නව බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ කප්පාදු ආන්ඩුවේ නායකත්වය ගනියි

New UK Prime Minister Theresa May to head austerity government

ක‍්‍රිස් මාස්ඩන් විසිනි, 2016 ජූලි 14

අලුතෙන් පත්වූ අගමැති 13දා පැවැත්වූ පලමු කථාවේ ලීලාව හැඩගස්වා තිබුනේ, පුලුල් ලෙස හෝදාපාලුවූ කොන්සවේටිව් ආන්ඩුව පිටුපස යම් තරමක හෝ මහජන සහයෝගය පෙල ගස්වා ගැනීමේ මංමුලා සහගත උත්සාහයෙනි.

ගැඹුරෙන්ම භේද භින්නවී සිටින පාලන සංස්ථාපිතය, යුරෝපීය සංගමයෙන් ඉවත්වීමට පලවූ ජනමත විමසුමේ ඡන්දයේ බලපෑමෙන් නිර්මිත, පැවැත්ම පිලිබඳ අර්බුදයකට මුහුනපා සිටියි. පවුම හා කොටස් මිල ගනන් නාටකාකාර ලෙස පහත වැටුනු අතර එක්සත් රාජධානියම කැබලිවීමේ තර්ජනය මතුව ඇත. මේගේ හිසට උඩින් එල්ලී ඇති ප‍්‍රධාන ගැටලුව, ප‍්‍රචන්ඩ සමාජ හා දේශපාලන කැලඹීම් ඇතිවීමේ තර්ජනය මතු කරන, පොහොසතුන් හා දුප්පතුන් අතර උග‍්‍ර වන සමාජ ධ‍්‍රැවාන්තගතවීම සමග ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්නයි. “වරප‍්‍රසාදිත අතලොස්සක්” පමනක් නියෝජනය නොකරන “එක් ජාතියකගේ” ආන්ඩුවක් වෙනුවෙන් ඇය දෙන පොරොන්දු හුදු කයිවාරුවක් පමනි. මේ ආරක්ෂා කරන්නේ, බ්‍රිතාන්‍ය සැදුම්ලත් ජාතීන්ගේ “සංගමය” පමනක් නොව, “අපගේ සියලු පුරවැසියන් අතර” පවතින සියල්ලක්මය. ඇය “දැවෙන අයුක්තියට” එරෙහිව, දුප්පත්කම හා දුක් පීඩාවන්ට එරෙහිව, වර්ගවාදයට, ලිංගවාදයට එරෙහිව මෙන්ම “වැඩකරන පන්තියේ සාමාන්‍ය පවුල්” වෙනුවෙන් ද සටන් කරයි. ඇගේ ආන්ඩුව වූ කලී “වරප‍්‍රසාදිත අතලොස්සකගේ අවශ්‍යතා වෙනුවෙන් නොව පෙනී සිටිනු ඇත්තේ ඔබ” වෙනුවෙනි. වාර්තාව එලෙසය.

ඩවුනිං වීදියේ පැලපදියම්ව සිටියදී මාගරට් තැචර්, අසිසියේ ශාන්ත ෆ‍්‍රැන්සිස්ගෙන් උපුටා දැක්වූ “විසම්මුතිය පවතින්නේ කොතැන්හි ද, අපි එහි සම්මුතිය කැඳවන්නෙමු” යන්නෙන් පසුව දැන් තරම් අමු දේශපාලන නරුමත්වයක් ප‍්‍රදර්ශනය කල වෙනස් අවස්ථාවක් නොතිබුනේ යයි තර්ක කල හැකිය. මේ ගේ ආන්ඩුව, පන්ති යුද්ධයේ, රුදුරු කප්පාදුවේ, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් වල දැමීමේ, මිලිටරිවාදයේ හා යුද්ධයේ ආන්ඩුවක් වනු ඇත.

මේ බලයට පත්ව තිබෙන්නේ ඡන්දයකින් නොවේ. තමුන්ගේ එබිකම් පෑම හා අභියෝගය රාජ්‍යය විසින් නොපිලිගන්නා බව නිසැක බව පවසමින් මාධ්‍ය, ටෝරි නායකත්වය සඳහා ඇගේ ප‍්‍රධාන එදිරිවාදී තරඟකාරිය වූ ඇන්ඩ්‍රියා ලීඞ්සම් පසුබැස්සවීමේ දැනුවත් කඩාකප්පල් කිරීමකින් පසුව, මේ අගමැති කමට හා ටෝරි නායකත්වයට පත්විය. අත්දැකීම් විරහිත, බ්‍රෙක්සිට් වෙනුවෙන් උද්ඝෝෂනය කල ලීඞ්සම්ට, පක්ෂය එක්සත් කිරීමේ හෝ මහ ව්‍යාපාරිකයේ සහාය පෙලගස්වා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඊට ප‍්‍රතිවිරුද්ධව මේට, වසර ගනනාවක කැබිනට් තනතුරු දැරීමේ අත්දැකීම තිබුනි. බ්‍රිතාන්‍ය යුරෝ සංගමයේ රැදී සිටිය යුතු බවට උද්ඝෝෂනය කරන අතරතුර ඇය පිටමංවීම වෙනුවෙන් පෙනී සිටි කොටසට පොරොන්දු වුනේ ”බ්‍රෙක්සිට් යනු බ්‍රෙක්සිට්ය” යනුවෙනි.

ඇගේ රාජකාරිය, බ්‍රිතාන්‍යයේ ජාතික අවශ්‍යතා ඉටුවන පරිදි කටයුතු කිරීමට යුරෝව සමග සමීපතම සාකච්ඡා පැවැත්වීම බව ඇය පැවසුවාය. ලිස්බන් ගිවිසුමේ 50 වන කොටස වෙනුවෙන් තමන් ඉල්ලීම් කරන තෙක්, එනම් අඩුම තරමින්2016 අවසන් වන තෙක්, පිටමං වීමේ නිල සාකච්ඡාවන් ඇරඹෙන්නේ නැති බව ද ඇය පැවසුවාය. මෙහි අර්ථය ආර්ථික හා දේශපලනික වශයෙන් බ්‍රිතාන්‍යයට ස්ථාවරත්වයක් අත්කර ගැනීමේ හැකියාව සොයා බැලීමයි.

ඒ එල්ලයම ඇතිව ඇය, තම කැබිනට්ටුවේ ඉහල තනතුරු සදහා අය තෝරාගත්තාය. පක්ෂයේ බෙදීම් තුවාල සුවකර ගැනීමේ උත්සාහය ද ඊට සම්බන්ධය. ඇගේ මුදල් ඇමති, රැඳී සිටීම වෙනුවෙන් උද්ඝෝෂනය කල, හිටපු විදේශ ලේකම් ෆිලිප් හැමන්ඞ්ය. ඔහු පසු ගිය 12දා පැවසුවේ, ද්විපාර්ශවික වෙලඳ ගිවිසුම් පිලිබඳ එකඟත්වයන් ඇතිකර ගැනීමේ දීර්ඝ ක‍්‍රියාවලිය නිසා, යුරෝවෙන් පිටමං වීම වසර 6ක් පමන කාලයක් දිග්ගැස්සිය හැකි බවයි. කෙසේ වෙතත් පිටමං වීමේ ප‍්‍රමුඛ උද්ඝෝෂකයෙක් වූ බොරිස් ජොන්සන්, විදේශ ලේකම් ලෙස පත්ව සිටියි. එසේම යුරෝ සංශයවාදියෙක් වන ඩේවිඩ් ඩේවිස්, “යුරෝවෙන් පිටමං වීමේ රාජ්‍ය ලේකම්” ලෙස පත් විය. නම්කර ඇති “බ්‍රෙක්සිට්දීවාන්” ගනනාවක් අතුරින් කිහිප දෙනෙකි ඒ.

එසේ වුවත්, ලොක්කන්ගේ වැටුප් සීමා කරන බවට දුන් පොරොන්දු හා සමාජීය ප‍්‍රශ්න පිලිබඳව ඇයගේ ප‍්‍රකාශ තුල අංශුවක හෝ අව්‍යාජ කමක් ඇත්නම් ඇයට ඩව්නිං වීදියේ අංක 10 කරා ඇවිද යාමට ඉඩ නොලැබෙනු ඇත. සමාජ ප‍්‍රහාර අවසන් කිරීමේ කුමන හෝ ඉල්ලීමකට විරුද්ධව ඇය පෙනී සිටිනු ඇති බවට බලාපොරොත්තු වේ.

ඇගේ ආන්ඩුවේ න්‍යායපත‍්‍රය සකසන්නේ, ගැඹුරු වන බ්‍රිතාන්‍ය හා ගෝලීය ධනවාදයේ අර්බුදයෙනි. මේ වසරේ දෙවන කාර්තුවෙහි රටේ වර්ධන වේගය සියයට 0.2 දක්වා පසුබැස ඇත. එසේම රටේ වාර්තාගත ජංගම ගිනුමේ හිඟයක් පවතියි. බලපෑම් සහගත කොන්සවේටිව් ප‍්‍රධාන වෙබ් අඩවියේ ලිවූ ආර්ථික කටයුතු පිලිබඳ ආයතනයේ මහජන ප‍්‍රතිපත්ති ප‍්‍රධානී රයන් බෝනි, “අපගේ නව අගමැති කේනීසියානු පෙලඹවීම් බැහැර කල යුතු අතර මූල්‍ය සිහි නුවන පවත්වාගත යුතුය” යනුවෙන් සඳහන් කරයි.

මේ වනාහි දැඩි තැචර්වාදිනියකි, “යක්ෂ පක්ෂයක්” යන ටෝරීන්ගේ “කීර්තියට” පැලැස්තර ඇලවීමේ දේශපාලන සූත‍්‍රකාරියක් ලෙස පමනක් නොව ඇය, පාලක පන්තියේ අවශ්‍යතා නිර්දය ලෙස ආරක්ෂා කරන්නියක් ලෙස ද සැලකේ. අවම වැටුප්, ව්‍යාපාර මත පැටවෙන බරක් යයි ඊට විරුද්ධ වීමේ ද දුප්පත්ම කම්කරුවන්ට බදු සහන දීම “මිනිසුන් වැඩි පැය ගනනක් වැඩ කිරීමෙන් හෝ හොඳ රැකියා සොයාගැනීමෙන් වලක්වන” බව කියමින් ද දුප්පත්කම දුරු කිරීම යනු අලසකම පිටුදැකීම යයි ඇය පවසා ඇත.

ගෙතීම හා යථාර්තය අතර වෙනස පාලක පන්තිය හොඳින් වටහාගෙන සිටින්නේ එබැවිනි. නිදසුනක් ලෙස ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය, “තෙරේසා, මේ සමාජයේ නීතිය නිදහසට ඉහලින් තැබීමට නැඹුරු යයි සලකන්න” හා “කප්පාදුව තවමත් ආන්ඩුවේ න්‍යායපත‍්‍රයෙන් බැහැරවී නැත” යන සිරස් තල යටතේ ලිපි පල කර තිබේ.

“සැලසුම් කල වියදම් කප්පාදු ඉවත් කරන බවට මේ කිසිදු ඇඟවුමක් කර නැත. මහජන වියදම් හා අයවැය හිඟය පහත හෙලීමේ ආන්ඩුවේ අභිලාශය දිගටම පවත්වාගෙන යා යුතු” බව පුවත්පත පවසයි.

සැලසුම් කල පවුම් බිලියන ගනනක් කපාහැරීමට ඇත. සමහර පවුල් වලට වසරකට පවුම් 3000ක් තරම් විය හැකි යුනිවර්සල් ක්‍රෙඩිට් කොස්ටින් කැපීම, වැඩෙහි යෙදීමට තරම් නිරෝගී නොවන බව හඳුනාගත් අයගේ සහන කැටි කිරීම හෝ සතියකට පවුම් 30න් කපා දැමීම ඊට ඇතුලත්ය. මේ සියල්ලට ඉහලින්, ජාතික සෞඛ්‍ය සේවය 2015-16 වර්ෂයට වාර්තාගත පවුම් බිලියන 2.45ක හිඟයකට මුහුනපා සිටී.

බ්‍රිතාන්‍යයේ ඉහලම තනතුර හෙබවීම සඳහා මේට ඇති අනෙකුත් සුදුසුකම් නම් ආඥාදායක පියවර ක‍්‍රියාත්මක කිරීම පිලිබඳ ඇගේ වාර්තාවය. ඇය සන්නිවේදන දත්ත පනත් කෙටුම්පතේ නැතිනම් “ස්නූපර්ස් චාටර්” හි (ඔත්තු බැලීමේ වරපත‍්‍රය) නිර්මාතෘය. ඒ අනුව අන්තර්ජාල සේවා සම්පාදක සමාගම්, 12 මසක් යන තෙක් අන්තර්ජාලයට ඇතුලුවන්නාගේ වාර්තා හා දුරකථන ඇමතුම්වල වාර්තා පවත්වාගෙන යා යුතුය. ඒවා අවශ්‍යවූ විටෙක පොලිසියට හා ආරක්ෂක අංශ වලට ලබා දිය යුතුය. ජනමත විමසුම් ව්‍යාපාරය කාලයේ ඇය තර්ක කලේ, ප‍්‍රතිවිපාක නොතකා බ්‍රිතාන්‍යය, මානව අයිතීන් පිලිබඳ යුරෝ සම්මුතියෙන් ඉවත්විය යුතු බවටය. එයට “පාර්ලිමේන්තුවේ දෑත් බැඳ දැමිය හැකිය, එසේම එය අපේ යහපත වෙනුවෙන් දායකත්වයක් සපයන්නේ ද නැතැයි” ඇය පැමිනිලි කලාය. ඇය මෙය අත්හලේ, තමන්ගේම පක්ෂයේ විසංවාදීන් මොනම ඡන්ද විමසුමකදී හෝ ඇගේ පාර්ලිමේන්තු බහුතරයට වල කපනු ඇති බවට පැවති බිය නිසා, පක්ෂ නායකත්ව අපේක්ෂකයෙක් බවට පත්වීමෙන් අනතුරුව පමනි.

සංක‍්‍රමනිකයන්ට පහර දීමේ ඇය සතු වාර්තාව විශේෂයෙන්ම දුෂ්ඨය. ගාඩියන් පත‍්‍රය, “ඇය ස්වදේශ ලේකම් බවට පත්වීමෙන් පසුව සංක‍්‍රමන නීති හතක් පැනවූ බවත්, වෙනස්කම් 45,000ක් සිදුකල” බවත් වාර්තා කලේය. ඇය 2016 සංක‍්‍රමන පනතේ නිර්මාතෘය. ඒ අනුව, සේවාදායකයෙක් නීති විරෝධී සංක‍්‍රමනිකයෙකු සේවයට යොදාගන්නා අවස්ථාවක ඔහුට සාපරාධී සම්බාධක පැනවීමට බලය ලැබේ. නීති විරෝධී සංක‍්‍රමන වලට ඉඩ හැරීම සම්බන්ධයෙන්, ඔවුන්ගේ බැංකු ගිනුම් කැටි කිරීම, රථවාහන ධාවන බලපත‍්‍ර අත්අඩංගුවට ගැනීම, නීති විරෝධී සංක‍්‍රමනිකයෙකුට දැන දැනම ගෙයක් කුලියට දෙන පුද්ගලයා වසර 5ට සිර ගෙට යැවීම, “පලමුව පිටුවහල් කරනු, දෙවනුව කරුනු විමසනු” යන ආන්ඩුවේ පිලිවෙත වරදකරුවන් වූ අපරාධකරුවන්ට පමනක් නොව නීති විරෝධී සංක‍්‍රමනිකයින්ට ද යෙදීමට හැකිය.

ඇය කුප‍්‍රකට ලෙස “ආපසු යනු වෑන්” පිලිවෙත හඳුන්වා දුන්නාය. ඒ අනුව සංක‍්‍රමනිකයින් බහුලව වාසය කරන ප‍්‍රදේශ තුලට, සංක‍්‍රමනිකයින්ට බ්‍රිතාන්‍ය හැර යන ලෙස දැනුම් දෙන පුවරු හා පත‍්‍රිකා සහිත වාහන පිටත් කෙරේ.

තම බොරු අවිවේචනාත්මකව පල කරන නිවට මාධ්‍ය කෙරෙහි මේට විශ්වාසය තැබිය හැක. කෙසේ වෙතත් කාන්තාවක් අගමැති ලෙස පත්කර ගැනීම ප‍්‍රගතිශීලී යයි ඔවුන් පවසනු ඇත. ඒ තැචර්ගෙනුත් පසුවය! ඇයට හිමිවන ප‍්‍රධාන වාසිය, ලේබර් පක්ෂයෙන් හා වෘත්තීය සමිති වලින් ඇයට විරුද්ධත්වයක් එල්ල නොවීමය.

ටෝරි නායකත්ව තරගය දිගහැරෙමින් තිබියදී ලේබර් පක්ෂයේ දක්ෂිනාංශය, ජෙරමි කෝබින් පක්ෂ නායකත්වයෙන් පහ කිරීමේ අරමුන සහිත දේශපාලන කුමන්ත‍්‍රනයකට කැස කවමින් සිටියි. 2020 ආන්ඩුවේ කාලය අවසන් වන තෙක් මේ තනතුරේ රැඳී සිටිනු ඇද් ද යන්න නැතිනම් පක්ෂය තුල හදිසි මැතිවරනයක් පවත්වන ලෙසට බලකරමින් බ්ලෙයාර්වාදීන් දියත්කර තිබෙන කඩාකප්පල්කාරී ව්‍යාපාරයේ වාසිය ඩැහැගත හැකි ද යන්න මත සමපේක්ෂන පැතිරෙමින් තිබේ. බ්ලෙයාර්වාදී විසංවාදීන් විසින් ඉටු කරන ක‍්‍රියා කලාපය පමනක් නොව, කප්පාදුවේ හා මිලිටරිවාදයේ විරුද්ධවාදී දේශපාලන යාන්ත‍්‍රනයක් බවට ලේබර් පක්ෂය පරිවර්තනය කිරීමේ කෝබින්ගේ ඉදිරිදර්ශනයෙහි නොවැලැක්විය හැකි අසාර්ථකත්වය යන දෙකේදීම කම්කරු පන්තියට දරුනු වන්දියක් ගෙවීමට සිදුවනු ඇත.

Share this article: