කොලඹ දුගී නිවාස කැඩීමට මහජනයා විරෝධය දක්වති

අපේ වාර්තා කරුවන් විසිනි, 2016 ජූනි 29

කොලඹ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය දෙපස ඇති දුගී නිවාස 11ක් කඩා ඉවත් කිරීමට ආන්ඩුවේ, ඛනිජ තෙල් සංස්ථාවේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැරලිමර්දන පොලිසිය සමග සඳුදා එම ප‍්‍රදේශයට කඩා වැදුනත් දහස් ගනන් ජනයා රැස්ව විරෝධය දැක්වීම නිසා නිවාස කැඩීමට අපොහොසත්ව ඉවත්ව ගියහ.

කැරලි මර්දන පොලීසිය හා පොලිස් කාන්තා නිලධාරින් ද ජල ප‍්‍රහාරක වාහන ද එම ස්ථානයට කැඳවා තිබීමෙන් පෙන්නුම් කෙරුනේ රුදුරු ලෙස මහ ජනයා මැඩ නිවාස කැඩීමට සැලසුම් කර තිබූ බවයි. මහජන විරෝධය මැද නිලධාරින් එදින ඉවත්ව ගියත් නිවාස කැඩීමේ තර්ජනය එසෙලම පවතී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ක‍්‍රියාවට දමන බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය යටතේ දුගී නිවැසියන් කොලඹ නගරයෙන් පලවා හැර ඉඩම් ආයෝජකයන්ට පවරාදීමට කොන්දේසි සැකසීම සඳහා නිවාස කැඩීමට සූදානම් වෙයි. නිවැසියන් පවසන පරිදි මෙවර නිවාස 11ක් පමනක් ඉවත් කිරීමට තැත් කලේ එකවර සියලු නිවාස කැඩීමට ගියහොත් පුලුල් විරෝධයක් පැන නැගිය හැකි නිසා ය. නිවැසියන් පවසන පරිදි මෙම ප‍්‍රදේශයේ නිවාස 1500ක් පමන ඇත. එක නිවසක පවුල් කිහිපයක් සිටින නිසා පවුල් 2000කට වැඩියෙන් ප‍්‍රදේශයේ ජීවත් වෙති.

ජුනි 12 දා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකල පරිදි ගංවතුර ගැලීමට හේතු වන්නේයයි පවසමින් සිරිසේනගේ අනුග‍්‍රහය යටතේ පැවති සමීක්ෂන්යකට අනුව ඇලවල් අවට ඇති අනවසර පදිංචිකරුවන් 2500ක් ඉක්මනින් ඉවත් කිරීමට නියමිත ය. මෙම ප‍්‍රහාර ක‍්‍රියාවට දැමීම සඳහා ආන්ඩුව මෙම ප‍්‍රදේශ අධි-ආරක්ශිත කලාප ලෙස නම් කර ඇත.

ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ඩබ්ලිව්. එම්. ඒ. එස්. ඉද්දවල ටයිම්ස් පුවත්පතට සඳහන් කලේ “අනවසරයෙන් පදිංචි පවුල්වලට වන්දි හෝ විකල්ප ස්ථාන ලබා නොදෙන බවයි. එලෙස අනවසර පදිංචිකරුවන් යයි හංවඩු ගසා ඉවත් කෙරෙන පවුල් නාවල, කෝට්ටේ, ගොතටුව, බ්ලූමැන්ඩල් සහ ප‍්‍රධාන ඇල හා අතු ඇලවල ඉවුරුවල සිටිති.”

බ්ලූමැන්ඩල් දුම්රිය පටුමගේ කඩාදැමීමට නියමකල නිවාසයන්හි නියෝජිතයන් ජූනි 20 දින හදිසියේම පොලීසියට කැඳවා ඔවුන් ජූනි 27 දිනට පෙර නිවාස හැර යායුතු බව දන්වා ඇත. වසරක් යන තුරු රුපියල් 10,000 බැගින් මාසිකව ඔවුන්ට ගෙවෙන බවද පවසා තිබේ.

කඩා ඉවත් කිරීමට නියමිත නිවසක්

එක් නිවැසියෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ සඳහන් කලේ ය: “අපි මුදල් ගැනීම සම්පූර්නයෙන් ප‍්‍රතික්ෂේප කලා. නව නිවසක් වෙනත් තැනකින් ලබාදුන්නොත් හෙට උනත් යන්න සූදානම් බව පැවසුවා. නොගියොත් බැකෝ යන්ත‍්‍ර දමා නිවාස කඩා දමන බවට එවිට තර්ජනය කරා.

“27වෙනි දින අපි නොකා නොබී රැකියාවට නොගොසින් බලා සිටියා. දවල් 12ට පමන නිලධාරීන් හා පොලීසිය පැමිනියා. අපි එකාමෙන් සියලුම පදිංචිකරුවන් උද්ඝෝෂනයට එක්වුනා. පොලීසියෙන් කිව්වා උසාවියෙන් නියෝගයක් ඇතිව පැමිනි බව. නමුත් එම නියෝගයට මහේස්ත‍්‍රාත් අත්සන් කර තිබුනෙ නැහැ. අත්සන් කරගන එන බව පවසා නිලධාරීන් කීපදෙනෙක් ගියා. අපි හිටියෙ එලියෙ විරෝධය දක්වමින්. ලමයි ගෘහනියො සියල්ලන්ම උද්ඝෝෂනයට එක්වුනා.”

ඇමතිවරයකු වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුනේ නායක මනෝ ගනේශන් වහාම එම අවස්තාවට මැදිහත්වූයේ විරෝධතාවය විසුරුවා හැරීම පිනිසය. ඔහු නිවාසයක් නොදී නිවාස ඉවත් නොකරන බව ට ප්‍රෝඩාකාරීව පොරොන්දු වූයේය. මහජනයා විසිර ගියේ එවිටය.

ජනතා විමුක්ති පෙරෙමුනේ නායකයෙක් වන සුනිල් වටගල මෙම අවස්තාවට සම්බන්ද වූයේ මජනතාව මුලා කිරීම පිනිසය. මහා නගර ව්‍යාපෘතියට පක්ෂපාතී අයෙක් වන ඔහු කියා සිටියේ නිවැසියන්ට සාධරනයක් කරන ලෙසය. එනමුත් අයෝජකයන් වෙනුවෙන් ක‍්‍රියාවට දැමෙන මෙම වැඩපිලිවෙලින් දුගීන්ට සාධාරනයක් ඉටුවන්නේ නැත.

කඩා ඉවත් කිරීමට නියමිත නිවසක්

නිවැසියන් එම අවස්තාවේ විසිර ගිය නමුත් ආන්ඩුව කෙරේ කිසිදු විශ්වාසයක් නිවැසියන්ට නොමැත. ලොසවෙඅට කතා කරමින් තවත් නිවැසියෙක් මෙසේ සඳහන් කලේ ය: “අපි මේ ආන්ඩුවට චන්දෙ දුන්නෙ නව නිවසක් නොදී නිවාසයන්ගෙන් ඉවත් නොකරන බවට පොරොන්දු වුන නිසයි. නමුත් මහා නගර ව්‍යාපෘතිය යටතේ දුගීන්ගේ නිවාස උදුරා ගන්නවා. අපිත් සංවර්ධනයට කැමතියි. නමුත් දුගීන්ට නිවාස අහිමි කරන සංවර්ධනය මොකක්ද? ආරන්චි හැටියට තෙල්නල නවීකරනය මෙම ප‍්‍රදේශයේ ඉන්දියන් සමාගමකට දැනටමත් පවරලා.

“මේ ප‍්‍රදේශයේ නිවැසියන් වසර 60ක් 70ක් පමන කාලයක් මෙම ප‍්‍රදේශයේ පදිංචි අය. තෙල් නල සුද්ද කරන කොට අපේ නිවාසයන්ට අලාභ හානි වෙනෙවා. අපි ඉන්නෙ අශාවට නෙමෙයි. අපිට වෙනත් තැනක නිවසක් ලැබුන නම් අපි යනවා. මේ ප‍්‍රදේශයේ ඉන්නෙ එදිනෙදා රැකියාව කරන අය. වෙනත් තැනකට යන්න කිසිම ආදායමක් නැහැ.”

කොලඹ වරායේ සිට කොලොන්නාව මධ්‍යම ඛනිජ තෙල් ගබඩා සංකීර්නයට තෙල් ගෙනයන නල මාර්ගය හා වරාය ප‍්‍රධාන දුම්රිය මාර්ග පද්ධතියට සම්බන්ධ කෙරෙන දුම්රිය මග දෙපස මෙම නිවාස පිහිටා තිබෙන්නේ ඉතා අනතුරුදායක ආකාරයකට ය. පදිංචියට සුදුසු නිවසක් කිසිදු ආන්ඩුවකින් නොලැබ මෙම පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනා අවුරුදු 60 කටත් වඩා මෙම ස්ථාන වලම ජීවත් වෙති.

2014 වසරේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මගින් දුම්රිය පටුමගේම බටහිර කොටසේ නිවාස 50ක් කඩා ඉවත් කල අතර, එයට ජනතාවගෙන් නැගුනු දැඩි විරෝධය හමුවේ, ඔවුන්ගෙන් කොටසකට, මෙම ප‍්‍රදේශයේ ඉදිකර ඇති මහල් නිවාස ගොඩනැගිල්ලක නිවාස ලබා දෙන ලදී. ඉතිරි පිරිස තවමත් නිවාස නොමැතිව, තොටලඟ ප‍්‍රදේශයේ, ගුනපාල ක්‍රීඩාංගනයේ පැල්පත් සාදාගෙන ජීවත් වෙති.

දශක දෙකක් පුරා අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් ක‍්‍රියාවට යෙදුනු කොලඹ දුගී නිවාස කඩා ඉවත් කර එම ඉඩම් ධනපති ආයෝජකයන්ට පවරාදීමේ වැඩපිලිවෙල, වර්තමාන වික‍්‍රමසිංහ-සිරිසේන ආන්ඩුවේ මෙගාපොලිස් ව්‍යාපෘතිය යටතේ නව වටයකින් තීව‍්‍ර කිරීම අරඹා ඇත. “සීඝ‍්‍ර නාගරික සංවර්ධනය”, “පරිසරය සුරැකීම” හා “ගංවතුර ආදී විපත් වැලැක්වීම” වැනි හේතු දක්වමින් කරගෙන යන මෙම වැඩපිලිවෙල ගැන ඇති තම අවිශ්වාසය හා විරෝධය කොලඹ පලාත් ගනනාවක ජනතාව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වෙත ප‍්‍රකාශ කලහ.

වනාතමුල්ල වැඩිමහල් කාන්තාවක්: “ගෙවල් කඩන එක ගැනවත් අලුත් ගෙවල් දෙන එක ගැනවත් අපිට කිසිම දෙයක් මෙතෙක් ආන්ඩුවෙන් කියල නැහැ, නමුත් කටකතා තියෙනවා. මේ ඉඩම් ගන්නවලු බොරැල්ලට ලොකු ස්ටේෂන් එකක් හදන්න. අනිත් පැත්තේ ඉඩම් ගන්නව කියන්නේ ගුවන් හමුදා කඳවුර ලොකු කරන්න”. මෙගාපොලිස් ව්‍යාපෘතිය ගැන විමසූ විට ඒගැන කිසිවක් තමන් නොදන්නා බවද ඇය ප‍්‍රකාශ කලාය.

තරුන ගෘහනියක් වන ශ‍්‍රියානි: “පහුගිය ආන්ඩුව යටතේ මේ ඉඩම් ගන්න ගියා. මිනිස්සු පාරට බැහැපු නිසා ඒක ටිකකට නතර උනා, මේ ආන්ඩුව ආවට පස්සේ ඉඩම් ගන්න එකක් නැහැ කියල තමයි කිව්වේ. දැන් ආයෙත් ගෙවල් කඩන්න යනවා කියල ආරංචි පැතිරෙනවා. හොඳ ගෙයක් දුන්නොත් මිසක් අපි යන්නේ නැහැ”.

මෙගාපොලිස් ව්‍යාපෘතිය පිලිබඳව යම් තරමකින් දැනුවත්ව සිටි විශ‍්‍රාමිකයෙක් වන සිසිර: “මෙගා සිටි එකක් කියන්නේ දසලක්ෂ ගනන් මිනිස්සු ඉන්න මහා කර්මාන්ත තියෙන නගරයකට. කොලඹ එහෙම මහා නගරයක් කරන්නෙ කාගේ උවමනාවටද? අපේ නම් නෙමෙයි. මේක මිනිස්සුන්ගේ ඉඩම් කොම්පැනිකාරයන්ට විකුනන්න ගෙන යන ව්‍යාපාරයක්”.

නිවාස ඉවත් කිරීමට ගෙනයන සලසුම් වල ඇති රහස්‍ය හා කුමන්ත‍්‍රනකාරී ස්වභාවය හෙලිකල තරුන රජයේ සේවකයෙක්: “මේ ඉඩම් මොන ක‍්‍රමේකින් හරි ගන්න බලාගෙන තමයි මේ ආන්ඩුවත් ඉන්නේ. ආන්ඩු පෙරලියෙන් ඒක ටිකක් යටපත් වුනාට, නැති උනේ නැහැ. මම අවුරුද්දක් පිට ගිහිල්ල ඉඳල එනකොට උපන්දා ඉඳල හිටපු ගෙදර චන්ද නාමලේඛනයෙන් මගේ නම කපල. නැවත දාන්න බැහැයි කියනවා. ලොකු සටනක් කරල තමයි ආපහු නම දාගත්තේ. මේවා අපේ පදිංචියට ඇති සාක්ෂි ඉවත් කරන්න හිතා මතා කරන වැඩ”.

Share this article: