහිව පලල්ව වර්ධනය වෙමින් තිබෙන විරුද්ධත්වය සමනය කර එය රැකීමේ කූට ප‍්‍රයත්නයකි.

දේශපාලන පක්ෂවල න්‍යාය පත‍්‍රය පසෙක තබා ඊනියා “ජනතා න්‍යාය පත‍්‍රය” ක‍්‍රියාවට දමන ලෙස ආන්ඩුවට බලකරන සම්මන්ත‍්‍රන මාලාවක් රටපුරා පවත්වන බව සංවිධායකයෝ රැස්වීමේ දී නිවේදනය කලහ.

බෞද්ධ භික්ෂූන්, වෘත්තීය සමිති, ඊනියා සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන් හා රාජ්‍ය නොවන සංවිධානවල එකතුවක් වන සාසජා හා පුරවැසි බලය නම් වූ සංවිධානය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අනතුරුව අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ප‍්‍රමුඛ ධනපති සංධානය බලයට ගෙන ඒමට ඍජුව දායක විය. රැස්වීමට පැමින සිටි පිරිස මුලුමනින් ම පාහේ මධ්‍යම පන්තික සමාජ තට්ටුවකට සීමා වීම ආන්ඩුව කෙරෙහි මෙන් ම එය බලයට ගෙන ඒමට කටයුතු කල මෙම සංවිධාන කෙරෙහි කම්කරුවන් හා තරුනයන් අතර වැඩෙන විරෝධයේ ප‍්‍රකාශනයකි.

ජනවාරි 8 දා පාලන තන්ත‍්‍ර වෙනස මෙම සංවිධාන විසින් නම් කලේ යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන “ඓතිහාසික” යුගපෙරලියක් හෝ “විප්ලවයක්” ලෙසිනි. අඟහරුවාදා “මහජන රැස්වීමට” කැඳවුම් කරමින් මෙම සංවිධාන දෙක විසින් නිකුත් කෙරුනු ඒකාබද්ධ ප‍්‍රකාශයේ මෙසේ සඳහන් වේ. “2015 ජනවාරි 8 වැනිදා මේ රටේ සිදුවුනේ ඓතිහාසික වෙනසකි. එතෙක් පැවති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ පවුල්වාදී පාලන තන්ත‍්‍රය පෙරලා යහපාලනික පරමාදර්ශය යටතේ නව ආන්ඩුවක් එදා බලයට පත් කර ගැනුනි.”

2015 ජනවාරි 8 වැනිදා සිදු වූයේ “යුග පෙරලියක් ය” යන්න සිරිසේන බලයට ගෙන ඒම ප‍්‍රගතිශීලී ක‍්‍රියාවක් ලෙස දැක්වීමට ගෙතූ පට්ටපල් බොරුවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහකොට සිරිසේන බලයට ඒම එක්සත් ජනපදයේ පිටුබලය ලත් දේශපාලන තන්ත‍්‍ර මාරුවක ප‍්‍රතිඵලයකි. රාජපක්ෂ පාලන තන්ත‍්‍රය හා චීනය අතර පැවති සමීප සම්බන්ධකම ආසියාව තුල සිය මූලෝපායික අවශ්‍යතාවන්ට සතුරු බාධකයක් ලෙස සැලකූ එක්සත් ජනපදය කොලඹ පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා සැලසුම් කරමින් සිටියේ ය. එහි කොටසක් ලෙස, රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවේ ආඥාදායක පිලිවෙත් වලට එරෙහිව සහ සිය ජීවන තත්වයන් ට ද සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ට ද එල්ල වූ ප‍්‍රහාරවලට එරෙහිව වැඩකරන ජනතාව තුල වර්ධනය වෙමින් පැවති වෛරය ගසාකා සිරිසේන බලයට දමා ගැනීමට ජනාධිපතිවරනය යොදා ගන්නා ලදි.

සාසජා ව්‍යාපාරය හා පුරවැසි බලය ප‍්‍රකාශ කරන්නේ දූෂනය වංචාව පිටු දැක ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම හා වැඩකරන ජනතාවට සහන සැලසීම සිරිසේනගේ න්‍යාය පත‍්‍රය වූ බවයි. මෙය තවත් බොරුවකි. සිරිසේනගේ හා ඔහු බලයට දමා ගැනීමට ඉදිරිපත්වූ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහගේ න්‍යාය පත‍්‍රය වූයේ ඇමරිකාවේ හා ඉන්දියාවේ භූ දේශපාලන උවමනාකම්වලට සරිලන පරිදි ලංකාවේ විදේශ පිලිවෙත වෙනස් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත පරිදි, ජාතික සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා සපුරාලනුවස්, කම්කරුවන් හා දුගීන් මත කප්පාදු වැඩපිලිවෙල පැටවීම යි.

පසු ගිය දහ අට මස තුල සිදුවූයේ මෙම න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීම ඇරඹීමයි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, ආසියානු කලාපය තුල චීනය හුදකලා කොට මිලිටරි වටලෑමේ එක්සත් ජනපද සැලසුම් සමග පෙල ගැසුනු, අධිරාජ්‍ය ගැති පාලනයක් බව මහ ජනතාව ඉදිරියේ එලිදරව්වන්නට පටන් ගෙන ඇත.

සාසජා ව්‍යාපාරය හා පුරවැසි බලය කරවන්නන් කුලප්පු වී සිටින්නේ මෙම තතු තුල කම්කරුවන්, දුගී ගොවීන් හා ශිෂ්‍යයන් ඇතුලු මහ ජනතාවගේ අරගල ආන්ඩුවට එරෙහිව දිනපතා වැඩී ඒම ගැනයි. බදු වැඩිකිරීම, අත්‍යවශ්‍ය භාන්ඩ මිල හා සේවා ගාස්තු ඉහල දැමීම හා පැනනැගුනු අරගල වලට පහර දෙමින් ආන්ඩුව ගෙන යන මර්දනය ගැන කතා නොකිරීමට රැස්වීම ඇමතූ සෑම කථිකයෙකු ම ප‍්‍රවේසම් විය.

පුරවැසි බලය සංවිධානයේ ප‍්‍රමුඛයෙකු වන ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ගේ කතාව තුල ආන්ඩුවට විරුද්ධව සමාජ පිපිරීම් වර්ධනය වීම ගැන මෙම සංවිධානවල භීතිය මැනවින් ප‍්‍රකාශයට පත් විය. “ආන්ඩුවේ ක‍්‍රියාකාරිත්වය හා ජනතා අභිලාෂයන් අතර පැහැදිලි විවරයක් මතුවෙමින් තිබෙන” බව ඔහු පැවසුවේය. මේ තත්වය තුල “ආන්ඩුවේ සීමිත න්‍යාය පත‍්‍රය හා මහජන අභිලාෂයන් අතර තීරනාත්මක ඝට්ටනයක් ඇතිවෙමින් තිබෙන” බව ඔහු තව දුරටත් සඳහන් කලේ ය.

කථිකයන්ගේ මූලික යොමුව පැවතියේ “දුෂිතයන් හා වංචනිකයන්” ට විරුද්ධව “කඩිනම් පියවර” නො ගැනීම පිලිබඳව ආන්ඩුව විවේචනය කිරීමට ය. එහි අරමුනු දෙකක් තිබේ: පලමුවැන්න, ආන්ඩුවේ දේශපාලන ආර්ථික ප‍්‍රහාරයන්ගෙන් වැඩකරන ජනතාවගේ අවධානය ඉවතට හැරවීමයි. දෙවැන්න, දුෂිතයන්ට හා වංචනිකයන්ට දඬුවම් කිරීමේ නමින් ධනපති රාජ්‍යය ශක්තිමත් කිරීමට ආන්ඩුවට උල්පන්දම් දීමයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) තුල බලය තහවුරු කර ගැනීමට අසමත් වීම හා රාජපක්ෂ පාලන තන්ත‍්‍රයේ දූෂිතයන් ආන්ඩුවට සම්බන්ධ කර ගැනීම ගැන සාසජා ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපති සිරිසේනට දෝෂාරෝපනය කලේ ය.

වර්තමාන ආන්ඩුවට සම්බන්ධ වී සිටින දූෂිතයන් සමග සිරිසේන ද දස වසරක් ම රාජපක්ෂගේ කැබිනට්ටුවේ සිටියේ ය. දූෂනය සම්බන්ධයෙන් හෝ රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික දේශපාලන පිලිවෙත් සම්බන්ධයෙන් සිරිසේනට එකල මොනම විරුද්ධත්වයක්වත් තිබුනේ නැත. එපමනක් නොව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධයේ දී රාජපක්ෂ ආන්ඩුව ඇතුලු අනුප‍්‍රාප්තික ආන්ඩු සමයේ යුද අපරාධවලට සිරිසේන ද දේශපාලනිකව වගකිව යුතුය.

අගෝස්තු 17 මහ මැතිවරනයෙන් “හරි හතරැස් මහා පර්වතය (රාජපක්ෂ ආන්ඩුව) පෙරලා දමන්නට” හැකිවූ නමුත් පක්ෂයේ සභාපතිකම ලැබුනට පස්සේ “පක්ෂය තමන්ගේ බලයට යට කර නොගැනීම නිසා සියල්ල කනපිට හැරුන” බව ද එයින් “හරි හතරැස් පර්වතය පෙරලන්නට දායක වූ කොටස් අපේක්ෂා භංගත්වයට පත්වූයේ” යැයි ද විජේසූරිය සිරිසේනට ආඩපාලි කීවේය.

විජේසූරිය කියන්නේ රාජපක්ෂ පෙරලා දැමු පසු පක්ෂයේ බලය ද පාවිච්චි කරගෙන විරුද්ධවාදීන් මැඩලීම රුදුරු ලෙස කරගෙන යායුතු වුවත් සිරිසේන එසේ නොකිරීම නිසා තත්වය වෙනස් වූ බවයි.

සිරිසේන ක‍්‍රියා කල යුතුව තිබු ආකාරය ගැන රාවය පත්තරයට ලියූ ලිපියක විජේසූරිය සඳහන් කලේ “විපරීත වුන රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා.... අවශ්‍ය අනපනත් සම්මත කර ගත යුතු” වුවත් ආන්ඩුව “කල් මරන” බවයි. මේ උද්ඝෝෂනය සමපාත වන්නේ දේශපාලන විරුද්ධවාදීන් හා පන්ති අරගල මර්දනය කිරීම සඳහා ත‍්‍රස්තවාදය වැලක්වීමේ පනත සංශෝධනය කිරීම ඇතුලුව නව මර්දන නීති පැනවීමේ ආන්ඩුවේ සැලසුම් සමගය.

ඉතාම පැහැදිලි භාෂාවෙන් ආන්ඩුවට සුදුහුනු ගෑම කලේ සාසජා ව්‍යාපාරයේ පාර්ශවකාර සංවිධානයක් වන ජාතික වෘත්තීය සමිති පෙරමුනේ සභාපති සමන් රත්නප‍්‍රිය විසිනි. මේක යහපාලනය නෙමෙයි. යහපාලනය තවදුරයි. ඒකට හුඟක් කල් යනවා. ඒ වෙනුවෙන් කරන්න අපට බරපතල වැඩ කොටසක් තියෙනවා” යැයි රත්නප‍්‍රිය ප‍්‍රකාශ කලේ ය.

සැලකිය යුතු “වැඩ කොටසක්” ආන්ඩුව කර තිබෙන බවට උදාහරන ලෙස පොලිස් කොමිසම ඇතුලු කොමිසන් සභා පත් කිරීම, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, තොරතුරු දැන ගැනීමේ පනත, ඔහු උපුටා දැක්වූයේ ය. මේ පනත් ඇස්බැන්දුම් ය. ඒවායින් කම්කරුවන්ට හා දුගීන්ට මොනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් වත් ලැබී නැත. සිදු වී ඇත්තේ ධනපති රාජ්‍ය යන්ත‍්‍රය වඩවඩාත් ශක්තිමත් කිරීම හා පොලිස් විධි ක‍්‍රම මහජනයාට එරෙහිව රුදුරු ලෙස මුදා හැරීම වැඩිදියුනු කිරීමයි.

වැඩකරන ජනතාවට “සහන” දීලා තිබෙන බවත් සටන් කරන්න ඉඩ දීල තිබෙන බවත් ප‍්‍රකාශ කල රත්නප‍්‍රිය සටන් වලට “සමහර වෙලාවට” පහර දීම් සිදුවන බව කීවේය. රත්නප‍්‍රියගේ මෙම නරුම ප‍්‍රකාශය ආන්ඩුවේ ප‍්‍රහාර යුක්ති සහගත කරමින් ඒවාට සහයෝගය ප‍්‍රකාශ කිරීමකි.

රත්නප‍්‍රිය “සහන” ලෙස සඳහන් කලේ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඉතා සීමිත වැටුප් වැඩි වීමක් ලබා දීමයි. මෙම ඊනියා සහන රත්නප‍්‍රිය ඇතුලු සමිති නායකයන් යොදා ගන්නේ කම්කරුවන්ගේ අරගල යටපත් කිරීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත දැන් සිදුවන පලල් කප්පාදුව ගැන රත්නප‍්‍රිය එක වචනයක් වත් කතා නොකලේ එම කප්පාදු වැඩ පිලිවෙල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ ගත් නය ආපසු ගෙවීමේ හේතුවෙන් ක‍්‍රියාවට දමන්ට සිදුවී ඇතැයි සිරිසේන හා වික‍්‍රමසිංහ අඹරන පචයට දායක වී සිටින නිසා ය.

“රාජපක්ෂවරුන්ට යලි බලයට ඒමට ඉඩ නොදෙමු” යි රත්නප‍්‍රිය දිවුරුවේ ය. ඔහුගේ දිවුරුම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙනි.

රාජපක්ෂගේ කෲරතර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය ඔහුගේ පවුලේ හා ඒ වටා එක්වුනු කල්ලියක දුෂ්ටකමෙන් පැන නැගුනු එකක් නොවේ. රාජපක්ෂ වර්ගවාදී යුද්ධය උත්සන්න කර රුදුරු ලෙස අවසන් කලේ කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි යුද්ධය අලුත් මට්ටමකට ගෙන ඒමට යි. ඔහුගේ ආන්ඩුවේ ප‍්‍රහාර ලෝක අර්බුදයෙන් ගැඹුරු කෙරුනු ලංකාවේ ධනපති ආර්ථිකයේ අර්බුදය කම්කරුවන් හා දුගීන් මත පැටවීමට එල්ල කල ඒවා ය. පවුල්වාදයෙන් හා ඥාති සංග‍්‍රහයෙන් රාජපක්ෂ පාලනය ඉහවහායාම ධනපති පන්ති පාලනයේ ආන්තික කුනුවීමේ ප‍්‍රකාශනයකි.

රාජපක්ෂ ජනාධිපතිවරනය කලින් කැඳවූයේ ඔහුගේ අධිකාරිවාදී පාලනයට හා ජීවන කොන්දේසි සමතලා කිරීමට එරෙහිව කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල පුපුරා ඒමට කොන්දේසි මෝරද්දී මර්දන හස්තය ශක්තිමත් කර ගැනීමට ය.

කැකෑරෙන මහජන විරෝධය රාජපක්ෂලාගේ ඒකාධිපති පාලනය අවසන් කර “යහපාලනය” හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමේ නමින් සිරිසේන වටා ගොනු කිරීමට මූලිකවම ක‍්‍රියා කලේ සාසජා ව්‍යාපාරය, පුරවැසි බලය ඇතුලු කල්ලි හා නසසපය ඇතුලු ව්‍යාජ වාම සංවිධානයන් ය.

ඔවුන් මෙමගින් ආවරනය කලේ සිරිසේන පෙරට දමා ගෙන ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තමන්ට පක්ෂපාතී ආන්ඩුවක් ලංකාව තුල බලයට දමා ගැනීමට ගෙන ගිය වැඩ පිලිවෙලයි.

රාජපක්ෂ ඇතුලු අනුප‍්‍රාප්තික ආන්ඩු ගෙන ගිය වර්ගවාදී යුද්ධයට විරුද්ධ වීමේ හෝ කම්කරු පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය හා ජීවන අයිතීන් රැකීමේ අරගලයක හෝ මොනම වාර්තාවක් වත් සාසජා ව්‍යාපාරය හා පුරවැසි බලය කරවන්නන්ට නැත. ඔවුන් අධිරාජ්‍යවාදී කඳවුරට සේන්දු වූවන් ය.

මෙම සංවිධාන ආන්ඩුව යහමගට ගැනීමේ නමින් රටපුරා සම්මන්ත‍්‍රන පවත්වන බව නිවේදනය කර ඇත. ඒවායේ එල්ලය සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන මහජන විරෝධය යටපත් කිරීම හා ඒවා මැඩීමට මධ්‍යම පන්තික කන්ඩායම් කෙලින් කර ගැනීමයි.

Share this article: