බ්‍රික්සිට් ජනමත විමසුම ආසන්න වෙද්දී ගෝලීය වෙලඳ යුද්ධය පිලිබඳ අනතුරු ඇඟවීම් ඉහල යයි

On eve of Brexit referendum, mounting warnings of global trade war

ඇන්ඩ්‍රි ඩිමොන් විසිනි, 2016 ජූනි 22

යුරෝපීය සංගමයේ බ්‍රිතාන්‍ය සාමාජිකත්වය පිලිබඳව 23දා ජනමත විමසුමට ඇත්තේ දිනක් පමනක් වන අතර, එය ලෝක ආර්ථිකය සැලකිය යුතු තරමින් අස්ථාවර කරනු ඇති බවට බිය පලවෙද්දී, ලෝක වෙලඳාම එක තැන පල්වෙන අතර ආරක්ෂනවාදයේ නැගී ඒම පිලිබඳව ලෝක වෙලඳ සංවිධානය (ලෝවෙසං) අනතුරු අඟවයි.

බ්‍රිතාන්‍යය යුරෝ සංගමය හැර යාමේ තර්ජනය වනාහි, ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද බ්‍රිතාන්‍යයේ නීගල් ෆරාජි ද ප‍්‍රන්සයේ මෙරින් ලේ පෙන් මෙන්ම තවත් රටවල ජාතිකවාදී දක්ෂිනාංශික දේශපාලඥයින්ගේ මතුවීම තුලින් එලිදකින, ආර්ථික ජාතිකවාදය හා ආඥාදායකත්වය දෙසට වන වැඩෙන ප‍්‍රවනතාවන්ගේ වඩාත්ම දෘෂ්‍යමාන ප‍්‍රකාශනය පමනි.

21දා ලෝවෙසං වාර්තා කලේ, තමන් වාර්තා තැබීම ආරම්භ කල 2009 පටන් වේගවත්ම අනුපාතයකින්, ජී 20 කන්ඩායමේ ප‍්‍රමුඛ කාර්මික රටවල්, 2015 ඔක්තෝබර්-2016 මැයි අතර කාලයේ, නව ආරක්ෂනවාදී පියවර ක‍්‍රියාවට නැගීමට යොමුවී ඇති බවයි.

මේ කාලය තුල, ජී 20 රටවල් “මාසයකට නව පියවර 21ක් වන අනුපාතයකින් නව වෙලඳ සීමා පියවර 145ක්” ගෙන ඇති බව ලෝවෙසං වාර්තා කරයි. “මීට පෙර වාර්තාවූ මාසයකට 17 අනුපාතයට වඩා මෙය සැලකිය යුතු වැඩිවීමකි.”

Source: World Trade Organization(ලෝක වෙලඳ සංවිධානය)

මෙහි ප‍්‍රතිපල වශයෙන් විමසුමට ලක් වන කාලය තුල ජී 20 තුල ක‍්‍රියාත්මකවූ පියවරයන්ගේ මුලු සංඛ්‍යාව සියයට 10න් වැඩිවී ඇත. දැනට ක‍්‍රියාත්මක වෙලඳ සීමා පියවරයන් සංඛ්‍යාව 2010 ඔක්තෝබර් මැද වන විට තිබූ 324 සිට 1196 දක්වා වැඩිවී ඇත. 2008 පටන් ඉදි කල වෙලඳ බාධක වලින් අහෝසි කර ඇත්තේ සියයට 20ක් පමනි.

මූල්‍ය අර්බුදයෙන් පසුව ලෝක වෙලඳාම හා වර්ධනය අතර සම්බන්ධය බිඳී යාම කෙරෙහි වාර්තාව අවධානය යොමු කරයි. 2008ට පෙර අවධියේ වෙලඳාම වර්ධනය වූ සාමාන්‍යයට වඩා හරි අඩකින් 2008න් පසු වර්ධන මට්ටම පහත වැටී තිබේ. “පසුගිය සිව් වසර තුල දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සාපේක්ෂව වෙලඳාම වර්ධනය වීමේ මන්දගාමී පරාසය, ලෝක දදේනි සාමාන්‍යයට වඩා 2.1 ගුනයකින් යාන්ත‍්‍රික භාන්ඩ වෙලඳාම වර්ධනය වූ 1990-2008 අවධියට වඩා සපුරාම වෙනස් තත්වයකි.”

පාරිභෝගික භාන්ඩ මිල ගනන් හා අපනයන පරිමාව පහත වැටීම තුලින් 2015 ලෝක වෙලඳාම කඩාවැටුනි. වාර්තාව දක්වන පරිදි “ලෝක වෙලඳාමේ ඩොලර් අගය 2015 වසරේදී තියුනු ලෙස පහත ගියේය. එය සිව් වන කාර්තුව තුල පැවතියේ වාර්ෂික අනුපාතයකට අනුව සියයට 13ක් පහතිනි.”

Source: World Trade Organization(ලෝක වෙලඳ සංවිධානය)

එන්ට එන්ටම වැඩිවන ආර්ථශාස්ත‍්‍රඥයින් පිරිසක් අනතුරු අඟවන පරිදි, ආර්ථික ජාතිකවාදී ප‍්‍රවනතා උත්සන්න වීමේ ප‍්‍රතිපල වශයෙන්, ආර්ථික පසුබෑම අනියමිත කාලයකට දිග්ගැස්සී යා හැකිය.

මේ වසර මුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ මොරිස් ඔබ්ස්ට්ෆෙල්ඞ් අනතුරු අඟවා තිබුනේ, “වඩ වඩාත් බලාපොරොත්තු සුං කරන” ලෝක ආර්ථිකය, තවත් මූල්‍ය අර්බුදයක හා නැගෙන ආරක්ෂනවාදයේ තර්ජනය හමුවේ “සියල්ල එකට සිදුවන මන්දගාමිත්වයේ” (“synchronised slowdown”) තර්ජනයට මුහුනපා සිටින බවටය. “වරෙක යුරෝපීය ව්‍යාපෘතිය උත්තේජනය කල දේශපාලන සහානුමතිය යුරෝපය පුරාම කඩමාලු වෙමින් තිබේ. ඒ ඇතුලට හැරුනු ජාතිකවාදයේ නැගෙන උදම් රැල්ලක්” සමගිනි, ඔහු අනතුරු අඟවා තිබුනි.

ඔහුට අනුව “පුලුල් පරාසයක වෙලඳ හා ආයෝජන සම්බන්ධතාවන්ට හානි සිදු කරමින්, එක්සත් රාජධානිය යුරෝ සංගමයෙන් ඉවත්වීමේ සැබෑ හැකියාව, එය සිදුවීමේ එක් ක‍්‍රමයකි. එක්සත් ජනපදය ද ඇතුලු අනෙකුත් දියුනු රටවල් තුල ද යුරෝපයේ මෙන්ම, දේශසීමා හරහා සිදුවන ආර්ථික එකාග‍්‍රකරනයට එරෙහි පස්ස ගැසීම, වඩ වඩාත් විවෘත වෙලඳාම පිලිබඳ පශ්චාත් යුද කාලීන ප‍්‍රවනතා නතරවීම හෝ ආපස්සට කැරකීමට පවා තර්ජනය කරයි.”

ඇමරිකානු සෙනේට් සභාව හමුවේ කරුනු දක්වමින් ෆෙඩරල් මහ බැංකුවේ සභාපතිනී ජැනට් යෙලන්, ආර්ථික පසුබෑම දෙසට වන ප‍්‍රවනතා අනියමිත කාලයක් පවතිනු ඇති බවට මේ මාසය මුල ඇය පලමු වරට මතු කල කරුනු, පුනරුච්ඡාරනය කලාය. “සමහර ප‍්‍රමුඛ අර්ථශාස්ත‍්‍රඥයින් ප‍්‍රකාශ කරන, මෑත වසරවල දක්නට ලැබෙන පලදායිතාවයේ පහත් වර්ධනය, අනාගතයට ද ඇදී යනු ඇතැයි යන්න, අපට බැහැර කල නොහැක.”

බ්‍රිතාන්‍යය යුරෝ සංගමයෙන් ඉවත් වීමේ තීරනයෙහි ප‍්‍රතිවිපාක ගැන ද ඇය අනතුරු ඇඟවූවාය. එවන් ප‍්‍රතිපලයක් මූල්‍ය වෙලඳපොලවල විකුනා දැමීමේ රැල්ලක් අවුලුවාලිය හැකි බවත්, එක්සත් ජනපදය තුල පසුබෑමක හැකියාව පවා මතු කල හැකි බවත් ඇය සඳහන් කලාය.

“බැහැර කිරීම් විරෝධී” (anti-dumping) නඩුවල ස්වරූපයෙන් පැමින ඇති නව වෙලඳ විරෝධී පියවරයන් බොහොමයක් තුලදී එවන් පියවර ගනු ලබන රටවල් අනෙකුත් රටවලට චෝදනා කරන්නේ, හිතාමතාම වෙලඳපොලේ මිලට වඩා අඩු මිලකට සිය නිෂ්පාදන අලෙවි කරන බවටය. එවන් සිදුවීම් වලින් සියයට 40කම ඉලක්කය වී ඇත්තේ ලෝහ, විශේෂයෙන්ම වානේය.

චීන වානේ සමාගම් සිය නිෂ්පාදන ඇමරිකානු වෙලදපොල තුලට “බැහැර” කරන බවට චෝදනා කරමින් පසුගිය මාසයේ ඇමරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව, චීනයේ වානේ සඳහා තමන් සියයට 500ක තරමේ බදු පැනවීමට අදහස් කරන බව නිවේදනය කලේය.

වානේ කර්මාන්තයේ ගෝලීය අධි ධාරිතාව, විශාල වශයෙන් රැකියා වලින් දොට්ට දැමීම් වලට තුඩුදී ඇත. බ්‍රිතාන්‍ය තුල ටාටා වානේ කම්හල් වසා දැමීමත් සමග එරට වානේ නිෂ්පාදනය ක්ෂනිකව නතර කර දැමුනි. මේ වසර මුල චීනය, වානේ කර්මාන්තයේ ලක්ෂ පහක් හා ඊට අනුබද්ධ ගල් අඟුරු කර්මාන්තයේ මිලියන 1.3ක් දොට්ට දමන බව නිවේදනය කලේය.

මේ මාසයේදී ඇමරිකාව, එරට ලොකුම වානේ නිෂ්පාදකයා වන යූඑස් ස්ටීල් සමාගමේ ඉල්ලීමකට ඉඩ ලබා දුන්නේය. ඒ චීන සමාගම් වානිජ්‍ය රහස් සොරකම් කරනවාය යන කඩතුරාව යටතේ, තම චීන තරඟකරුවාගෙන් වානේ ආනයන තහනම් කරන ලෙස කෙරෙන ඉල්ලීමට අනුවය.

මෙම ප‍්‍රශ්නය, දැවැන්ත ආර්ථික හා භූදේශපාලනික ප‍්‍රතිවිපාක ගෙන එනු ඇති පියවරක් වන, චීනයෙන් වානේ ආනයනය කිරීම තහනම් කිරීමට, ඊලඟ ඇමරිකානු ජනාධිපති විසින් පියවර ගනු ඇති බවට පවතින සැබෑ හැකියාව මත පදනම් කෙරේ. ස්විට්සර්ලන්තයේ සෙන්ට් ගැලන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර වෙලඳාම පිලිබඳ මහාචාර්ය සිමොන් ඉවනෙට්, ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයට පැවසුවේ, “මෙය අනතුරු ඇඟවීමේ සීනු නාද කරයි...එය වනාහි න්‍යෂ්ටික විකල්පයකි.”

අර්ථශාස්ත‍්‍රඥයින් පුලුල් වශයෙන් විශ්වාස කරන්නේ, 1930 ගනන්වල මහා අවපාතයට තුඩු දුන් ප‍්‍රධාන සාධකයක් වූයේ, ලෝක වෙලඳාමේ කඩාවැටීම හා ආරක්ෂනවාදය බවයි. නිදසුනක් ලෙස 1930 ස්මූට්-හව්ලි තීරුබදු පනත, ඇමරිකානු ආනයන හා අපනයන හරි අඩකින් කපා හැරීමට දායක විය.

2008 මූල්‍ය අර්බුදය හමුවේ ජී20 සාමාජිකයෝ, 1930 ගනන්වල වැරදි යලි සිදුවීමට ඉඩ නොදෙන බවට පොරොන්දු දුන්හ. වෙලඳ යුද්ධ පියවර ගනිමින් වර්ධනය අඩපන කිරීමට දායක නොවන බවට ඔවුහු පොරොන්දු දුන්හ. එහෙත් 1930 ගනන් වල ද පැතිර පැවතුනු, කම්කරු පන්තියේ වැඩෙන දේශපාලන විරුද්ධත්වය ද සමාජ අරගල ද දිග්ගැස්සෙන හා ගැඹුරුවන ආර්ථික අර්බුදය ද ලෝක පරිමාන අධි ධාරිතාවය ද හමුවේ ඔවුහු, දැන් වඩ වඩාත් හැරෙමින් සිටින්නේ, මිලිටරිවාදය හුවා දැක්වීමට, අමු ජාතිකවාදය වැපිරීමට හා දක්ෂිනාංශික ආර්ථික ජනතාවාදය ද වෙතය.

නොවිසඳිය හැකි ආර්ථික අර්බුදයේ කොන්දේසි යටතේ, 1930 ගනන්වල ආර්ථික ආරක්ෂනවාදයේ නැගීම, අවසානයේ තුඩුදුන්නේ දෙවන ලෝක යුද්ධයටය. අද දවසේ ද ලෝකය පුරා දැකගත හැක්කේ එම කොන්දේසිම ය. ජාතික දියවීයාම දෙසට වන ප‍්‍රවනතා සමහන් කිරීමට, යුරෝපීය සංගමය ද ඇතුලු, නිර්මානය කල ජාත්‍යන්තර ආයතන හා සංස්ථා, විසංධි වෙමින් හා කැබලි වෙමින් තිබේ. මෙ සතියේ පැවැත්වෙන ජනමත විමසුමේ ප‍්‍රතිපලය කුමක් වුවත්, පශ්චාත් 2008 අවධිය අරක්ගෙන තිබූ, ආර්ථික පසුබෑම, මූල්‍ය පරපුටුකම, ආර්ථික ජාතිකවාදයේ වැඩීම වැනි ප‍්‍රවනතා උත්සන්න වීමත් සමග මෙම ක‍්‍රියාවලිය, එලඹෙන වසර වලදී උග‍්‍ර වනවා පමනි.

1930 ගනන්වල මෙන්ම, අවසාන වශයෙන්, ධනපති ජාතික රාජ්‍ය පද්ධතියේ අභ්‍යන්තර ප‍්‍රතිඝතිතා තුල මුල්බැස ඇති මෙම ප‍්‍රවනතා විසඳිය හැකි සාමකාමී ක‍්‍රමයක් ඇත්තේ නැත. රුසියාවට හා චීනයට එරෙහි ඇමරිකාවේ නිමක් නැති මිලිටරි ප‍්‍රකෝපකරනයන්ගේ ද ජර්මනිය හා ජපානය වැනි, දෙවන ලෝක යුද්ධය තුල ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකල රටවල මිලිටරිවාදයේ උත්සන්නවීම ද මෙහි ප‍්‍රකාශනයයි.

Share this article: