වසර 100ට පෙර: රුසියානු හමුදාව පලමු ලෝක යුද්ධයේ පෙරමුනු ප්‍රහාරය අරඹයි

100 years ago: Russian Army begins major World War I offensive

බෘසිලොව්

වර්තමානයේ යුක්රේනය නමින් හැඳින්වෙන ප්‍රදේශය තුල, පලමු ලෝක යුද්ධයේ නැගෙනහිර පෙරමුනේ දී, 1916 ජුනි 4දා අධිරාජ්‍ය රුසියානු හමුදාව ඔස්ට්‍රියා - හංගේරියාව ට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් ඇරඹීය. ජුනි ආක්‍රමනය හෝ එයට නායකත්වය දුන් ජෙනරාල් බෘසිලොව් ප්‍රහාරය නමින් හැඳින්වුනු එම මෙහෙයුම, 1916 සැප්තැම්බර් 20දා වනතෙක් ඉදිරියට ගියේය.

1915 දෙසැම්බර් චැන්ටිලි ගිවිසුමේ කොන්දේසි යටතේ 1916 ග්‍රීෂ්මයේදී, ප්‍රන්සය, බ්‍රිතාන්‍ය, ඉතාලිය සහ රුසියාව මධ්‍යම (යුරෝපීය) බලාධිකාරයන් ට එරෙහිව එකවර පහර දීමට එකඟ වූහ. එම වසරේම වසන්තයේදී වර්ඩන් හි ජර්මානු හමුදාවලින් එල්ලවූ ප්‍රබල පීඩනය යටතේ ප්‍රන්සය, ජර්මනිය තම සමහර භට කන්ඩායම් බටහිර පෙරමුනෙන් ඉවත් කරගනු ඇතැයි බලාපොරොත්තුවෙන් රුසියාව නැගෙනහිර පෙරමුනේදී ප්‍රහාර එල්ල කල යුතු යයි ඉල්ලා සිටියේය.

1916 මාර්තුවේ දී ජෙනරාල් එවර්ට් ගේ නායකත්වය යටතේ රුසියානු බටහිර හමුදාව, නරෝච් විල අසල ජර්මානු හමුදාවන්ට පහරදීම ආරම්භ කලේය. රුසියානු හමුදාව සංඛ්‍යාවෙන් වැඩි වුව ද ඔවුන්ට, හොඳින් රැකවල් ලා පැවති ජර්මානු ආරක්ෂක කඳවුරු සහ කාලතුවක්කු බල ඇනි පසුබැස්වීමට නොහැකි වූ අතර ප්‍රහාරය අසාර්ථක විය. දින 12 කට පසු එම ප්‍රහාරය නවතා දැමින. නිරිතදිග පෙරමුනේ රුසියානු අනදෙන නිලධාරී ඇලෙක්සෙයි බෘසිලොව්, තවත් දකුනු දෙසින් ඔස්ට්‍රියා - හංගේරියානු හමුදා වලට පහර දීමට සැලැස්මක් ඉහල ආඥාපතිත්වය වෙත ඉදිරිපත් කලේය.

ඔස්ට්‍රියා - හංගේරියානු පෙරමුන බිඳ දමන ලද දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් සමගින් ආරම්භවූ මෙහෙයුම, බෘසිලොව් ගේ හමුදා සේනාංක හතරින් තුනකටම පුලුල් පෙරමුනක ඉදිරියට යාමට අවසර ලබාදුන්නේය. බෘසිලොව් ඔස්ට්‍රියානු සීමාවේ දුර්වල ස්ථාන වලට පහර දීමට කඩාවදින ප්‍රහාරක බලඇනි ද යොදාගත්තේය. ජුනි 8දා වන විට ඔස්ට්‍රියා - හංගේරියානු හමුදාව පසුබසිමින් සිටියහ. ජර්මනිය කලාපය වෙත භට කන්ඩායම් පිටත් කර හරිමින් ප්‍රතිචාර දැක්වූ නමුත් බෘසිලොව් ගේ හමුදා, ප්‍රහාර නොකඩවා ගෙන යමින් 1916 සැප්තැම්බරයේදී කාර්පේතියානු කඳු වැටි කරා ලඟාවිය.

ඉතිහාසඥයින් සලකන ආකාරයට, පලමු ලෝක යුද්ධය තුල අධිරාජ්‍ය රුසියාවේ ප්‍රමුඛ ප්‍රයත්නයන් අතුරින් බෘසිලොව් ප්‍රහාරය, ලෝක ඉතිහාසයේ ලේ වැකි ගැටුම් වලින් එකකි. බෘසිලොව් ගේ අරමුන වී තිබුනේ, ඔස්ට්‍රියා - හංගේරියානු හමුදාවට මහත් විනාශයක් ඇති කිරීම සහ ජර්මානු භට කන්ඩායම් අනෙකුත් පෙරමුනුවලින් මේ කලාපයට ඇද ගැනීමයි. ප්‍රහාරය එම දෙකම ඉෂ්ඨ කර ගත් නමුත් එය සාක්ෂාත් කර ගත්තේ බිහිසුනු ජීවිත විනාශයකිනි.

රුසියානු අධිරාජ්‍යවාදී හමුදාවේ මිය ගිය හෝ තුවාල ලැබූවන් සංඛ්‍යාව 444,000 ක් වු අතර අතිරේක 60,000ක් මිනිසුන් සිරභාරයට පත් විය. ඔස්ට්‍රියා - හංගේරියානු හමුදාවේ මිය ගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව 567,000ක් ද ජර්මානු හමුදාවේ එම සංඛ්‍යාව 350,000ක් විය. මෙයට අමතරව 408,000ක් ඔස්ට්‍රියා - හංගේරියානු මිනිසුන්, රුසියානු හමුදාව විසින් සිරභාරයට ගත්තේය. සමස්තයක් ලෙස ප්‍රහාරවලදී සැම පාර්ශවයකම මිනිසුන් 1,357,000ක් මරනයට පත්ව නැති නම් තුවාල ලැබූ හ.

Share this article: